දෙවිගේ ප්‍රේමයේ ප්‍රකාශ වීමක්
දෙවිගේ ප්‍රේමයේ ප්‍රකාශ වීමක්
පුරාණ ලෝකයේ පුදුම හත ලෙස ඒවා නම් කළේ ඒවා මිනිසුන්ට පුදුම දනවන දේවල් නිසයි. ඒත් අද වන විට පිරමිඩ හැර ඉන් කිසිවක් ඉතිරිව නැහැ. නමුත් බයිබලය ලියා තිබෙන්නේ ඉතා යටහත් පහත් අය වූවද එය ලිවීමට භාවිත කළේ දිරාපත් වන අමුද්‍රව්‍ය වූවද අද අපේ කාලය දක්වාම එය ආරක්ෂා වී තිබෙනවා. එමනිසා අපට මේ සුවිශේෂී පොත කෙරෙහි පූර්ණ විශ්වාසය තැබිය හැකියි.—යෙසායා 40:8; 2 තිමෝති 3:16, 17.
යෙහෝවා දෙවි ඔහුගේ අදහස් වාචිකව නොව ලිඛිතව වාර්තා කර තැබීමට සැලැස්වීමෙන් එහි විශ්වාසවන්තභාවය ආරක්ෂා වී තිබෙනවා. එමෙන්ම ඒ සඳහා සරල භාෂාවක් භාවිත කර තිබෙන්නේ ඕනෑම අධ්‍යාපන මට්ටමක සිටින කෙනෙකුට කියවීමටත් තේරුම්ගැනීමටත් පහසු වීමටයි. (ක්‍රියා 4:13) දෙවිගේ බලය යොදාගෙන ලියූ පොතකින් ඔබ බලාපොරොත්තු වන්නේ එයම නොවේද? බයිබලය ලොව පුරා පැතිර තිබීමෙන් පැහැදිලි වෙන්නේ එය වටිනාකමින් අඩු පොතක් කියා නොව නමුත් එය අද්විතීය පොතක් බවයි. ඒ වගේම සෑම කෙනෙකුටම කියවීමට ලැබීමෙන් මිනිසුන් කොතැනක ජීවත් වුණත් කුමන භාෂාව කතා කළත් දෙවි ඔවුන්ට දක්වන ඉමහත් ප්‍රේමය මැනවින් පිළිබිඹු වෙනවා.—1 යොහන් 4:19.
බයිබලයේ සඳහන් කර තිබෙන තොරතුරුවලින්ද පැහැදිලි වන්නේ දෙවිගේ ප්‍රේමයයි. අප කලින් ලිපිවල සලකා බැලූ ආකාරයට අපි පැමිණියේ කොහෙන්ද, මිනිසුන් මෙතරම් දුක් විඳින්නේ ඇයි, මේ සියල්ල දෙවිගේ පාලනය තුළින් නිමාවට පත් කරන්නේ කෙසේද කියාත් බයිබලයේ පැහැදිලි කර තිබෙනවා. එමෙන්ම මේ කාලයේදී පවා සතුටින් පිරි තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැක්කේ කෙසේද කියාත් එහි පැහැදිලි කරනවා. (ගීතාවලිය 19:7-11; යෙසායා 48:17, 18) ඊට අමතරව සාතන් විසින් දෙවිගේ නාමයට ඇති කර තිබෙන කැළල ඔහු ඉවත් කරන්න යන්නේ කෙසේද කියාත් අප කලින් ලිපිවලින් දැනගත්තා.—මතෙව් 6:9.
මෙතරම් ප්‍රයෝජනවත්, අදට ගැළපෙන උපදෙස් අඩංගු මෙන්ම මිනිසුන්ගේ දුක් කරදරවල නිමාව ගැන කතා කරන වෙනත් පොතක් තිබෙනවාද? පුරාණ ලෝකයේ පුදුම හතෙන් බොහෝමයක් නිර්මාණය කර තිබෙන්නේ බලවත් මිනිසුන්ව හෝ බොරු දෙවිවරුන්ව ගෞරවයට පත් කරන්නයි. නමුත් බයිබලය තුළින් පෙන්නුම් කරන්නේ මිනිස් වර්ගයා කෙරෙහි ඇති දෙවිගේ ප්‍රේමයයි.
ඔබ බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගෙන නැත්නම් එසේ කිරීමට පියවර නොගන්නේ ඇයි? දැනටමත් ලොව පුරාම සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් පාඩම් මිලියන හයකට වඩා වැඩි සංඛ්‍යාවක් පවත්වමින් සිටිනවා. බයිබලය ඇත්තටම විශ්වාස කළ හැකි පොතක් මෙන්ම දෙවිගෙන් ලද පොතක් බව වටහාගැනීමට අවංක ආශාවක් දක්වන අයට උපකාර කිරීමට ඔවුන් ආශාවෙන් බලා සිටිනවා. ඔවුන් මෙය සලකන්නේ මහත් වරප්‍රසාදයක් හැටියටයි.—1 තෙසලෝනික 2:13.