Skip to content

පටුනට යන්න

රූපවාහිනිය

රූපවාහිනිය

රූපවාහිනිය

මිනිසා විසින් ශබ්දය විකාශනය කිරීමට ගුවන්විදුලි යන්ත්‍රය සොයාගත් පසු සජීවී රූප විකාශනය කිරීමටද ක්‍රම සෙව්වා. අද අප කවුරුත් භාවිත කරන රූපවාහිනි යන්ත්‍රය එහි ප්‍රතිඵලයයි. ඇත්තෙන්ම අපට ඒ තුළින් සජීවී රූප දැකගන්න පුළුවන් වන්නේ කෙසේද?

මුලින්ම විශේෂ කැමරාවක් යම් දර්ශනයක් වෙත යොමු කරයි. එම කැමරාව මගින් දර්ශනයේ අඩංගු තොරතුරු ලබාගන්නේ කුඩා තිත් ආකාරයටයි. එම තිත් හඳුන්වන්නේ රූප උපාංග (පික්සල්ස්) ලෙසයි. මේ කුඩා තිත් ගුවන් තරංග මගින් තවත් ස්ථානයකට යැවිය හැකි ලෙස ඒවා විද්‍යුත් සංඥා බවට පරිවර්තනය කරයි. එම සංඥා ලබාගන්නා උපකරණය මගින් ඒවා නැවතත් තිත් බවට පරිවර්තනය කර රූප දැකගැනීමට සලස්වයි.

එම ක්‍රියාවලිය සමඟින් මුල්වරට සජීවී රූප විකාශනය කිරීම සඳහා යන්ත්‍රයක් සොයාගැනීමේ ගෞරවය හිමි වන්නේ ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගී බෙයාඩ් නැමැත්තාටයි. ඔහුගේ දුර්වල සෞඛ්‍යය නිසා විදුලි ඉන්ජිනේරුවෙක් ලෙස කළ සේවයට සමු දීමට ඔහුට සිදු වුණා. ඉන්පසු ඔහු තම කාලය වැය කළේ ගැටවර අවධියේ පටන් දැඩි ඇල්මක් දැක්වූ දෙයකටයි. එනම් සජීවී රූප විකාශනය කරන යන්ත්‍රයක් නිපදවීමටයි.

මුලින්ම සජීවී රූප විකාශනය කිරීමට ඔහු යොදාගත්තේ කුමක්ද? ඔහු රවුම් තැටියක් මත මදුරු දඟරයක හැඩයට සිදුරු 30ක් සකසාගෙන එය තවත් උපකරණයකට සවි කළා. එම තැටිය වේගයෙන් කරකැවෙන්න සැලැස්වූ අතර එහි සිදුරු තුළින් පැමිණි ආලෝකය එම උපකරණය හරහා යන විට එය විද්‍යුත් සංඥා බවට පරිවර්තනය වුණා. ඉන්පසුව එම විද්‍යුත් සංඥා වෙනත් ස්ථානයක තිබෙන ඉහත කී හා සමාන උපකරණයක් වෙත යැව්වා. එවිට එම උපකරණය මගින් විද්‍යුත් සංඥා නැවතත් ආලෝකය බවට පරිවර්තනය කර එම ආලෝකය එහි ඇති වේගයෙන් කරකැවෙන තැටියේ සිදුරු තුළින් යැව්වා. එයින් සජීවී රූප දැකගත හැකි වුණා. නමුත් ඔහු මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වුණේ පැහැදිලි රූප ලබාගැනීම සඳහා උපකරණ දෙකෙහිම තිබූ තැටි එකවර කරකැවීමට සැලැස්වීමයි.

ජෝන් ලොගී බෙයාඩ් ප්‍රථම වතාවට එක් තැනක සිට තවත් තැනකට එසේ රූප විකාශනය කළේ 1925 ඔක්තෝබර් 2වෙනිදායි. එනම් තම සඳලුතලයේ සිට පහත මාලයටයි. එම ඉතිහාස ගත අවස්ථාවට මුලින්ම පෙනී සිටියේ තරමක් බියට පත් වී සිටි කොලු ගැටයෙකුයි. ඒ අවස්ථාවට පෙනී සිටීම වෙනුවෙන් ඔහුට සුළු ගෙවීමක්ද කළා. ඉන්පසුව ලොගී බෙයාඩ් විසින් අත්ලාන්තික් සාගරයේ එක් අන්තයක සිට අනික් අන්තයට 1928දී පළමු වතාවට සජීවී රූප විකාශනය කළා. ඒ නිසා ඔහු නිව් යෝක් නගරයට පැමිණි අවස්ථාවකදී ඔහුව පිළිගත්තේ ඉතාමත් හරසරිනුයි. වැඩි කල් නොගොස් ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත් වුණා. නමුත් මුල්ම වරට සජීවී රූප විකාශනය කළේ ඔහුද?