Skip to content

පටුනට යන්න

හුදෙකලාවට ප්‍රිය කරන අහිංසකයා

හුදෙකලාවට ප්‍රිය කරන අහිංසකයා

හුදෙකලාවට ප්‍රිය කරන අහිංසකයා

අපි නම් හිතුවේ උගේ ඇඟේ තරමට අත්තත් එක්කම බිමට කඩාගෙන වැටෙයි කියලයි. අපි ගල් ගැහිලා බලාගෙන හිටියත් ඌට නම් කිසි ගාණක් නැහැ. අපි මේ කතා කරන්නේ ඔරංඔටන් ගැනයි.

ඔරංඔටන් අයත් වෙන්නේ ගෝරිල්ලන් හා චිම්පන්සින් යන වානර පවුලටයි. කලහාකාරී ගතියක් නැති හුදෙකලා ජීවිතයකට ප්‍රිය කරන මෙම සතුන් බෝර්නියෝ සහ සුමාත්‍රා දූපත්වල තියෙන ඝන වනාන්තරවලදී දැකගන්න පුළුවන්. ඔරංඔටන් යන නම උන්ට ලැබිලා තියෙන්නේ ඉන්දුනීසියානු භාෂාවෙනුයි. ඒකේ තේරුම “වන ගත මිනිසා” යන්නයි.

උන් ගැන තවත් විස්තර දැනගන්න ඔබ කැමතිද? එහෙමනම් උන්ගේ නිජ බිම වන බෝර්නියෝ දූපතට අපිත් එක්ක යන්න එන්න.

ගමනේ ආරම්භය

අපි දැන් ඉන්නේ ටැංජුං පුටිං කියන ජාතික වනෝද්‍යානයේයි. මෙහේ හුඟක් සත්තු හිටියත් වැඩිදෙනෙක් මෙහේ එන්නේ ඔරංඔටන්ව බලන්නයි.

කුමායි කියන වරායෙන් කුඩා මෝටර් බෝට්ටුවකට ගොඩ වෙලා අපි අපේ ගමන ආරම්භ කරමු. වංගු සහිත ඇළ මාර්ගය ගන කැලෑව ඇතුළට යන්න යන්න පටු වෙනවා. ගඟේ දෙපැත්තෙම පාම් ගස් හොඳ සරුවට වැවිලා. ඒ වගේම පත කිඹුලන් බොර වතුරේ මාන බලමින් ඉන්නේ මොනවා හරි ගොදුරක් ඩැහැගන්න වගෙයි. ඒ විතරක් නෙවෙයි වට පිටාවෙන් ඇහෙන අමුතු හඬවල් නිසා අපේ ගමනේ කුතුහලය වගේම ත්‍රාසයත් වැඩි වෙනවා.

බෝට්ටුවෙන් බැස්ස ගමන් මදුරුවන් වගේ පුංචි සතුන්ගෙන් ආරක්ෂා වෙන්න අපි ආලේපනයක් ගාගෙන කැලේට ඇතුල් වුණා. මුලින් කිව්ව ඔරංඔටන්ව අපි දැක්කේ මෙතනදී තමයි. රන්වන් පාටින් දිලිසෙන උගේ රෝම හරියට ඔප දැමූ තඹ වගෙයි. ඒ විතරක් නෙවෙයි උගේ ශක්තිමත් මස් පිඬු ඌට එක් කරන්නේ අමුතුම ගාම්භීර පෙනුමක්.

සාමාන්‍යයෙන් හොඳට වැඩුණ පිරිමි සතෙක් ගැහැනු සතෙක් වගේ දෙගුණයක් බරයි. පිරිමි සත්තු අඩි පහමාරක් විතර උසයි. ඒ වගේම කිලෝග්‍රෑම් 90ක් විතර බරයි. පිරිමි සතුන්ගේ කම්මුල් දෙක පිහිටලා තියෙන විදිහ නිසා උන්ගේ මූණ රවුම්. ඒ විතරක් නෙවෙයි උන්ගේ උගුර ප්‍රදේශය පුංචි මල්ලක් වගේ එල්ලෙන නිසා ඌට දෝංකාර හඬක් පිට කරන්නත් ගොරවන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී ඌ එක දිගට විනාඩි පහක් විතර ගැඹුරු හඬින් කෑගහනවා. ඒ හඬ කිලෝමීටර් එකහමාරකටත් වඩා ඈතකට වුණත් ඇහෙනවා. උන් එහෙම කරන්නේ ගැහැනු සතුන්ව ආකර්ෂණය කරගන්න වගේම අනික් පිරිමි සතුන්ව එළවා දමන්නයි.

ගස් උඩ ගෙවන ජීවිතය

අපි කැලෑවේ අඩි පාර දිගේ ඉස්සරහට යනකොට ඔරංඔටන් කිහිපදෙනෙක් අතුවල එල්ලි එල්ලී ගහෙන් ගහට යනවා අපි දැක්කා. උන්ගේ අත් වගේම කකුල්ද හරිම ශක්තිමත්. ඒ වගේම මාපට ඇඟිලි හැර අතේ සහ කකුල්වල ඇඟිලි දිගයි. ඒ නිසා හරිම පහසුවෙන් උන්ට අත්තෙන් අත්තට මාරු වෙන්න පුළුවන්.

සෙවණැල්ලක් මැකිලා යනවා වගේ ඉක්මනින් ගස් අතර හැංඟෙන්න උන්ට තියෙන්නේ පුදුම හැකියාවක්. ඒත් උන් බිම යනකොට නම් හරිම මන්දගාමියි.

වානර වර්ග අතරින් මුළු ජීවිත කාලයම ගස් උඩ ගත කරන්නේ ඔරංඔටන් විතරයි. සවස් වෙනකොට උන් අඩි 65ක් විතර උසකින් තියෙන ශක්තිමත් අත්තක් තෝරාගෙන එහි අතු රිකිලි නවා සුවපහසු ඇඳක් හදාගන්නවා. ඒ විතරක් නෙවෙයි චිම්පන්සින්ට හා ගෝරිල්ලන්ට වඩා වෙනස්ව උන් වහින කාලයට ඇඳට උඩින් පුංචි වහලකුත් හදාගන්නවා. මේ හැම දේකටම ගත වෙන්නේ විනාඩි පහක් වගේ සුළු කාලයක් විතරයි.

නිවහනට අමතරව උන් ආහාර සොයාගන්නේත් ගස්වලින්මයි. උන් පලතුරු කන්න හරි ආසයි. ප්‍රණීත පලතුරු තිබෙන තැන් විතරක් නෙවෙයි ඒවා හැදෙන කාලය ගැනත් උන්ට හොඳ මතකයක් තියෙනවා. පලතුරු වගේම දළු, කොල, පොතු, මී පැණි සහ කෘමීන්වත් උන් ආහාරයට ගන්නවා. සමහර අවස්ථාවලදී උන් ගස් බෙනවල තිබෙන මීවද සහ කෘමීන්ව එළියට ගන්න කෝටු කෑල්ලක් පාවිච්චි කරනවා. එහෙම බලනකොට උන් විවිධ ආහාර වර්ග 400කටත් වඩා කෑමට ගන්නවා.

අපි තවත් ටිකක් ඉස්සරහට ගියාම ඔරංඔටන් රංචුවක් ගොඩගහපු කෙසෙල් ගෙඩි වගයක් කකා ඉන්නවා දැක්කා. උන් පුංචි කාලේ හැදී වැඩී තියෙන්නේ සංරක්ෂණ මධ්‍යස්ථානවල නිසා කැලේට හුරු වෙන කල් උන්ට අමතර ආහාර දෙනවා.

පවුලේ වගතුග

පුංචි පැටව් අම්මගේ ඇඟේ එල්ලි එල්ලී, අතුවල පැද්දි පැද්දී කරන දඟකාර වැඩ බලන් ඉන්න ආසයි. සාමාන්‍යයෙන් ගැහැනු සතෙක් අවුරුදු 45ක් විතර ජීවත් වෙනවා. උන් පැටව් බිහි කරන්න පටන්ගන්නේ අවුරුදු 15, 16 වගේ වයසේදීයි. ඒ වගේම ආයෙත් පැටියෙක් බිහි කරන්නේ අවුරුදු හත අටක් ගියාට පස්සේයි. ඒ විදිහට බලනකොට උන්ගේ ජීවිත කාලය පුරාවට උන්ට බිහි කරන්න පුළුවන් වෙන්නේ පැටව් දෙතුන්දෙනෙක් විතරයි. ක්ෂීරපායි සතුන්ගෙන් අඩුවෙන්ම තම වර්ගයා බෝ කරන ගණයට ඔරංඔටන්ද ඇතුළත් වෙනවා.

අලුත උපන් පැටියා හා මව අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. පුංචි පැටියා අවුරුද්දක් යන කල්ම ඉන්නේ අම්මගේ තුරුලේමයි. ඊටපස්සේ ඌ ටිකක් තනියෙම එහා මෙහා යන්න පුරුදු වුණත් අම්මව අතහැරලා යන්නේ නැහැ. ඔරංඔටන් මව්වරුත් පැටවුන්ව අවුරුදු අටක් විතර යන කල් හොඳින් බලාගන්නවා. කොහොමවුණත් ආයෙත් මව පැටියෙක් බිහි කළාට පස්සේ සමහර වැඩිමල් ගැහැනු පැටවුන් තම මව ඒ අලුත් පැටියාව බලාගන්න විදිහ හොඳින් නිරීක්ෂණය කරනවා.

නමුත් පිරිමි පැටවුන්ගේ තත්වය ඊට වඩා වෙනස්. මව අලුත් පැටියෙක් බිහි කළත් එක්කම පිරිමි පැටියාව එළවලා දානවා. ඊටපස්සේ ඌ කැලේ සැරිසරමින් වර්ග කිලෝමීටර් 15ක පමණ ප්‍රදේශයක් අයිති කරගන්නවා. උන් වෙනත් පිරිමි සතුන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙලා හිටියත් ප්‍රජනන කාලයේදී ගැහැනු සතෙකුව සොයාගන්නවා.

ගැහැනු සතුන් නම් මුළු ජීවිත කාලයම ගත කරන්නේ කුඩා ප්‍රදේශයකයි. ඉඳහිට අනික් ගැහැනු සතුන් එක්ක එකම ගහක හිටියත් වැඩි ආශ්‍රයක් නැහැ. ඔරංඔටන් අනිකුත් වානරයන්ට වඩා වෙනස් වන ප්‍රධාන ලක්ෂණය වෙන්නේ උන් ගත කරන හුදෙකලා ජීවිතයයි. අපේ ගමන අවසන් කරන්න කලින් අපි තවත් එක වැදගත් තැනක් බලන්න යමු.

උන් අනතුරේ

අපි දැන් ඉන්නේ ටැංජුං පුටිං වනෝද්‍යානයේ තියෙන ඔරංඔටන්ලා ගැන පරියේෂණ කරමින් උන්ව බලාගන්නා ලීකි කියන මධ්‍යස්ථානයේයි. එය ලීකි කියලා නම් කර තියෙන්නේ මානව විද්‍යාඥයෙක් වූ ලුවිස් ලීකිට ගෞරව පිණිසයි. මෙහේදී ඔරංඔටන්ලව ළඟටම ගිහින් බලන්න පුළුවන්. සමහර උන් විවිධ ඉරියව්වලින් එල්ලිලා ඉන්නේ හරියට ජිම්නාස්ටික් ක්‍රීඩකයෝ වගේයි. තවත් එකෙක් මගේ යාළුවාගේ ජැකට් එකෙනුත් ඇද්දා. මෙච්චර ළඟට ගිහින් උන්ව බලන්න ලැබුණ එක ගැන අපිට හරි පුදුමයි.

කොහොමවුණත් අපේ සැලකිල්ල යොමු විය යුතු පැත්තක් ගැනත් අහන්න ලැබුණා. ඒ තමයි උන් වඳ වීමේ තර්ජනයට ලක් වෙලා කියන එක. සමහර පරිසරවේදීන් කියන්නේ ඊළඟ අවුරුදු දහය හෝ ඊට අඩු කාලයකදී මේ සතුන් සම්පූර්ණයෙන්ම වඳ වෙලා යන්න පුළුවන් කියලයි. ඒකට ප්‍රධාන හේතු තුනක් තියෙනවා.

කැලෑ එළි කිරීම: පසුගිය අවුරුදු 20 තුළ ඔරංඔටන් වාසය කළ වනාන්තරවලින් සියයට 80ක් පමණ එළි කර තිබෙනවා. සෑම දිනකම ඉන්දුනීසියාවේ ඇති වනාන්තරවලින් වර්ග කිලෝමීටර් 51ක් පමණ ප්‍රදේශයක් එළි කරනවා. එය තවත් ආකාරයකින් පැවසුවහොත් විනාඩියකට විශාල ක්‍රීඩාංගන පහක පමණ ප්‍රමාණයක්.

දඩයම් කිරීම: කැලෑ එළි කිරීම නිසා දඩයක්කරුවන්ට උන්ව පහසුවෙන් අල්ලාගන්න පුළුවන්. සමහර අය වගාවන්ට තර්ජනයක් කියාත් ආහාර පිණිසත් උන්ව මරනවා. එමෙන්ම නීති විරෝධී ලෙස ඔරංඔටන් හිස් කබලක් ඩොලර් 70කට පමණ (රු. 8,000ක් පමණ) අළෙවි කරනවා.

පැටවුන් වෙළෙඳාම: සුරතල් ඔරංඔටන් පැටවෙකුව ඩොලර් දෙතුන් සියයේ සිට ඩොලර් දහස් ගණනකට පවා නීති විරෝධී ලෙස අළෙවි කරනවා. ඒ අනුව සෑම වසරකම පැටවුන් දාහක් පමණ අළෙවි වෙනවා.

එසේ වඳ වී යෑමේ තර්ජනයට ලක් වී සිටින මෙම සතුන්ව ආරක්ෂා කරගැනීමට රජය සහ වෙනත් පෞද්ගලික ආයතනද විශාල උත්සාහයක් ගන්නවා. ඒ සඳහා උන්ව රැක බලා ගැනීමේ හා බෝ කිරීමේ මධ්‍යස්ථාන පිහිටු වීම, උන් ගැන වැඩි වැඩියෙන් දැනුවත් කිරීම, ජාතික වනෝද්‍යාන පිහිටු වීම සහ නීති විරෝධී ලෙස වනාන්තර එළි කිරීම පාලනය කිරීම වැනි දේවල් අයත් වෙනවා.

නමුත් ඒ සෑම දෙයකටම වඩා ළඟදීම දෙවි “පොළොව විනාශ කර දමන අයව විනාශ කර දැමීමට” පියවර ගන්නා නිසා මේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වීමට නියමිතයි. (එළිදරව් 11:18; යෙසායා 11:4-9; මතෙව් 6:10) ඒ කාලයේදී ‘වනයේ සියලු ගස් ප්‍රීති ඝෝෂා නඟන’ බවට බයිබලයේ සඳහන් වදන් ඉටු වෙන බවට කිසිම සැකයක් නැහැ. (ගීතාවලිය 96:12) එදාට, හුදෙකලා ජීවිතයකට ප්‍රිය කරන ඔරංඔටන් ඇතුළු සියලුම සතුන්ට කාගෙන්වත් හානියක් නැතුව සුවසේ වාසය කරන්න හැකි වෙයි!

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මලයාසියාව

බෝර්නියෝ

ඉන්දුනීසියාව

සුමාත්‍රා

ඕස්ට්‍රේලියාව

[16වන පිටුවේ පින්තූරය]

පිරිමි සතුන්ගේ දෙකම්මුල්වල ඇති පිහිටීම උන්ට සුවිශේෂී පෙනුමක් ලබා දෙනවා

[හිමිකම් විස්තර]

© imagebroker/Alamy

[17වන පිටුවේ පින්තූර]

ගස් උඩ වේගයෙන් ගමන් කළත් බිම සිටින විට උන් හරිම මන්දගාමියි

[හිමිකම් විස්තර]

Top: © moodboard/Alamy; bottom: Orangutan in the Camp Leakey of Tanjung Puting National Park, managed by BTNTP, UPT Ditjen PHKA Dephut

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Orangutan in the Camp Leakey of Tanjung Puting National Park, managed by BTNTP, UPT Ditjen PHKA Dephut

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Orangutan in the Camp Leakey of Tanjung Puting National Park, managed by BTNTP, UPT Ditjen PHKA Dephut