Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

වාර්ෂිකව මුහුදු ජීවීන් ටොන් මිලියන 95.2ක් අල්ලන අතර ඉන් ටොන් මිලියන 38.5ක් අපතේ යනවා. “වාර්ෂිකව මෙතරම් ප්‍රමාණයක් නාස්ති කළත් ඒ තරම් වේගයකින් උන් වර්ධනය වෙන්නේ නැහැ” කියා ලෝක වන සත්ව අරමුදලේ සාමාජිකයෙකු වන කැරලයින් ෂාක්ට් පැවසුවා.—BERLINER MORGENPOST, GERMANY.

“එළු, බැටළු හා ගවමස් ඉතා ජනප්‍රියයි. නමුත් ලොව පුරා තිබෙන මීතෙන් වැනි හරිතාගාර වායුවලින් සියයට 18කටම වග කිව යුත්තේ මෙම සතුනුයි. එසේ වන්නේ උන් රාමතෙල් හැරීමෙන් (burp) පිට වෙන වායුව නිසයි. එය සියලුම වාහනවලින් පිට කරන වායුවලටත් වඩා වැඩි ප්‍රමාණයක්.”—NEW SCIENTIST, BRITAIN.

අතීතයේ තිබූ මැලියම් වර්ගයක්

වසර දහස් ගණනකට පෙර සෑදූ මැලියම් වර්ගයක්, දකුණු අප්‍රිකාවේ ක්වා සුලු නටාල් ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. “එම මැලියම් අද කඩවල්වල තියෙන ඒවාට දෙවෙනි නැහැ” කියා ජොහැන්නස්බර්ග්හි පුවත්පතක සඳහන් වුණා. ඒ කාලයේ සිටි දඩයම්කරුවෝ හෙල්ල හා ඊතල සාදන්න ඇත්තේ එම මැලියම් භාවිත කරමින් කියා විද්‍යාඥයන් විශ්වාස කරනවා. ස්වාභාවික රතු වර්ණක, සත්ව තෙල්, ශාක මැලියම් හා වැලිවලින් සෑදූ මෙම මැලියම නැවත සාදන්න විද්‍යාඥයන් උත්සාහ කළත් එය පහසු දෙයක් වුණේ නැහැ. එදා සිටි ආදිවාසීන් කර තිබෙන්නේ සුළුපටු දෙයක් නොවෙයි කියා ඔවුන් පවසනවා.—එම පුවත්පත The Star.

අඩු නින්දේ ප්‍රතිඵල

“රාත්‍රියේදී පැය හතකට වඩා අඩුවෙන් නිදාගන්නා අයට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ ප්‍රවණතාව වැඩියි. එය සාමාන්‍යයෙන් පැය අටක් නිදාගන්නා අයට වඩා තුන් ගුණයක ප්‍රවණතාවක්. ඊට අමතරව කෙනෙකුගේ නින්ද විටින් විට කැඩෙනවා නම් සුව නින්දක් ලබාගන්නා අයට වඩා ඔවුන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ ප්‍රවණතාව පස් ගුණයකටත් වඩා වැඩියි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා නින්ද අතර සම්බන්ධයක් තිබෙන බව දැන සිටියත් සුළු වශයෙන් හෝ නින්ද කඩ වීම සෙම්ප්‍රතිශ්‍යාවට බලපාන බව සොයාගෙන තිබෙන්නේ මුල් වතාවටයි. මේ හේතුව නිසා රාත්‍රියේදී ප්‍රමාණවත් නින්දක් ලබාගැනීමට කාලය වෙන් කිරීම ඉතා වැදගත්” කියා ඇමරිකාවේ කානගී මෙලන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂෙල්ඩන් කෝහන් පැවසුවා.

ඕනෑ තරම් වගාබිම්

“ලෝක ජනගහනය වැඩි වෙමින් පැවතුණත් සෑම කෙනෙකුටම ප්‍රමාණවත් ආහාර සැපයීම සඳහා වගා කළ හැකි ඉඩම් ඕනෑ තරම් තිබෙනවා. ඒවායින් වැඩි හරියක් තිබෙන්නේ අප්‍රිකාවෙයි” කියා නිව් සයන්ටිස්ට් සඟරාවේ සඳහන් වුණා. මෙම සඟරාව උපුටා දැක්වූයේ ආර්ථික සහයෝගිතා සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය විසින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වූ දෙයයි. එහි තවදුරටත් සඳහන් වුණේ ලොව පුරා දැනට තිබෙන වගාබිම් දෙගුණයක් කිරීමට තරම් භූමි ප්‍රමාණයක් තිබෙන බවයි. “මේවායින් අඩකටත් වඩා තිබෙන්නේ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවෙයි.”