පරණ වුණත් වෙලාවට වැඩ
පරණ වුණත් වෙලාවට වැඩ
● අද වන විට ඔරලෝසුවක් නැති කෙනෙක් නැති තරම්. නමුත් මීට වසර 900කට පමණ ඉහතදී කටු සහිත ඔරලෝසුව ලොවට හඳුන්වා දෙන්න ඇත්තේ චීනයයි. පසුව 1600 ගණන්වල ඒ තාත්ෂණයේ නව පෙරළියක් ඇති කරමින් බට්ටා සහිත ඔරලෝසු නිෂ්පාදනය කළා. මෙම අලුත් තාක්ෂණය නිසා ඔරලෝසුවට විනාඩි කට්ටක් එකතු කිරීමට පමණක් නොව වඩාත් නිවැරදිව වෙලාව දැක්වීමටත් හැකියාව ලැබුණා. ඒ නිසා ඔරලෝසුවේ ප්රමාණය විශාල වීමත් බර වැඩි වීමත් පුදුමයක් නොවෙයි. මේවා නිර්මාණය කළේ මේසයක් මත තැබිය හැකි ආකාරයට නොව බිම තැබිය හැකි ආකාරයටයි. මෙම ඔරලෝසු ගැන ඒ ක්ෂේත්රයේ නිපුණයෙක් පැවසුවේ “ඕනෑම තත්වයකට ඔරොත්තු දීමේ හැකියාවත් නිවැරදිව වෙලාව දැක්වීමේ හැකියාවත් මේවාට තියෙනවා” කියායි.
මුලින්ම මෙවැනි ඔරලෝසු නිෂ්පාදනය කළේ ලන්ඩනය හා පැරීසිය වැනි යුරෝපයේ ප්රධාන නගරවලයි. නමුත් කාලයත් සමඟ මේවා යුරෝපයේ වෙනත් රටවලත් නිෂ්පාදනය කරන්න පටන්ගත්තා. විවිධ හැඩයේ ඔරලෝසු නිර්මාණය වුණේ ඒ නිසයි. සමහර ඒවා දිග පෙට්ටියක හැඩයටද සමහර ඒවා සිහින්වද තවත් ඒවා පළල්වද නිර්මාණය කළා. ඒ සඳහා ඔවුන් කලුවර, පයින්, මහෝගනී, ඕක් වැනි විවිධ දැව වර්ග යොදාගත් අතර සමහර ඒවාවල අලංකාර කැටයම්ද දැකගන්න ලැබුණා. ඇත්තෙන්ම මේවා වෙලාව බැලීමට පමණක් නොව ගෘහ අලංකරණයටත් යොදාගත්තා. මේ හේතු නිසා ඒ කාලයේ මේ ඔරලෝසුවට විශේෂ තැනක් හිමි වුණා.
එදා මෙන් අදත් මේවා හුඟක් ජනප්රියයි. මේවා හරියට පුද්ගලයන් වගෙයි කියා සමහර අය පවසනවා. “ඔරලෝසුවේ ප්රමාණය හරියට මිනිසෙක්ගේ උස මහත වගෙයි. ඒ වගේම හුරුබුහුටි මුහුණක්ද තියෙනවා.” එය, ෆින්ලන්තයේ පර්යේෂකයෙක් වන ආචාර්යය සිනික්කා මැන්ඩූලාගේ අදහසයි. ඔරලෝසුවේ ටික්-ටික් හඬද හරියට කෙනෙක්ගේ හද ගැස්ම වගෙයි. එක් පොතක මෙසේ සඳහන් වුණා. “මේ වගේ ඔරලෝසුවක් දකින විට, ටික්-ටික් හඬ ඇසෙන විට අපේ මතකයට එන්නේ සුන්දර අතීතයයි.” එදාට වඩා තාක්ෂණයෙන් ඉහළ ඔරලෝසු අද කාලයේ ගන්න තිබෙන බව ඇත්තයි. නමුත් එදා තිබූ මෙවැනි ඔරලෝසුවක් ඔබ ළඟ තිබෙනවා නම් ඔබේ මතකය ඈත අතීතයට ගෙන යනවාට කිසිම සැකයක් නැහැ.—එම පොත Keeping Time—Collecting and Caring for Clocks.
[19වන පිටුවේ පින්තූරය]
1800 ගණන්වල සෑදූ ඔරලෝසුවක්