ආගමික කෲරකම් හෙළි කළ පොතක්
ආගමික කෲරකම් හෙළි කළ පොතක්
වර්ෂ 1546දී, 14දෙනෙකුව ප්‍රංශයේදී පණ පිටින් පුලුස්සනු ලැබුවා. එවැනි කෲර දඬුවමක් විඳීමට තරම් ඔවුන් කළ වරද කුමක්ද? එය නම් නිවෙස්වල එකතු වී යාච්ඤා කිරීම, ගීතිකා ගායනා කිරීම, යේසුස්ගේ මරණය සිහි කිරීම සහ රූප නමස්කාරය ප්‍රතික්ෂේප කිරීමයි.
කතෝලික පල්ලියේ එක් විශ්වාසයක් වුණේ සප්ප්රසාද ගන්නා අවස්ථාවේදී භාවිත කරන පූපය හා වයින් ආශ්චර්යවත් ආකාරයකින් යේසුස්ගේ මාංසය හා රුධිරය බවට පරිවර්තනය වෙනවා යන්නයි. මරණ දණ්ඩනය ලැබීමට නියමිතව තිබූ දවසේදී එම 14දෙනා කතෝලික පල්ලියේ ප්‍රධානියෙක් වූ ෆ්‍රැන්සුවා පිකාගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. ‘පූපයෙන් මස් රසක් එනවාද? වයින්වලින් ලේ රසක් එනවාද?’
ඒ ප්‍රශ්නයට ෆ්රැන්සුවාට දීමට කිසිම පිළිතුරක් තිබුණේ නැහැ. ඒ වුණත් ඒ 14දෙනාට නියම වූ දඬුවමින් ඔවුන්ට නිදහස ලැබුණේ නැහැ. ගින්නෙන් දැවෙන අතරේදී පවා ඔවුන් ගීතිකා ගායනා කළා. එවිට කතෝලික පූජකයන් මේ අයගේ ගීතිකා නොඇසෙන සේ වඩාත් ශබ්ද නඟා පල්ලියේ ගීතිකා ගායනා කිරීමට පටන්ගත්තා. පසු දින ෆ්‍රැන්සුවා එම ස්ථානයට පැමිණ පැවසුවේ ‘දඬුවම් ලැබූ 14දෙනාව නිරයට නියම කළ’ බවයි.
කතෝලික පල්ලිය ප්‍රතික්ෂේප කළ අයව පල්ලියෙන් හැඳින්වූයේ රෙපරමාදුවන් ලෙසයි. යුරෝපයේ 1500 ගණන්වලදී කතෝලික පල්ලිය විසින් ඔවුන්ව සැලකුවේ ද්‍රෝහීන් ලෙසයි. එවැනි කෙනෙකුව අසු වුණොත් පල්ලිය විසින් ඔහුට ඉතාමත් කෲර ලෙස වධ හිංසා කර අවසානයේදී මරා දැමුවා. ජෝන් ක්රෙස්පින් නමැති පුද්ගලයා 1554දී බුක් ඔෆ් මාටර්ස් නමැති පොත එළිදැක්වූයේ එවැනි කෲර සිදුවීම් ඇතුළත් කරමිනුයි. *
නීතිඥයෙක් තම වෘත්තිය අතහරියි
ජෝන් ක්රෙස්පින් ප්‍රංශ ජාතිකයෙක්. ඔහු ඉපදුණේ 1520දීයි. පසුව ඔහු නීතිය හැදෑරීමට බෙල්ජියමට ගියා. කතෝලික ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන අයව මුලින්ම ඔහුට හමු වන්න ඇත්තේ බෙල්ජියමේදී විය හැකියි. වර්ෂ 1541දී ක්රෙස්පින් නැවතත් ප්‍රංශයට පැමිණ ජනප්‍රිය නීතිඥයෙකුගේ කාර්යාලයේ වැඩ කළා. ඒ කාලයේදී පල්ලියේ ඉගැන්වීම්වලට විරුද්ධ වූ තරුණයෙකුව පුලුස්සා මරා දමන ආකාරය ඔහු සියැසින් දුටුවා. තම විශ්වාසයන් වෙනුවෙන් මැරෙන්න වුණත් එම තරුණයා සූදානම්ව සිටීම ක්රෙස්පින්ගේ සිතට තදින් කාවැදුණා. ඒ ගැන ක්රෙස්පින් පැවසුවේ “සත්‍යය ගැන පවුලේ අයටත් මිතුරන්ටත් කියා දීම නිසා” මේ තරුණයාට ජීවිතය අහිමි වූ බවයි.
ක්රෙස්පින් පෞද්ගලික නීතිඥ කාර්යාලයක් ආරම්භ කළා. ඔහු කතෝලික ඉගැන්වීම් වැරදියි කියා විශ්වාස කළ නිසා පල්ලිය විසින් ඔහුව සැලකුවේ ද්‍රෝහියෙක් ලෙසයි. පල්ලියෙන් එල්ල වෙන පීඩාවලින් මිදෙන්න ඔහු ප්‍රංශයේ ස්ට්රාස්බෝර්ග්වලට පලා ගියා. පසුව ඔහු නැවතත් ස්විට්සර්ලන්තයේ ජිනීවාවලට ගොස් පදිංචි වුණා. එහිදී ඔහුගේ අදහස්වලට සමාන අදහස් දරන තවත් අයව ඔහුට මුණගැසුණා. පසුව ඔහු නීතිඥ වෘත්තිය අතහැර පොත් පත් මුද්‍රණය කිරීම ආරම්භ කළා.
ජෝන් කැල්වින්, මාර්ටින් ලූතර්, ජෝන් නොක්ස් සහ තියඩෝර් බීසර් වැනි අය, කතෝලික පල්ලියේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරමින් ලියූ පොත් පත් ක්රෙස්පින් මුද්‍රණය කළා. ඊට අමතරව ඔහු බයිබලය ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි, ලතින් සහ ස්පාඤ්ඤ භාෂාවලින්ද මුද්‍රණය කළා. නමුත් ක්රෙස්පින් ජනප්‍රිය වුණේ බුක් ඔෆ් මාටර්ස් නමැති ඔහුගේම කෘතිය එළිදැක්වීමෙන් පසුවයි. ඔහු එම පොතේ වර්ෂ 1415 සිට 1554 දක්වා කාලය තුළ තම ආගම නිසා මිය ගිය අයගේ නම් ලැයිස්තුවක්ද ඇතුළත් කර තිබෙනවා.
කෲර ක්‍රියා හෙළි වෙයි
කතෝලික ආගම ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කළ අය විවිධ පොත් පත් මුද්‍රණය කළා. ඒවායින් හෙළි කළේ පල්ලියෙන් කළ කෲර ක්‍රියායි. ඒ වගේම තම ආගමික විශ්වාසයන් නිසා මිය ගිය අයව නම් කර තිබුණේ ආගමික වීරයන් ලෙසයි. ඒ අයව තම විශ්වාසයන් නිසා පීඩා විඳි යේසුස්ගේ ගෝලයන්ට සමාන කර තිබුණා. පල්ලියෙන් මරා දැමූ අයගේ නම් හා විස්තර ක්රෙස්පින් ඔහුගේ පොතේ සඳහන් කළා. ඔහු එවැනි පොතක් සකස් කළේ වෙනත් රෙපරමාදු ආගම්වල අයට ඔවුන්ගේ ආදර්ශ අනුගමනය කිරීමටයි. *
ඊට අමතරව පල්ලිය විසින් ද්‍රෝහීන් ලෙස සැලකූ අයගේ නඩු විභාග ගැනත් ඔවුන්ට දුන් වධ හිංසා ගැන ඇසින් දුටු සාක්ෂිත් ඔහු තම පොතට ඇතුළත් කළා. ඒ වගේම ඔවුන් සිරගත කළ කාලයේදී ඔවුන් ලියූ ලිපි සහ ඔවුන්ව සැනසීමට වෙනත් අය බයිබල් පද උපුටා දක්වමින් ලියූ ලිපිද ඇතුළත් වෙනවා.
රෙපරමාදු හා කතෝලික ආගම අතර මතභේදයකට හේතු වුණ ඉගැන්වීම්ද ඔහු එහි ඇතුළත් කර තිබුණා. ඉන් කිහිපයක් වන්නේ රූපවලට නමස්කාර කිරීම, මළවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම, සෑම පූජාවකදීම දිව්‍ය සප්ප්රසාදය ගැනීම හා දෙවිගේ නියෝජිතයා ලෙස පාප්වරයාව පිළිගැනීමයි.
ක්රෙස්පින්ගේ පොතේ මුල් තැන හිමි වී තිබෙන්නේ කතෝලික පල්ලිය විසින් රෙපරමාදු ආගම්වල අයට කළ කෲර ක්‍රියාවලටයි. නමුත් අපි මතක තබාගත යුතු කරුණක් වන්නේ රෙපරමාදු අය විසින්ද කතෝලිකයන්ට ඒ හා සමාන ආකාරයෙන් සැලකූ අවස්ථා තිබුණ බවයි.
ඉතිහාසය පුරාම ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් බොහෝ සේ ලේ වැගිරීම් කර තිබෙනවා. ඒ ගැන බයිබලයේ පවසන්නේ “අනාගතවක්තෘවරුන්ගේද ශුද්ධ තැනැත්තන්ගේද පොළොව මත මරනු ලැබූ සියල්ලන්ගේද ලේවලට ඔබ වග කිව යුතුයි” කියායි. (එළිදරව් 6:9, 10; 18:24) එවැනි ලේ වැගිරීම් කර තිබෙන අයට අනිවාර්යයෙන්ම දෙවිට ගණන් දීමට සිදු වෙනවා.
[පාදසටහන්වල]
^ 5 ඡේ. ක්රෙස්පින් ජීවත්ව සිටි කාලයේදීම එම පොත සංශෝධනය කළා. ඔහුගේ මරණයෙන් පසුවද එය කිහිප වතාවක්ම සංශෝධනය කළ අතර පසුව එය ඉංග්‍රීසි භාෂාවටත් පරිවර්තනය කළා.
^ 11 ඡේ. ඒ පොත හා සමාන පොත් දෙකක් 1554දී ලුඩ්විග් රාබුස් ජර්මන් භාෂාවෙන්ද, ජෝන් ෆොක්ස් ලතින් භාෂාවෙන්ද එළිදැක්වූවා.
[12වන පිටුවේ පින්තූරය]
ක්රෙස්පින්ගේ පොතේ මුල් පිටුව (1564දී කළ මුද්‍රණය)
[13වන පිටුවේ පින්තූරය]
ප්‍රංශයේ දෙවෙනි හෙන්රි රජ සහ ඔහුගේ මන්ත්‍රණ සභාව ඉදිරියේ රෙපරමාදු භක්තිකයෙකුව පිලිස්සීම
[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Images, both pages: © Société de l’Histoire du Protestantisme Français, Paris