Skip to content

පටුනට යන්න

ඇයි ගැහැනු ළමයි මට අකමැති?

ඇයි ගැහැනු ළමයි මට අකමැති?

යෞවන අය අසති

ඇයි ගැහැනු ළමයි මට අකමැති?

ඇගේ හිත ගන්න හැම තොරතුරක්ම මම ඇයට කිව්වා. මට තියෙන දේවල්, මම බලන්න ගිය තැන්, මම දන්න හැම කෙනෙක් ගැනමත් මම ඇයට කිව්වා. මම හිතන්නේ ඇය දැන් මට වශී වෙලා ඇති.

මම ඇත්තටම එයාගේ කතාව කොයි වෙලාවේද ඉවරවෙන්නේ කියලා බල බල හිටියේ. එයාගේ කතාවට මම උනන්දුවක් නැහැයි කියලා එයාට තේරුණේ නැද්ද මන්දා.

ඔබ සිටින්නේ ආදර සබඳතාවක් පටන්ගන්න සුදුසු වයසක නම් ඔබ කැමති ඇති හොඳ පෙනුමක් තියෙන ඔබේ ආගමික විශ්වාසයන්ට ගරු කරන කෙනෙකුව සොයාගන්න. (1 කොරින්ති 7:39) නමුත් ඔබ කොතරම් උත්සාහ දැරුවත් සබඳතාවක් පටන්ගැනීමට ඔබ දැරූ වෑයම් අසාර්ථක වී ඇති.

ඔබ ගැහැනු ළමයෙකුව හොඳින් දැන හඳුනා ගන්න කැමති නම් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? ඒ වගේම මතකයේ තබා ගත යුතු බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

මුලින්ම කළ යුතු දේ

ගැහැනු ළමයෙකුට ඔබේ හිත ගියා නම් ඔබ යම් යම් කාරණා ගැන දැනුවත් විය යුතුයි. එය ගැහැනු ළමයෙකු සමඟ මිත්‍ර වීමට පමණක් නොව ඕනෑම කෙනෙකු සමඟ හොඳ මිත්‍රත්වයක් භුක්ති විඳීමට උපකාරවත් වෙයි. පහත දැක්වෙන දේවල් සලකා බලන්න.

▪ හොඳ පුරුදු වර්ධනය කරගන්න. බයිබලයේ සඳහන් කරන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් “අවිනීතව හැසිරෙන්නේ නැත” කියායි. (1 කොරින්ති 13:4, 5) යහපත් පුරුදු තිබිමෙන් පෙන්වන්නේ ඔබ අන් අයට ගරු කරන බව හා ක්‍රිස්තුස්ට සමාන පෞද්ගලිකත්වයක් වර්ධනය කරගැනීමට උත්සාහ දරන බවයි. නමුත් අන් අයව ආකර්ෂණය කරගැනීමට පමණක් විනීතව හැසිරෙනවා නම් ඔබ කරන්නේ රඟපෑමක්. ඔබගෙන්ම මෙම ප්‍රශ්න අසා ගන්න. ‘මම පවුලේ අය ඉදිරියේ යහපත් පුරුදුවිදහා පෙන්වනවාද?’ ඇත්තෙන්ම බුද්ධිමත් ගැහැනු ළමයෙක් ඔබ පවුලේ අයට සලකන ආකාරයද සොයා බලන බව අමතක කරන්න එපා.—එෆීස 6:1, 2.

ගැහැනු ළමයි පවසන දේ: “යම් පිරිමි ළමයෙකුට හොඳ පුරුදු තියෙනවා නම් මම හරි කැමතියි. සමහරවිට මං වෙනුවෙන් දොරක් අරිනවා වගේ පොඩි පොඩි දේවල් විතරක් නෙවෙයි මට වගේම මගේ පවුලේ අයටත් කාරුණික සැලකිල්ල පෙන්වීම වැනි වැදගත් කාරණාත් ඔහු අතින් ඉටු වෙනවා නම් මම හරි කැමතියි.”—ටීනා, අවුරුදු 20යි. *

“මම අකමැතිම දෙයක් තමයි දැක්ක මුල් දවසේම මගේ පෞද්ගලික දේවල් ඒ කියන්නේ මට පෙම්වතෙක් ඉන්නවාද? මගේ ඉලක්ක මොනවාද? වැනි දේවල් අහනවාට. පෞද්ගලික දේවල් අහන එක හරිම කැත දෙයක්. ඒ වගේ අයට මම කැමති නැහැ.”—කැමීලා, අවුරුදු 19යි.

පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න. ඔබ පිරිසිදුව සිටීමෙන් පෙන්වන්නේ අන් අය ගැනත් ඔබ ගැනත් සැලකිලිමත් වන බවයි. (මතෙව් 7:12) ඔබ ඔබ ගැන සැලකිලිමත් වෙනවා නම් අන් අය තුළත් ඔබ ගැන යහපත් හැඟීමක් ඇති වෙයි. නමුත් ඔබ පිරිසිදුකම ගැන එතරම් සැලකිලිමත් නොවෙනවා නම් ගැහැනු ළමයෙක්ගේ සිත දිනාගැනීම පහසු කාර්යයක් නොවෙයි.

ගැහැනු ළමයි පවසන දේ: “පිරිමි ළමයෙක් මං ගැන උනන්දුවක් දැක්වූවා. හැබැයි එයාගේ කටේ ගඳ මට දරාගන්න බැරි වුණා.”—මෙලී, අවුරුදු 24යි.

▪ අදහස් හුවමාරු කිරීමේ කලාව දියුණු කරගන්න. ශක්තිමත් බැඳීමකට හොඳ අදහස් හුවමාරුවක් අවශ්‍යයි. හොඳ අදහස් හුවමාරුවක් කියන්නේ ඔබ උනන්දුවක් දක්වන දේවල් ගැන පමණක් කතා කිරීම නොවෙයි. ඔබේ මිතුරා පවසන දේවල් ගැනද උනන්දුවක් දැක්වීමයි.—ෆිලිප්පි 2:3, 4.

ගැහැනු ළමයි පවසන දේ: “පිරිමි ළමයෙකුට මාත් එක්ක නිදහසේ අදහස් බෙදාගන්න පුළුවන් නම් මම හරි කැමතියි. ඒ වගේම මම කලින් කියලා තියෙන දේවල් එයාට මතක තියෙනවා නම් මම හරි ආසයි.”—ක්‍රිස්ටීන්, අවුරුදු 20යි.

“මම හිතන විදිහට නම් පිරිමි ළමයින්ගේ හිත යන්නේ එයාලා දකින දේවලට. නමුත් ගැහැනු ළමයින්ගේ හිත යන්නේ එයාලට ඇහෙන දේවලටයි.”—ලෝරා, අවුරුදු 22යි.

“පිරිමි ළමයෙකුට පුළුවන් නම් හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගන්න, මාව සනසන්න, මාව දිරිගන්වන්න, ඒවා තෑගීවලට වඩා වටිනවා. හිත යන්නෙත් ඒ වගේ අයටයි.”—ඇමී, අවුරුදු 21යි.

“මම ආසයි විහිළුවලට කැමති කෙනෙකුට. ඒ වගේම බැරැරුම් කාරණා කතා කරන කොට අවංකවම අවධානය දෙන කෙනෙක් වෙන්නත් ඕනේ.”—මෙලී, අවුරුදු 24යි.

ඉහත සඳහන් යෝජනා අදාළ කරගැනීමෙන් ඔබට හොඳ මිත්‍රත්වයන් ගොඩනඟාගත හැකියි. නමුත් ඔබ ගැහැනු ළමයෙක් සමඟ විවාහ වීමේ අරමුණෙන් යම් සබඳතාවක් පැවැත්වීමට අදහස් කරනවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

ඊළඟ පියවර

▪ පෙරමුණ ගන්න. ඔබ දැන හඳුනන ගුණ යහපත් ගැහැනු ළමයෙක් ඔබේ අනාගත බිරිද වීමට සුදුසුයි කියා සිතනවා නම් ඒ බව ඇයට පවසන්න. එය පැහැදිලිව හා සෘජුව පවසන්න. මෙය කිරීම පහසු නැහැ. මන්ද ඔබ කළ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි කියා ඔබට බියක් දැනෙන්න පුළුවන්. නමුත් ඔබ සියලු අභියෝග භාරගෙන ඔබේ සිතේ තිබෙන අදහස එඩිතරව පැවසීමට පියවර ගැනීමෙන් පෙන්නුම් කරන්නේ ඔබ මේරූ පුරුෂයෙක් බවයි.

ගැහැනු ළමයි පවසන දේ: “මට අනිත් අයගේ හිත් කියවන්න බැහැ. කාට හරි මාව දැන හඳුනා ගන්න ඕන නම් අවංකව ඒ ගැන කියන්න ඕනේ.”—සැන්ඩ්‍රා, අවුරුදු 23යි.

“කාලයක් හොඳ යාළුවන් ලෙස ආශ්‍රය කරලා එක පාරටම පෙම්වතුන් ලෙස ඇසුරු කරන්න ටිකක් අමාරුයි. එහෙත් කවුරු හරි කෙනෙක් ඒ වගේ අදහසක් ප්‍රකාශ කළොත් මම ඒකට ගරු කරනවා.”—හෙලන්, අවුරුදු 25යි.

ගැහැනු ළමයාගේ තීරණයට ගරු කරන්න. ඔබ කළ යෝජනාව ගැහැනු ළමයා ප්‍රතික්ෂේප කළා නම් ඔබ කළ යුත්තේ කුමක්ද? ඇගේ තීරණයට ගරු කිරීමයි. ඔබ ගෙනා යෝජනාව පිළිගන්න කියා බල කරනවා නම් එයින් පෙන්නුම් කරන්නේ ඔබ මේරූ පුරුෂයෙක් නොවන බවයි. ඔබව ප්‍රතික්ෂේප කිරීම ගැන ඔබ කේන්තියෙන් පසු වෙනවා නම් එයින් පෙන්නුම් කරන්නේ ඇගේ අදහස්වලට ගරු කරන බවද නැත්නම් ඔබ ඔබ ගැන පමණක් සිතන කෙනෙක් බවද?—1 කොරින්ති 13:11.

ගැහැනු ළමයි පවසන දේ: “මම අකමැතියි කියා පැහැදිලිව කිව්වට පස්සෙත් නැවත නැවත මට බල කරනවා නම් මට කේන්ති යනවා.”—කොරීන්, අවුරුදු 20යි.

“මම එක පිරිමි ළමයෙකුට කිව්වා මම කැමති නැහැ කියලා. ඒත් මගේ දුරකථන අංකය ඉල්ලමින් මට කරදර කළා. මම කැමති නැහැ කාටවත් නපුරු විදිහට සලකන්න. එයාත් එයාගේ අදහස ප්‍රකාශ කරන්න ලොකු වෑයමක් දරන්න ඇති. ඒත් අන්තිමේදී මට එයාත් එක්ක තදින් කටයුතු කරන්න සිදු වුණා.”—සාරා, අවුරුදු 23යි.

නොකළ යුතු දේ

සමහර තරුණයන්ට නම් ගැහැනු ළමයින්ගේ සිත් දිනාගැනීම එතරම් අමාරු දෙයක් නෙවෙයි. සමහර අය ගැහැනු ළමයින්ගේ සිත් දිනාගැනීමට හැකි බව පවසමින් අන් අය සමඟ තරඟ කරනවා. නමුත් එවැනි තරඟකාරී ආකල්පයක් සුදුසු නැහැ. එය ඔබ අන් අය අතරේ දිනාගෙන තිබෙන හොඳ නාමයටද කැලලක්. (හිතෝපදේශ 20:11) පහත සඳහන් කාරණා ක්‍රියාවට නැඟීමෙන් ඔබේ නාමයට සිදු විය හැකි කැලල මඟ හැරිය හැකියි.

ආල හැඟුම් පාන්න එපා. ආලවන්ත හැඟුම් පාන කෙනෙක් චාටු බස් දෙඩීමට සහ ඉඟි බිඟි පෑමට හැකියි. නමුත් එවැනි කෙනෙකු විවාහ වීමේ අරමුණ ඇතිව සබඳතාවක් ආරම්භ කරන්නේ නැහැ. එම ක්‍රියා සහ ආකල්ප බයිබලයේ දී තිබෙන උපදෙසටත් පටහැනියි. බයිබලයේ පවසන්නේ ‘තරුණියන්ව පවිත්‍ර සිතින් තම සහෝදරියන් මෙන් සලකන්න’ කියායි. (1 තිමෝති 5:2) අනවශ්‍ය ලෙස ආලවන්තකම් පාන අයට හොඳ මිත්‍රයන්වත් හොඳ භාර්යාවක්වත් සොයාගැනීමට ලැබෙන්නේ නැහැ. මන්ද බුද්ධිමත් තරුණියක් ආලවන්ත හැඟුම් පාන අයගේ බොරු මවා පෑම් හඳුනනවා.

ගැහැනු ළමයි පවසන දේ: “මට ආදරෙයි කියා පැවසු පිරිමි ළමයා ගිය මාසේ මගේ මිතුරියටත් ආදරෙයි කියා කියූ බව මම දන්නවා නම් ඒවගේ කෙනෙක්ට මගේ හිත ඇදිලා යන්නේ කොහොමද?”—හෙලන්, අවුරුදු 25යි.

“කඩවසම් පිරිමි ළමයෙක් හිටියා. එයා හැම තිස්සේම කතා කළේ එයා ගැන විතරයි. මුලින්ම එයා මං ගැන උනන්දුවක් දැක්වූවා. ඊට පස්සේ අපේ කණ්ඩායමට එකතු වූ තව ගැහැනු ළමයෙකුටත් උනන්දුව දක්වන්න පටන්ගත්තා. පස්සේ තවත් ගැහැනු ළමයෙක් අපේ කණ්ඩායමට එකතු වුණාම එයා ගැනත් උනන්දුවක් දැක්වූවා. මොනතරම් පහත් දෙයක්ද!”—ටීනා, අවුරුදු 20යි.

ගැහැනු ළමයින්ගේ හැඟීම් සමඟ සෙල්ලම් කරන්න එපා. පිරිමි ළමයෙක්ව ඇසුරු කරන විදිහට ගැහැනු ළමයෙකුව ඇසුරු කරන්න බැහැ. ඔබ පිරිමි ළමයෙකුට ඔබේ සෑම පෞද්ගලික තොරතුරක්ම පවසනවා නම් හෝ ඔහු ඇඳගෙන ඉන්න කමිසය ලස්සනයි කියා පවසනවා නම් ඔබ ඔහු සමඟ ප්‍රේම සම්බන්ධයකට මුල පුරනවා කියා ඔහු සිතන්නේ නැහැ. නමුත් ඔබ ගැහැනු ළමයෙකුගේ පෙනුම ගැන වර්ණනා කරනවා නම් හෝ හැමදාම ඇය සමඟ කතා කරනවා නම් හෝ ඔබේ හැම පෞද්ගලික තොරතුරක්ම ඇයට පවසනවා නම් හෝ ඇය සිතන්නේ ඔබ ඇය සමඟ ප්‍රේම සම්බන්ධයකට මුල පුරනවා කියායි.

ගැහැනු ළමයි පවසන දේ: “පිරිමි ළමයිට තේරුම්ගන්න බැහැ ඒ අයගේ යහළුවන්ට සලකන විදිහටම ගැහැනු ළමයින්ට සලකන්න බැහැයි කියන කාරණය.”—ෂෙරීල්, අවුරුදු 26යි.

“සමහරවිට පිරිමි ළමයෙකුට මගේ දුරකථන අංකය ලැබුණොත් එයා මට කෙටි පණිවිඩ එවයි. නමුත් ඒ සම්බන්ධය සීමා වෙන්නේ පණිවිඩ හුවමාරුවකට විතරයි. එවැනි පණිවිඩ හුවමාරුවකදී කෙනෙකුට හදවතේ තිබෙන හැම දෙයක්ම ප්‍රකාශ කරන්න බැහැ. එම සම්බන්ධය ශක්තිමත් සම්බන්ධයක් වෙන්නේ නැහැ.”—මෙලනි, අවුරුදු 19යි.

“පිරිමි ළමයෙක් හරි සැලකිලිමත් නම් එයාත් එක්ක කතා කරන එක පහසු නම් ගැහැනු ළමයෙකුගේ හිත ඉක්මනින්ම ඒ පිරිමි ළමයා වෙත ඇදී යනවා. එයින් අදහස් කරන්නේ ඇයට පිරිමි ළමයෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගැනීමට දැඩි වුවමනාවක් තිබෙනවා කියා නෙවෙයි. හුඟාක් ගැහැනු ළමයි කැමති තමන්ට ගැළපෙන පුද්ගලයා සමඟ ආදරයෙන් බැඳෙන්න.”—ඇලීසා, අවුරුදු 25යි.

සිහින ලොවෙන් මිදෙන්න

හැම ගැහැනු ළමයෙක්ම ඔබට කැමති වෙයි කියා සිතීම යථාර්තවාදී දෙයක් නොවෙයි. ඇත්තෙන්ම එසේ සිතීම යමෙකු තමා ගැන අධිතක්සේරුවක් කරනවා හා සමානයි. වැදගත් වන්නේ ඔබේ පිටාතර පෙනුම නොව ඔබේ ඇතුළාන්තයයි. බයිබලයේත් ඒ සම්බන්ධයෙන් වැදගත් උපදෙසක් දී තිබෙනවා. එහි සඳහන් වන්නේ “අලුත් පෞද්ගලිකත්වය පැළඳගත යුතු “ බවයි.—එෆීස 4:24.

විසිඑක් වන වියේ පසු වන කේට් නම් තරුණිය මෙසේ අදහස් දක්වනවා. “පිරිමි ළමයි හිතන්නේ ගැහැනු ළමයෙකුගේ හිත දිනාගන්න එයාලා ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්න ඕන කියලා. යම් දුරකට ඒ දේ අවශ්‍යයි. නමුත් හුඟක් ගැහැනු ළමයින්ගේ හිත යන්නේ පිරිමි ළමයින්ගේ හොඳ ගති ගුණවලටයි.” *

[පාදසටහන්වල]

^ 10 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 38 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කර ඇති Questions Young People Ask—Answers That Work, දෙවන වෙළුම (සිංහලෙන් නොමැත) යන ප්‍රකාශනයේ තුන්වන පරිච්ඡේදය බලන්න.

සිතා බලන්න

▪ ඔබ ඔබ ගැන සැලකිලිමත් බව පෙන්වන්නේ කොහොමද?

▪ ඔබ ගැහැනු ළමයෙකුගේ අදහස්වලට හා හැඟීම්වලට ගරු කරන බව පෙන්වන්නේ කොහොමද?

[19වන පිටුවේ පින්තූරය]

ඔබ විනීතව හැසිරෙන්නේ අන් අයව ආකර්ෂණය කරගැනීමට පමණක්ද?