සාර්ථක වූ පවුල්
සාර්ථක වූ පවුල්
අපි දැන් හොඳ යාළුවෝ
ෆිලිප්ගේ දුව වන එලීස්ට වයස අවුරුදු 20යි. නිවසේ සියලු වැඩකටයුතු බලාගත්තේ ඇයයි. ෆිලිප් හා ලොයිස්ගේ විවාහයත් සමඟ නිවසේ මොන වගේ තත්වයක් ඇති වෙයිද?
ලොයිස්: මුලදී ප්රශ්න ඇති වුණා. මට ඕනේ වුණේ ගෙදරදොරේ වැඩ කරගෙන හොඳ ගෘහණියක් වෙන්න.
එලීස්: කුඩම්මා සම්පූර්ණයෙන්ම ගේ අස්පස් කරලා හුඟක් දේවල් අයින් කළා. දවසක් මම ගේ අස් කරනකොට දැන් බඩු තියන තැන් දන්නේ නැති නිසා වැරදි තැන්වල බඩු තිබ්බා. ඒක දැකලා කුඩම්මට කේන්ති ගියා. ඊටපස්සේ අපි දෙන්නා බැණගත්තා. සතියක් විතර මම කතා කළෙත් නැහැ.
ලොයිස්: “මෙතනින් එහාට මොකක් වෙයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ විදිහට අපි දෙන්නට ජීවත් වෙන්න බැහැ” කියලා මම එලීස්ට කිව්වා. එදා හවසම එලීස් මගෙන් සමාව ඉල්ලුවා. ඊටපස්සේ අපි දෙන්නම ඇඬුවා.
එලීස්: සාලේ එල්ලලා තිබුණ මගේ සමහර පින්තූර කුඩම්මා අයින් කළේ නැහැ. තාත්තත් මං තිබ්බ බඩු අයින් කළේ නැහැ. මේවා පුංචි දේවල් වුණත් හැම දෙයක්ම වෙනස් කළේ නැති නිසා මේක තාමත් මගේ ගේ කියන හැඟීම මට තිබුණා. මගේ පුංචි මල්ලි අපිත් එක්ක ඉන්න එන වෙලාවට කුඩම්මා එයාව ආදරෙන් බලාගන්නවා දක්කාම එයා ගැන පැහැදීමක් ඇති වුණා. කුඩම්මා අපේ ගෙදරට ඇවිත් දැන් අවුරුදු දෙකක් වෙනවා. එයත් අපේ පවුලේ කෙනෙක් කියලා දැන් දැන් මට දැනෙනවා.
ලොයිස්: අපි දෙන්නා දැන් හොඳ යාළුවෝ.
“හැම දේකටම වඩා වටින්නේ එකමුතුකමයි”
ඇන්ටන් සහ මැරලීස් මීට අවුරුදු හයකට පෙර විවාහ වන විට ඔවුන් දෙදෙනාටම දරුවන් තිදෙනා බැගින් සිටියා.
ඇන්ටන්: අපි විනෝද ගමන් ගියේ පවුලක් හැටියටයි. ඒ වගේම හැම ළමයෙකුටම කාලය දෙන්නත් අපි අමතක කළේ නැහැ. එක පවුලක් හැටියට හැඩගැහෙන්න අවුරුදු කිහිපයක් ගත වුණත් අපේ පවුලේ ප්රශ්න දැන් හුඟක් දුරට විසඳිලා.
මැරලීස්: දරුවන්ව “ඔයාගේ,” “මගේ” කියලා වෙන් කරන්නේ නැතුව “අපේ” කියලා සලකන එක හුඟක් වැදගත් කියලා අපි තේරුම්ගත්තා. දවසක් ඇන්ටන් මගේ පුතෙකුට ටිකක් සැර කරලා එයාගේ දුවට කාර් එකේ එයා කැමති තැන වාඩි වෙන්න ඉඩ දුන්නා. එතන අසාධාරණයක් වුණ නිසා මම ඇන්ටන්ට ටිකක් දොස් කිව්වා. ඒත් පස්සේ මම තේරුම්ගත්තා හැම දේකටම වඩා වටින්නේ එකමුතුකමයි කියලා. හැම කෙනාටම එක හා සමානව සලකන්න බැරි වුණත් හැමෝටම සාධාරණ විදිහට සලකන්න අපි උපරිමය කරනවා.
කලින් විවාහයේ අද්දැක්ක දේවල් මම කතා කරන්නේ නැහැ. එහෙම කළොත් අපි පවුල් දෙකක් කියන හැඟීම අනික් අයට ඇති වෙයි. මට දැන් ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙනවා.
“මුලින්ම අගය කරන්න”
ෆ්රැන්සිස් සහ සිසීලියා විවාහ වුණේ මීට අවුරුදු හතරකට පෙරයි. ඇයට දරුවන් තිදෙනෙකුත් ඔහුට එක පුතෙකුත් සිටියා.
ෆ්රැන්සිස්: මම හැමෝටම කරුණාවෙන් සලකන්නත් ඉවසීමෙන් වැඩ කරන්නත් උත්සාහ කරනවා. අපි කෑම ගත්තේ පවුලක් හැටියට. ඒ වෙලාවට පවුලේ කාරණා ගැන කතා කරනවා. හැමෝටම ගෙදර වැඩවලට හවුල් වෙන්න කියලා උනන්දු කළා. ඒක මුළු පවුලටම ප්රයෝජනවත් වුණා.
සිසීලියා: මම හැම දරුවෙක් එක්කම කතා කරන්න කාලය වෙන් කළා. ඒගොල්ලන්ට තිබුණ ප්රශ්න ගැනත් කතා කළා. පවුලේ සාකච්ඡාවලදී මුලින්ම ඒගොල්ලන්ව අගය කළා. පස්සේ තමයි අඩුපාඩු පෙන්නලා දුන්නේ. මගේ අතින් වරදක් වුණාම මම ඒක පිළි අරන් සමාව ගන්නවා.
බාප්පාගේ සහ කුඩම්මාගේ සෙනෙහස!
යූකීට පිය සෙනෙහස අහිමි වන විට ඔහුට අවුරුදු පහයි. ඔහුගේ මව නැවත විවාහ වූ අතර ඔහුට වයස අවුරුදු දහයක් වන විට මවත් මිය ගියා. ඉන් වසර පහක් ගිය පසුව ඔහුගේ සුළු පියා මිහොකො සමඟ විවාහ වුණා. යූකී හැදී වැඩුණේ සුළු මාපියන් යටතේයි. දැන් ඔහුට අවුරුදු 20යි.
යූකී: මගේ බාප්පා ආපහු විවාහ වෙන්න තීරණය කළාම “මට හිතුණා මොකටද කුඩම්මා කෙනෙක්. මම දැනටමත් ජීවිතේ හුඟක් වෙනස්කම්වලට මුහුණ දීලා තියෙනවා” කියලා. ඒ නිසා මම කුඩම්මට ළං වුණේ නැහැ.
මිහොකො: මගේ මහත්තයා යූකීට හුඟක් ආදරෙයි. ඒත් කවදාවත් යූකීට ආදරේ කරන්න කියලා මට බල කළේ නැහැ. ඒත් යූකී එක්ක හොඳ සම්බන්ධයක් ඇති කරගන්න මම තීරණය කළා. එයාගේ වැඩවලට බාධා නොවෙන විදිහට දේවල් කරන්න අපි වගබලා ගත්තා. අපි එකට විනෝද වුණා, නමස්කාර කටයුතුවල හවුල් වුණා, රෑ කෑමෙන් පස්සේ ටිකක් කතා කරකර හිටියා. අම්මගේ මරණය එයාට බලපෑවේ කොහොමද කියලා කතා කළාට පස්සේ මට යූකීව හොඳින් තේරුම්ගන්න පුළුවන් වුණා.
මට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අපි යූකී ගැන හුඟක් සැලකිලිමත් වුණා. පවුල තුළ එයාට තියෙන තැන නැති වෙන්නේ නැහැ කියන හැඟීම එයාට ඇති කළා. ඒ වගේම පුතා ඉපදුණාට පස්සේ එයාව නාවන්න, කවන්න, ඇඳුම් මාරු කරන්න යූකීට භාර දුන්නා. එයා කරපු වැඩ අනික් අය ඉස්සරහා අගය කළා. පුංචි ඉට්සුකී, අයියට හුඟක් ආදරෙයි. එයා “අම්මා,” “තාත්තා” කියන්න කලින් ඉගෙනගත්තේ “අයියා” කියලා කියන්න.
යූකී: අම්මයි තාත්තයි නැති පාළුව අනික් අයට තේරුම්ගන්න අමාරුයි. නමුත් මගේ සභාවේ අයගෙන් මට ලොකු සහනයක් ලැබුණා. මගේ කුඩම්මා ගැන මට තිබුණු වැරදි වැටහීම් දැන් නැහැ. එයා මට හොඳ උපදෙස් දෙනවා. දැන් අපි අතර තියෙන්නේ හොඳ බැඳීමක්!
[9වන පිටුවේ වාක්ය කණ්ඩය]
ඉවසීමෙන් කටයුතු කළොත් සුළු මාපිය පවුල්වලට සාර්ථක විය හැකියි