Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

ගින්නට භය නැති කුරුමිණියා

ගින්නට භය නැති කුරුමිණියා

ලැව් ගින්නකදී සතුන් තම දිවි ගලවාගැනීමට පලා යනවා මිසක් ඒ අවට ගැවසෙන්නේ නැහැ. ඒත් මේ ලිපියේ කතා කරන බ්ලැක් ෆයර් නම් කුරුමිණියා (Black Fire Beetle) කැලේ ගින්නක් ඇති වෙන තැනට ඇදිලා යනවා. උන් එසේ යන්නේ බිත්තර දමන්න අලුතින් දැවුණු ගස් හොඳ ස්ථානයක් වන නිසයි. ලැව් ගින්නක් ඇති වූ විට උන්ගේ සතුරන් කැලේ වෙන තැන්වලට පලා යන නිසා උන්ට නිදහසේ කෑම සොයාගැනීමටත් බිත්තර දැමීමටත් හැකි වෙනවා. ඒත් ලැව් ගින්නක් ඇති වෙලා කියලා උන් දැනගන්නේ කොහොමද?

මේ ගැන සිතන්න: පින්තූරයේ දක්වා ඇති ආකාරයට උන්ගේ ශරීරයේ පාදයක් සේ පෙනෙන කොටසේ සංවේදක පිහිටා තිබෙනවා. ගින්නක් ඇති වූ විට ඉන් නිකුත් වන අධෝරක්ත කිරණවල උණුසුම එම සංවේදකවලට දැනෙන අතර උන් ඒ දෙසට ඇදෙනවා.

ඒ වගේම ගින්නක් ඇති වුණාම එය දැනගැනීමට උන්ට උපකාරවත් වන තවත් සංවේදක ඉන්ද්‍රියක් වන්නේ ස්පර්ශකයි. උන් කැමතිම ගස් වර්ගය දැවෙන විට ඉන් නිකුත් වන දුම උන්ගේ ස්පර්ශකවලට දැනෙනවා. සමහර පර්යේෂකයන් පවසන්නේ උන්ගේ ස්පර්ශක කොතරම් ප්‍රබලද යත් සැතපුම් භාගයක් ඈතින් ඇති තනි ගසක් යාන්තමින් දැවෙන අවස්ථාවේදී පවා උන්ට එය දැනෙන බවයි. උන් සතු සියලුම සංවේදක ඉන්ද්‍රියන් උපයෝගී කරගෙන සැතපුම් 30කට වඩා වැඩි දුරකින් ඇති වන ලැව් ගින්නක් පවා උන්ට දැනගත හැකියි. උන්ගේ සංවේදක හැකියාව මොන තරම් ප්‍රබලද!

මෙම කුරුමිණියන් සතු සංවේදක ඉන්ද්‍රියන් අධ්‍යයනය කිරීමෙන් පර්යේෂකයන් උත්සාහ කරන්නේ ගින්නක් ඇති වූ විට එය වහාම දැනගැනීමට හැකි උපකරණ නිපදවීමටයි. අධෝරක්ත කිරණ හඳුනාගැනීමට දැනට නිපදවා ඇති උපකරණ කාමර උෂ්ණත්වයේදී එතරම් ප්‍රබල ලෙස ක්‍රියා කරන්නේ නැහැ. නමුත් කුරුමිණියා සතු එම කොටස අධ්‍යයනය කිරීමෙන් ඒවා වැඩි දියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගින්නකින් ඇති වන දුම හඳුනාගැනීමට හැකි සංවේදීතාවෙන් ඉහළ උපකරණ නිපදවීමට උන්ගේ ස්පර්ශක ගැන අධ්‍යයනය කිරීමෙන් හැකි වී තිබෙනවා.

මෙම කුරුමිණියා බිත්තර දැමීමට ස්ථානයක් සොයාගන්නා ආකාරය ඉතාමත් අද්විතීයයි කියා පර්යේෂකයන් පවසනවා. “උන්ට එම හැකියාව ලැබුණේ කොහොමද? ඇත්තටම මෙවැනි කුරුමිණියන් සතු හැකියාව ගැන අප දන්නේ කොතරම් අල්පයක්ද” කියා ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක කෘමීන් ගැන අධ්‍යයනය කරන රිචර්ඩ් හොබෙක් පවසනවා.

ඔබේ නිගමනය කුමක්ද? මේ කුරුමිණියාට ඒ හැකියාව ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?