පවුලේ බැඳීම ශක්තිමත් කරගන්න කදිම අවස්ථාවක්
පවුලේ බැඳීම ශක්තිමත් කරගන්න කදිම අවස්ථාවක්
“ජීවිතය යනු සෙනෙහස හා සතුට පමණක් නොව දුක කඳුළද පිරි දෙයක්. ඒ කුමන තත්වයකදී වුණත් ජීවිතය ගෙන යෑමට නම් අපට ආහාර අවශ්‍යමයි. රසවත් ආහාර වේලක් භුක්ති විඳීම සතුටින් හා දුකින් සිටින දෙපිරිසටම ප්‍රීතියක් ගෙන දෙයි.”—ඇමරිකානු ජාතික ලේඛිකාවක් වන ලොරි කොල්වින්.
මීට අවුරුදු ගණනාවකට ඉහත බොහෝ පවුල්වල යහපත් පුරුද්දක් තිබුණා. එය නම් අඩුම තරමින් දිනකට එක් වතාවක් හෝ පවුලක් හැටියට ආහාර වේලක් ගැනීමයි. ඒ අවස්ථාවේදී කිසිවෙක් රූපවාහිනියට, සංගීතයට මෙන්ම මිතුරන්ට කෙටි පණිවිඩ යැවීමට තම අවධානය යොමු කළේ නැහැ. එම අවස්ථාව ඉතාමත් සාමකාමී එකක් වූ අතර පවුලේ අයට සතුටු සාමිච්චියේ යෙදෙන්නත් කාලය ලැබුණා. එමෙන්ම දැනුම බෙදාගැනීමට, පවුලේ බැඳීම ශක්තිමත් කරගැනීමට, දවසේ ආගිය තොරතුරු කතා කිරීමට හා පෝෂ්‍යදායී ආහාර වේලක රස බැලීමට එය කදිම අවස්ථාවක්.
එසේ එකට ආහාර වේලක් භුක්ති විඳීම අද බොහෝදෙනා සලකන්නේ යල් පැන ගිය දෙයක් ලෙසයි. ඔවුන් ආහාර ගන්නේ තම තමන්ට කැමති වේලාවටයි. ඊට හේතුව කුමක්ද? එකට ආහාර වේලක් ගැනීම එතරම්ම වැදගත්ද? එමගින් පවුලේ සියලුදෙනාටම ලැබෙන ප්‍රයෝජන මොනවාද?
එය ගිලිහී යමින් තිබෙනවාද?
“රාත්‍රී ආහාරය එකට ගැනීම අද සිටින පරම්පරාවෙන් ගිලිහී යමින් තිබෙනවා. ඒ නිසා පවුලේ සාමාජිකයන් අතර තිබෙන බැඳීම වේගයෙන් අඩු වී යන බවට එය ප්‍රබල සාක්ෂියක්” කියා එක් පොතක සඳහන් වෙනවා. ඊට මූලිකවම හේතුව වී ඇත්තේ කුමක්ද? පළමු කාරණය නම් අධික ජීවන වියදමයි. ඒ නිසා ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාටම වැඩිපුර පැය ගණනක් රැකියාවේ නිරත වීමට සිදු වී තිබෙනවා. අනික් අතට මව හෝ පියා පමණක් සිටින පවුල් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන නිසා පවුලේ අය සමඟ ගත කරන්න ඔවුන්ට කාලය නැති තරම්. දෙවැනි කාරණය නම් ඉතාමත් කාර්යබහුල ජීවන රටාවකට කොටු වීමයි. ඒ නිසා බොහෝදෙනා හුරු වී ඇත්තේ ඉක්මනින් කෑමට ගත හැකි ක්ෂණික ආහාරවලටයි. දරුවන්ටත් පාසැලෙන් පසු ක්‍රීඩා හා සංගීතය වැනි දහසකුත් වැඩකටයුතු තිබෙන නිසා ඔවුන්ද එවැනි ආහාර රටාවකට හුරු වී තිබෙනවා.—එම පොත Bowling Alone.
පවුලක් හැටියට එකට ආහාර වේලක් ගැනීම පසකට තල්ලු වීමට තවත් හේතුවක් තිබෙනවා. සමහර පියවරුන් රැකියාවෙන් පසු තම නිවසට පැමිණෙන්නේ දරුවන් නින්දට ගිය පසුවයි. ඒ ඔවුන්ට නිදහසේ රාත්‍රී ආහාරය ගැනීමට අවශ්‍ය නිසයි. තවත් දෙමාපියන් රෑ බෝ වෙන්න කලින් නිවසට පැමිණියත් දරුවන්ට කවා පොවා කලින්ම ඔවුන්ව නිදි කරවයි. එසේ කරන්නේ ඔවුන් දෙදෙනාට නිදහසේ රාත්‍රී ආහාරය ගැනීමටයි.
වර්තමානයේ බොහෝදෙනා එකට ආහාර වේලක් ගන්නවා වෙනුවට අලුත් ක්‍රමයකට හුරු වී තිබෙනවා. එනම් පිළියෙල කර තිබෙන ආහාර ගැන යම් දැන්වීමක් මේසය මත තබා යෑමයි. ඒ අනුව විවිධ වේලාවන්වල නිවසට පැමිණෙන පවුලේ සාමාජිකයන්, පිසූ ආහාර බෙදාගෙන රූපවාහිනිය නරඹමින් හෝ පරිගණකය භාවිත කරමින් ඒවා අනුභව කරන්න පටන්ගනියි. දැන් මෙම ක්‍රමයට බොහෝදෙනා හුරු වී තිබෙන නිසා එය වෙනස් කිරීමට අපහසු තත්වයකට පත් වී තිබෙනවා. නමුත් එය වෙනස් කිරීමට තරම් වටිනා දෙයක් කියා ඔබ සිතනවාද?
එය රැකගැනීම වටිනවා
පවුලක් හැටියට ආහාර ගැනීමේදී තම දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමටත් දෙමාපියන්ට අවස්ථාවක් ලැබෙනවා. දවසේ රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේදී “දෙමාපියන් සමඟ කතාබහ කරන්න දරුවන්ට සන්සුන් වාතාවරණයක් සැලසෙනවා. එකට ආහාර වේලක් ගැනීමෙන් ඔබේ පවුලේ සෑම ප්‍රශ්නයකටම විසඳුම් නොලැබුණත් බොහෝ කාරණා සාකච්ඡා කරන්න ඒක හොඳ අවස්ථාවක්” කියා එක පොතක සඳහන් වෙනවා.—The Surprising Power of Family Meals.
දෙදරු පියෙක් වන ඉඩුආඩෝ පවසන දේ බලන්න. “මම පොඩි කාලේ, අපේ කෑම මේසෙට 11දෙනෙක් වාඩි වෙනවා මට මතකයි. අපේ තාත්තා පවුලේ අයත් එක්ක එකට කෑම කන්න ගෙදර එන්න ලොකු උත්සාහයක් දැරුවා. ඇත්තටම අපි කෑම කන අවස්ථාව හැම අතින්ම විශේෂයි. හැම දවසකම අපිට වෙච්ච දේවල් අපි කෑම මේසෙදි කතා කරනවා. නිතරම වගේ අපි විහිළු කතා කියලා හොඳට හිනා වෙනවා. ඒ ලස්සන මතකයන් නිසා මටත් ඕනේ මගේ තාත්තගේ ආදර්ශය අනුගමනය කරන්නයි.”
පවුලක් ලෙස ආහාර ගැනීම දරුවන්ට ඉතා සමබර මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමටත් උපකාරවත් වෙනවා. ඇමරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලය මගින් කළ අධ්‍යයනයකින් හෙළි වුණේ තම පවුලේ අය සමඟ සතියට පස්වතාවක් පමණ ආහාර ගන්නා ළමුන් මානසික පීඩනය, අලසභාවය වැනි ගැටලුවලට මුහුණ පාන්නේ ඉතා අඩුවෙන් බවයි. එමෙන්ම ඔවුන් පාසැලේ ඉගෙනීම් කටයුතුවලද දක්ෂතාවන් පෙන්වනවා.
ඉඩුආඩෝ මෙසේද පවසනවා. “පවුලක් හැටියට ආහාර ගැනීම දරුවන්ගේ මානසික ශක්තිය වර්ධනය කරගැනීමටද උපකාරවත් වන බව මම විශ්වාස කරනවා. අපේ දුවලා දෙන්නාට අපිට මොනවා හරි කියන්න තියෙනවා නම් ඒ ගැන කියන්නේ කොයි වෙලාවෙද කියලා තැවි තැවි ඉන්න ඕනේ නැහැ. අපි හැමදාම එකට කෑම ගන්න නිසා ඒ වෙලාව එයාලට ඒකට හොඳ අවස්ථාවක්. ඒ වගේම තාත්තා හැටියට ඒගොල්ලන්ගේ ප්‍රශ්න මොනවාද කියලා තේරුම්ගන්නත් ඒක මටත් හොඳ අවස්ථාවක්.”
පවුලක් ලෙස එකට කෑම ගැනීම ආහාර ගැනීමේ නරක පුරුදු මඟ හැරීමටත් උපකාරයක්. ස්පාඤ්ඤයේ නවාරේ විශ්වවිද්‍යාලයේ වාර්තාවක සඳහන් වන්නේ තමන්ට රිසි වේලාවක ආහාර ගැනීමේ වැරදි පුරුදු නිසා ලෙඩ රෝග ඇති වීමේ ප්‍රවණතාව ඉහළ යා හැකි බවයි. පවුලක් ලෙස නිතිපතා ආහාර භුක්ති විඳින කෙනෙකුට වුණත් එවැනි රෝග තත්වයන් ඇති විය හැකියි. නමුත් පවුලක් ලෙස නිසි වේලාවට ආහාර ගැනීමෙන් එම තත්වය අවම කරගත හැකියි. දෙදරු මවක් වන එස්මරෙල්ඩ් එහි ඇති තවත් ප්‍රයෝජනයක් ගැන සඳහන් කරනවා. “පුරුද්දක් හැටියට එකට ආහාර වේලක් ගන්නා විට අපි දරුවන් ගැන සැලකිලිමත් වෙනවා කියා දරුවන්ට දැනෙනවා. ඒ වගේම එයින් පවුල තුළ උණුසුම් මෙන්ම ප්‍රේමණීය වාතාවරණයක් ඇති කරනවා.”
තම දරුවන්ට ආගම දහම ගැන ඉගැන්වීමටත් දෙමාපියන්ට එය හොඳ අවස්ථාවක්. මීට අවුරුදු 3500කට පෙර ඊශ්‍රායෙල් ජාතික දෙමාපියන්ට යෙහෝවා දෙවි ආඥාවක් දුන්නා. එය නම් දරුවන්ගේ සිත්වලට දෙවිගේ අණ පනත් කාවදින සේ ඉගැන්වීමයි. (ද්විතීය කතාව 6:6, 7) ඒ සඳහා ඔවුන්ට තම දරුවන් සමඟ කාලය ගත කිරීමට සිදු වුණා. ඒ සම්බන්ධයෙන් දෙදරු පියෙක් වන ආන්ජෙල් මෙසේ පවසනවා. “අපි කෑම ගන්න වෙලාව අතරතුර බයිබලයෙන් කොටසක් සාකච්ඡා කර පවුලක් හැටියට යාච්ඤා කරනවා. අපි එහෙම කරද්දී ඒක දෙවිට නමස්කාර කරන අවස්ථාවක් බවටද පත් වෙනවා.” ඒ අනුව පවුලේ සාමාජිකයන් එකට ආහාර වේලක් ගැනීමෙන් බොහෝ ප්‍රයෝජන ලබන බව පැහැදිලියි. නමුත් පවුල තුළ එවන් වාතාවරණයක් ඇති කිරීම සඳහා බොහෝ අය කර තිබෙන සැලසුම් මොනවාද?
ඒ සඳහා කළ යුතු දේ
එස්මරල්ඩ් මෙසේ පවසනවා. “ඒ සඳහා ආශාවක් තිබීමත් හොඳින් සංවිධානය වීමත් අත්‍යවශ්‍යයි. ඒ වගේම අන්තිමටම ගෙදර එන කෙනාටත් කෑමට ඉඳගන්න පහසු වන විදිහට රෑ කෑම සඳහා වෙලාවක් නියම කරන එක හොඳයි.” දෙදරු මවක් වන මාරිබෙල්ද පවසන්නේ “මොන බාධාවක් ආවත් පවුලක් හැටියට රෑ කෑම ගන්න එක නම් අපි අතපසු කරන්නේ නැහැ “ කියායි. සමහර පවුල් සති අන්තයේ යම් කාලයක් වෙන් කරගෙන කෑම වේලක් සඳහා කලමනා සූදානම් කරනවා. නැත්නම් ඔවුන් එකතු වී කෑමක් පිළියෙල කරනවා.
එකට ආහාර වේලක් ගැනීම වැදගත් දෙයක් කියා සැලකීමද අවශ්‍යයි. ඉඩුආඩෝ තමන් කළ දේ මෙසේ පවසනවා. “මගේ පවුලේ අයත් එක්ක රෑ කෑම ගන්න පුළුවන් විදිහට මගේ රැකියාවේ වැඩකටයුතු සකස් කරගන්න මට සිද්ධ වුණා. ඒ වුණත් ඒකට දරපු වෑයම හරිම වටිනවා. දැන් මම මගේ පවුලේ කාරණා ගැන ඉස්සරට වඩා සැලකිලිමත් කියලා මට හිතෙනවා. මම රැකියා ස්ථානයේ වැඩ කරන කොට ඒකට හොඳ අවධානයක් දෙන්න මට සිද්ධ වෙනවා. ගෙදර ආවට පස්සේ පවුලේ අයටත් ඒ වගේම අවධානයක් දුන්නේ නැත්නම් මම ඒ අයට කරන්නේ අසාධාරණයක් කියලා මට හිතෙනවා.”
දහසය හැවිරිදි ඩේවිඩ් පවසන දේ බලන්න. “අපේ කෑම මේසය තියෙන්නේ රූපවාහිනිය තියෙන කිට්ටුවක නෙවෙයි. ඒ නිසා කෑම කන ගමන් අපිට කතා කරන්න හොඳට කාලය තියෙනවා. ඒ වෙලාවට අපි දවසේ තොරතුරු ගැන අම්මටයි තාත්තටයි කියනවා. එතකොට ඒ අය අපිට හොඳ මඟ පෙන්වීම් දෙනවා. දැන් ඉන්න යෞවන අය එයාලගේ දෙමාපියන් එක්ක වැඩිය කතා කරන්නේ නැහැ. කෑම කන වෙලාවට පවුලේ හැමෝම ගෙදර හිටියත් ඔවුන් එකට කන්නේ නැහැ. සමහර අය කෑම කන්නේ රූපවාහිනිය නරඹමින්. ඒ අයට වැදගත් දෙයක් අහිමි වෙනවා කියලා ඒ අය දන්නේ නැහැ.” සැන්ඩ්‍රා නමැති 17 හැවිරිදි යෞවනියත් එවැනි දෙයක් පවසනවා. “මගේ පන්තියේ සමහර ළමයි මට මෙහෙම කියනවා. ‘අද අම්මා මට කන්න මොනවා උයලා තියලා ගිහිල්ලාද දන්නේ නැහැ.’ එහෙම කියද්දී මට ඒ අය ගැන දුකත් හිතෙනවා.
හැබැයි අපේ ගෙදර නම් කෑම කන වෙලාව නිකම්ම බඩගින්න නිවාගන්න අවස්ථාවක් විතරක් නෙවෙයි. ඒ වෙලාව අපිට හිනා වෙන්න, කතා කරන්න වගේම අනික් අයට අපේ ආදරය පෙන්නන්නත් හොඳ අවස්ථාවක්.”“අපට දිනපතා මුහුණ පාන්න සිදු වන පීඩනයන්ගෙන් සහනයක් ලැබීමට” පවුලක් ලෙස එකට ආහාර ගැනීම උපකාරවත් වෙයි කියා එක් වාර්තාවක සඳහන් වී තිබෙනවා. එවන් අවස්ථාවක් තුළින් ඔබේ පවුලේ සාමාජිකයන් අතර ඇති බැඳීම තවත් ශක්තිමත් කරගැනීමට හැකියි. එමනිසා ඔබ ගත කරන කාර්යබහුල ජීවිතයෙන් මදක් මිදී ඔබ ඉතා ආදරය කරන ඔබේ පවුලේ සාමාජිකයන් සමඟ සුහද කතාබහක යෙදීමට එය ඔබට කදිම අවස්ථාවක්. ඒ සඳහා ඔබ දරන වෑයම කෙදිනකවත් අපතේ යන්නේ නැහැ.—එම වාර්තාව The Surprising Power of Family Meals.
[15වන පිටුවේ කොටුව⁄පින්තූරය]
පවුලේ අය සමඟ ආහාර වේලක් භුක්ති විඳින විට ඔබට ඉගෙනගත හැකි දෑ:
හොඳින් අදහස් හුවමාරු කරගැනීමට. ගෞරවනීය ලෙස කතාබහ කිරීමට හා ඇහුම්කන් දීමට දරුවන්ට ඉගෙනගත හැකියි. අදහස් හුවමාරුව මගින් දරුවන් හොඳ වචන ඉගෙනගන්නා අතර යමක් හොඳින් පවසන ආකාරයද ඉගෙනගනියි.
නියම වේලාවට පෝෂ්‍යදායී ආහාර ගැනීම.
යහපත් පුරුදු විදහාපෙන්වන්න. හොඳම කොටස තමන්ට ලබාගන්නවා වෙනුවට අන් අය සමඟ බෙදාගැනීමෙන් ත්‍යාගශීලී වීමට ඉගෙනගන්න. එමෙන්ම පවුලේ සාමාජිකයන් ආහාර ගන්නා අතරේදී ඔවුන්ගේ අවශ්‍යතාවන් ගැන සැලකිලිමත් වන්න.
එකමුතුව වැඩ කිරීමට. කෑම මේසය පිළියෙල කිරීමේදී හා පසුව එය පිරිසිදු කිරීමේදී ඊට හවුල් වීමෙන් හෝ කෑම ගන්න අතරතුරේ එකිනෙකාට උපකාර කිරීමෙන් සහයෝගය දැක්වීමට දරුවන්ට හැකියි. ඔවුන් වයසින් වැඩි වෙත්ම කෑම වේලක් පිළියෙල කිරීමට උදව් කිරීමටද ඔවුන්ට හැකියි.