Skip to content

පටුනට යන්න

ඇඹුල් ගෙඩියේ මිහිරි කතාව

ඇඹුල් ගෙඩියේ මිහිරි කතාව

ලෙමන් ගෙඩිය ගැන කියූ පමණින් අපට මතක් වන්නේ එහි ඇඹුල් රසයයි. නමුත් එයින් ලැබෙන ප්‍රයෝජන අපමණයි. එය ඖෂධයක් ලෙසත් පිරිසිදුකාරකයක් ලෙසත් විෂබීජ නාශකයක් ලෙසත් රූපලාවන්‍ය සත්කාරකයක් ලෙසත් විවිධ ආහාර වර්ග සෑදීමටත් එහි යුෂ මිහිරි පානයක් ලෙසත් භාවිතයට ගැනෙනවා. එහි ලෙල්ලෙන් තෙල්ද ලබාගන්නවා. ලෙමන්, ලෝකයේ සෑම රටකම වාගේ දැකගත හැකියි. එය මිල අධික පලතුරක් නොවෙයි. සමහරවිට මේ දැන් ඔබේ මුළුතැන්ගෙයිත් ලෙමන් ගෙඩියක් තියෙනවා ඇති.

සමහරුන් විශ්වාස කරන්නේ ලෙමන්වල නිජබිම අග්නිදිග ආසියාව කියායි. පසු කාලයේදී ආර්ජන්ටිනාව, ඉතාලිය, මෙක්සිකෝව, ස්පාඤ්ඤය මෙන්ම අප්‍රිකාවේ සමහර ප්‍රදේශවලටත් ආසියාවටත් ලෙමන් ව්‍යාප්ත වී තිබෙනවා. ලෙමන් වර්ගය හා එය වැඩෙන දේශගුණය අනුව වසරකට ගෙඩි 200ත් 1,500ත් අතර ප්‍රමාණයක පලදාවක් ලැබෙනවා. ඒ ඒ වර්ගවලට අනුව මල් පූදින කාල වෙනස් වුණත් අවුරුද්ද පුරාම ලෙමන් ගස පල දරයි.

ඉතාලියේ ලෙමන්

අතීතයේදී රෝමයේ ලෙමන් වගා කෙරුණාද නැද්ද යන්න ගැන බොහෝ වාද විවාද ඇති වී තිබෙනවා. කෙසේවෙතත් පැඟිරි කුලයට අයත් සිදරං, රෝමයේ තිබූ බවට ලිඛිත සාක්ෂි තිබෙනවා. රෝම ඉතිහාසඥයෙක් වන ජ්‍යෙෂ්ඨ ප්ලිනි විසින් රචිත පොතක සිදරං ගස ගැනත් එහි පල ගැනත් සඳහන් වෙනවා. (Natural History) ඒත් විද්වතුන් පවසන්නේ රෝමවරු ලෙමන් ශාකය ගැනත් දැන සිටි බවයි. ඔවුන් එසේ පැවසීමට හේතුව බිතුසිතුවම්වල හා මොසෙයික් නිර්මාණ බොහොමයක ලෙමන් ගෙඩි චිත්‍රයට නඟා තිබීමයි. උදාහරණයකට පොම්පේ නගරයේ කළ කැණීම්වලදී සොයාගත් නිවසක බිත්තිවල වෙනත් පැළ වර්ග මෙන්ම ලෙමන් ගසද චිත්‍රයට නඟා තිබුණා. පෙනෙන විදිහට ඒ කාලයේදී ලෙමන් ගස වෙනත් රටකින් ගෙනෙන ලද ඖෂධීය ශාකයක් ලෙස සැලකුවා විය හැකියි. ලෙමන් ශාකය අද බොහෝ රටවල දැකගත හැකියි. ඊට හේතුව ලෙමන්, පහසුවෙන්ම වගා කිරීමට හැකි වීමයි.

සිසිලියේ දිගු කාලීනව පවතින උෂ්ණ දේශගුණය නිසා පැඟිරි කුලයට අයත් ලෙමන් වැනි පලතුරු හොඳින් වැඩෙනවා. නමුත් වෙරළබඩ ප්‍රදේශවල වැඩෙන ලෙමන් ගුණාත්මක බවින් ඉහළයි.

සොරෙන්තෝ නගරය තිබෙන්නේ නේපල්ස් නගරයට දකුණින්. සොරෙන්තෝ නගරයට දකුණින් පිහිටි අමාල්ෆි මුහුදු තීරයේ අමාල්ෆි, පෝසිතානෝ, වෙත්‍රි සුල් මාරෙ වැනි දැකුම්කලු ස්ථාන දැකගත හැකියි. සොරෙන්තෝ සහ අමාල්ෆි වෙරළ තීරයේ වගා කරන ලෙමන්වලට ඒ ප්‍රදේශවල වගා කළ බව සනාථ කරන සහතිකයක් ලබා දෙනවා. එම නගර වැසියන්ට ලෙමන් වගාව කෙරෙහි විශාල උනන්දුවක් තිබෙනවා. ඔවුන් වෙහෙස මහන්සි වී ඒවා රැකබලා ගන්නේ ඒ නිසයි. එම ප්‍රදේශවල උණුසුම් දේශගුණයක් පවතින නිසා එහි සෑදෙන ලෙමන් මිහිරි සුවඳකින් යුක්ත වන අතර ඒවායෙහි යුෂ ප්‍රමාණයද වැඩියි.

ලෙමන් ගසක් වැවීමට ඒ තරම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැහැ. හොඳින් හිරු එළිය වැටෙන තැනක පෝච්චියක වගා කළ හැකි වර්ගයේ ලෙමන් ගසක් සිටුවාගත හැකියි. නමුත් මේ ගස්වලට දැඩි සුළං සහ ශීත ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා අධික ශීත කාලයේදී ගසට ආවරණයක් යෙදීම හෝ ඒවා නිවස ඇතුළට ගැනීම අවශ්‍යයි.

අමතර ප්‍රයෝජන

සමහර අය තේ කෝප්පයේ රස වැඩි කරගැනීමට ලෙමන් පෙත්තක් දමයි. තවත් අය කේක් සෑදීමේදී ලෙමන් බින්දු කිහිපයක් එකතු කරනවා. ලෙමන් යුෂවලින් විවිධ සිසිල් බීම වර්ගත් සාදාගත හැකියි. ලොව පුරා සිටින සූපවේදීන්ට ලෙමන් ගෙඩිය නැතුවම බැරි දෙයක් වී තිබෙනවා. නමුත් ඔබ කවදා හෝ දවසක පිරිසිදුකාරකයක් ලෙස හෝ පැල්ලම් ඉවත් කිරීමට හෝ ලෙමන් ගෙඩියක් යොදාගෙන තියෙනවාද?

සමහර අය එළවළු කපන ලෑල්ල පිරිසිදු කරගන්නේ ලෙමන් පළුවක් ඇතිල්ලීමෙනුයි. එමෙන්ම ආප්ප සෝඩා සහ ලෙමන් යුෂ මිශ්‍ර කර සාදාගන්නා දියරයකින් පැල්ලම් ඉවත් කරගැනීමටත් සින්ක් එක පිරිසිදු කරගැනීමටත් හැකියි. ලෙමන් පළුවක් ශීතකරණයේ හෝ දීසි සෝදන යන්ත්‍රයේ තැබීමෙන් ඒවායෙහි තිබෙන දුගඳ නැති කරගත හැකියි කියා සමහර අය පවසනවා.

ලෙමන්වල සිට්රික් අම්ලය තිබෙන නිසා ආහාර කල් තබාගැනීමටත් කෑම බීමවලට ඇඹුල් රසයක් එකතු කිරීමටත් යොදාගන්නවා. ලෙමන් ගෙඩියේ ලෙල්ලෙහි පෙක්ටින් නමැති කාබෝහයිඩ්‍රේටය තිබෙන නිසා ආහාරවල උකු ගතියක් ඇති කරගැනීමට යොදාගනියි. ඊට අමතරව පොත්තෙන් ලබාගන්නා තෙල්, ආහාර සඳහාත් ඖෂධ සඳහාත් රූපලාවන්‍ය සත්කාරකයක් ලෙසත් භාවිත කරනවා. ලෙමන් ගෙඩියෙන් ලැබෙන ප්‍රයෝජන මෙතකැයි කියා කිව නොහැකියි. ඇත්තෙන්ම ඇසට ප්‍රිය ලෙමන් ගෙඩිය රසයෙන් හා ගුණයෙන් අනූන සම්පතක්.