කැනඩාවටම සරිලන වාහනය
කැනඩාවටම සරිලන වාහනය
වර්ෂ 1600 ගණන්වල මුල් කාලයේදී ප්‍රංශ ජාතික දේශ ගවේෂකයෙක් වූ සැමුවෙල් ඩී චැම්ප්ලේන් අත්ලාන්තික් සාගරය තරණය කර, කැනඩාවේ සාන්ත ලෝරන්ස් ගංගාවේ ඉහළට ගමන් කළා. එහිදී ඔහුත් ඔහුගේ පිරිසත් මොන්ට්‍රියල් නමැති ප්‍රදේශයේදී විශාල අභියෝගයකට මුහුණ දුන්නා. එනම් ඔවුන් ඉදිරියේ තිබූ ඉතා වේගයෙන් ගලා බසින ජල පහර තරණය කිරීමයි. ඒ සඳහා තමන් දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වූ බව ඔහු වාර්තා කළා. විකල්ප මාර්ගයක් ලෙස කැලෑව මැදින් ගමන් කිරීමත් තේරුමක් නැති වැඩක්. එසේනම් ඔවුන් ඒ අභියෝගය ජය ගත්තේ කෙසේද?
ඔවුන් එහි සිටි ආදිවාසීන්ගෙන් ඊට විසඳුමක් සොයාගත්තා. එනම් ඔරුවලින් ගමන් කිරීමයි. පසුව චැම්ප්ලේන් ඒ ගැන මෙසේ පැවසුවා. “මේ ඔරුවලින් හරිම පහසුවෙන් හා ඉක්මනින් පොඩි ගංගාවලත් ඒ වගේම ලොකු ගංගාවලත් රට පුරාම ගමන් කරන්න පුළුවන්.”
ඊටම සරිලන “වාහනයක්”
කැනඩාවේ තිබෙන විල් හා ගංගා, මහා මාර්ග හා සමාන වන අතර මෙම ඔරු ඊටම සරිලන වාහන කියා පැවසිය හැකියි. දඩයම් කිරීමට, ගමන් බිමන් යෑමට වගේම භාණ්ඩ ප්රවාහණය කිරීමටත් ඇමරිකානු ආදිවාසීන්ට ඒවා ඉතා ප්‍රයෝජනවත් වුණා. ඔරු නිපදවන අරමුණ හා තිබෙන සම්පත් අනුව ඔරුවල හැඩය මෙන්ම ඒවා නිර්මාණය කිරීමට යොදාගන්නා තාක්ෂණයද එකිනෙකට වෙනස් වුණා. උදාහරණයකට කැනඩාවේ බටහිර වෙරළ තීරයේ ජනයා ඒවා නිෂ්පාදනය කරන්නේ කිහිරි ගස් කඳන්වලිනුයි. එම ලී කඳ දෙකට පළා එහි මැද හාරා ගැනීමෙන් පසු ඊට වතුර
පුරවා, රත් කළ ගල් ඒ තුළට දමනවා. එයින් ලී කඳ මොළොක් වන නිසා එය සුදුසු හැඩයකට සකස් කරගත හැකියි. එවන් ඔරුවලින් ටොන් දෙකක් දක්වා බරක් ප්රවාහණය කළ අතර මුහුදු ගමන්වලදීද ඒවා ඉතා වේගවත් මෙන්ම ආරක්ෂාකාරීයි. තල්මසුන් වැනි විශාල මත්ස්‍යයන් දඩයම් කිරීමටත් ඔවුන් යොදාගත්තේ එම ඔරුයි.බර්ච් නමැති ගස් වර්ගයෙන් නිපදවන ඔරු උතුරු ඇමරිකාවේ වඩාත් ජනප්‍රියයි. ඒවා නිපදවන්නේ එහි ගනකමින් යුත් පොත්තෙනුයි. එහි ඇති මැලියම් ස්වභාවය නිසා කල් පැවැත්ම අතින් ඉතා ඉහළයි. ඒ විතරක් නෙවෙයි එම පොත්ත ඉතා නම්‍යශීලී මෙන්ම ශක්තිමත්. ඔරු නිෂ්පාදකයෙක් වන ඩේවිඩ් ගිඩ්මාක් ඒ ගැන මෙසේ පවසනවා. “ලී සහ කැන්වස්වලින් නිපදවන ඔරුවකට වෙනස්ව බර්ච් ගසෙන් නිපදවන ඔරුවක් ඉතා වේගයෙන් ගලා යන සැඩ ජල පහරකට වුණත් ඔරොත්තු දෙනවා.”
එම ඔරු නිපදවීමට බර්ච් හා කිහිරි ලී, පයින් ගස්වල මුල් මෙන්ම ගනකම් පොත්තද යොදාගන්නවා. ඒ සියලුම අමුද්‍රව්‍ය ලබාගන්නේ වනයෙන් නිසා එම ඔරු අලුත්වැඩියා කිරීමටද පහසුයි. එම ඔරු සැහැල්ලු නිසා වේගයෙන් ගලා බසින ජලය ඇති ස්ථානවල මෙන්ම වෙනත් බාධකවලදී උසුලාගෙන යෑම පහසුයි. පරිසර හිතකාමී මෙම ඔරු, භාවිතයෙන් ඉවත් කළ පසු පොළොවට දිරාපත් වෙනවා.
එම ඔරු නිෂ්පාදනය කරන ආකාරය පුදුමාකාරයි. ගෝත්‍රිකයන් එහි කොටස් “එකිනෙකට සම්බන්ධ කිරීමට ඇණ භාවිත කරන්නේ නැහැ. ඒ වෙනුවට සෑම කොටසක්ම සවිමත් ලෙස මසා නිම කර තිබෙනවා. ඒ සඳහා ඔවුන් භාවිත කළ ගැට හා මැහුම් ක්‍රම හරිම කලාත්මකයි. ඇත්තෙන්ම එය ඉහළම තත්වයේ නිර්මාණයක්” කියා 19වන සියවසේ නිරීක්ෂකයෙක් වාර්තා කළා.
දුම්රිය ගමනාගමනය ආරම්භ වීමට පෙර සිටම කැනඩාවේ භාවිත කළ වේගවත් මෙන්ම ආරක්ෂාකාරී ප්‍රවාහණ සේවය වූයේ ඔරුයි. දුම්රිය සේවය හඳුන්වා දුන් විගසම එම ඔරු භාවිතයෙන් ඉවත් කළේ නැහැ. යම් කාලයක් යන තුරුම ඒ ක්‍රම දෙකම ඔවුන් භාවිත කළා.
එම ඔරු උතුරු ඇමරිකානු ආදිවාසීන්ගේ සංස්කෘතියේ මෙන්ම ආගමික විශ්වාසයන්ගේද විශේෂ අංගයක් වුණා. උදාහරණයකට ලෝක ව්‍යාප්තව සිදු වූ ජල ගැල්මකින් යම් පිරිසක් ඔරුවල නැඟී ජීවිත ගලවාගත් බව ඔවුන්ගේ පුරාවෘත්තවල සඳහන් වෙනවා.
අද දින ඔරු
අද දිනත් එම ඔරු පැදීම කැනඩාවේ ඉතා ජනප්‍රියයි. නමුත් ඒ විනෝදයට කරන ක්‍රීඩාවක් ලෙසයි. කනගාටුවට කරුණක් නම් ඔරු තැනීමට සුදුසු ගස් එන්න එන්නම අඩු වී යෑමයි. ඒ වුණත් ඇලුමීනියම්, කැන්වස්, ලී සහ ෆයිබර්ග්ලාස් වැනි වෙනත් අමුද්‍රව්‍ය යොදාගෙන තවමත් ඔවුන් ඔරු නිෂ්පාදනය කරනවා.
ඔරු පැදීමේ ශූරයෙක් වන බිල් මේසන් වරක් මෙසේ පැවසුවා. “ගංගා ඇළදොළවල් හරහා මේ ඔරුවලින් සංචාරය කරද්දී එදා සිටි ජනයාට අවට පරිසරය සමඟත් එහි ඇති සියල්ල නිර්මාණය කළ තැනැත්තා සමඟත් කොතරම් කිට්ටු බැඳීමක් තිබුණාද කියා තේරුම්ගන්න පුළුවන්.” ඇත්තෙන්ම ඔහුගේ එම වදන් සමඟ බොහෝදෙනෙක් එකඟ වෙනවා නිසැකයි!
[11වන පිටුවේ කොටුව⁄පින්තූරය]
කායාක් ඔරු
කැනඩාවේ එක් ප්‍රදේශයක එස්කිමෝවරුන් පිරිසක් ජීවත් වන අතර ඔවුන් ඔරු තැනීමට භාවිත කරන්නේ සීල් මත්ස්‍යයින්ගේ හා පිනිමුවන්ගේ සම් මෙන්ම සත්ව අස්ථි හා වෙරළට ගසාගෙන එන ලීවලිනුයි. ජලයට ඔරොත්තු දීම සඳහා ඔවුන් ඒවා සතුන්ගේ මේදයෙන් සම්පූර්ණයෙන්ම ආලේප කරනවා. එම ඔරු හඳුන්වන්නේ කායාක් යන නමිනුයි.
අප මුලින් සඳහන් කළ ඔරුවලට වඩා කායාක් ඔරු වෙනස්. කායාක් ඔරුව පෙරළුණත් එය තුළට වැඩි වතුර ප්‍රමාණයක් නොයන ආකාරයට එය ආවරණය කර තිබෙන නිසා එය පෙරළුණත් නැවතත් අනික් පැත්තට හරවාගැනීම පහසුයි. එමෙන්ම පැදයන්නාටද ආරක්ෂාවක් ලැබෙනවා. කෙසේවෙතත් වර්තමානයේ කායාක් ඔරු නිපදවන්නේ ෆයිබර්ග්ලාස් හා වෙනත් කෘතිම දේවලිනුයි.
[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Library of Congress