Skip to content

පටුනට යන්න

යෞවන අය අසති

පාසැලේදී දැනෙන පීඩනය සමඟ කටයුතු කරන්නේ කොහොමද?

පාසැලේදී දැනෙන පීඩනය සමඟ කටයුතු කරන්නේ කොහොමද?

“පාසැලේදී දැනෙන පීඩනය ඔබ වයසෙන් වැඩි වුණත් අඩු වන්නේ නැහැ. ඒත් පීඩනයට හේතු වන දේවල් නම් වෙනස් වෙනවා.”—නවසීලන්තයේ ජේම්ස්. *

“මම පාසැලේදී මොන තරම් පීඩනයකින් ඉන්නවාද කියනවා නම් මට හුඟක් වෙලාවට කෑගහලා අඬන්න හිතෙනවා.”—අමෙරිකාවේ ෂැරන්.

ඔබ පාසැලේදී මුහුණ දෙන පීඩනයන් ගැන ඔබේ දෙමාපියන්ට වැටහීමක් නැහැ කියා ඔබ සිතනවාද? සමහරවිට ඔබට පවුලක් බලාගන්නවත් බැංකු ණයක් ගෙවන්නවත් රැකියාවේ පීඩනයක්වත් නැහැ කියා ඔබේ දෙමාපියන් කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබේ දෙමාපියන් මුහුණ දෙන තරමටම හෝ ඊටත් වැඩියෙන් ඔබ පාසැලේදී පීඩනයන්ට මුහුණ දෙන බව ඔබට හිතෙන්න පුළුවන්.

සමහරවිට පාසැලට යන අතරමැදදී ඔබේ කනස්සල්ලට හේතු වන දේවල් සිදු වෙනවා. අමෙරිකාවේ ජීවත් වන ටාරා මෙසේ පවසනවා. “හුඟක් වෙලාවට පාසැල් බස් රථයේදී ළමයින් රණ්ඩු කරගනිද්දී රියදුරා බස් රථය නවත්වලා හැමදෙනාවම බස්සවනවා. ඒකෙන් වෙන්නේ අපි හැමෝටම ප්‍රමාද වෙන එකයි.”

එවැනි සිදුවීමකින් පසුව පාසැලට ගියාම දැනෙන පීඩනය මඟහරවා ගන්න පුළුවන්ද? එසේ වන්නේ කලාතුරකිනුයි. සමහරවිට පහත සඳහන් අද්දැකීම් ඔබේද අද්දැකීම විය හැකියි.

ගුරුවරුන් නිසා ඇති වන පීඩනය

“ගුරුවරුන් නිතරම මගෙන් විශිෂ්ට ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. එයාලගේ බලාපොරොත්තු ඉෂ්ට කරන එක මට ලොකු පීඩනයක්.”—ෆීජිහි සැන්ඩ්‍රා.

“දක්ෂතා තියෙන ක්ෂේත්‍රයකින් ඉහළට යන්න කියලා නිතරම ගුරුවරු අපිට බල කරනවා. ඒක මට ලොකු පීඩනයක්.”—අමෙරිකාවේ ඒප්‍රියෙල්.

“සමහර වෙලාවට ඔබේ අනාගතය ගැන ඔබට සාධාරණ ඉලක්ක ඇති. නමුත් සමහර ගුරුවරුන් ඔවුන් බලාපොරොත්තු වන විදිහේ ඉලක්ක ඔබ අත් කරගනියි කියා සිතනවා. එහෙම නොවුණොත් ඔවුන් ඔබව සලකන්නේ වැඩකට නැති අය හැටියටයි.”—අමෙරිකාවේ නයෝමි.

ගුරුවරුන් නිසා ඔබට ඇති වන පීඩනය මොන වගේද?

මිතුරන් නිසා ඇති වන පීඩනය.

“පාසැලේදී ළමයින්ට හුඟක් නිදහස තියෙනවා. එයාලා හරි කැරළිකාරයි. අපි එයාලට එකතු වුණේ නැත්නම් අපි කිසි කමකට නැහැයි කියලා එයාලා හිතනවා.”—අමෙරිකාවේ කෙවින්.

“හැම දවසකම මත්පැන් පානය කරන්න, ගැහැනු ළමයි එක්ක නරක විදිහට හැසිරෙන්න මට පීඩන එල්ල වෙනවා. සමහර වෙලාවට ඒවාට හසු නොවී ඉන්න එක ලෙහෙසි නැහැ.”—නවසීලන්තයේ ඒරන්.

“මට දැන් වයස අවුරුදු 12යි. කා එක්ක හරි යාළු වෙන්න කියලා ළමයින්ගෙන් වෙන බලපෑම තමයි මට තියෙන ලොකුම පීඩනය. පාසැලේ හැම කෙනෙක්ම අහන්නේ ‘ඔයා තව කොච්චර කල් තනියෙන් ඉන්නද හිතාගෙන ඉන්නේ?’ කියලයි.”—අමෙරිකාවේ ඇලෙක්සැන්ඩ්‍රා.

“පිරිමි ළමයෙක් එක්ක යාළු වෙන්න කියලා මට හුඟක් බලපෑම් එල්ල වුණා. මම ඒක ප්‍රතික්ෂේප කළාම මම සමලිංගිකයෙක් කියලා හංවඩු ගැහුවා. එතකොට මට අවුරුදු 10යි!”—ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්ටා.

මිතුරන් නිසා ඔබට ඇති වන පීඩනය මොන වගේද?

ඔබේ ආගමික විශ්වාසයන්ට මිතුරන් කෙසේ ප්‍රතිචාරය දක්වයිද කියා හැඟෙද්දී ඇති වෙන පීඩනය.

“ඔබේ විශ්වාසයන් ගැන ඔබේ යාළුවන්ට කියන එක එච්චර ලෙහෙසි නැහැ. මොකද පස්සේ එයාලා ඒ ගැන කොහොම හිතයිද දන්නේ නැති නිසා. සමහර විට ඔබ හරිම අමුතු කෙනෙක් කියලා ඔවුන් හිතයි කියන භය ඔබට තිබෙනවා.”—හවායිහි කැරල්.

“පොඩි පන්තිවල ඉඳලම ළමයි මත්පැන්, මත්ද්‍රව්‍යය සහ දුරාචාරයට නැඹුරු වෙලා තියෙනවා. ඒත් බයිබල් ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන නිසා ඔබ ඒ අයට වඩා හුඟක් වෙනස්. ඒ නිසා ඔවුන්ගේ සමච්චලයට ලක්වීම ඔබට ලොකු පීඩනයක්.”—අමෙරිකාවේ සුසෑන්.

ඔබේ විශ්වාසයන් හේතුවෙන් මතු වෙන ගැටලු නිසා ඇති වන පීඩනය මොන වගේද?

පීඩනවලට හේතු වන තවත් සාධක කිහිපයක් පහත දැක්වේ.

ඉන් ඔබට වඩාත්ම බලපාන සාධකය ලකුණු කරන්න. එසේ නොමැති නම් එය ලියන්න.

  • පාසැලේ විභාග

  • පාසැලේ දෙන ගෙදර වැඩ

  • දෙමාපියන් ඔබ ගැන තබා තිබෙන විශාල බලාපොරොත්තු

  • ඔබ තබා තිබෙන අත් කරගත නොහැකි බලාපොරොත්තු

  • ලිංගික හෝ වෙනත් හිරිහැර

  • වෙනත් ․․․․․

පීඩනය අඩු කරගැනීමට පියවර පහක්

පාසැල් කාලයේදී පීඩනවලට මුහුණ දෙන්න ඔබට සිදු වෙනවාමයි. නමුත් සමහර අවස්ථාවලදී දැනෙන පීඩනය වැඩි නම් එය දරාගත නොහැකි වෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී සිදු විය හැකි දෙයක් ගැන ප්‍රඥාවන්ත රජෙක් වූ සාලමොන් පැවසුවා. “පීඩා නිසා ප්‍රඥාවන්තයාගේ අතින් පවා මෝඩ දේවල් සිදු විය හැක.” (දේශනාකාරයා 7:7, නව ලොව පරිවර්තනය, NW) අධික පීඩනය නිසා මෝඩ දේවල් ඔබ අතින් සිදු වෙනවාට ඔබ කැමති නැති බව නිසැකයි. එය වළක්වාගැනීමට ඇති හොඳම ක්‍රමය නම් ඊට සාර්ථකව මුහුණ දීමට ඉගෙනගැනීමයි.

පීඩනයන් සමඟ කටයුතු කිරීම හරියට බර උසුලනවා වගේ දෙයක්. බරක් උසුලන තැනැත්තා ඒ බර ඉසිලීමට කලින් තමන්ට ඉසිලිය හැකි බර ප්‍රමාණය හා එය කළ හැකි නිවැරදි ඉරියව්ව ගැන සැලකිලිමත් වී ඊට හොඳින් සුදානම් විය යුතුයි. එසේ කිරීමෙන් ඔහුගේ ශරීරයට කිසිඳු හානියක් සිදු වන්නේ නැහැ. නමුත් එසේ නොකළොත් ඔහුගේ මාංස පේශිවලට හානි සිදුවන්න හෝ අස්ථියක් බිදී යන්න පුළුවන්.

ඒ හා සමානව කිසිම හානියක් සිදු නොවන සේ පීඩනවලට සාර්ථකව මුහුණ දීමට ඔබට හැකියි. ඒ සඳහා ගත යුතු පියවර කිහිපයක් දැන් අපි සලකා බලමු.

  1. පීඩනයක් ඇති වීමට නිශ්චිත හේතුව හඳුනාගන්න. “බුද්ධිමතා අවදානම දුර තියා හඳුනාගෙන ඉන් අයින් වෙයි” කියා බයිබලයේ පවසනවා. (හිතෝපදේශ 22:3NW) යම් පීඩනයක් ඇති වීමට හේතුව හඳුනා නොගත්තොත් එය මඟහරවා ගත නොහැකියි. ඒ නිසා ඔබ මේ ලිපියේ කලින්ම සඳහන් කළ පීඩනවලට හේතු වන සාධක මුලින්ම සලකා බලන්න. ඉන් ඔබට වඩාත්ම බලපෑමක් එල්ල කරන්නේ කුමන සාධකයද?

  2. තොරතුරු සොයා බලන්න. හිතන්න පාසැලේ දෙන හුඟක් ගෙදර වැඩ නිසා ඔබ පීඩනයකින් සිටිනවා කියා. එසේනම් 2004 පෙබරවාරි 8 පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති—පාසැලෙන් දෙන ගෙදර වැඩ කරන්න මම වේලාව හොයාගන්නේ කොහොමද?” යන ලිපියෙන් තොරතුරු සොයා බලන්න. එසේත් නැත්නම් යම් වැරදි හැසිරීමකට ඔබේ පාසැලේ ළමයෙක්ගෙන් පෙලඹීමක් එල්ල වුණොත් 2007 මාර්තු 8 පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති—මට නොහොබිනා ආරාධනාවක් කළොත්” යන ලිපිය ඔබට ප්‍රයෝජනවත් වෙයි.

  3. කලින්ම සූදානම් වන්න. ඔබේ ආගමික විශ්වාසයන් ගැන පාසැලේ මිතුරන් දැනගත්තොත් ඔවුන් කෙසේ ප්‍රතිචාර දක්වයිද කියා සිතමින් ඔබ යම් පීඩනයට මුහුණ දෙනවා කියා සිතමු. එසේනම් ඔවුන් ඔබගෙන් ඒ ගැන ඇසීමට පෙර ඊට පිළිතුරු දිය හැකි ආකාරය කලින්ම සූදානම් වන්න. (හිතෝපදේශ 29:25) දහඅට හැවිරිදි කෙල්සි මෙවැනි දෙයක් පැවසුවා. “යාළුවන් මගේ ආගමික විශ්වාසයන් ගැන අහන්න කලින් මම ඊට පිළිතුරු දෙන විදිහ සූදානම් වෙලා හිටියා.” ඒ හා සමාන අදහසක් බෙල්ජියමේ ජීවත් වන 18 හැවිරිදි ආරොන් පවසනවා. “මගෙන් මොන වගේ ප්‍රශ්න අහයිද කියලා කල්පනා කරලා ඒවාට කලින්ම මම පිළිතුරු සූදානම් කරගන්නවා. එහෙම නොකළොත් මට මගේ විශ්වාසයන් ගැන යාළුවන්ට පැහැදිලි කරන්න බැරුව යනවා.”

  4. කල් දමන්න එපා. සමහර ගැටලු එතරම් ගණන් නොගෙන සිටීමෙන් ඒවා ඉබේටම නැති වෙලා යනවා. නමුත් එය බොහෝ ගැටලු උග්‍ර වීමටද හේතු විය හැකියි. නිදසුනකට ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් ඒ බව කලින්ම හඳුන්වා දී තිබීම ඔබට ආරක්ෂාවක් විය හැකියි. විසි-හැවිරිදි මාෂා ඒ ගැන මෙසේ පැවසුවා. ‘හැම අවුරුද්දකම මුලදී මම යම් විෂයක් ගැන ළමයි එක්ක කතා කරන්න තෝරාගන්නවා. ඒකෙන් මට පුළුවන් වෙනවා මම විශ්වාස කරන බයිබල් ප්‍රතිපත්ති ළමයි එක්ක සාකච්ඡා කරන්න. මම සාක්ෂිකාරයෙක් කියලා ළමයින්ට හඳුන්වා දෙන්න ප්‍රමාද වුණොත් ඒක පසුවට බලපාන බව මම තේරුම්ගත්තා. නමුත් කලින්ම මාව හඳුන්වා දුන්න නිසා පාසැල් කාලය පුරාම මගේ විශ්වාසයන් රැකගන්න මට හැකි වුණා.’

  5. උපකාර පතන්න. හුඟක් බර ඉසිලිය හැකි කෙනෙක්ට වුණත් යම් සීමාවන් තිබෙනවා. එය ඔබටත් අදාළයි. නමුත් මේ බර ඔබ තනිවම ඉසිලිය යුතු නැහැ. (ගලාති 6:2) ඔබ මුහුණ දෙන පීඩන ගැන දෙමාපියන් හෝ අද්දැකීම්ලත් වැඩිහිටියෙක් සමඟ කතා නොකරන්නේ ඇයි? මෙම ලිපියේ කලින් සඳහන් කළ කාරණා ඔවුන්ට පෙන්වන්න. ඒ සඳහා ඔබට උපකාර කිරීමට ඔවුන්ට හැකි ආකාරය ගැන සාකච්ඡා කරන්න. අයර්ලන්තයේ ජීවත් වන ලීස්ට තමන්ගේ ආගමික විශ්වාසයන් නිසා අන් අය තමන්ව සමච්චලයට ලක් කරයි කියා බියක් තිබුණා. ඇය ඒ ගැන පියාට පැවසුවා. එහි ප්‍රතිඵලය ගැන ඇය මෙසේ පැවසුවා. “හැම දවසකම මාව පාසැලට ඇරලවන්න කලින් තාත්තා මාත් එක්ක ඉඳලා යාච්ඤා කළා. ඒක මට ලොකු උපකාරයක් වුණා.”

පීඩනවල යහපත් පැත්තක්

යම් දුරකට මානසික පීඩනයක් තිබීම හොඳ දෙයක් බව පැවසුවොත් සමහරවිට ඔබට එය විශ්වාස කරන්නත් අමාරු වෙයි. යම් දේවල් ගැන ඔබ පීඩනයකින් සිටිනවා නම් ඉන් පෙන්වන්නේ ඔබ ප්‍රතිපත්ති රැකීමට වෙහෙසක් දරන කෙනෙක් බවයි. කිසිම පීඩනයක් දැනෙන්නේ නැති පුද්ගලයන් ගැන බයිබලයේ මෙසේ පවසනවා. “අලසය, කොපමණ වේලාවක් ඔබ නිදාගෙන සිටිනවාද? ඔබ නින්දෙන් අවදි වන්නේ කොයි වේලාවේද? එසේ නම් තව ටිකක් නිදාගන්න. තව ටිකක් හාන්සි වී සිටින්න. තව ටිකක් අත් දෙක බැඳගෙන සැතපෙන්න. එවිට දුප්පත්කම මංකොල්ල කන්නෙකු මෙන්ද අග හිඟකම අවිගත් මිනිසෙකු මෙන්ද ඔබ පිට නිසැකවම පැමිණෙනු ඇත.”—හිතෝපදේශ 6:9-11NW.

දහසය හැවිරිදි හීඩි මෙසේ පවසනවා. “පාසැල කියන්නේ අන්තිම නරක තැනක් වගේ ඔබට පෙනෙන්න පුළුවන්. ඒත් ඔබ රැකියාවක් කළත් එවැනි තත්වයකට මුහුණ දෙන්න සිදු වෙනවා.” ඇත්තයි, යම් පීඩනයන් සමඟ කටයුතු කිරීම පහසු නැහැ. නමුත් එය හොඳින් පාලනය කරගත්තොත් ඉන් ඔබට කිසි හානියක් නැහැ. ඇත්තටම ඊට හොඳින් මුහුණ දීමෙන් ඔබට ශක්තිමත් පෞරුෂයක් ගොඩනඟා ගත හැකියි.

^ 3 ඡේ. මෙම ලිපියේ සමහර නම් වෙනස් කර ඇත.

සිතා බලන්න

  • ඔබ යම් පීඩනයකින් සිටිනවා කියා පෙන්වන්නේ කුමන ලක්ෂණවලින්ද?

  • සෑම දෙයක්ම අකුරටම කිරීමට උත්සාහ කිරීමෙන් පීඩනය වැඩි වන බව කිව හැක්කේ ඇයි?

  • පීඩනයක් දැනෙන අවස්ථාවලදී ඔබට ඒ ගැන කතා කළ හැක්කේ කා සමඟද?