Skip to content

පටුනට යන්න

“සුපිරිතම ඉගෙනගැනීමේ යන්ත්‍රය”

“සුපිරිතම ඉගෙනගැනීමේ යන්ත්‍රය”

“සුපිරිතම ඉගෙනගැනීමේ යන්ත්‍රය”

අලුත උපන් දරුවෙකු දෙස බලන ඕනෑම කෙනෙකුට සිතෙන්නේ ‘මේ චූටි පැටියා මොනවද දන්නේ’ කියායි. ඒත් බිලිඳෙකු මෙලොව එළිය දුටු මොහොතේ සිටම දේවල් ඉගෙනගැනීමේ හැකියාව ඔහුගේ මොළය සතුයි. සමහර අය පවසන්නේ බිලිඳෙකුගේ මොළය “විශ්වයේ ඇති සුපිරිතම ඉගෙනගැනීමේ යන්ත්‍රය” කියායි. *

එක් පොතක මෙවැනි දෙයක් සඳහන් වුණා. “බිලිඳෙකු වැඩියෙන්ම ඇසීමට, දැකීමට සහ කිරීමට කැමති මොනවාද කියා දැනගැනීමට විවිධ පර්යේෂණ පවත්වා තිබෙනවා. ඒවායින් හෙළි වුණේ තව කෙනෙකුගේ මුහුණ දැකීමට, කටහඬ ඇසීමට සහ ස්පර්ශ කරනවාට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බවයි.” බිලිඳාගේ එම අවශ්‍යතා වැඩියෙන්ම පිරිමසන්නේ දෙමාපියන් නිසා ඔවුන් දරුවාගේ වර්ධනයට දායක වන විශිෂ්ට කාර්යයක් ඉටු කරනවා.—එම පොත Babyhood.

බිලිඳා කතා කරයි

ඇසීමෙන් පමණක් භාෂාවක් ඉගෙනගැනීමට අලුත උපන් දරුවෙකුට තිබෙන හැකියාව පුදුමාකාරයි. ඒ ගැන දෙමාපියන් පමණක් නොව ළමා රෝග විශේෂඥයන් පවා පුදුම වෙනවා. බිලිඳා දින කිහිපයක් ඇතුළතදී තම මවගේ කටහඬ හඳුනාගන්නා අතර අන් අයගේ හඬට වඩා ඊට ඇලුම් කරනවා. සති කිහිපයක් ඇතුළතදී තම මව් භාෂාවේ හා වෙනත් භාෂාවක තිබෙන වෙනස හඳුනාගන්නා අතර මාස කිහිපයකින් කතා කිරීමේ හා විවිධ ශබ්දවල වෙනස හඳුනාගන්නවා.

බයිබල් ලේඛකයෙක් වූ පාවුල් මෙසේ පැවසුවා. ‘මා කුඩා දරුවෙකුව සිටි කාලයේදී මා කතාබහ කළේ කුඩා දරුවෙකු ලෙසයි.’ (1 කොරින්ති 13:11) ඇත්තටම බිලිඳෙකු කතා කරන්නේ කොහොමද? ඔවුන් කතා කරන්නේ යම් ශබ්දයක් නැඟීමෙනුයි. කුඩා දරුවන් ගැන ලියවුණු එක් පොතක මෙවැනි දෙයක් සඳහන් වුණා. “කතා කිරීම ඉතා සංකීර්ණ දෙයක්. කතා කිරීම සඳහා තොල්, දිව, තල්ල, ස්වරාලය සහ ඊට අදාළ පේශි සියල්ලක්ම සම්බන්ධ වී එකට ක්‍රියා කිරීම අවශ්‍යයි. ළදරුවා කරන ශබ්ද නැඟීම හරි හුරතල් ලෙස පෙනුණත් එය කතා කිරීම සඳහා ඔහුට හොඳ පුහුණුවක්.”—What’s Going On in There?—How the Brain and Mind Develop in the First Five Years of Life.

ළදරුවන් විවිධ ශබ්ද නඟමින් යමක් පවසන විට දෙමාපියන්ද හුරතල් ලෙස ඔවුන් සමඟ කතා කරනවා. එය හරියට භාෂා දෙකකින් කෙරෙන සංවාදයක් වගෙයි. දෙමාපියන් හා ළදරුවා අතර සිදු වන එම අදහස් හුවමාරුව නිසා සංවාදයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියා ඔහු ටිකෙන් ටික ඉගෙනගන්නවා. එය ඔහුගේ මුළු ජීවිත කාලයටම ප්‍රයෝජනවත්.

වගකීම් වෙනස් වෙයි

සිඟිති දරු පැටියෙකු නිවසට ආ දවසේ සිට නිවසේ වැදගත්ම තැනැත්තා බවට පත් වන්නේ ඔහුයි. උදාහරණයකට දරුවාගේ කුඩා හැඬීමකදී පවා තම සියලු වැඩකටයුතු නතර කර අම්මා ඔහු වෙතට පැමිණෙයි. පවුලේ සියලුදෙනාගේ අවධානය යොමු වන්නේද මේ අලුත් අමුත්තා වෙතයි. ඇත්තෙන්ම මේ අමුත්තාට විශේෂ සැලකිල්ලක් අවශ්‍යයි. ඒ නිසා මෙම කාලය තුළ දෙමාපියන් දරුවාගේ සේවකයන් බවට පත් වෙනවා.—1 තෙසලෝනික 2:7.

දරුවාට වයස අවුරුදු දෙකක් පමණ වන තුරු නිවසේ සිදු වන්නේ එවැනි දෙයක් නිසා නිවසේ සිටින වැදගත්ම පුද්ගලයා ඔහු කියා දරුවා සිතනවා. එවැනි සිතුවිල්ලක් පුංචි මනසේ ඇති වීම සාධාරණයි. පවුල් උපදේශකයෙක් වන ජෝන් රෝස්මන්ඩ් මෙසේ පැවසුවා. “පවුලේ වැදගත්ම පුද්ගලයා තමා කියා දරුවා සිතන්න පුරුදු වන්නේ අවුරුදු දෙකක් වැනි කාලයකිනුයි. නමුත් ඒ සිතුවිල්ල ඔහුගේ මනසින් ඉවත් කිරීම සඳහා දෙමාපියන්ට වසර 16ක් පමණ ගත වෙනවා. පුදුම දේ වන්නේ දෙමාපියන් විසින්ම ඇති කරන හැඟීම ඔවුන්ටම ඉවත් කිරීමට සිදු වීමයි.”

දරුවාට අවුරුදු දෙකක් වන විට දෙමාපියන්ගේ කාර්යය වෙනස් වෙනවා. දරුවාගේ සේවකයන් ලෙස වැඩ කළ ඔවුන් දැන් දරුවාගේ උපදේශකයන් බවට පත් වෙනවා. දැන් ඔහු දෙමාපියන්ගේ මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කිරීමට ඉගෙනගන්න අවශ්‍යයි. වෙනත් වචනවලින් පවසනවා නම් මෙතෙක් කල් රජෙකු ලෙස සිටි දරුවාට ඔහුගේ රජකම නැති වෙනවා. පුංචි සිත එය කෙසේ භාරගනියිද?

දරුවාගේ හැසිරීම වෙනස් වෙයි

මෙතෙක් කල් දරුවාගේ කැමැත්තට අනුව දේවල් සිදු වුණත් දැන් එසේ නොවන නිසා දරුවා තුළ මුරණ්ඩු ස්වභාවයක් දැකිය හැකියි. ඔහුගේ කටින් නිතරම පිට වන්නේ “එපා!” “මට බැහැ!” වගේ වචනයි. විටෙක ඔහුට තමා සමඟත් තවත් විටෙක තම දෙමාපියන් සමඟත් කේන්ති යනවා. බොහෝවිට දෙමාපියන්ට එය තේරුම්ගැනීම අපහසුයි. ඒ වගේම තමන් කළ යුතු දේ සම්බන්ධයෙන්ද ඔවුන්ට ප්‍රශ්නයක් මතු වෙනවා.

මේ වන තෙක් දරුවාගේ සියලුම අවශ්‍යතා ඉටු කළේ දෙමාපියනුයි. නමුත් දැන් සමහර දේවල් ඔහුට තනිවම කිරීමට සිදු වෙනවා. ඒ වගේම දෙමාපියන්ට යටත් විය යුතු බවත් ඔහුට වැටහෙනවා. එතැන් සිට “සියලු කාරණාවලදී ඔබේ දෙමාපියන්ට කීකරු වන්න” යන බයිබලයේ සඳහන් ආඥාවට අනුව කටයුතු කිරීමට ඔහුට සිදු වෙනවා.—කොලොස්සි 3:20.

ඒ කාලයේදී දරුවන් සමඟ කටයුතු කිරීම දෙමාපියන්ට අමාරු විය හැකියි. නමුත් ඒ නිසාම දරුවා කියන කියන දේ කිරීම සුදුසු නැහැ. දරුවාගේ වයසට ගැළපෙන ලෙස යම් දේවල් ප්‍රේමණීයව හා ඍජුව පැවසීමට ඔවුන්ට සිදු වෙනවා.

හොඳ නරක ඉගෙනගනියි

සතුන් හා යන්ත්‍රවලට වඩා වෙනස්ව තමන් ගැන සිතා වැඩ කිරීමටත් ඉන් ඇති වන ප්‍රතිඵල ගැන සිතීමටත් හැකියාව තිබෙන්නේ මිනිසාට පමණයි. ඒ නිසා දරුවෙකුට වයස අවුරුදු තුන පමණ වන විට ලැජ්ජාව හා හරි වැරැද්ද පිළිබඳ යම් පමණක අවබෝධයක් ඇති වීමට පටන්ගන්නවා. හොඳ නරක අවබෝධ කරගෙන වැඩ කරන වැඩිහිටියෙකු බවට පත් වීමේ පියවර ඇරඹෙන්නේ මේ කාලයේ සිටයි.

ඒ වයසේදී තවත් දෙයක් සිදු වෙනවා. දරුවා ටිකෙන් ටික දේවල් බෙදාගැනීමටත් අන් අය සමඟ පෑහී සෙල්ලම් කිරීමටත් ඉගෙනගන්නවා. ඒ වගේම දෙමාපියන් සතුටු වන්නේ කුමන දේවල් කිරීමෙන්ද කියා අවබෝධ කරගන්නා ඔහු ඒ දේවල් කිරීමට උත්සාහ කරනවා. එය දෙමාපියන්ට විශාල සතුටක් වන අතර දරුවාට දේවල් ඉගැන්වීමටද පහසුවක් වෙනවා.

වයස අවුරුදු තුන පමණ වන විට දරුවා හොඳ නරක හා හරි වැරැද්ද පිළිබඳව ඉගෙනගැනීමට පටන්ගන්නා නිසා ඒ දේවල් ඔහුට ඉගැන්වීමට හොඳම අවස්ථාව මෙයයි. එසේ කිරීමෙන් ඔහු අනාගතයේදී යහපත් පුරවැසියෙකු වෙනවාට කිසිම සැකයක් නැහැ.

[පාදසටහන]

^ 2 ඡේ. මෙහි දරුවා කියා පවසන විට එය ගැහැනු පිරිමි දෙපිරිසටම අදාළයි.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දින කිහිපයක් ඇතුළතදී ළදරුවා තම මවගේ කටහඬ හඳුනාගන්නා අතර අන් අයගේ හඬට වඩා ඊට ඇලුම් කරනවා

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වයස අවුරුදු තුන පමණ වන විට දරුවා හොඳ නරක හා හරි වැරැද්ද පිළිබඳව ඉගෙනගැනීමට පටන්ගන්නවා

[6වන පිටුවේ කොටුව]

දරුවා මුරණ්ඩු වන්නේ ඇයි?

ජෝන් රෝස්මන්ඩ් නමැති පවුල් උපදේශකවරයා මෙසේ පැවසුවා. “සමහර අවස්ථාවලදී දරුවන්ට යම් දෙයක් නොලැබුණු විට ඔවුන් මුරණ්ඩු ලෙස හැසිරෙනවා. එවිට දෙමාපියන් සිතන්නේ එය තමාගේ වරදක් නිසා සිදු වූවක් බවයි. ඒ නිසා එවැනි අවස්ථාවකදී දෙමාපියන් ඔවුන්ගේ වරද හදාගත යුතුයි කියා සිතමින් දරුවා ඉල්ලන දේ ලබා දෙනවා. කලින් නොදුන් දේ පසුව වැඩි වැඩියෙන් ලබා දෙනවා. එසේ කිරීමෙන් දරුවා ඉගෙනගන්නේ තමා මුරණ්ඩු ලෙස කටයුතු කිරීමෙන් ඕනෑම දෙයක් ලබාගත හැකි බවයි. පසුව ඔහු දිගටම ඒ ක්‍රමය භාවිත කිරීමට උත්සාහ කරනවා.”