ළමා කාලයේ සිට පුහුණු කරන්න
ළමා කාලයේ සිට පුහුණු කරන්න
“දරුවෙක් සාමාන්‍යයෙන් අවුරුදු පහක් විතර වෙනකල් දෙමාපියන්ගේ සෙවණේ සුවසේ කාලය ගත කරනවා. දරුවාට දේවල් උගන්වන්න හොඳම කාලය එයයි. ඒත් පාසැල් යන්න පටන්ගත්තදා ඉඳන් දරුවන්ට වෙනමම පරිසරයකට හැඩගැහෙන්න සිද්ධ වෙනවා. අනික් අය කතා කරන සහ ක්‍රියා කරන විදිහ එයාට ලොකු බලපෑමක් වෙනවා.”—ඉතාලියේ වොල්ටර්.
දරුවන් ටිකෙන් ටික වැඩෙද්දී අලුත් දේවල් අත්හදා බලන්න ඔවුන්ට ලොකු ආශාවක් ඇති වෙනවා. පාසැලේ මිතුරන්, පවුලේ නෑදෑයන් හා වෙනත් අයව ඔහු අඳුරගන්නවා. ඒ නිසා දරුවෙකුගේ ළදරු කාලයේදී කීකරුකම හා හරි වැරැද්ද මොකක්ද කියා උගන්වන්න අවශ්‍යයි.
නමුත් දරුවෙක් දවසකින් දෙකකින් ඒ සෑම දෙයක්ම ඉගෙනගන්නේ නැහැ. ඒ නිසා බයිබලයේ මෙවැනි උපදෙසක් දෙනවා. “බොහෝ ඉවසිලිවන්තකමින් හා දක්ෂ ලෙස ඉගැන්වීමෙන් අවවාද, ඍජු උපදෙස් සහ දිරිගැන්වීම් ලබා දෙන්න.” (2 තිමෝති 4:2) දෙමාපියන්ට මෙවැනි උපදෙසක්ද දී තිබෙනවා. ‘දෙවිගේ මඟ පෙන්වීම් ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න. නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත් අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න.’—ද්විතීය කතාව 6:6, 7.
දරුවාට අවශ්‍ය පුහුණුව ලබා දීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. එය අභියෝගයක් විය හැකියි. ඒ නිසා දෙමාපියන්ට කළ හැකි දේ කුමක්ද කියා දැන් අපි බලමු.
සවන් දීමට පුහුණු කරන්න
බයිබලයේ පවසන්නේ කෙනෙකුට “කතා කිරීමට කාලයක්” තිබෙන බවයි. (දේශනාකාරයා 3:7) ඉන් පැහැදිලි වන්නේ අන් අයට සවන් දීමටත් අප කාලය යොදවන්න අවශ්‍ය බවයි. එසේනම් හොඳින් සවන් දීමට දරුවන්ව පුහුණු කරන්නේ කොහොමද? එය කරන්න පුළුවන් හොඳම ක්‍රමය ඔබ අන් අයට සවන් දීමෙන් ආදර්ශයක් තැබීමයි.
දරුවෙකුගේ අවධානය ගැනීම එතරම් ලෙහෙසි දෙයක් නොවෙයි. ඒ නිසා ඔබට ඉවසීම අවශ්‍යයි. එක් එක් දරුවා ප්‍රතිචාරය දක්වන ආකාරය වෙනස් බව මතක තබාගන්න. දරුවාගේ අවධානය ඔබ පවසන දේට යොමු කිරීම සඳහා ඔබට කුමක් කළ හැකිද? බ්‍රිතාන්‍යයේ සිටින ඩේවිඩ් පවසන්නේ මෙයයි. “මම දුවට මොනවා හරි දෙයක් කියලා දුන්නට පස්සේ ඒක එයාගේ වචනවලින් මට තේරුම් කරලා දෙන්න කියලා කියනවා. ඒ නිසා මං කියන දේවලට එයා දැන් හොඳින් ඇහුම්කන් දෙනවා.”
යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙවැනි උපදෙසක් දුන්නා. “ඔබ හොඳින් සවන් දෙනවාද කියා සිතා බලන්න.” (ලූක් 8:18) සවන් දීම ගැන වැඩිහිටියෙකු එතරම් සැලකිලිමත් වීම අවශ්‍ය නම් දරුවෙකුට එය කොතරම් අවශ්‍යද!
සමාව දීම ගැන කියා දෙන්න
“අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න” කියා බයිබලයේ පවසනවා. (කොලොස්සි ) එසේ අන් අයට සමාව දෙන්න දරුවන්වත් පුහුණු කිරීම අවශ්‍යයි. ඔබට එය කළ හැක්කේ කොහොමද? 3:13
මේ කාරණයේදීත් හොඳම දෙය වන්නේ ඔබේ ආදර්ශයයි. ඔබ අන් අය සමඟ කටයුතු කරද්දී ඔවුන්ට සමාව දෙනවා දරුවන් දකින විට ඔවුන් එය ඔබෙන් ඉගෙනගනීවී. රුසියාවේ ජීවත් වන මරීනාත් එසේ කළා. “අනික් අයට සමාව දීමෙන් අපි හොඳ ආදර්ශයක් වෙන්න උත්සාහ කරනවා. පොඩි පොඩි දේවලට තරහා ගන්න අපි ඉක්මන් වෙන්නෙ නැහැ. මගේ අතින් වරදක් වුණොත් මම දරුවන්ගෙන් වුණත් සමාව ගන්නවා. එහෙම කරද්දී දරුවනුත් ඒක ඉගෙනගන්නවා.”
අනික් අයට සමාව දෙන්න වගේම තමා අතින් වරදක් වුණොත් එය පිළිගන්න දරුවන් ඉගෙනගන්න අවශ්‍යයි. අනික් අය ගැන සැලකිලිමත් වෙන්නත් දරුවාව පුහුණු කළ යුතුයි. එවිට පසු කාලයේදී ඔවුන් අවබෝධයෙන් කටයුතු කරන වැඩිහිටියන් බවට පත් වෙයි.
ස්තුතිවන්ත වෙන්න උගන්වන්න
මේ කාලයේ ජීවත් වන මිනිස්සු සිතන්නේ තමන් ගැන පමණයි. (2 තිමෝති 3:1, 2) ඒ නිසා කුඩා අවදියේ පටන් ස්තුතිවන්ත වෙන්න ඔබේ දරුවාව පුහුණු කරන්න.—කොලොස්සි 3:15.
අන් අය ගැන සිතන කාරුණික අය වීමට දරුවාට උගන්වන්නේ කොහොමද? වෛද්‍යවරයෙක් වන කායිල් පෘවෙට් ඒ ගැන මෙසේ පවසනවා. “ස්තුතිවන්ත වෙන්න දරුවන්ව පුහුණු කරන්න පුළුවන් හොඳම ක්‍රමය දෙමාපියන් ගෙදරදී එක් එක් කෙනාට ස්තුතිවන්තකම පෙන්වීමයි. දෙමාපියන් අනික් අය කරන දේවල් නිතරම අගය කරනවා කියලා පෙන්වන්න ලොකු වෑයමක් දරන්න ඕනේ.”
බ්‍රිතාන්‍යයේ සිටින රිචඩ්ද එවැනි දෙයක් කරනවා. “කවුරු හරි අපිට කරුණාවන්තව සලකද්දී අපි ඔවුන්ට ස්තුති කරනවා. ඒක අපේ දරුවන්ට ආදර්ශයක්. උදාහරණයකට කෑමකට අපි කාගේ හරි ගෙදරකට ගියොත් ඔවුන්ට ස්තුති කරලා කාඩ් එකක් යවනවා. අපේ ළමයිනුත් ඒ කාඩ් එකේ අත්සන් කරනවා. නැත්නම් පොඩි පින්තූරයක් අඳිනවා.” දරුවන්ට එවැනි පුහුණුවක් ලබා දෙනවා නම් පසු කාලයේදී අනික් අයත් එක්ක ශක්තිමත් බැඳීම් ඇති කරගන්න එය ඔවුන්ට උපකාරයක් වෙයි.
අවශ්‍ය හික්මවීම් දෙන්න
තමන් කරන දේවලට අනුව ප්‍රතිඵල ලැබෙන බව දරුවන් කුඩා කාලයේ සිටම ඉගෙනගන්න අවශ්‍යයි. (ගලාති 6:7) නිවසේදී, පාසැලේදී හෝ වෙනත් ඕනෑම ස්ථානයකදී තමන් කැමති ආකාරයට ක්‍රියා කරන්න බැහැ කියා ඔවුන් තේරුම්ගත යුතුයි.
බයිබලයේ මෙවැනි දෙයක් පවසනවා. “දරුවෙකුට හික්මවීම අවශ්‍ය වූ විට එය දීමෙන් නොවළකින්න.” (හිතෝපදේශ 23:13) වරදකට නිසි දඬුවමක් තිබෙන බවත් ඒ වැරැද්ද ඔවුන් කළොත් ඒ දඬුවම නොවරදවාම ලැබෙන බවත් දරුවන් දැනගත යුතුයි. ආර්ජන්ටිනාවේ ජීවත් වන නොර්මා මෙවැනි දෙයක් පවසනවා. “යම් වරදකට දඬුවමක් දෙනවා කියලා කිව්වොත් ඒක ඒ විදිහටම කරන්න. එහෙම නොකළොත් තමන් කැමති විදිහට අම්මවයි තාත්තවයි නම්මගන්න පුළුවන් කියලා එයාලා හිතනවා.”
වරදක් කළොත් ඊට ලැබෙන දඬුවම කල්තියාම දරුවාට පවසන්න. දමා තිබෙන නීති හා දඬුවම ඔබ වෙනස් නොකරන බවත් දරුවාට කියා දෙන්න.
සමහරවිට දරුවන්ට දඬුවම් කරන විට දෙමාපියන් කෝපයෙන් ක්‍රියා කරන්න ඉඩ තිබෙනවා. නමුත් බයිබලයේ පවසන්නේ “දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා මෙන්ම වෙනත් නපුරු දේවල් ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න” කියායි. (එෆීස 4:31) එමනිසා දරුවෙක් යම් වරදක් කළ විට කෝපයෙන් ක්‍රියා කිරීම හෝ ශාරීරිකව හා මානසිකව වධ හිංසා කිරීම කොහෙත්ම සුදුසු නැහැ.
දරුවෙක් නිතරම හිතුවක්කාර ලෙස කටයුතු කරන විට දෙමාපියන්ට කේන්ති යන එක සාධාරණයි. නවසීලන්තයේ ජීවත් වන පීටර් මෙවැනි දෙයක් පැවසුවා. “ඒ වගේ වෙලාවට ඉවසන එක එච්චර ලෙහෙසි නැහැ. ඒත් දරුවන් දැනගන්න ඕනේ අපි එයාලට දඬුවම් කරන්නේ ඒගොල්ලන් කළ වැරැද්දට මිසක් අපිට කේන්ති ගිය නිසා නෙමෙයි කියලා.”
හික්මවීමෙන් දිගුකාලීන ප්‍රයෝජන තිබෙන බව තම දරුවන්ට වටහා දෙන්න පීටර් සහ ඔහුගේ බිරිඳ උත්සාහ කරනවා. “සමහර වෙලාවට දරුවන් හරි හිතුවක්කාරයි. ඒ වගේ අවස්ථාවලදී එයා හැසිරුණු විදිහ ගැන අපි ඕනෑවට වඩා චෝදනා කරන්නේ නැහැ. අපිට ඕනේ ඔයා ලොකු වෙලා හොඳ කෙනෙක් වෙනවා දකින්නයි කියලා අපි එයාට වටහලා දෙනවා. ඔයා එහෙම කෙනෙක් වෙන්න නම් දැන් ඉඳන්ම හොඳ දේවල් කරන්න ඕනේ කියලා අපි එයාට කියනවා.”
සාධාරණ බව පෙන්වන්න
“ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව” ඔබේ දරුවන් දකින්න අවශ්‍යයි. (ෆිලිප්පි 4:5) දරුවන්ට හික්මවීම් ලබා දීමේදී ඔවුන් කරන වැරැද්දට සුදුසු දඬුවම පමණක් දෙන්න. දෙවි ඒ සඳහා අපට කදිම ආදර්ශයක්. එක් අවස්ථාවකදී දෙවි තම සෙනඟට මෙසේ පැවසුවා. “සුදුසු ප්‍රමාණයට මම ඔබට අවශ්‍ය හික්මවීම දෙන්නෙමි.”—යෙරෙමියා 46:28.
සාධාරණකම පෙන්වන්න පුළුවන් තවත් ආකාරයක් වන්නේ දරුවෙකුගේ ගෞරවය නැති නොවන ආකාරයට ඔහුව හික්මවීමයි. ඉතාලියේ සිටින පියෙකු වන සාන්ටෙ මෙවැනි දෙයක් පවසනවා. “අවශ්‍ය වෙලාවට මම දරුවන්ට දඬුවම් කරනවා. නමුත් අනික් අය ඉස්සරහා එයාලට ලැජ්ජා කරන්නෙවත් දඬුවම් කරන්නෙවත් නැහැ. ගෙදරදී වුණත් එයාලගේ අඩුපාඩු ගැන විහිළු කරන්නේ නැහැ.”
කලින් සඳහන් කළ රිචඩ්, දෙමාපියෙක් ලෙස සාධාරණ වීමේ ඇති වැදගත්කම මෙසේ පැහැදිලි කරනවා. “දරුවෙක් වැරැද්දක් කරලා ඒකට දඬුවමක් දුන්නට පස්සේ ඒක එතනින් අමතක කරන්න. ඊළඟ පාර ඔහු වරදක් කරන විට ඔහු කළ වැරැද්දට දඬුවම් කරනවා මිසක් කලින් කරපු වැරදි මතක් කර කර දඬුවම් කරන්න එපා.”
ළමා වියේදී දරුවෙකුව පුහුණු කරන එක විශාල අභියෝගයක්. ඒ වගේම ඔබට යම් කැප කිරීම් කරන්නත් වෙයි. නමුත් ඔබ දරන වෑයම කිසිවිටෙක අපතේ යන්නේ නැහැ. රුසියාවේ සිටින යෙලේනාගේ අද්දැකීම එයයි. ඇය මෙසේ පවසනවා. “මගේ පුතා එක්ක වැඩි කාලයක් ගත කරන්න ඕනේ නිසා මම අර්ධකාලීන රැකියාවක් කරන්න පටන්ගත්තා. ඒකෙන් ලැබෙන පඩිය හරි අඩුයි. හැබැයි මම කරපු පරිත්‍යාග නිසා පුතා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙලා තියෙනවා. පුතාගේ මූණේ හිනාවක් දකින්න ලැබෙන එක මට හැම දේකටම වඩා වටිනවා.”
[11වන පිටුවේ පින්තූරය]
අන් අය ගැනත් සිතන්න ඔබේ දරුවාට උගන්වන්න
[12වන පිටුවේ පින්තූරය]
දරුවාගේ ගෞරවය රැකෙන ආකාරයෙන් හික්මවන්න