Skip to content

පටුනට යන්න

දරාගත නොහැකි පාළුවක්!

දරාගත නොහැකි පාළුවක්!

දරාගත නොහැකි පාළුවක්!

“තාත්තා නැති වුණා කියලා දැනගත්තම මට ඒක විශ්වාස කරන්න බැරි වුණා. ‘ඒ වෙලාවේ මට එයා ළඟ ඉන්න බැරි වුණානේ’ කියලා මගේ හිත වධ දුන්නා. ඒ වගේ වේදනාවක් නම් මම කවදාවත් අද්දැකලා නැහැ.”—සාරා.

අපි කුමන ආගමකට, සංස්කෘතියකට අයත් වුණත් මරණය කියන වචනයට පවා අපි සියලුදෙනාම අකමැතියි. කෙනෙක් මිය ගිය විට “එයා මැරුණා” කියා පවසනවා වෙනුවට “එයා අපි අතර නැහැ,” “එයා නැති වුණා,” “එයා අපිව දාලා ගියා” වැනි යෙදුම් භාවිත කරන්නේ ඒ නිසයි.

මරණය කොතරම් වේදනාවක් ඇති කරනවාද කියනවා නම් සමහර අය තමන් ප්‍රේම කළ පුද්ගලයා මිය ගිය බවවත් පිළිගන්නේ නැහැ.

කෙනෙක් මිය ගිය විට සමහර අය තමන්ගේ හැඟීම් අන් අය ඉදිරියේ ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් ඉන් අදහස් කරන්නේ ඔහුට හෝ ඇයට ඒ ගැන කිසිම හැඟීමක් නැති බව නොවෙයි. සමහර අය කෑගසා අඬනවා වෙන්න පුළුවන්. තවත් අය එය පිටතින් නොපෙන්වනවා වෙන්න පුළුවන්. කොහොමවුණත් මරණය අපි සියලුදෙනාටම ඇති කරන්නේ මහත් වේදනාවක්. *

මගේ දුක කියන්න කෙනෙක් නැහැ”

දැන් අපි නතානියෙල්ගේ අද්දැකීම බලමු. ඔහුට වයස 24ක් වන විට ඔහුගේ මව මිය ගියා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “මම අම්මට හුඟක් ආදරෙයි. ඒ වුණත් මම අඬනවා දැක්කොත් තාත්තගේ දුක තවත් වැඩි වෙන නිසා මම මගේ දුක තද කරගෙන හිටියා. ඒත් ඒක මට ලෙහෙසි වුණේ නැහැ.”

නතානියෙල්ගේ මව මිය ගොස් අවුරුද්දක් ගත වූ පසුවත් ඔහු මෙසේ පවසනවා. “තාත්තා තාමත් මට කතා කරලා එයාගේ දුක කියනවා. තාත්තට ඒකෙන් ලොකු සහනයක් ලැබෙන එක ගැන මට සතුටුයි. ඒත් මට මගේ දුක කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා මම දුක තද කරගෙන ඉන්නවා.”

රෝගීන් සමඟ කටයුතු කරන වෛද්‍යවරුන් වැනි බොහෝ අය සිතන්නේ කෙනෙක් මිය ගිය විට ඒ වේදනාව තද කරගෙන සිටිය යුතුයි කියායි. නමුත් එසේ කිරීම ඔවුන්ට පහසු කාර්යයක් නොවෙයි. වසර 20කට අධික කාලයක් පුරා කුඩා ගම්මානයක වෛද්‍යවරියක් ලෙස සේවය කළ හෙලොයිසාගේ අද්දැකීම බලන්න. “ගමේ අය මිය යන අවස්ථාවන් මම මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. සමහර අය නිකන්ම රෝගීන් විතරක් නෙවෙයි, මගෙත් හොඳ යහළුවන්.”

දුකක් ඇති වන විට හැඬීමෙන් මනසට සහනයක් ලැබෙන බව හෙලොයිසා දැනගෙන සිටියත් ඇය මෙවැනි දෙයක් පැවසුවා. “වෛද්‍යවරියක් හැටියට මමත් අඬනවා දැක්කොත් ඒ අයගේ දුක තවත් වැඩි වෙනවා. ඒ නිසා ඒ අය වෙනුවෙන් මම දුක තද කරගෙන ඉන්නවා.”

“මුළු ගෙදරම පාළුයි”

ප්‍රේමණීය කෙනෙකු නැති වූ විට තනිකමද තදින්ම දැනෙනවා. ඈෂ්ලිගේ අද්දැකීම සලකා බලමු. ඇයගේ මව පිළිකාවක් නිසා මිය යන විට ඇගේ වයස අවුරුදු 19යි. “අම්මා තමයි මගේ හොඳම යාළුවා. අපි හැමදෙයක්ම කළේ එකට. අම්මා නැති වුණාට පස්සේ මට දැනෙන්නේ පුදුම තනිකමක්.”

අම්මා නැති වුණාට පසුව ඈෂ්ලිට ගෙදර ඉන්නවත් හිතුණේ නැහැ. “අම්මා නැතුව මුළු ගෙදරම පාළුයි. හුඟක් වෙලාවට මම කාමරේට ගිහින් අඬනවා. එයාගේ පින්තූර දැක්කම, අපි එකට කළ දේවල් මතක් වෙනකොට, ඒ දුක දරාගන්න තවත් අමාරුයි.”

පවුලේ කෙනෙකුගේ හෝ මිතුරෙකුගේ මිය යෑම නිසා ඔබත් පාළුව, තනිකම අද්දකිනවා ඇති. නමුත් එවැනි තත්වයකින් ගොඩ එන්න බැහැ කියා සිතන්න එපා. ඊළඟ ලිපියේ සාකච්ඡා කරන්නේ එවැනි තත්වයකින් ගොඩ එන්නේ කෙසේද කියායි.

[පාදසටහන]

^ 5 ඡේ. පුද්ගයෙක් මිය ගිය විට එක් එක් කෙනා ශෝකය ප්‍රකාශ කරන ආකාරය වෙනස් නිසා අපි කිසිවිටෙක ඒ ගැන විවේචනය නොකළ යුතුයි.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“අම්මා තමයි මගේ හොඳම යාළුවා. අම්මා නැතුව මට දැනෙන්නේ පුදුම තනිකමක්.”—ඈෂ්ලි