Skip to content

පටුනට යන්න

ස්ත්‍රීන්ට පූජක තනතුරු දැරිය හැකිද?

ස්ත්‍රීන්ට පූජක තනතුරු දැරිය හැකිද?

බයිබලයෙන් පිළිතුරක්

ස්ත්‍රීන්ට පූජක තනතුරු දැරිය හැකිද?

“කතෝලික සභාව තුළ කාන්තාවන්ට පෙරමුණ ගෙන කටයුතු කරන්න දෙන්නේ නැත්තේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඒ ගැන මට හරිම කේන්තියි” කියා කතෝලික කාන්තාවක් පුවත්පතකට වාර්තා කළා. ඇගේ එම ආකල්පයම තව බොහෝදෙනෙක් දරනවා. ඊට හේතු වී ඇත්තේ ක්‍රිස්තියානියැයි කියාගන්නා සමහර නිකායන්වල කාන්තාවන් දේවගැති, පූජක, බිෂොප් සහ රබ්බි යන තනතුරු දැරීමයි.—එම පුවත්පත USA Today.

ක්‍රිස්තියානියැයි කියාගන්නා සමහර ආගම්වල අය පවසන්නේ ස්ත්‍රීන්ට ඉහත කී තනතුරු දීම සුදුසු බවයි. තවත් අය කියා සිටින්නේ ස්ත්‍රීන්ට සභාව තුළ කිසිම ආකාරයක සේවයක් කිරීම තහනම් බවයි. නමුත් බයිබලයේ ඒ ගැන සඳහන් වන්නේ කුමක්ද?

එදා දේවසේවකයන්

අතීතයේදී ක්‍රිස්තියානි සභාවේ දෙවිට විශ්වාසවන්තව සේවය කළ කාන්තාවන් සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. ෆීබි ඉන් එක් කෙනෙක්. ඇයව පාවුල් හැඳින්වූයේ “සෙන්ක්‍රෙයාය නුවරෙහි තිබෙන සභාවේ සේවය කරන අපගේ සහෝදරිය” ලෙසයි.—රෝම 16:1.

ඇය එම සභාවේ කළ සේවය කුමක්ද? ඉන් අදහස් කරන්නේ ෆීබි සෙන්ක්‍රෙයා සභාවේ දේශනා පැවැත්වූ බවද? ඊට පිළිතුරු පාවුල්, ෆිලිප්පිවරුන්ට ලියූ ලිපියෙන් සොයාගත හැකියි. එහි ‘ශුභාරංචිය ප්‍රකාශ කිරීම වෙනුවෙන් තමා සමඟ එකට සේවය කළ’ ස්ත්‍රීන් කිහිපදෙනෙක් ගැන පාවුල් සඳහන් කළා.—ෆිලිප්පි 4:2, 3.

ඉන් පැහැදිලි වන්නේ එදා සිටි ක්‍රිස්තියානීන් ශුභාරංචිය ප්‍රකාශ කළ ප්‍රධාන ක්‍රමය වූයේ “ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට” යෑම බවයි. (ක්‍රියා 20:20) එම සේවයේ හවුල් වූ සියලුදෙනාවම හැඳින්වූයේ දේවසේවකයන් ලෙසයි. ඊට ප්‍රිසිලා නමැති කාන්තාවද අයත් වුණා. ඇයත් ඇගේ පුරුෂයාත් ක්‍රිස්තියානි සභාව සමඟ ආශ්‍රය කිරීමට පටන්ගෙන තිබූ පුද්ගලයෙකුට ‘දෙවිගේ මාර්ගය ගැන වඩාත් නිවැරදි අවබෝධයක් ලබා දුන්’ බව බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 18:25, 26) ඉහත සඳහන් ෆීබි මෙන් ප්‍රිසිලාද සෙසු ස්ත්‍රීන් මෙන් උද්‍යෝගිමත් දේවසේවිකාවක් වූ බව පැහැදිලියි.

ගෞරවාන්විත කාර්යයක්

පුරුෂයන් සභාවේ දේශන පවත්වමින් පෙරමුණ ගෙන ක්‍රියා කළත් ස්ත්‍රීන්ට ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පවරා තිබීමෙන් අදහස් කරන්නේ එය ගෞරවයෙන් අඩු කාර්යයක් කියාද? කොහෙත්ම නැහැ. ඊට එක් හේතුවක් නම් සභාවේ පෙරමුණ ගන්නා පුරුෂයන් ඇතුළුව සියලුම ක්‍රිස්තියානීන් ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කළ යුතු බව බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබීමයි. (ලූක් 9:1, 2) අනික් හේතුව නම් “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” යන යේසුස්ගේ ආඥාව ඉටු කළ හැකි ප්‍රධානම ක්‍රමය, ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීම වීමයි. එය ස්ත්‍රී පුරුෂ යන දෙපිරිසගේම වගකීමක්.—මතෙව් 28:19, 20.

ස්ත්‍රීන්ට සභාව තුළ තවත් වැදගත් කාර්යයක් තිබෙනවා. ඒ ගැන පාවුල් මෙසේ පැවසුවා. ‘වැඩිහිටි ස්ත්‍රීන් යහපත් දේවල් උගන්වන අය විය යුතුයි. ඔවුන් එලෙස කටයුතු කළොත් අසිහියෙන් ක්‍රියා කරන තරුණ ස්ත්‍රීන්ට අවබෝධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය උපකාර ලබා දීමට ඔවුන්ට හැකි වන අතර එමගින් තරුණ ස්ත්‍රීන් තම ස්වාමිපුරුෂයන්ට ප්‍රේම කිරීමටත් තම දරුවන්ට ප්‍රේම කිරීමටත්’ පෙලඹෙයි. (තීතස් 2:3, 4) එමනිසා අද්දැකීම් අඩු තරුණ ස්ත්‍රීන්ට හොඳ අවබෝධයෙන් ක්‍රියා කිරීමට උපකාර කරන්න සභාව තුළ සිටින අද්දැකීම් ලත් ස්ත්‍රීන්ට හැකියි.

සභාව තුළ ඉගැන්වීමේ කටයුතු

ක්‍රිස්තියානි සභාව තුළ ඉගැන්වීමේදී හෝ දේශන පැවැත්වීමේදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ස්ත්‍රීන්ට පවරා ඇති බවක් බයිබලයේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. පාවුල් පැවසුවේ “ස්ත්‍රීන් සභාවන්වලදී නිහඬව සිටිය යුතුයි” කියායි. ඊට එක් හේතුවක් වූයේ සභාව තුළ සියලු කටයුතු “ඔබිනා ලෙසත් පිළිවෙළකටත් සිදු විය යුතු” නිසයි. (1 කොරි. 14:34, 40) සභාවේ ඉගැන්වීම් කටයුතු සඳහා දෙවි මූලික වගකීම පවරා තිබෙන්නේ පුරුෂයන්ටයි. නමුත් කෙනෙක් පුරුෂයෙක් වූ පමණින් ඔහුට මෙම වරප්‍රසාදය ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඔහු බයිබලයේ සඳහන් සුදුසුකම් අත් කරගත යුතුයි. *1 තිමෝති 3:1-7; තීතස් 1:5-9.

අනික් අතට දෙවි ගැන සාක්ෂි දැරීමට ස්ත්‍රීන්ට ලැබී තිබෙන වගකීමත් ඉතාමත් වටිනවා. ඊට හේතුව ඒ සඳහා දෙවිම ඔවුන්ව තෝරාගෙන තිබීමයි. (ගීතාවලිය 68:11) ඒ අනුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින ස්ත්‍රී පුරුෂ දෙපිරිසම ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීම නිසා මිලියන ගණනකට පසුතැවිලි වී ගැලවීමේ මාර්ගයට පිවිසීමට හැකි වී තිබෙනවා. (ක්‍රියා 2:21; 2 පේතෘස් 3:9) එය මොන තරම් විශිෂ්ට කාර්යභාර්යයක්ද!

යෙහෝවා දෙවි ක්‍රිස්තියානි සභාව තුළ ඇති කර තිබෙන සැලැස්මට ස්ත්‍රී පුරුෂ දෙපිරිසම ගෞරව කරන විට එය එහි සාමයට බෙහෙවින් දායක වෙනවා. එය අපි මෙසේ නිදර්ශනය කරමු. කෙනෙකු පාර මාරු වන විට ඔහුගේ ඇසින් සහ කනින් කාර්යයන් දෙකක් ඉටු වෙන අතර ඔහුට ආරක්ෂිතව පාර මාරු වීමට හැකි වන්නේ එම අවයවයන් සහයෝගයෙන් ක්‍රියා කරන විටයි. එලෙසම දෙවි ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට පවරා ඇති විවිධ කාර්යයන් ඔවුන් සහයෝගයෙන් කරන විට දෙවිගේ ආශීර්වාදයක් ලෙස සභාවේ සාමය වැඩි වෙනවා.—1 කොරින්ති 14:33; ෆිලිප්පි 4:9. *

[පාදසටහන්වල]

^ 13 ඡේ. සභාව තුළ ඉගැන්වීම ඇතුළු වෙනත් කටයුතු බලා කියා ගන්නා පුරුෂයන්ට වුණත් තමන් කැමති ආකාරයෙන් ක්‍රියා කරන්න බැහැ. ඔවුන් යේසුස්ට යටත් වී බයිබල් ප්‍රමිතිවලට අනුව කටයුතු කළ යුතුයි. (1 කොරින්ති 11:3) එමෙන්ම ඔවුන් යටහත්පහත් මෙන්ම සහයෝගයෙන් කටයුතු කරන ‘එකිනෙකාට යටත්ව සිටින’ අය විය යුතුයි.—එෆීස 5:21.

^ 15 ඡේ. පුරුෂයන්ට දී තිබෙන කාර්යභාරයට ස්ත්‍රීන් ගරු කරන විට ඔවුන් දේවදූතයන්ටත් කදිම ආදර්ශයක් තබනවා.—1 කොරින්ති 11:10.

මේ ගැන ඔබ සිතුවාද?

● අතීතයේදී ක්‍රිස්තියානි ස්ත්‍රීන් ඉගැන්වීම් කටයුතු කළේ කුමනාකාරයෙන්ද?—ක්‍රියා 18:26.

● සභාවේ වැඩකටයුතු බලාගැනීමට පත් කර තිබෙන්නේ කාවද?—1 තිමෝති 3:1, 2.

● අද දින ක්‍රිස්තියානි ස්ත්‍රීන් කරන වැඩ කොටස දෙවි සලකන්නේ කෙසේද?—ගීතාවලිය 68:11.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“යෙහෝවා දෙවි අණක් නිකුත් කරන්නේය. එබැවින් ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීහු විශාල හමුදාවක් මෙන් පිටත්ව එති.”—ගීතාවලිය 68:11