උතුර දකුණ යා කළ දුම්රිය මාර්ගය
උතුර දකුණ යා කළ දුම්රිය මාර්ගය
ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසින්
ඕස්ට්‍රේලියාවේ දකුණේ සිට උතුර දක්වා කිලෝමීටර් 2,979ක දුරක් ගෙවා 2004 පෙබරවාරි මස තුන්වෙනි දින ගාන් දුම්රිය ඩාර්වින් දුම්රියපොළ කරා කෙමෙන් කෙමෙන් ළඟා වුණා. එය කිලෝමීටර් 1.1ක් පමණ දිගින් යුතු වන අතර මේ ගමනට දින දෙකක් ගතවුණා. මෙම දුම්රිය පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටි ඩාර්වින් ගම්මානයේ වැසියන් එය උත්සවාකාරයෙන් පිළිගත්තා.—විසිපස්වන පිටුවේ ඇති “ගාන් යන නම ලැබුණේ කෙසේද?” යන කොටුව බලන්න.
දුම්රිය පැමිණෙන මඟ දෙපස දෙදහසකට අධික සංඛ්‍යාවක් ඡායාරූප ගැනීමට සූදානමින් සිටි නිසා ඉබි ගමනින් මෙම දුම්රිය දුම්රියපොළ කරා පැමිණියා. මේ නිසා නිශ්චිත වේලාවට වඩා පැය භාගයක් පමණ ප්‍රමාද වුණා. නමුත් අවුරුදු 100කට වඩා වැඩි කාලයක් තිස්සේ මෙම දුම්රිය සේවාව බලා සිටි ගම්වාසීන්ට මෙම සුළු ප්‍රමාදය එතරම් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඕස්ට්‍රේලියාවේ දකුණු දෙස පිහිටි ඇඩිලේඩ් සිට උතුරේ පිහිටි ඩාර්වින් දක්වා තිබෙන වියළි හා පාළු ප්‍රදේශය හරහා මෙම දුම්රිය මාර්ගය ඉදි කිරීමට වසර 126ක් ගතවුණා.
දුම්රිය මාර්ගයක අවශ්‍යතාව
වර්ෂ 1870 ගණන්වලදී ඇඩිලේඩ් නම් ගම්මානයේ වාසය කළේ ඉතාමත් සුළු ජන පිරිසක් පමණයි. මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ මහා ඕස්ට්‍රේලියානු බොක්ක ආසන්නයේයි. මෙම ගම්වැසියන්ගේ එකම සිහිනය වුණේ ආර්ථික සමෘද්ධිය සඳහා උතුරු ප්‍රදේශය හා සම්බන්ධ වීමයි. ඔවුන්ට මෙවැනි අදහසක් පහළ වෙන්න ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය 1869දී නැඟෙනහිර සිට බස්නාහිර දක්වා දිව යන දුම්රිය මාර්ගයක් ඉදි කරනු ලැබූ නිසා විය හැකියි. එමනිසා ඇඩිලේඩ් සිට ඩාර්වින් වරාය දක්වා දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට මෙම ප්‍රදේශවාසීන් බලාපොරොත්තු වුණා විය හැකියි. මෙවැනි දුම්රිය මාර්ගයක් ඉදි කිරීම මගින් රට ඇතුළත ගමනාගමනය පමණක් නොව ආසියාවේ හා යුරෝපීය රටවලට යෑමේදී කාලය ඉතිරි කරගැනීමටත් හැකි වෙනවා.
මෙය කදිම අදහසක් වුණත් එය කිරීම එතරම්ම පහසු කාර්යයක් වුණේ නැහැ. මෙම දුම්රිය මාර්ගය ඉදි කිරීමට සිදු වන්නේ කඳුවැටි, වනාන්තර, කාන්තාර වැනි ප්‍රදේශ හරහායි. මෙහි සමහර ස්ථාන වැහි කාලෙට මඩ වගුරක් බවට පත් වෙනවා. ගවේෂකයෙක් වූ ජෝන් ස්ටුවර්ට් දුම්රිය මාර්ගය ඉදි කිරීමේ කාර්යය සොයාබැලීමට දෙවතාවක් අසමත් වුණත් 1862දී ඔහු සාර්ථක වුණා. ඔවුන්ට මේ ගමන කොතරම් දුෂ්කර වුණාද කියනවා නම් ආහාර සහ ජලය හිඟකම නිසා ඔහුත් ඔහු සමඟ ගිය කණ්ඩායමත් මිය නොගොස් බේරුණේ අනූනවයෙන්.
විවිධ දුෂ්කරතා මැද
කොතරම් බාධා තිබුණත් ඇඩිලේඩ් වැසියන් සැලුණේ නැහැ. වර්ෂ 1878දී ඔගස්ටා වරායෙන් පළමු පියවර පටන්ගත් ඔවුන්ට වැඩ පහසු කරවන යන්ත්‍ර තිබුණේ නැහැ. එමෙන්ම අශ්වයන් හා ඔටුවන්ව ප්‍රවාහන කටයුතු සඳහා යොදාගනිමින් සේවකයින් 900දෙනෙක් ඕස්ට්‍රේලියාවේ මුල් ආදිවාසීන් සිටි ප්‍රදේශ හා ෆ්ලින්ඩර්ස් කඳුකර ප්‍රදේශය හරහා මෙම මාර්ගය ඉදි කරගෙන ගියා. මෙම ප්‍රදේශයේ තැනින් තැන දිය පිරුණු විශාල වළවල් තිබීම ලොකු වාසියක් වුණා. ඊට හේතුව වාෂ්ප දුම්රියවලට ජලය අවශ්‍ය නිසයි.
මෙම මාර්ගයේ පළමු කිලෝමීටර් 100 ඉදි කිරීමට වසර දෙකහමාරක් ගතවුණා. ගිම්හාන සමයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ ගියා. මේ කාලය කොතරම් දුෂ්කරද කියනවා නම් අතේ ඇඟිලිවල නියපොතු පවා පැළුණා. තීන්ත කූඩුවට පෑන දමා ලබාගන්නා තීන්ත පෑන් තුඩේදීම වියළී ගියා. මේ
කාලයේදී රේල් පීලි ඇදවීම නිසා දුම්රිය පීලි පැනීම සාමාන්‍ය දෙයක් වුණා. ඒ විතරක් නොවෙයි වැලි කුණාටු නිසා රේල් පීලි මතට ගොඩගැසෙන වැලි ඉවත් කිරීමට සේවකයින්ට සිදු වුණා. සමහර අවස්ථාවලදී මීටර් දෙකක් පමණ උසට වැලි ගොඩගැසෙනවා. මෙලෙස ඔවුන් කරන කාර්යයට බොහෝ බාධා පැමිණෙන විට නැවතත් කාලගුණය යහපත් අතට හැරෙන තුරු බලා සිටිනවා හැර ඔවුන්ට වෙන කිසිවක් කරන්න ඉතිරි වුණේ නැහැ.වියළි දේශගුණයෙන් අනතුරුව ඇද හැළුණු වර්ෂාව මහත් හිසරදයක් වුණා. වියළී තිබූ ගංගා ජලයෙන් පිරී ඉතිරෙන විට අවට ප්‍රදේශයම ගංවතුරෙන් යට වූ අතර මාස ගණනක් වෙහෙස වී කළ වැඩ ගඟට ඉනි කැපුවාක් මෙන් වුණා. මෙවැනි අයහපත් කාලගුණය නිසා දුම්රියේ ගමනාගමනය ඇණ හිටිනවා. එවැනි තත්වයකට මුහුණ දුන් අවස්ථාවකදී එක් රියදුරෙක් මඟීන්ට ආහාර ලබා දීම සඳහා එළුවන් දඩයම් කර තිබෙනවා. ඊට වසර කිහිපයකට පසු එලෙස දුම්රිය ඇණ හිටිය අවස්ථාවකදී පැරෂුට් මාර්ගයෙන් ආහාර සපයා දී තිබෙනවා.
වර්ෂාව නිම වෙනවාත් සමඟම පටන්ගත්තේ පළගැටි උවදුරයි. මෙලෙස පළගැටියන් ගහනව සිටි කාලයේදී උන්ගෙන් රේල් පීලි වැසී ගිය අතර උන්ව ඉවත් කිරීම සඳහා තවත් දුම්රිය එන්ජිමක් අවශ්‍ය වුණා. එමෙන්ම මී උවදුර ඊට දෙවැනි වුණේ නැහැ. උන් කළේ කඳවුරේ තිබුණු කැන්වස්, සපත්තු, හම් පටි වැනි අහු වෙන අහු වෙන සෑම දෙයක්ම කා දැමීමයි. මෙම රේල් පීලි ඉදි කිරීම ආරම්භ කළ කාලයේදී එම කූඩාරම්වල විසූ අයට අවශ්‍ය පහසුකම් තිබුණේ නැහැ. මේ නිසා ඒ කාලයේදී බොහෝදෙනෙක් උණසන්නිපාතය වැලඳීමෙන් මිය ගියා. එහි තිබෙන සොහොන් පිටියෙන් මතක් කර දෙන්නේ ඒ දුක්ඛිත අතීතයයි.
කොතරම් දුෂ්කරතා තිබුණත් දුම්රිය කාර්යය මණ්ඩලය මඟීන් සමඟ විනෝද වුණා. එක් අවස්ථාවකදී ඇලිස් ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයේ හාවුන් ශීඝ්‍රයෙන් වැඩි වූ කාලයක දුම්රිය සේවකයින් හාවුන් රැසක් අල්ලාගෙන දුම්රියේ මැදිරි අතර ස්ථානවල දැමුවා. එක් පොතක සඳහන් වූ පරිදි පසුවදා උදෑසන මඟීන් ඔවුන්ගේ මැදිරියේ දොර ඇර පා තැබුවේ “පුළුන් ගොඩක් වගේ ගුලි වෙලා ඉන්න හාවුන්ගේ මැදටයි.” (එම පොත The Ghan—From Adelaide to Alice) තවත් අවස්ථාවකදී දඟකාර පුංචි කැන්ගරු පැටියෙක්ව නිදන මැදිරියට දමා තිබුණා.
ඈත ගම්මානවල වෙසෙන ආදිවාසීන් දුම්රිය ගමන නැරඹීමට පැමිණියා. ඒත් ඔවුන් එසේ කළේ ඈතක සිටයි. මෙම දුම්රිය ගමන් කරනවා දුටු සමහර ආදිවාසීන් මහත් බියට පත්වුණා. ඔවුන් සිතුවේ “යෝධ යක්ෂ නාගයෙක්” මිනිසුන්ව පණ පිටින්ම ගිල දමා තිබෙනවා කියායි.
දිගු විරාමයකින් පසු
ගම්වාසීන් මෙම දුම්රිය මාර්ගය වැනි ‘විශාල ව්‍යාපෘතියක් භාරගැනීම ගැන ප්‍රීති ප්රමෝදයට පත් වුණා’ කියා එක් පොතක සඳහන් වෙනවා. (එම පොත Australian Geographic) ඒත් වසර 13ක් පුරා කරගෙන ආ මේ දුෂ්කර කාර්යය, ඇලිස් ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයට කිලෝමීටර් 470ක් තිබියදී මූල්‍යමය පහසුකම් නොමැතිකම නිසා නතර වුණා. කෙසේවෙතත් 1911දී ෆෙඩරල් ආණ්ඩු ක්‍රමය යටතේ මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ වූ අතර ඇලිස් ස්ප්‍රින්ග්ස් දක්වා ඉදි කිරීම් කටයුතු කරගෙන ගියා. නමුත් ඩාර්වින් දක්වා තව කිලෝමීටර් 1420ක් තිබුණු නිසා එම ඉදි කිරීමේ වැඩ කටයුතු කල් දමනු ලැබුවා.
මෙම ගාන් දුම්රිය පළමුවෙනි වතාවට 1929දී ඇලිස් ස්ප්රින්ග්ස්වලට පැමිණි විට නගරයේ වැසියන් 200දෙනෙක් පමණ එය සැමරීමට එක්රොක් වුණා. දුම්රියේ තිබෙන කෑම කන මැදිරිය දැක ඔවුන් පුදුම වුණා. නමුත් ඔවුන්ගේ වඩාත් සිත්ගත්තේ නාන කාමරයයි. ඒ කාලයේ නාන කාමරයක් දුම්රියක තිබීම සැලකුවේ සුඛෝපබෝගී යමක් ලෙසයි. වර්ෂ 1997 දක්වා ඇලිස් ස්ප්‍රින්ග්ස් එම මාර්ගයේ අවසාන නැවතුම්පොළ වුණා. එම වසරේදීම ඇලිස් ස්ප්‍රින්ග්ස් සිට ඩාර්වින් දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීමට ෆෙඩරල් ආණ්ඩුව තීරණය කළා. මේ අනුව 2001දී මෙහි වැඩ ආරම්භ කරනු ලැබුවා.
විශාල යන්ත්‍රෝපකරණ භාවිත කරමින් දිනකට කිලෝමීටර් 1.6ක දුරක් ඉදි කරනු ලැබුවා. ගංවතුරට හසුවිය හැකි ස්ථානවල පාලම් 90කට ආසන්න ප්‍රමාණයක් ඉදි වුණා. මෙය හැඳින්වූයේ “යටිතල
පහසුකම් බහුල වශයෙන් යොදාගත් ඕස්ට්‍රේලියාවේ විශාලම ව්‍යාපෘතිය” ලෙසයි. මෙම ව්‍යාපෘතිය සඳහා වැය වන මුළු වියදම අමෙරිකානු ඩොලර් බිලියනයක් බව ගණන් බලා තිබුණද ඊට වඩා අඩු වියදමකින් නියමිත දිනට පෙර කිලෝමීටර් 1420කින් යුත් දුම්රිය මාර්ගයේ වැඩකටයුතු අවසන් කළා. මේ අනුව 2003 ඔක්තෝබර් මාසයේදී මෙය සම්පූර්ණ කරනු ලැබුවා.ගම්මානයට අලුත් එළියක්!
මෙම ගාන් දුම්රිය අද සතියකට දෙවතාවක් ඇඩිලේඩ් නගරය පසු කර යනවා. එන්ජින් දෙකකින් හා මැදිරි 40කින් පමණ යුත් මෙම දුම්රිය තිරිඟු යායවල් පසු කරමින් කිලෝමීටර් 300ක් උතුරේ පිහිටි ඔගස්ටා වරාය දෙසට ඇදී යනවා. මේ අතරතුරේදී කෙනෙකුගේ නෙත ගැටෙන්නේ දුෂ්කර දේශගුණයකින් යුත් වැලි කතර හා කුඩා පඳුරුවලින් යුත් ප්රදේශයයි.
ඔගස්ටා ප්‍රදේශය පසු කළ පසු දුම්රිය ගමන් කරන්නේ කිලෝමීටර් 250ක් බටහිර දෙසටයි. රාත්‍රි කාලයේදී කාන්තාර පසු කරන මෙම දුම්රියේ මඟීන්ට දැකගත හැකි වන්නේ දීප්තිමත් දියමන්ති මෙන් තරුවලින් පිරි මනරම් අහසයි. වර්ෂාවෙන් පසු දිය පිරුණු විල් මත සඳ රැස් පතිත වන විට එහි අසිරිය මෙතෙකැයි කියා කිව නොහැකියි.
හිරු උදාවත් සමඟම ඇලිස් ස්ප්‍රින්ග්ස් ආසන්නයේ පිහිටි කාන්තාරවලට හිරු පතිත වන විට රන්වන් පැහැයක් ගන්නවා. එක් මඟියෙක් මෙම දර්ශනය විස්තර කළේ මෙසේයි. “එය රමණීයයි, පුදුමසහගතයි. මම දුම්රිය ඇතුළේ සිටියත් මට සූර්යයාගේ බලය දැනෙනවා. සූර්යයා තම රශ්මියෙන් මුළු කාන්තාරයම වෙළාගන්නා විට එය ප්‍රියකරු වුණත් බියකරුයි.”
ගම්මානයෙන් නගරයට
ඇලිස් ස්ප්රින්ග්ස්හි නතර කළ පසු ගාන් දුම්රිය කැතරින් නගරයටත් අනතුරුව එහි අවසාන නැවතුම්පොළ වන ඩාර්වින්වලටත් ඇදී යනවා. වායු සමීකරණය කරන ලද “ගාන් දුම්රියේ ගමන ඉතාම සුවපහසුයි” කියා එහි කළමණාකරු එහි මංගල ගමන අවසානයේදී පැවසුවා. කවුළුවලින් පිටත බලන අයට මෙම දුම්රිය මාර්ගය ඉදි කිරීමට පුරෝගාමී වූ අයව මතකයට නැඟෙනවා නොඅනුමානයි.
ආර්ථිකය නංවාලීමට මෙන්ම දිගු ගමනකට මෙම දුම්රිය සේවාව දායක වෙනවාට අමතරව තවත් යමක් මෙයින් කියා පානවා. එනම් නවීන දින අත් කරගෙන තිබෙන තාක්ෂණයේ දියුණුවයි. වර්ෂ 2004 පෙබරවාරි මාසයේදී මුලින්ම එය දුටු 19-හැවිරිදි ගෝත්‍රික දැරියක් පැවසූ දෙයින් එය මනාව පැහැදිලි වෙනවා. “මේ තරම් ලස්සන දුම්රියක් මං කවදාවත් දැකලා නැහැ.”
[25වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ගාන් යන නම ලැබුණේ කෙසේද?
ද ඇෆ්ගන් එක්ස්ප්‍රස් යන නම කෙටි කර දක්වා ගාන් යන නමින් එම දුම්රිය හැඳින්වූවා. එසේ හැඳින්වූයේ ඇෆ්ගනිස්තානයෙන් ඔටුවන් රැගෙන පැමිණි අය නිසාද නැද්ද කියා ස්ථිරවම කිව නොහැකියි. කෙසේවෙතත් ඒ නම ඇසෙන විට මතකයට නැඟෙන්නේ ඕස්ට්‍රේලියාවේ ගම්මාන හරහා දුම්රිය මාර්ගය ඉදි කිරීමට ඇෆ්ගන් වැසියන් දැරූ උත්සාහයයි. මෙම වැඩවලට දායක වූවන්ව සමූහයක් ලෙස ඇෆ්ගන්වරු කියා හැඳින්වූවත් ඔවුන් අතර ඊජිප්තුව, උතුරු ඉන්දියාව, තුර්කිය, පකිස්තානය, පර්සියාව සහ බලුකිස්තානය යන රටවලින් පැමිණි අයද සිටියා.
මුල් කාලයේදී ඇෆ්ගන්වරුන් රැගෙන ආ ඔටුවන් ඕස්ට්‍රේලියාවේ ගම්බද ප්‍රදේශවල විශාල මෙහෙයක් කළා. මුන් 70දෙනෙක් පමණ මිනිසුන් හා භාණ්ඩ රැගෙන දුම්රියක් ආකාරයෙන් එකා පසුපස එකා ගමන් කළා. මුන්ගේ වේගය පැයට කිලෝමීටර් හයක් පමණ වුණා. කෙසේවෙතත් දුම්රිය සේවාව ආරම්භයත් සමඟම ඔටුවන්ගේ සේවාව තවදුරටත් අවශ්‍ය වුණේ නැහැ. මේ නිසා ඇෆ්ගන්වරුන් එම ඔටුවන්ව අතහැර දැමුවා. අද මධ්‍යම ඕස්ට්‍රේලියාවේ දැකගත හැකි ඔටුවන් රාශිය උන්ගෙන් පැවතෙන පරම්පරාවයි.—වර්ෂ 2001 අප්‍රියෙල් 8 ඉංග්‍රීසි පිබිදෙව්! කලාපයේ 16-17 දක්වා පිටු බලන්න.
[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Northern Territory Archives Service, Joe DAVIS, NTRS 573
[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Train photos: Great Southern Railway