ගත සිත පුබුදන සංගීතය
ගත සිත පුබුදන සංගීතය
සංගීතය! එම වචනය පවා අපේ සිතේ ඇති කරන්නේ මහත් ප්‍රබෝධයක්. ඒත් මනස සැහැල්ලු කරන මියුරු වාදනයක්වත්, හැඟීම්බර ප්‍රේම ගීතයක්වත්, නර්තනයක යෙදෙන්න පෙලඹෙන වේග රිද්ම ගීතයක්වත් අසන්න නොතිබුණා නම් ජීවිතය මොන තරම් නීරස එකක් වෙයිද!
සංගීතය අපේ ජීවිතයට නැතුවම බැරි දෙයක්. මනස සන්සුන් කරන්න වගේම ජීවිතයට ප්‍රබෝධයක් ගෙන දීමටද එයට හැකියි. අනික් අතට සංගීතය අපේ දෙනෙතට කඳුළු ගෙනෙන අවස්ථාද තිබෙනවා. ඉන් පෙනෙන්නේ සංගීතය අපේ හදවතට ඉතාමත් සමීප බවයි. ඇත්තටම මිනිසුන්ගේ ජීවිතවලට මෙතරම් බලපෑමක් කිරීමට සංගීතයට හැකි වී තිබෙන්නේ ඇයි? එය දෙවිගෙන් ලද දීමනාවක් නිසයි. (යාකොබ් 1:17) දෙවි එම දීමනාව ලබා දී තිබෙන්නේ බාල මහලු අපි සියලුදෙනාටමයි.
සංගීතයට ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. පුරාවිද්‍යාවෙන්ද ඒ බව සනාථ කරනවා. ඔවුන් පවසන්නේ අතීතයේදී අප්‍රිකාවේ ගෝත්‍රිකයන් සීනු, බෙර හා නළා වාදනය කර තිබෙන බවයි. ඊට අමතරව ඉපැරණි චීන ජාතිකයන් බටනළා වැනි සංගීත භාණ්ඩද ඊජිප්තුවරුන්, ඉන්දියානුවන්, ඊශ්‍රායෙල්වරුන් හා මෙසපොතේමියානුවන් වීණාද වාදනය කර තිබෙනවා. සංගීතයේ ඉතිහාසය පිළිබඳව බයිබලයෙන්ද යම් දේවල් දැනගත හැකියි. එහි පවසන්නේ යූබල් නමැති තැනැත්තා “වීණාවද නළාවද වාදනය කරන සියල්ලන්ගේ ආදිපියා” වූ බවයි. (උත්පත්ති 4:21) ඊට සියවස් ගණනාවකට පසුව ඊශ්‍රායෙලයේ සිටි රජෙකු වූ සලමොන්ද හොඳම වර්ගයේ දැව ගෙන්වාගෙන වීණා හා තවත් තත් භාණ්ඩ නිෂ්පාදන කර තිබෙන බවත් බයිබලයේ සඳහන් වෙනවා.—1 රාජාවලිය 10:11, 12.
අතීතයේදී යම් කෙනෙකුට සංගීතය රස විඳින්න හැකියාව තිබුණේ සංගීත භාණ්ඩයක් වාදනය කරන විට හෝ ගීයක් ගායනය කරන විට ඒ අසල සිටියොත් පමණයි. නමුත් අද වන විට තාක්ෂණය දියුණු වී තිබෙන නිසා සංගීතය පටිගත කර ඕනෑම වේලාවක ඉන් රසවින්දනයක් ලැබිය හැකියි.
සංගීතය අද ලෙහෙසියෙන්ම ලබාගත හැකි නිසා ඒ පිටුපස ඇති ක්‍රියාවලිය ගැන අප එතරම් සිතන්නේ නැහැ. නමුත් ගීතයක් පටිගත කර බෙදාහැරීම සඳහා ලොකු වෙහෙසක් දැරීමට සිදු වෙනවා. ඊළඟ ලිපියෙන් අපි ඒ ගැන දැනගනිමු.
[3වන පිටුවේ කොටුව/පින්තූරය]
අන්තර්ජාලය හරහා සංගීතය
පිටපත් කළ හැකියි: අන්තර්ජාලය හරහා යම් ගීත පිටපත් කරගත හැකියි. මෙසේ අන්තර්ජාලයෙන් පිටපත් කරගැනීම හඳුන්වන්නේ ඩවුන්ලෝඩ් කිරීම ලෙසයි. බොහෝවිට ගීත පිටපත් කරගැනීමේදී ඒ සඳහා ගෙවීමක් කිරීමට සිදු වෙනවා.
පිටපත් කළ නොහැකියි: ඇතැම් ගීත අන්තර්ජාලය හරහා පිටපත් කරගත නොහැකියි. නමුත් ඒවා ඇසීමට හා නැරඹීමට හැකියි. එය හඳුන්වන්නේ ස්ට්‍රීමිං ලෙසයි. බොහෝවිට මේ ආකාරයට ගීත ඇසීමට හෝ නැරඹීමට ගෙවීමක් කිරීම අවශ්‍ය නැහැ.
[3වන පිටුවේ වගුව/පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
තාක්ෂණයේ දියුණුව
1880 ගණන්වලදී
ග්‍රැමෆෝනය
1890 ගණන්වලදී
කම්බි ක්‍රමය
1940 ගණන්වලදී
ශ්‍රව්‍ය පටි
1960 ගණන්වලදී
කැසට් පටි
1980 ගණන්වල
සංයුක්ත තැටි (CD)
1990 ගණන්වල
ඩිජිටල් තාක්ෂණය (MP3, AAC, WAV)