බයිබලය විශ්වාස කිරීමට හේතු
5. ඉටු වූ අනාවැකි
කාලයක් පුරා නිවැරදිව කාලගුණ වාර්තා ඉදිරිපත් කරන දෙපාර්තමේන්තුව ගැන සිතන්න. පසු දින වැසි දවසක් කියා පැවසුවොත් ඔබ එදිනට කුඩයක් රැගෙන යන්නේ නැද්ද?
බයිබලයත් අනාවැකිවලින් පිරුණු පොතක්. * එහි සඳහන් අනාවැකි ඉටු වූ බව ඉතිහාසයෙන් ඔප්පු වී තිබෙනවා. අනාගතයේදීත් එය එසේමයි.
සෑම තොරතුරක්ම අඩංගුයි.
බයිබලයේ අනාවැකිවල නිශ්චිත තොරතුරු ඇතුල් කර තිබෙනවා. ඒ වගේම එහි සඳහන් කුඩාම තොරතුරු පවා ඉටු වෙනවා. අනාවැකි ඉටු වෙන කාලයේ ජීවත් වන අය කිසිම දවසක නොසිතූ දේවල්වලට පවා මුහුණ දීමට සිදු වන බවත් එහි සඳහන් කර තිබෙනවා.
කැපීපෙනෙන උදාහරණයක්.
යුප්‍රටීස් ගඟ දෙපස ඉදි කර තිබූ පුරාණ බැබිලෝනිය හැඳින්වූයේ “ඉපැරණි කාලයේ පෙරදිග පිහිටි දේශපාලනික, ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානයක්” ලෙසයි. එදා බලවත්ව තිබූ බැබිලෝනිය විනාශ වෙයි කියා කවුරුත් සිතුවේ නැහැ. නමුත් මේ නගරය විනාශ වන බව ක්‍රිස්තු පූර්ව 732දී යෙසායා නම් අනාගතවක්තෘවරයා පැවසුවා. මෙම අනාවැකියේ මෙවැනි කරුණු ඇතුළත් කර තිබුණා. එනම් එය පරාජය කරන්නේ ‘කෝරෙෂ්ගේ’ හෙවත් සයිරස්ගේ මූලිකත්වයෙන් බවත්, යුප්‍රටීස් ගඟ ‘වියළවන’ බවත් බැබිලෝනියේ නුවර රැකවල් දොරටු ‘පියනු නොලබන’ බවත් සඳහන් වුණා. (යෙසායා 44:27–45:3) එම අනාවැකිය පවසා අවුරුදු 200කට පමණ පසු එනම් ක්‍රි. පූ. 539 ඔක්තෝබර් 5වෙනිදා ඒ සියල්ල ඒ ආකාරයෙන්ම ඉටු වුණා. අනාවැකියේ පවසා තිබූ ආකාරයටම බැබිලෝනිය විනාශ වූ බව ග්‍රීක ඉතිහාසඥයෙකු වන හෙරෝඩටස් (ක්‍රි. පූ. පස්වන සියවසේ) සනාථ කරනවා. *
නිර්භීත ප්‍රකාශයක්.
යෙසායා බැබිලෝනිය ගැන තවත් අනාවැකියක් නිර්භීතව ප්‍රකාශ කළා. එනම් “නැවත බැබිලෝනියේ කිසි වැසියෙක් ජීවත් වන්නේ නැත” කියායි. (යෙසායා 13:19, 20, NW) එතරම්ම ආරක්ෂිත තැනක පිහිටා තිබූ සමෘද්ධිමත් නුවරක් සදාකාලයටම ජන ශුන්‍ය ප්‍රදේශයක් බවට පත් වෙනවා කියා පැවසීමට ඇත්තෙන්ම නිර්භීතකම අවශ්‍යයි. ඒත් එවැනි නුවරක් විනාශ වුවත් එය නැවත ගොඩනැඟිය හැකියි කියා ඔබ සිතන්න පුළුවන්. බැබිලෝනිය විනාශ වීමෙන් පසු ටික කාලයකට එහි ජනයා ජීවත් වුවත් යෙසායා පැවසූ ලෙස පසු කාලයේදී එය ජන ශුන්‍ය නුවරක් බවට පත් වුණා. එය අද “කිසිම ගොඩනැඟිල්ලක් නැති දූවිල්ලෙන් පිරුණු කාන්තාරයක්” බව ස්මිත්සෝනියන් සඟරාවේ සඳහන් වෙනවා.
යෙසායා පැවසූ අනාවැකිය එතරම් ප්‍රබල එකක් වන්නේ එවැනි දෙයක් සිදු වෙයි කියා සිතන්නතවත් බැරි තත්වයක තිබුණු නිසයි. එය හරියට අද කාලයේ හොඳින් දියුණු වී තිබෙන නිව් යෝර්ක් නගරය හෝ ලන්ඩන් නගරය තව අවුරුදු 200කින් විනාශ වෙනවා කියා කියනවා වගේයි. ඒ විතරක් නෙවෙයි ඉන්පසු එහි කවදාවත් කිසිම කෙනෙක් වාසය කරන්නේ නැති බවත් ස්ථිරයෙන්ම කියනවා වගේයි. මෙහි වඩාත්ම කැපීපෙනෙන කාරණය නම් යෙසායා පැවසූ සෑම අනාවැකියක්ම ඒ ආකාරයෙන්ම ඉටුවීමයි. *
කෝරෙෂ්ගේ හෙවත් සයිරස්ගේ අතින් බැබිලෝනිය පරාජය වන බව බයිබලයේ නිවැරදිව පුරෝකථනය කර තිබුණා
මිලියන ගණනක් ජනයා බයිබලය විශ්වාස කිරීමට හේතු වූ කාරණා කිහිපයක් අපි මෙම ලිපි මාලාවේ සලකා බැලුවා. මේ හේතු නිසා ඔවුන්ට නිවැරදිව මඟ පෙන්විය හැකි එකම පොත ශුද්ධ බයිබලය කියා ඔවුන් විශ්වාස කරනවා. තවදුරටත් මේ පොතේ අඩංගු තොරතුරුවල සත්‍යතාව ගැන සොයා බලා එය විශ්වාස කළ හැකිද නැද්ද කියා ඔබම තීරණය කරන්න.
^ 4 ඡේ. කාලගුණ වාර්තා සමහරවිට වරදින්න පුළුවන්. ඒත් බයිබලයේ අනාවැකි දෙවි විසින් පවසා තිබෙන නිසා ඒවා ඉටු කිරීමට ඔහුට හැකියි.
^ 6 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන සියලුම ජනයා සඳහා පොතක් යන ප්රකාශනයේ 27-29 දක්වා පිටු බලන්න.
^ 8 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න යන පොතේ 15-19, 129-149 දක්වා පිටු බලන්න.