Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

කාමුක දර්ශන පිරිමින්ට බලපාන ආකාරය ගැන සොයා බැලීමට කැනඩාවේ එක් පිරිසක් පර්යේෂණයක් කළා. එහි එක් සාමාජිකයෙක් ඒ ගැන මෙසේ අදහස් දැක්වුවා. “ඒ සඳහා අපි, තම විසි ගණන්වලදී කාමුක දර්ශන නොබැලූ පිරිමින්ව සෙවීමට උත්සාහ කළා. නමුත් ඒ වගේ අය එක් කෙනෙක්වත් අපිට හමු වුණේ නැහැ.”—UNIVERSITY OF MONTREAL, CANADA.

ඩුබායිහි පිහිටි බූජා කලීෆා නම් ලෝකයේ උසම ගොඩනැඟිල්ල පසුගිය ජනවාරි මාසයේදී විවෘත කළා. එහි උස අඩි 2,717ක් වන අතර එය තට්ටු 160කට වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විතයි. එය කිලෝමීටර් 95ක් තරම් ඈතට පෙනෙන බව වාර්තා වෙනවා.—GULF NEWS, UNITED ARAB EMIRATES.

“යුදෙව් ආගමේ සිරිත් විරිත් කාලයත් සමඟම වෙනස් කරනවා. මෑතකදී ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීම සඳහා ශල්‍යකර්මයන්ට භාජනය වූවන් උදෙසා විශේෂ යාච්ඤා ඔවුන්ගේ පූජාවන්ට ඇතුළත් කළා.”—THE NEW YORK TIMES MAGAZINE, U.S.A.

කතා කිරීමට ප්‍රමාද දරුවන්

අද සිටින බොහෝ දෙමාපියන් දරුවන් සමඟ කතා කිරීමට හා ඔවුන් සමඟ පොත පත කියවන්න ගත කරන කාලය හරිම අඩුයි. “සමහර දරුවන් පෙර පාසැල් යන වයසේ සිටියත් ඔවුන්ගේ කතා කිරීමේ හැකියාව මාස 18ක් තරම් දරුවෙකුගේ වගෙයි. වාක්‍යයක්වත් ගළපගන්න බැරි දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා” කියා එක් පුවත්පතක වාර්තා වුණා. එහි තවදුරටත් සඳහන් වුණේ බ්‍රිතාන්‍යයේ “වයස අවුරුදු පහේ සිටින දරුවන් අතරින් සියයට 18ක්ම නියමිත වයසට අනුව කතා කිරීමේ හැකියාව වර්ධනය වී නැති අය” බවයි. පෙර පාසැලේ උගන්වන මූලික දේවල් තේරුම්ගැනීමටවත් අදහස් ප්‍රකාශ කිරීමටවත් දන්නේ නැති නිසා ඔවුන් පන්ති කාමරය තුළ සිටින්නේ හරියට වෙනත් භාෂාවක් කතා කරන අය වගෙයි.

පූජකයන් නැති පල්ලි

“මෙතෙක් කල් පල්ලියේ පෙරමුණ ගෙන කටයුතු කළේ එහි පූජකයනුයි. නමුත් දැන් ඒක වෙනස් වෙන්නයි යන්නේ” කියා අයර්ලන්තයේ පුවත්පතක වාර්තා වුණා. මීට අවුරුදු 50කට පෙර අයර්ලන්තයේ සිටි පූජකවරුන්ගේ සංඛ්‍යාව අන් කිසිම රටකට දෙවෙනි වුණේ නැහැ. නමුත් දැන් අලුතින් පූජකවරුන් බිහි නොවන තරම්. ඒ නිසා සිටින පූජකයන් වයස අවුරුදු 75දී විශ්‍රාම ගිය පසු සමහර මීසම්වලට අඩුම තරමින් එක පූජකවරයෙකුවත් සිටින එකක් නැහැ. ඊට මූලික හේතුව ලෙස සමහර අය පවසන්නේ, උපත් පාලන ක්‍රම තහනම් කරමින් 1968දී පාප්වරයා විසින් කළ ප්‍රකාශයයි. ඉහත කී පුවත්පතේ තවදුරටත් සඳහන් වුණේ, පාප්වරයාගේ එම ප්‍රකාශය නිසා බොහෝදෙනෙක් පල්ලියේ ඉගැන්වීම් ගැන ප්‍රශ්න කිරීමට පටන්ගත් අතර පල්ලිය කෙරෙහි තිබූ විශ්වාසයත් හීන වෙන්න පටන්ගත්තා කියායි.—The Irish Times.

වෙනස් වෙමින් පවතින චුම්බක උතුර

චුම්බක උතුර පිහිටා තිබෙන ස්ථානය සොයාගත්තේ 1831දීයි. එදා එය පිහිටා තිබුණේ උතුරු කැනඩාවේයි. එනම් “උත්තර ධෘවයට කිලෝමීටර් 2,750ක් පමණ දුරින්” කියා ප්‍රංශයේ පුවත්පතක පළ වුණා. චුම්බක උතුර, උත්තර ධෘවයට ක්‍රමක්‍රමයෙන් ළං වෙනවා. වර්ෂ 1989 වන තෙක් එය අවුරුද්දකට කිලෝමීටර් පහත් පහළොවත් අතර වේගයකින් සිදු වෙමින් තිබුණා. නමුත් දැන් එය වසරකට කිලෝමීටර් 55ක වේගයකින් සිදු වෙනවා. වර්ෂ 2007 වන විට උත්තර ධෘවය හා චුම්බක උතුර අතර තිබූ පරතරය වූයේ කිලෝමීටර් 550ක් පමණයි. ඒ අනුව 2020 වන විට උත්තරාලෝකය “කැනඩාවට වඩා සයිබීරියාවට දැකගත හැකි වෙයි” කියා එම පුවත්පතේ වාර්තා වුණා.—Le Figaro.