Skip to content

පටුනට යන්න

ඔබේ දරුවාව ආරක්ෂා කරගත හැකි අයුරු

ඔබේ දරුවාව ආරක්ෂා කරගත හැකි අයුරු

දරුවන්ට සිදු වන අතවර ගැන සමහර අය අසන්නවත් කැමති නැහැ. එවැනි දෙයක් කන වැකුණු සැණින් බොහෝ දෙමාපියන් කලබල වෙනවා. දරුවෙක් අතවරයකට ලක්වීම ඉතා භයානක මෙන්ම කම්පාවට පත් කරන දෙයක්. ඒ වගේම එවැනි දෙයකට මුහුණ දෙන දරුවාටද එය ඉතා දරුණු ලෙස බලපානවා. අපි ඇත්තටම මේ විෂය ගැන සලකා බැලීම ප්‍රයෝජනවත්ද? ඔබේ දරුවාගේ ආරක්ෂාව සඳහා ඔබට මවක් හා පියෙක් හැටියට කළ හැක්කේ කුමක්ද? දරුවන් අතවරවලට ලක් වෙන්නේ ඇයි කියා දැනගැනීම සඳහා මවක් හා පියෙක් හැටියට ඔබට දරන්න වෙන්නේ සුළු වෑයමක් පමණයි. ඒත් එවැනි වෑයමක් තුළින් ලබාගන්නා දැනුම ඔබේ දරුවාගේ ආරක්ෂාවට හේතු වෙන නිසා එය ඉතාමත් වටිනවා.

අද බොහෝ දරුවන් අතවරවලට ලක් වෙන බව ඇත්තයි. ඒත් එවැනි ආරංචිවලින් කලකිරී ඔබේ දරුවාව ආරක්ෂා කරගන්න බැරි වෙයි කියා භය වෙන්න එපා. ඔබට දරුවාට වඩා දැනුම, ප්‍රඥාව හා අද්දැකීම් තිබෙන නිසා ඔබේ දරුවාව ඔබට ආරක්ෂා කරගැනීමට පියවර ගත හැකි බවට නිසැක වෙන්න. මේ සඳහා ඔබට ගත හැකි මූලික පියවර කිහිපයක් තිබෙනවා. (1) දරුවාට ආරක්ෂාව සැපයීමේ මූලික වගකීම ඔබ භාරගන්න. (2) දරුවාව දැනුවත් කරන්න. (3) දරුවාට තමන්ව ආරක්ෂා කරගත හැකි අයුරු කියා දෙන්න.

දරුවාට ආරක්ෂාව සපයන මූලික තැනැත්තා වන්න

දරුවන්ට සිදු වන අතවරවලින් ඔවුන්ව ආරක්ෂා කරගැනීමේ මූලික වගකීම තිබෙන්නේ දෙමාපියන්ටයි. මේ නිසා දරුවන්ව දැනුවත් කිරීමට පළමුව දෙමාපියන් ඒ ගැන දැනුවත් වී සිටීම අවශ්‍යයි. දරුවන්ට අතවර කරන්නන්ව හඳුනාගැනීම හා ඔවුන් එවැනි දෙයකට මඟ පාදාගන්නේ කෙසේද කියා දැන සිටීම වැදගත්. බොහෝවිට දෙමාපියන් සිතන්නේ එවැනි දෙයක් සිදු වෙන්නේ දරුවන්ව පැහැරගෙන ගොස් දූෂණය කරන අයගෙන් කියායි. එවැනි දරුණු දේවල් කරන අයත් ඉන්නවා. අපිට එවැනි සිදුවීම් විටින් විට මාධ්‍යය හරහා අසන්න ලැබෙනවා. ඒත් සොයාගෙන තිබෙන තොරතුරුවලින් පැහැදිලි වන්නේ දරුවන්ට සිදු වන අතවරවලින් සියයට 90ක් පමණ සිදු වන්නේ දරුවන්ව හොඳින් හඳුනන දරුවන් තුළ ලොකු විශ්වාසයක් තිබූ අයගෙන් බවයි.

ඔබ හොඳින් දන්නා හඳුනන අසල්වාසියෙක්, ගුරුවරයෙක්, නෑදෑයෙක් හෝ ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක් එවැනි දෙයක් කරයි කියා සැක කළ යුතු නැහැ. ඒ නිසා ඔබ අවට සිටින හැම කෙනෙක් දෙසම සැකයෙන් බැලීමත් අවශ්‍ය වන්නේ නැහැ. ඊට හේතුව බොහෝදෙනෙක් එවැනි අය නොවන නිසයි. ඒත් දරුවන්ට අතවර කරන කෙනෙක් ක්‍රියා කරන ආකාරය ගැන දැනගැනීමෙන් ඔබට ඔබේ දරුවාව ආරක්ෂා කරගන්න පුළුවන්.—6වෙනි  පිටුවේ ඇති කොටුව බලන්න.

අතවර කරන අයව හඳුනාගැනීමෙන් දෙමාපියන් හැටියට ඔබට පුළුවන් ඔබේ දරුවාගේ මූලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන්න. උදාහරණයක් ලෙස යම් කෙනෙක් පවුලේ වැඩිහිටියන්ට වඩා දරුවන්ට විශේෂ අවධානයක් දෙනවා නම්, ඔබේ දරුවන්ගෙන් එක් කෙනෙකුට විශේෂ සැලකිල්ලක් දක්වනවා නම් හා තෑගි බෝග ගෙනත් දෙනවා නම් දරුවා බලාගැනීමට ඉදිරිපත් වෙනවා නම් ඔබේ දරුවා සමඟ තනිවම ඇවිදින්න යන්න ආස කරනවා නම් ඔබ මොනවද කරන්නේ? එවැනි කෙනෙක් දරුවාට අතවර කරන්න සුදානම් වෙන කෙනෙක් කියා ඔබ හදිස්සි නිගමනයකට එළඹීම ඥානවන්ත දෙයක් නෙවෙයි. දරුවන්ට අවංකවම ආදරය කරන කෙනෙක් පවා එසේ කරන්න පුළුවන්. ඒත් ඔබට පුළුවන් මෙවැනි කෙනෙක් ගැන කල්පනාකාරීව සිටින්න. එසේ කිරීමෙන් අත්වන ප්‍රයෝජනය ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “අද්දැකීම් අඩු තැනැත්තා, කියන ඕනෑම දෙයක් විශ්වාස කරයි. නමුත් බුද්ධිමත් තැනැත්තා තමා ගත යුතු පියවර ගැන කල්පනාකාරී වෙයි.”—හිතෝපදේශ 14:15, නව ලොව පරිවර්තනය, NW.

ඒත් මෙය මතක තබාගන්න. ඔබට අදහන්න බැරි තරම් ලොකු උදව්වක් කරන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ ගැන අවධානයකින් සිටින්න. ඔබේ දරුවා සමඟ තනිවම කාලය ගත කිරීමට කෙනෙක් වැඩි කැමැත්තක් දක්වනවා නම් එවැනි කෙනෙක් ගැන හුඟක් සෝදිසියෙන් සිටින්න. ඔබ සෑමවිටම ඔබේ දරුවා ගැන සෙවිල්ලෙන් සිටින බව එවැනි අයට අඟවන්න. මෙලිසා සහ මයිකල් පුතුන් තිදෙනෙක් සිටින තරුණ යුවළක්. ඔවුන් තමන්ගේ දරුවෙක් වැඩිහිටියෙක් සමඟ තනිවම සිටින අවස්ථාවලදී ඒ ගැන සැලකිලිමත් වෙනවා. ඔවුන්ගේ දරුවෙක් නිවසේ සංගීතය ඉගෙනගන්න අවස්ථාවලදී මෙලිසා ඒ ගුරුවරයාට මෙහෙම කියනවා. “මම දරුවා ඉගෙනගන්න අතරතුරේ විටින් විට ඇවිත් බලලා යන්නම්.” කෙනෙක් දරුවන් ගැන මෙතරම් සැලකිලිමත් වීම අන්තයටම යෑමක් කියා සිතුවද යමක් වුණාට පසු දුක් වෙනවාට වඩා පරෙස්සම් වීම ඥානවන්ත දෙයක් බව මේ දෙමාපියන් පිළිගන්නවා.

ඔබේ දරුවාගේ යාළුවෝ, පාසැලේ වැඩ, බාහිර ක්‍රියාකාරකම් යන මේ සෑම දෙයක් ගැනම විමසිලිමත් වීම අවශ්‍යයි. ඔබේ දරුවා මිතුරන් සමඟ හෝ පාසැලෙන් යන විනෝද ගමන් ගැන හොඳ අවධානයකින් සිටින්න. අතවරවලට ලක් වූ දරුවන් සමඟ අවුරුදු 33ක් පුරා කටයුතු කළ එක් මනෝ වෛද්‍ය විශේෂඥයෙක් පැවසුවේ දෙමාපියන් ටිකක් කල්පනාකාරී වුණා නම් බොහෝ දරුවන්ට එවැනි කටුක අද්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැති බවයි. දරුවන්ට අතවර කිරීමේ වරදට හසු වූ කෙනෙක් පැවසුවේ මෙසේයි. “දෙමාපියන් හරියට මෙන්න මගේ දරුවාව ගන්න කියලා කියනවා වගේයි. . . මගේ වැඩේට ඔවුන් ලොකු සහයක් වුණා.” දරුවන්ට අතවර කරන අය බලන්නේ පහසුවෙන්ම අල්ලගන්න පුළුවන් දරුවන්වයි. නමුත් දරුවන්ගේ හැම කාරණයක් ගැනම සොයා බලන දෙමාපියන්ගේ දරුවන්ව හසු කරගැනීම ඔවුන්ට අපහසුයි.

ඔබේ දරුවාගේ ආරක්ෂාව සලසන මූලික තැනැත්තා ලෙස ක්‍රියා කිරීමේදී ඔබ කළ යුතු තවත් වැදගත් දෙයක් වන්නේ දරුවාට හොඳින් සවන් දීමයි. දරුවන්ට මුහුණ දීමට සිදු වූ කටුක අද්දැකීමක් ඔවුන් එක පාරටම කියන්නේ නැහැ. ඔවුන් එවැනි දෙයක් කියන්න ලැජ්ජා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දෙමාපියන් ගහයි බණියි කියන භයට නොකියා ඉන්නත් පුළුවන්. ඒ නිසා සාවධානව දරුවාට සවන් දෙන්න. ඔවුන් කියන පොඩි දේවල පවා ලොකු තේරුමක් තිබෙනවා. * ඔබගේ අවධානයට යොමු වූ යම් දෙයක් ගැන දරුවා පවසන විට හීන් සීරුවේ ප්‍රශ්න ඇසීමෙන් සම්පූර්ණ විස්තරය දැනගන්න. යම් කෙනෙක් තමාව බලාගැනීමට පැමිණෙනවාට ඔහු අකමැති නම් ඒකට හේතුව අසන්න. * යම් වැඩිහිටියෙකුට දරුවා ආශ නැහැයි කියා කියනවා නම් ඔහු කරන දේවල්වලට ආශ නැහැයි කියා කියනවා නම් “ඒ ඇයි? එයා මොනවද කරන්නේ” කියා අසන්න. දරුවා ඔහු කුචි කවනවා කියා පවසනවා නම් “කොහේද කුචි කවන්නේ” කියා අසන්න. දරුවාගේ පිළිතුරු ගණන් නොගෙන ඉන්න එපා. දරුවන්ට අතවර කරන අය පවසන්නේ දරුවන්ගේ කතා වැඩිහිටියන් ගණන් ගන්නේ නැති බවයි. බොහෝ අවස්ථාවලදී ඇත්තටම සිදු වෙන්නේත් එයයි. දරුවෙක් අතවරයකට ලක් වී තිබෙනවා නම් දරුවාට එම මානසික පීඩාවෙන් ගොඩ ඒමට උපකාර කිරීමට දෙමාපියන්ට කළ හැකි හොඳම දේ නම් දරුවාව විශ්වාස කිරීම හා ඔහුට සහය දැක්වීමයි.

ඔබේ දරුවාට ආරක්ෂාව සැපයීමේ මූලික වගකීම භාරගත යුත්තේ ඔබයි

දරුවාව දැනුවත් කරන්න

දරුවන්ට අතවර කිරීමේ වරදට හසු වූ එක් පුද්ගලයෙක් පැවසුවේ “ලිංගික කාරණා ගැන කිසිම දෙයක් නොදන්න දරුවෙක් හමුවෙනවා කියන්නේ මගේ ඊළඟ ගොදුර මට ලැබුණා කියන එකයි.” ඒ වචන ඇසෙන විටත් ඇඟ කිලිපොළා ගියද එය දෙමාපියන්ට හොඳ අනතුරු ඇඟවීමක්. ලිංගික කාරණා ගැන කිසිම දෙයක් දන්නේ නැති දරුවන්ව රවටාගැනීම පහසුයි. බයිබලයේ පවසන්නේ දැනුම හා ප්‍රඥාව “වංචනික දේ කතා කරන තැනැත්තාගෙන් ඔබව බේරාගන්නේය” කියායි. (හිතෝපදේශ 2:10-12, NW) ඔබටත් අවශ්‍ය කරන්නේ දරුවාට එවැනි ආරක්ෂාවක් ලබා දීමට නෙවෙයිද? එසේනම් දෙවෙනි පියවර ලෙස ඔබ ඔබේ දරුවාට ලිංගික කාරණා පිළිබඳව කියා දෙන්න.

ඔබට මෙය කළ හැක්කේ කෙසේද? බොහෝ දෙමාපියන් තම දරුවන් සමඟ ලිංගික කාරණා ගැන කතා කිරීමට මැළිකමක් දක්වනවා. නමුත් ඊටත් වඩා එවැනි කාරණයක් ගැන ඔබ සමඟ කතා කරන්න ඔබේ දරුවන් මැළිකමක් දක්වන්න පුළුවන්. ඒ නිසා පෙරමුණ ගත යුත්තේ ඔබයි. මෙලිසා මෙසේ පවසනවා. “අපි දරුවන්ට කුඩා කාලයේදීම ශරීරයේ අවයව නම් කරන්න ඉගැන්නුවා. අපි ඒවාට ළදරු වචන භාවිත නොකර හරි වචනයම පාවිච්චි කළා. ශරීරයේ කිසිම අවයවයක් අසාමාන්‍ය හෝ කතා කිරීමට ලැජ්ජා විය යුතු අවයවයක් නොවන බව කියා දුන්නා.” මේ වගේ දැනුමක් ලබා දීමෙන් පසු අතවරයකට ලක් නොවී සිටීමට කළ හැකි දේ ගැන කතා කිරීම පහසුයි. නාන අවස්ථාවේදී අඳින ඇඳුමෙන් වැසෙන කොටස රහස් අවයව බව තවත් බොහෝ දෙමාපියන් දරුවන්ට කාවද්දනවා.

කලින් ලිපියේ අදහස් දැක්වූ ජෙනී මෙසේද පැවසුවා. “අපේ පුතාට එයාගේ ලිංගේන්ද්‍රය රහස් අවයවයක් බව අපි කියා දුන්නා. ඒක කිසිම කෙනෙකුට අල්ලන්න දෙන්න එපා. අම්මට තාත්තාට විතරක් නෙවෙයි ඩොක්ටර් අංකල්ට වුණත් එහෙම කරන්න දෙන්න එපා. සමහර වේලාවට අපි ඔයාව ඩොක්ටර් අංකල් ළඟට එක්කන් ගියාම ඔයාට යම් අසනීපයක් නිසා ඩොක්ටර් අංකල් ඒ රහස් අවයවය බලන්න පුළුවන්. ඒ බලන්නේ ඔයාගේ අසනීපය මොකද්ද කියලා හොයාගන්න. ඒකට කමක් නැහැ.” මෙම දෙමාපියෝ දෙදෙනාම කලින් කලට මෙවැනි දේවල් ගැන දරුවා සමඟ කතා කරනවා. ඔහුට කවුරු හරි නොහොබිනා දෙයක් හෝ යම් අපහසුවක් දැනෙන දෙයක් කළ විට දෙමාපියන් සමඟ ඒ ගැන කතා කළ හැකි බවටත් ඔවුන් ඔහුට තහවුරු කර තිබෙනවා. ළමා ආරක්ෂක සංවිධාන මගින් දෙමාපියන්ට නිතරම උනන්දු කරන්නේ දරුවන් සමඟ එවැනි කාරණා ගැන කතා කරන්න කියායි.

තම දරුවන්ට මෙවැනි කාරණා ගැන ඉගැන්වීමට උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු * යන පොත දෙමාපියන් බොහෝදෙනෙකුට ප්‍රයෝජනවත් වී තිබෙන බව ඔවුන් පවසනවා. එහි 32වෙනි පරිච්ඡේදයේ “යේසුස්ව ආරක්ෂා කළ සැටි” යන පරිච්ඡේදයේ දරුවන් අතවරවලට ලක්වීමේ අවදානම ගැනත් ආරක්ෂාකාරීව සිටීමේ ඇති වැදගත්කම ගැනත් ඍජු නමුත් සහනදායී පණිවිඩයක් අඩංගුයි. මේ පොත “අපි දරුවන්ට පෞද්ගලිකව කියා දුන් කාරණා බලපෑමෙන් යුක්තව කියා දීමට උපකාරවත් වුණා” කියා මෙලිසා පැවසුවා.

දරුවන්ව අනිසි ලෙස අතගෑමට හෝ දරුවන් ලවා තමන්ව අත ගාගැනීමට කැමති අයද සිටින බව දරුවන්ට කියා දිය යුතුයි. මේ නිසා දරුවන් සියලුම වැඩිහිටි අයගෙන් ඈත් විය යුතුද? නැහැ. “මෙය ආරක්ෂා වීමට දෙන මඟ පෙන්වීමක් විතරයි” කියා ජෙනී පවසනවා. “මෙය අපි දරුවන්ට දෙන වෙනත් උපදෙස් අතර තවත් එකක්. මේ නිසා මගේ පුතාට ඒ වගේ උපදෙස් දුන්නාම එයා ඒවාට භය වෙන්නේ නැහැ.”

දරුවෙකුට කීකරු වීමට ඉගැන්වීම හිතන තරම් පහසු දෙයක් නෙවෙයි. (කොලොස්සි 3:20) ඒත් කීකරු වීම ගැන උගන්වන විට කල්පනාකාරී විය යුතුයි. ඕනෑම කාරණයකදී සෑම වැඩිහිටියෙකුටම කීකරු විය යුතුයි කියා ඉගැන්වීම අනතුරුදායක විය හැකියි. ඊට හේතුව එවැනි දරුවෙක් පහසුවෙන්ම අතවරවලට ගොදුරු විය හැකි නිසයි. ඕනෑවට වඩා කීකරු දරුවන්ව අතවර කරන්නන්ට පහසුවෙන්ම හසු කරගන්න පුළුවන්. ඒ නිසා ඥානවන්ත දෙමාපියන් දරුවන්ට කීකරුකම ගැන උගන්වන විටදී එසේ කළ යුත්තේ කොපමණ දුරකටද කියා පෙන්වා දෙනවා. මෙය ක්‍රිස්තියානි දෙමාපියන්ට නම් එතරම් අපහසු කාර්යයක් නෙවෙයි. ඔවුන් දරුවන්ට සරලව මෙසේ කියා දෙනවා. “යෙහෝවා දෙවි අකමැති දෙයක් කරන්න කියලා කවුරු හරි කියනවා නම් ඔයා ඒකට කීකරු වෙන්න ඕනේ නැහැ. දෙවි අකමැති දෙයක් අම්මා තාත්තා කිව්වත් කරන්න එපා. ඔයාට කවුරු හරි වැරදි වැඩක් කරන්න කියලා කියනවා නම් අම්මට හරි තාත්තාට හරි ඒ ගැන කියන්න ඕනේ.”

ඒ වගේම කවුරු හරි ඔබේ දරුවාට යම් දෙයක් රහසක් හැටියට තියාගන්න කියා කියනවා නම් ඔහු එසේ නොකළ යුතු බව කියා දෙන්න. දරුවාට එවැනි රහසක් කියන්න එපා කියා තර්ජනය කළත්, දරුවා අතින් යම් වරදක් සිදු වී තිබුණත් අම්මාටයි තාත්තාටයි හැම දෙයක්ම කියන්න පුළුවන් බව තේරුම් කර දෙන්න. බොහෝදෙනෙක් එවැනි රහස් රකින්න කියන්නේවත්, අනවශ්‍ය ලෙස ශරීරය අතගාන්නේවත්, දෙවිට අකීකරු වෙන්න කියා කියන්නේවත් නැති බව පහදා දෙන්න. එවිට දරුවා එවැනි උපදෙස්වලට බිය වෙන්නේ නැහැ. ඒක හරියට හදිසි ගින්නක් ඇති වූ අවස්ථාවකදී බේරී යෑමට කළ යුතු දේවල් ගැන කියා දෙනවා වගේයි. සමහරවිට දරුවන්ට අතවර කරන අයගෙන් ආරක්ෂා වීම ගැන දී තිබෙන උපදෙස් අදාළ කරගැනීමට අවස්ථාවක් එන්නේ නැති වෙන්නත් පුළුවන්.

දරුවාට මේ කාරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුම ලබා දෙන්න

ආරක්ෂා කරගත හැකි අයුරු කියා දෙන්න

තුන්වෙනි පියවරෙන් සාකච්ඡා කරනු ලබන්නේ දරුවා තනි වූ අවස්ථාවකදී තමාගේ ආරක්ෂාව සලසාගන්නේ කෙසේද කියායි. මෙය දරුවාට යම් ක්‍රීඩාවක් කරන ආකාරයෙන් කියා දිය හැකියි. මව හෝ පියා “ඔයාට මෙහෙම දෙයක් වුණොත් ඔයා මොනවද කරන්නේ” කියා යම් ප්‍රශ්නයක් නඟා පිළිතුරු දීමට දරුවාට ඉඩහරින්න. ඔබට මෙසේ අසන්න පුළුවන්. “අපි එකට සාප්පු සංකීර්ණයකට ගිය වේලාවක ඔයා අතරමං වුණොත් මොනවාද කරන්නේ? ඔයා කොහොමද මාව හොයාගන්නේ?” සමහරවිට දරුවා දෙන පිළිතුරු සෑහීම ගෙන දෙන එකක් නොවන නිසා “ඔයාට ඊට වඩා හොඳ දෙයක් කරන්න පුළුවන්ද” වැනි ප්‍රශ්න ඇසීමෙන් යම් මඟ පෙන්වීමක් ලබා දෙන්න පුළුවන්.

යම් කෙනෙක් දරුවාව අනවශ්‍ය ලෙස අත පත ගානවා නම් ඔහු මොනවද කරන්නේ කියා දැනගන්න ඒ හා සමානම ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නවලින් දරුවාට යම් අපහසුවක් දැනෙනවා නම් වෙනත් ළමයෙකු ගැන යම් කතන්දරයක් කියා දෙන ආකාරයෙන් ප්‍රශ්න අහන්න. උදාහරණයක් ලෙස “පොඩි ළමයෙක් එයාගේ නෑ කෙනෙක් එක්ක ගෙදර හිටියා. මේ නෑදෑයා එයාගේ අල්ලන්න හොඳ නැති තැනක් ඇල්ලුවා. මේ ළමයා මොනවා කරන්න ඕනේ කියලද ඔයා හිතන්නේ?”

දරුවාට තමන්ව ආරක්ෂා කරගත හැකි අයුරු කියා දෙන්න

එවැනි අවස්ථාවකදී ඔබේ දරුවා ක්‍රියා කළ යුතු ආකාරය ගැන ඔබ උගන්වන්නේ මොනවාද? එක් කර්තෘවරයෙක් මෙසේ පැවසුවා. “‘එපා’ ‘එහෙම කරන්න එපා’ වැනි දෙයක් කීම ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඒ තුළින් අතවර කරන්න උත්සාහ කරන තැනැත්තා බියට පත් වන අතර ඔහු කරන්න ගිය දේ ගැන දෙසැරයක් සිතීමට පෙලඹෙයි.” මෙවැනි අවස්ථාවකදී ඔබේ දරුවා ක්‍රියා කරන ආකාරය ගැන කෙටියෙන් රඟ දක්වන්න උනන්දු කරන්න. එවිට එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුණොත් දරුවාට බියක් නැතිව එපා කියන්නත්, එතනින් පලා යන්නත් සිදු වූ සියල්ල ඔබට පවසන්නත් හැකි වේවි. පුහුණුව දෙන අවස්ථාවේදී දරුවාට මේ සියලු තොරතුරු මතක තිබුණද කාලයක් ගත වෙන විට මේ දේවල් අමතක වී යා හැකියි. ඒ නිසා විටින් විට මේ පුහුණුව ලබා දෙන්න.

ඔබේ දරුවාව බලාගන්න දරුවාගේ තාත්තා, සීයා හෝ වෙනත් පිරිමි නෑදෑයන් සිටිනවා නම් මේ සියලුදෙනාවමද මෙවැනි සාකච්ඡාවලට සහභාගි කරගන්න. එවිට ඒ අයගෙන් දරුවාට කිසිම අතවරයක් සිදු වෙන්නේ නැති බව දරුවාට ස්ථිර වෙන්න පුළුවන්. බොහෝ අවස්ථාවලදී දරුවන් අතවරවලට ලක් වෙන්නේ තමන්ගේම නිවසේදීයි. මීළඟ ලිපියේ නිවස ආරක්ෂිත ස්ථානයක් කළ හැක්කේ කෙසේද කියා සාකච්ඡා කරනු ලබනවා.

^ 10 ඡේ. මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා තිබෙන කෙනෙක් පවසන්නේ දරුවන් යම් අසීරුතාවක් අද්දකින බව ඔවුන්ගේ හැසිරීමෙන් දැනගත හැකි බවයි. උදාහරණයක් ලෙස දරුවෙක් ඔහුගේ වයසට නොගැලපෙන සමහර දේවල් කරනවා වෙන්න පුළුවන්. සමහරවිට නින්දෙන්ම ඇඳ තෙමනවා නම්, දෙමාපියන්ගේ ආරක්ෂාව වුවමනාවට වඩා බලාපොරොත්තු වෙනවා නම්, තනියම ඉන්න භය නම් දරුවා ගැන සැලකිලිමත් විය යුතුයි. මෙම හැසිරීම් මගින් කියා පාන්නේ දරුවා යම් අසීරුතාවක් අද්දකින බවයි. ඒවා අතවර වීමකට ගොදුරු වීම නිසාම ඇති වූ ඒවා කියා නිගමනය නොකළ යුතුයි. මෙවැනි දේවල් නිරීක්ෂණය කිරීමෙන් දෙමාපියන්ට පුළුවන් දරුවාගේ වෙනස් වීමට හේතුව සොයාගන්න. එවිට ඔබට පුළුවන් දරුවාට අවශ්‍ය උපකාරය, සැනසීම හා ආරක්ෂාව ලබා දෙන්න.

^ 10 ඡේ. මෙම ලිපි මාලාවේ අතවර කරන තැනැත්තාව සහ එයට ලක් වෙන දරුවාව යන දෙදෙනාවම පුරුෂ ලිංගයෙන් දක්වා තිබුණද මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අදාළයි.

^ 15 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.