දැඩි සිතක් මෘදු වෙයි
දැඩි සිතක් මෘදු වෙයි
පැවසුවේ හෝසේ ඇන්ටෝනියෝ නෙබ්‍රෙරා
මම දරුණු පුද්ගලයෙක් වුණේ කොහොමද කියලා දන්නවාද? අපේ තාත්තා ස්පාඤ්ඤ සිවිල් ආරක්ෂක අංශයේ නිලධාරියෙක්. මෙම රෙජිමේන්තුවේ අයට දැඩි විනය නීති තිබුණා. ඒ වගේම අපේ සීයත් දැඩි නීති තිබුණ කෙනෙක්. ඒ නිසා අපේ තාත්තා නිතරම වගේ සීයාගේ බෙල්ට් එකෙන් ගුටි කාලා තියෙනවා. ඒ විදිහටම අපේ තාත්තත් නිතරම වගේ ලොකු බෙල්ට් එකකින් මට ගහනවා. ඒ විතරක් නෙවෙයි මෝඩයා කියලත් බණිනවා. ඒත් තාත්තා කවදාවත් මගේ නංගිට නම් එහෙම කළේ නැහැ. නංගිට හුඟක් ආදරෙන් සැලකුවා. අම්මා තාත්තට හුඟක් භය නිසා අම්මටත් කරන්න දෙයක් තිබුණේ නැහැ.
ඉස්කෝලෙට ගියාම මම මගේ සැබෑ තත්වය හංගගෙන ඉන්නවා. මම පෙන්වන්නේ මම සතුටින් ඉන්න කෙනෙක් කියලයි. ඒත් ඒක සීමා වෙන්නේ පාසැල් වෙලාවට විතරයි. ගෙදර ඉන්න ආස නැති නිසා ඉස්කෝලේ ඇරිලා ආපහු මම ගෙදර එන්නේ හරිම හෙමින්. එහෙම එන්නෙත් ‘මට ආපහු ගෙදර ගිහින් ගුටි කන්න බැණුම් අහන්න වෙනවානේ’ කියන සිතුවිල්ලත් එක්කයි.
ආදරය කරුණාව නැති මේ පරිසරයෙන් මිදෙන්න ඕනේ නිසා වයස 13 වෙනකොට මම ජේසු නිකායේ නේවාසිකාගාරයක නතර වුණා. ඒ කාලයේ මම හිතුවා පූජකයෙක් වෙනවා කියලා. නේවාසිකාගාරයේ ගත කළ ජීවිතයත් පහසු එකක් නෙවෙයි. විවේකය හරිම අඩුයි. හැමදාම පාන්දර පහට නැඟිටලා සීතල වතුරෙන් නාන්න ඕනේ. පාඩම් කරන්න, යාච්ඤා කරන්න, පල්ලි යන්න වෙලාවක් නියම කරලා තිබුණා.
අපිට “සාන්තුවරුන්ගේ” පොත් කියවීම අනිවාර්යය කරලා තිබුණත් බයිබලය කියවන්න නම් ලැබුණේ නැහැ. අපිට බලන්න තිබුණ බයිබලයත් වීදුරු පෙට්ටියක දාලා වහලයි තිබුණේ. ඒක කියවන්න ඕනේ නම් අවසර ගන්න වුණා.
අපේ කාලසටහනට තවත් අංගයක් එකතු වුණා. ඒක තමයි අපේම ආශාව පාලනය කරගැනීම සඳහා නිරාහාරව සිටීම වැනි දැඩි සිරිත් විරිත් පිළිපැදීම. ඒක මඟහරින්න ඕනේ වුණ නිසා මම මොකක් හරි ලෙඩක් හදාගන්න කියලා කෑම වෙලාවේදී ලොකු ලොකු කෑම ගුලි ගිලිනවා. ඒත් ඒක හරි ගියේ නැහැ. මේ විදිහට මට නේවාසිකාගාරයේ ඉන්න බැරි වුණ නිසා මම හොරෙන් පැනලා ගෙදර ගියා. එතකොට මගේ වයස 16යි.
අවදානම් සහිත ජීවිතයක්
ගෙදර ගියාට පස්සේ මම රෙස්ලිං සහ බොක්සිං ඉගෙනගත්තා. මේ ක්‍රීඩාවන් කළ නිසා මටත් ලොකු හයියක් ආවා. ඒ නිසා මම මගේ චණ්ඩිකම් පෙන්නලා මට අවශ්‍ය දේවල් කරගත්තා. මම වැඩ කළෙත් මගේ තාත්තා වගේමයි.
මට වයස අවුරුදු 19 වෙනකොට මම කිසිදාක අද්දැකලා නැති ආදරයක් මට ලැබෙන්න පටන්ගත්තා. ඒ එන්කානිටාගෙනුයි. අපි දෙන්නා මාස නවයකට පස්සේ විවාහ වුණා. මම එන්කානිටාට මගේ දුක සහ වේදනාව දැනෙන්න ඉඩ තිබ්බේ නැහැ. ඒ නිසා එයා මාව දැක්කේ ගුණගරුක, කාරුණික සහ සතුටින් ඉන්න කෙනෙක් විදිහටයි. ටික කාලෙකට පස්සේ අපිට පුතෙක් ලැබුණා. ඒත් ඒ සතුට මට වැඩි කාලයක් විදින්න ලැබුණේ නැහැ. මට හමුදාවට බැඳෙන්න වුණා.
හමුදාවේ නීති රීතිවලට යටත් වෙන්න අකමැති වුණ නිසාත් අවදානම් සහිත දේවල් කරන්න මට ආශාවක් තිබුණ නිසාත් මම හමුදාවේ තියෙන විශේෂ රෙජිමේන්තුවකට බැඳුණා. අපේ රෙජිමේන්තුවේ අයව පාවිච්චි කළේ සාමාන්‍ය සෙබළුන්ට කරන්න බැරි මෙහෙයුම්වලටයි. මට හිතුණා මගේ ප්‍රශ්න අමතක කරන්නත් පවුල් වගකීම් පැහැරහරින්නත් ඒක හොඳ අවස්ථාවක් වෙයි කියලා. ඒත් ඒකෙන් වුණේ මගේ සිත තවත් දැඩි වීමයි.
අපේ බලකායේ උසස් නිලධාරියෙක්, අලුතින් බැඳුණ අයට සැලකුවේ හරිම කෲර විදිහටයි. මට ඒ වගේ අසාධාරණකම් පෙන්නන්න බැහැ. දවසක් මම කළ විහිළුවකට එයාට හොඳටම කේන්ති ගියා. ඒ වෙලාවේ එයා මට ගහන්න අත උස්සනකොටම මම එයාව බිම දාලා අල්ලාගත්තා. එයා වෙඩි තියයි කියලා හිතුණ නිසා මම එයාව අත්හැරියේ නැහැ.
මේ සිද්ධියෙන් පස්සේ මට මාස තුනක් පුරා දඬුවම් විඳින්න සිදු වුණා. ඒ කාලය පුරාම මට එකම ඇඳුම ඇඳගෙන ඉන්න වුණා. ඒ වගේම අපි 30දෙනෙකුට ඉන්න වුණෙත් පුංචි කාමරයකයි. අපේ කණ්ඩායම භාර සාජන්ට් බලාගෙන හිටියේ කොයි වෙලාවේද අපිට ගහන්නේ කියලයි. දවසක් මම එයාට කිව්වා ‘මට අත තිබ්බොත් මරණවා’ කියලා. ඊටපස්සේ මට කස පහරවල් 30ක් ගහනවා වෙනුවට ගැහුවේ තුනයි. ඒ වෙනකොට මමත් අනික් අය වගේම දරුණු පුද්ගලයෙක් වෙලයි හිටියේ.
රහස් මෙහෙයුම්
කලින් සඳහන් කළ විශේෂ රෙජිමේන්තුවේ ඉන්න කාලයේදීම කොමාන්ඩෝ සෙබළුන් හා සමාන පුහුණුවක් මට ලැබුණා. විවිධ අවි ආයුධ භාවිත කිරීම පිළිබඳවත් රහස් ඔත්තු කටයුතු සඳහාත් අපිව පුහුණු කළා.
පුහුණුවෙන් වැඩි කල් යන්න කලින් මාව විශේෂ රහස් මෙහෙයුම් අංශයකට මාරු කළා. වර්ෂ 1960 ගණන්වලදී මම හුඟක් රහස් මෙහෙයුම්වලට සම්බන්ධ වෙලා තියෙනවා. අපිට කරන්න තිබුණේ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරම්කරුවන්ව ඇල්ලීමයි. අපිට අණ කරලා තිබුණේ මේ වගේ අයව අල්ලාගත්තාම කෙළින්ම මරලා දාන්න කියලයි. ඒත් රහස් තොරතුරු ගන්න පුළුවන් අයව අපි තියාගත්තා. ඒ වගේ මෙහෙයුම්වලට සම්බන්ධ වීම ගැන අද මම හුඟක් කනගාටු වෙනවා.
ඒ කාලයේදී ස්පාඤ්ඤය පාලනය කළේ ජෙනරාල් ෆ්‍රෑන්කෝ. ඔහු යටතේ වැඩ කළ හමුදා නිලධාරීන් අතර පවා ඔහුට විරුද්ධව කටයුතු කළ අය සිටියා. අපිව පත් කරලා තිබුණේ ඒ වගේ අය ගැන ඔත්තු සොයන්නයි. ඒ වගේම ජෙනරාල් ෆ්‍රෑන්කෝගේ පාලනයට විරුද්ධව ප්‍රංශයේ සිටි සතුරන් ගැනත් අපට ඔත්තු සොයන්න වුණා. අපේ වගකීම වුණේ එවැනි අයව අල්ලාගෙන නැවත ස්පාඤ්ඤයට අරන් එන්නයි. සමහර අවස්ථාවලදී ඒ වගේ අයව මරලා දැම්මා.
මම අන්තිමට සහභාගි වුණේ අප්‍රිකාවේ කුඩා රටක් අල්ලාගන්න කළ මෙහෙයුමටයි. ඒ වැඩකටයුතු සෑම එකක්ම සංවිධානය කරන්න වුණේ මටයි. අපේ අරමුණ වුණේ අගනුවර තිබුණ හමුදා බැරැක්කත් ජනාධිපති මන්දිරයත් අල්ලාගැනීමයි. සංවිධානය කරලා තිබුණ විදිහටම අපි රෑ මෙම මෙහෙයුම දියත් කළා. පැය හතරක් යනකොට අපි අපේ අරමුණ ඉටු කරගෙන ඉවරයි. ඒ මෙහෙයුමෙන් සතුරන් විශාල ප්‍රමාණයක් මැරුණා. ඒ වගේම අපේ කණ්ඩායමේ තුන්දෙනෙකුත් මිය ගියා.
මේ මෙහෙයුමෙන් පස්සේ මගේ හිත මට වධ දෙන්න පටන්ගත්තා. මෙහෙයුම්වලදී සතුරන්ව කුරිරු විදිහට ඝාතනය කරන විදිහත් ඒ වෙලාවේ ඒ අයගේ මුහුණුවල තිබුණ මරණ භයත් මට නිතර නිතර හීනෙන් පේන්න පටන්ගත්තා. ඒ නිසා මට හරියට රෑට නින්ද ගියේ නැහැ.
ඒ මෙහෙයුමෙන් පස්සේ මම හමුදාවෙන් ඉවත් වුණා. නමුත් මාස තුනක් ගියාට පස්සේ ආපහු ඒ වගේ තවත් මෙහෙයුමකට මාව හොයාගෙන ආවා. ඒ නිසා මම ස්විට්සර්ලන්තයට පැනලා ගියා. පස්සේ එන්කානිටාත් ස්විට්සර්ලන්තයට ආවා. රහස් ඔත්තු සේවයේ මම කළ කිසි දෙයක් ගැන එයා දැනගෙන හිටියේ නැහැ.
ජීවිතයේ ලොකු වෙනසක්
මම හමුදාවේ සිටි අවුරුදු තුන ඇතුළත එන්කානිටා හිටියේ ස්පාඤ්ඤයේයි. ඒ කාලයේදී එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන් අරන් තිබුණා. එන්කානිටා කිව්වා එයා සැබෑ දෙවි ගැන දැනගත්තා කියලා. එයාගේ උනන්දුව දැක්කම මටත් ආස හිතුණා බයිබලය පාඩම් කරන්න. ඒ නිසා අපි ස්විට්සර්ලන්තයේ ඉන්න සාක්ෂිකරුවන්ව මුණගැහිලා බයිබල් පාඩමක් පටන්ගත්තා.
දෙවිගේ පොරොන්දු ගැන දැනගත්තම මට ලොකු සතුටක් ඇති වුණා. මට අවශ්‍ය වුණේ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව මගේ ජීවිතය හැඩගස්වාගන්නයි. ඒත් මගේ පෞද්ගලිකත්වය නිසා එහෙම කරන එක ලෙහෙසි වුණේ නැහැ. නමුත් මම උත්සාහය අත්හැරියෙත් නැහැ. යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව මම මාවම පාලනය කරගන්න ඉගෙනගත්තා. මාස කිහිපයක් බයිබලය පාඩම් කළාට පස්සේ අනික් අය වගේ ගෙයින් ගෙට ගිහින් යෙහෝවා දෙවි ගැන කියලා දෙන්න මටත් ආසා හිතුණා.
ටික දවසකට පස්සේ අපි දෙන්නම බව්තීස්ම වුණා. මට වයස අවුරුදු 29ක් වෙනකොට සභාවේ වගකීම් දරන්න මට අවස්ථාව ලැබුණා.
වර්ෂ 1975දී නැවතත් අපි ස්පාඤ්ඤයට ගියා. ඒත් ඒ වෙනකොටත් හමුදාවට මාව අමතක වෙලා තිබුණේ නැහැ. තවත් විශේෂ මෙහෙයුමකට මාව ඒ අය හොය හොයයි හිටියේ. ඒ නිසා ආපහු මම ස්විට්සර්ලන්තයටම ගියා. අවසානයේදී අපිට නැවත ස්පාඤ්ඤයට යන්න ලැබුණේ 1996දීයි.
දැන් මගේ පුතයි, දුවයි විවාහ වෙලා. අපේ පුතාට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. ඒ හැමෝමත් සාක්ෂිකරුවන්. පසුගිය කාලය ඇතුළත 16දෙනෙකුට යෙහෝවා දෙවි ගැන කියලා දෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. කවදාවත් මම අද්දැකලා නැති තෘප්තියක් මම දැන් මේ සේවයෙන් අද්දකිනවා.
මගේ අමිහිරි මතකය අමතක කරන්න උදව් කරන්න කියලා මම දිනපතාම දෙවිට යාච්ඤා කළා. හරි දේ කරන්න මට උපකාර වුණේ දෙවි පවසන මේ දෙයයි. “ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට භාර දෙන්න. ඔහු මත රඳා සිටින්න. එවිට ඔහු ඔබ වෙනුවෙන් නිසි පියවර ගනියි.” (ගීතාවලිය 37:5) යෙහෝවා දෙවි ඒ පොරොන්දුව ඉටු කරමින් මගේ ජීවිතය වෙනස් කරගන්න මට උපකාර කළා. ඒක මමත් මගේ පවුලේ අයත් අද්දැක්ක ලොකුම ආශීර්වාදයක් කියලා කියන්න පුළුවන්.
[21වන පිටුවේ පින්තූරය]
නේවාසිකාගාරයට ගියේ අවුරුදු 13දීයි
[23වන පිටුවේ පින්තූරය]
1968දී හමුදා සේවයෙන් ඉවත් වන විට ගත් පින්තූරයක්
[23වන පිටුවේ පින්තූරය]
එන්කානිටා සමඟ