Skip to content

පටුනට යන්න

රන් සොයා ගිය ගමනක්

රන් සොයා ගිය ගමනක්

රන් සොයා ගිය ගමනක්

අතීතයේදී චීන ජාතිකයන් ලෝකයේ විවිධ රටවලට ගොස් පදිංචි වුණා. ඒත් සමඟම ඔවුන් ඒ ඒ රටවල කුඩා ජනපද පිහිටුවාගත්තා. ඒවා හැඳින්වූයේ චයිනාටවුන් ලෙසයි. මේ ආකාරයට ඔවුන් පදිංචි වූ එක් රටක් වන්නේ ඕස්ට්‍රේලියාවයි. ඔවුන් එහි ගිය හේතුවත් ගියේ කෙසේද කියාත් දැන් අපි බලමු.

රන් ආකර

ඕස්ට්‍රේලියාවේ රත්තරන් තිබෙන බව සොයාගත්තේ 1851දීයි. ඒ ගැන ආරංචි වූ විගස චීන ජාතික පුරුෂයන් දහස් ගණනක් ගුවාංඩොං ප්‍රාන්තයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණියා. ඔවුන්ගේ මූලික අරමුණ වුණේ රත්තරන් සොයාගැනීමයි. ඊට අමතරව චීනයේ තිබුණ සිවිල් යුද්ධ, ස්වාභාවික විපත් හා දිලිඳුකමත් ඔවුන්ට තම මව්රට අතහැරීමට හේතු වුණා.

චීනයේ සිට ඕස්ට්‍රේලියාවට යෑමට සිදු වුණේ නැව්වලිනුයි. නමුත් ඒ ගමන පහසු එකක් වුණේ නැහැ. නැව්වල යෑමට අධික පිරිසක් සිටි නිසා නැව් තුළ මහත් තදබදයක් තිබුණා. මේ තදබදය නිසා ඉක්මනින් රෝග පැතිරුණ අතර හුඟදෙනෙක් මිය ගියා. කෙසේ හෝ බාධා ජය ගනිමින් සමහර අය ඕස්ට්‍රේලියාවට ගියත් එහි ගෙවන ජීවිතයද සුන්දර එකක් වුණේ නැහැ.

වෙහෙසකර කාර්යයක්

සම්ප්‍රදායට අනුව චීන ජාතික කාන්තාවන් තම මව්බිම අතහැර යන්නේ නැහැ. ඒ නිසා 1861 වන විට චීන ජාතික පුරුෂයන් 38,000ක් පමණ ඕස්ට්‍රේලියාවේ සිටියත් ස්ත්‍රීන් සිටියේ 11දෙනෙක් පමණයි. ඔවුන් සෑම කෙනෙකුම වගේ තනිකමට මුහුණ දුන්නා. කොහොමවුණත් ඔවුන්ගේ බලාපොරොත්තුව වුණේ යහමින් මුදල් හම්බ කර නැවත තම රටට යෑමයි.

රන් සෙවීමත් ලෙහෙසි පහසු දෙයක් වුණේ නැහැ. ඔවුන්ට ජීවත් වෙන්න සිදු වුණේ කූඩාරම්වලයි. ඒ වගේම විවේකයකින් තොරව පැය ගණන් තද අව්වේ වැඩ කිරීමටත් සිදු වුණා. ඔවුන් අතර තිබූ සමහර මිථ්‍යා විශ්වාසයන් නිසා මුල් කාලයේදී ඔවුන් පතල්වල වැඩ කිරීමට කැමති වුණේ නැහැ. ඒ නිසා ඔවුන් පොළොව මතු පිට තිබෙන රත්තරන් පමණක් සෙවීමට උත්සාහ කළා. ඔවුන් මෙය කළේ මැණික් ගරන ආකාරයටයි. ඒ ක්‍රමය සාර්ථක වුණා. වර්ෂ 1854 සිට 1862 අතර කාලයේදී ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් පමණක් රත්තරන් කිලෝ 18,662ක් පමණ චීනයට යවා තිබෙන බව වාර්තා වෙනවා.

චීනයෙන් පැමිණි හුඟදෙනෙක් තමන් බලාපොරොත්තු වුණ ආකාරයටම ධනය සොයාගත්තත් සමහර අය ඒවා සූදුවට හා අබිංවලට නාස්ති කළා. ඔවුන් එවැනි දේවලට ඇබ්බැහි වුණේ තනිකම නිසයි. ඒ නිසා හම්බ කළ මුදල් නාස්ති වුණා පමණක් නොව ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයද දුර්වල වුණා. අවසානයේදී නැවත මව් රටට යෑමටවත් ඔවුන් ළඟ මුදල් ඉතිරි වුණේ නැහැ. සමහර අය හුඟක් මුදල් හම්බ කළත් අවසානයේදී මිය ගියේ හිඟන්නන්ටත් වඩා අන්ත අසරණ ලෙසයි.

චීන ජාතිකයන් අතර පුදුම බැඳීමක් තිබුණා. ඒ වගේම ඔවුන් වැඩ කළෙත් කණ්ඩායමක් ලෙසයි. මේ නිසා ඔවුන් සාර්ථක වුණා. නමුත් ඒ දේවල් දුටු අනික් අය නිකන් සිටියේ නැහැ. ඔවුන්ට පහර දී ඔවුන්ගේ රත්තරන් සොරකම් කළා. කූඩාරම්වලට ගිනි තැබුවා. කොහොමවුණත් 1901දී ඕස්ට්‍රේලියානු රජය විසින් පැනවූ පනතක් නිසා ඒ තත්වය වෙනස් වුණා. ඒ පනත යටතේ ආසියාතිකයන්ට ඕස්ට්‍රේලියාවට ඇතුල් වීම තහනම් කළා. පසුව 1973දී එම පනත අහෝසි වුණා.

ස්ථිර පදිංචියක්

කාලයත් සමඟ ආකරවල රන් හිඟ වුණත් සමහර චීන ජාතිකයන් නැවත තම මව් රටට යෑමට කැමති වුණේ නැහැ. ඒ නිසා ඔවුන් වෙනත් රැකියා කිරීමට පෙලඹුණා. ඔවුන් ආපන ශාලා, ලොන්ඩරි වැනි කුඩා ව්‍යාපාර ආරම්භ කළ අතර බහුල ලෙස වගා කටයුතුවලද නියැලුණා. තත්වයෙන් උසස් ගෘහ භාණ්ඩ නිෂ්පාදකයන් මෙන්ම ඉතා හොඳ එළවළු හා පලතුරු වෙළෙන්දන් ලෙස නම් දැරීමට ඔවුන් සමත් වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාවේ ඇතටන්, බ්‍රිස්බේන්, බෲම්, කෙයාර්න්ස්, ඩාර්වින්, මෙල්බර්න්, සිඩ්නි සහ ටවුන්ස්විල් වැනි නගරවල චීන ජනපද බිහි වුණා.

ඕස්ට්‍රේලියාවට පැමිණියේ චීන කාන්තාවන් අතළොස්සක් පමණයි. ඒ නිසා චීන ජාතික පිරිමි බහුතරයක් තනිවම සිටියා. සමහර අය ඕස්ට්‍රේලියානු කාන්තාවන් සමඟ විවාහ වුණා. මුල් කාලයේදී සමාජය විසින් එවැනි මිශ්‍ර විවාහයන් පිළිගත්තේ නැහැ. ඒත් දැන් නම් එවැනි අයට පිළිගැනීමත් නිදහසත් තිබෙනවා.

වෙන කවරදාකටත් වඩා අද වන විට චීන ජාතිකයන් හුඟදෙනෙක් ඕස්ට්‍රේලියාවේ සිටිනවා. අතීතයේදී පුරුෂයන් පමණක් පැමිණියේ රත්තරන් සොයන්නයි. නමුත් අද ඔවුන් තම පවුලත් රැගෙන එන්නේ ස්ථිර පදිංචියටයි. එදාට වඩා අද ලෝක ආර්ථිකය වෙනස් වී තිබෙන නිසා සමහර ස්වාමිපුරුෂයන් තම පවුල ඕස්ට්‍රේලියාවේ පදිංචි කර රැකියාවන් සඳහා චීනය, හොං කොං, සිංගප්පූරුව හා තායිවානය වැනි රටවලට යනවා.

අදටත් බොහෝ අය වෙනත් රටවලට ගොස් පදිංචි වීමට කැමැත්තක් දක්වනවා. ඊට හේතුව මුදල් හම්බ කර සාර්ථක ජීවිතයක් ගත කිරීමයි.

[20වන පිටුවේ කොටුව/පින්තූරය]

අසීරු ගමනක්

චීන ජාතිකයන් ඕස්ට්‍රේලියාවට පැමිණි විට ඔවුන්ට බදු ගෙවීමට සිදු වුණා. ඉන් ගැලවීමට ඔවුන් කළේ ප්‍රධාන වරායන් මඟහැර මුහුදු තීරයේ හුදෙකලා ගම්මානවලට ගොඩබැසීමයි. රෝබ් නම් ගම්මානය ඉන් එකක්. එහි ජනගහනය 100ක් 200ක් පමණ වුණා. වර්ෂ 1857දී මාස පහක් ඇතුළත රෝබ්වලට පමණක් 12,000ක් පමණ පැමිණ තිබෙනවා. මෙවැනි කුඩා ගම්මානවල සිට රත්තරන් ආකරවලට ඔවුන්ට කිලෝමීටර් සිය ගණනක් ගමන් කිරීමට සිදු වුණා.

ඔවුන් එහි ගියේ පයින්. ඒ වගේම ගමනත් හුඟක් දුෂ්කරයි. සාමාන්‍යයෙන් ඔවුන් ගමන් කළේ කණ්ඩායම් හැටියටයි. බොහෝවිට එම ගමනට සති පහක් පමණ ගත වුණා. ඔවුන් පාළු ප්‍රදේශයන් හරහා ගමන් කළ නිසා ජලය ලබාගැනීමට ඔවුන්ටම ළිං හාරන්නත් සිදු වුණා. ආහාරයට ගත්තේ කැන්ගරුවන් හා කැලෑ සතුන්වයි. ඔවුන් හෑරූ ළිං හා අඩිපාරවල්, ඔවුන්ට පසුපසින් පැමිණි අයට ප්‍රයෝජනවත් වුණා.

මේ එක් එක් කණ්ඩායම් පේළියට ගමන් කළේ ගී ගයමිනුයි. චීනයෙන් ගෙනා කාසිවලට ඕස්ට්‍රේලියාවේ කිසි වටිනාකමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් ඒවා මඟ දෙපස විසි කළා. පසු කාලවලදී එම ප්‍රදේශවලින් චීන කාසි සොයාගෙන තිබෙනවා.

[හිමිකම් විස්තර]

Image H17071, State Library of Victoria

[21වන පිටුවේ කොටුව/පින්තූරය]

අගනා වස්තුවක්

වේන් හා සූ, චීන ජාතිකයන්. වේන් විද්‍යාඥයෙක්. විද්‍යා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන අය වීමට ඔවුන්ට අවශ්‍ය වුණා. ඒ සඳහා ඔවුන් 1990 ගණන්වලදී යුරෝපයට ගියා. එහිදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හමු වුණ අතර ඔවුන් බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා. වර්ෂ 2000දී වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ඔවුන් ඕස්ට්‍රේලියාවට ගියා. එහිදී ඔවුන් දිගටම බයිබලය ගැන ඉගෙනගත්තා.

වේන් මෙසේ පවසනවා. “‘කොච්චර මහන්සි වෙලා උපාධි ගත්තත් වැඩක් නැහැ. අන්තිමට අපි හැමෝම වයසට ගිහින් ලෙඩ වෙලා මැරෙනවා. අපි ජීවත් වෙන්නේ මේකටද’ කියලා මට හිතුණා. නමුත් ‘ජීවිතයේ අරමුණ කුමක්ද’ වැනි ප්‍රශ්නවලට අපිට බයිබලයෙන් පිළිතුරු ලැබුණා.

“අපි කවදාවත් නිර්මාතෘ කෙනෙක් ගැන හිතලා තිබුණේ නැහැ. නමුත් බයිබලය පාඩම් කිරීම නිසා අපි ඒ ගැන හිතන්න පටන්ගත්තා. සාක්ෂිකරුවන් විසින් මුද්‍රණය කළ ජීවයේ ආරම්භය ගැන කතා කරන පොතක් මට ලැබුණා. ඒත් එක්කම ඩාවින්ගේ පොතකුත් මම කියෙව්වා. විද්‍යාවෙන් සොයාගත්ත දේවල් මේ පොත්වල තියෙන තොරතුරුත් එක්ක සන්සන්දනය කරලා බලනකොට නිර්මාතෘවරයෙක් ඉන්නවා කියන නිගමනයට අපි ආවා.

“බයිබලය අධ්‍යයනය කිරීමෙන් අපට අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්නත් අපේ විවාහය තවත් ශක්තිමත් කරගන්නත් සැබෑ මිතුරන් සොයාගන්නත් පුළුවන් වුණා. වර්ෂ 2005දී අපි බව්තීස්ම වුණා. අධ්‍යාපනයට වඩා අගනා වස්තුවක් හම්බ වුණ එක ගැන අපිට හුඟක් සතුටුයි.”—1 පේතෘස් 1:7.

[19වන පිටුවේ පින්තූරය]

1860 ගණන්වලදී රන් සොයා ආ චීන ජාතිකයෙක්

[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Sydney Chinatown: © ARCO/​G Müller/​age fotostock; gold miner: John Oxley Library, Image 60526, State Library of Queensland