Skip to content

පටුනට යන්න

රජවරුන්ටත් හිසරදයක් වූ දත් කැක්කුම

රජවරුන්ටත් හිසරදයක් වූ දත් කැක්කුම

රජවරුන්ටත් හිසරදයක් වූ දත් කැක්කුම

හොඳින් ඇඳ පැළඳ ගත් බොරු දොස්තර කෙනෙක් වෙළඳසැල් අසල සිටගෙන ඕනෑම කෙනෙකුට කිසිම වේදනාවක් ඇති නොවන ආකාරයෙන් දත් ගලවන්න පුළුවන් කියා පවසයි. දොස්තර කලින් සුදානම් කරගත් ඔහුගේ සහකරුවෙක් සෙනඟ අතරින් ටිකක් අදිමදි කරමින් ඉදිරියට පැමිණෙයි. ඔහු ළඟට යන දොස්තර බොරුවට දතක් ගලවන බවක් පෙන්වයි. ඉන්පසු එතන සිටින සෙනඟට ලේ තැවරුණු දතක් ගෙන පෙන්වයි. මෙය දකින බොහෝදෙනෙක් තමන්ගේ දත් ගලවාගැනීමට දොස්තරට සල්ලි දෙයි. දත් ගලවන අතරතුරේදී මහ හඬින් බෙර හා හොරණෑ වාදනය කරනු ලබනවා. මේ නිසා ඇත්තටම දත් ගලවන අයගේ කෑගැසීම් වෙන කිසිම කෙනෙකුට ඇහෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී දත් ගලවා දවස් කිහිපයකින් විෂබීජ ශරීර ගත වීම නිසා ලෙඩ වුණත් දත් දොස්තරව පළාතේවත් සොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ වන විටත් ඔහු වෙනත් පළාතක ඔහුගේ සුපුරුදු කාර්යය සඳහා පිටත් වී හමාරයි.

අද දත් ගලවාගැනීමේදී හොර දොස්තරවරුන්ට අසු වෙන්නේ කිහිපදෙනෙක් පමණයි. නවීන දින දන්ත වෛද්‍යවරුන් දත් කැක්කුමට සුවයක් ලබා දෙන්න විතරක් නෙවෙයි දත් ගලවන්නේ නැතිව ඒවා බේරාගැනීමට ක්‍රමද සොයාගෙන තිබෙනවා. ඒත් අද බොහෝදෙනෙක් දන්ත වෛද්‍යවරු බැහැදැකීමට යෑමට පුරුදු වී සිටිනවා. ඉස්සර කාලයේදී මිනිසුන් දත් රෝග නිසා විඳි දුක් ගැහැට දැනගැනීම වර්තමානයේ තිබෙන පහසුකම් අගය කිරීමට හේතු වෙයි.

අද මිනිසුන් අද්දකින රෝග අතරින් සෙම්ප්‍රතිශ්‍යාවට පසුව ප්‍රචලිතව දක්නට තිබෙන රෝගය නම් දත් කැක්කුමයි. මෙය මේ කාලයේ පමණක් අද්දකින රෝගී තත්වයක් නෙවෙයි. මෙයට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව අතීතයේ සිටි සලමොන් රජ පැවසූ දෙයින් පැහැදිලියි. ඔහු බයිබලයේ දේශනාකාරයා යන පොතේ පවසන්නේ වයසක අයට අද්දකින්න වෙන අමාරුකම් අතර දත් කිහිපයක් පමණක් තිබීමත් ඉන් එකක් වන බවයි.—දේශනාකාරයා 12:3.

රජවරු පවා පීඩා වින්දා

එලිසබෙත් රැජින එංගලන්තයේ පළමුවන රැජින වුණත් ඇයටත් මේ උවදුරට මුහුණ දෙන්න සිදු වුණා. ඇයගේ නරක් වූ දත් දුටු එක් ජර්මානු ජාතිකයෙක් පැවසුවේ “ඉංග්‍රීසි ජාතිකයන් බහුලව සීනි කෑමට ගැනීම මීට හේතුවක්” බවයි. වර්ෂ 1578 දෙසැම්බර් මාසයේදී රැජින දත් කැක්කුම නිසා රෑ දවල් දුක් වින්දා. ඇගේ නරක් වූ දත ගලවා දමන්න කියා වෛද්‍යවරුන් පැවසුවත් ඉන් ඇති වන වේදනාවට තිබෙන බිය නිසා සමහරවිට ඇය එසේ කරන්න අකමැති වෙන්න ඇති. ඇයට දත ගැලවීමට පෙලඹවීම සඳහා එවකට එංගලන්තයේ සිටි ජෝන් ඇල්මර් නම් බිෂොප්වරයා ඔහුගේ නරක් වූ දතක් ඇය ඉදිරියේ ගලවා දැමීමට කටයුතු කළා. මේ වයසක බිෂොප්වරයාට තිබුණේ දත් කිහිපයක් නිසා මෙවැනි දෙයක් කිරීමට ඉදිරිපත් වීම ඇත්තෙන්ම ලොකු පරිත්‍යාගයක් කියා සැලකිය හැකියි.

ඒ කාලයේදී පොදු ජනයා දතක් ගලවගන්න ගියේ කොණ්ඩේ කපන කෙනෙක් ළඟට හෝ කම්මල්කරුවෙක් ළඟටයි. නමුත් කාලයත් සමඟ සීනි ආහාරයට ගැනීමට බොහෝදෙනෙකුට වත්කමක් ඇතිවීමත් සමඟම දත් කැක්කුමෙන් පෙළෙන රෝගීන්ගේ සංඛ්‍යාවත් වැඩි වුණා. ඒ නිසා දත් ගැලවීමට හැකි දක්ෂ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවද වැඩි වුණා. මේ නිසා සමහර වෛද්‍යවරුන් මේ විෂය සම්බන්ධයෙන් අවධානයක් දෙන්න පටන්ගත්තා. නමුත් මේ වෛද්‍යවරුන්ට මේ විෂය තනිවම ඉගෙනගැනීමට සිදු වුණා. ඔවුන් සොයාගත් තොරතුරු අන් අය සමඟ බෙදාගැනීමට මේ වෛද්‍යවරුන් කැමති වුණේ නැහැ. දන්ත වෛද්‍ය ශාස්ත්‍රය ගැන ලියැවුණු පොත් එවකට තිබුණේ කිහිපයක් පමණයි.

පළමුවන එලිසබෙත් රැජිනගේ පාලන සමය අවසන් වී අවුරුදු සියයකට පමණ පසු දත් කැක්කුමෙන් දුක් විඳි තවත් රජ කෙනෙක් සිටියා. ඒ ප්‍රංශය පාලනය කළ 14වන ලුවී රජයි. ඔහුගේ ජීවිත කාලයෙන් වැඩිපුර කාලයක් දත් කැක්කුමෙන් ඔහු දුක් වින්දා. වර්ෂ 1685වන විට ඔහුගේ උඩු ඇන්දේ වම් පැත්තේ එක දතක්වත් ඉතිරිව තිබුණේ නැහැ. ඔහුගේ දත් කැක්කුම ඔහු ගත් සමහර තීරණවලටත් බලපෑවා. උදාහරණයක් ලෙස එම අවුරුද්දේ ඔහු ප්‍රංශයේ ආගමික නිදහස ලබා දීමට අනුමැතිය දීම නිසා නොයෙකුත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වුණා.

දන්ත වෛද්‍යවරුන්ගේ ආරම්භය

දහහතරවන ලුවී රජුට උසස් සමාජ තත්වයක් පවත්වාගැනීම සඳහා දන්ත වෛද්‍යවරුන්ගේ සහය අවශ්‍ය වුණා. ඊට හේතුව ඔහුගේ රාජ සේවයේ මෙන්ම සමාජයේ කීර්ති නාමයක් දිනාගැනීමට හොඳ පෙනුමක් බෙහෙවින් අවශ්‍ය වීමයි. ආහාර අනුභව කිරීමට වඩා පෙනුමට දත් බලපාන නිසා බොරු දත් සෑදීමේ අවශ්‍යතාවක් මේ ප්‍රභූවරුන්ට පැනනැඟුණු නිසා අලුත් වෛද්‍යවරුන් පිරිසක් බිහි වුණා. එවකට පැරීසියේ සිටි දක්ෂම දන්ත වෛද්‍යවරයා වූයේ පියෙර් ෆෝෂාට්. ඔහු දන්ත ශල්‍යකර්ම කිරීමට පුහුණුව ලබා තිබුණේ ප්‍රංශ හමුදාවෙනුයි. සාමාන්‍ය ජනතාව දත් ගලවාගැනීමට කොණ්ඩේ කපන කෙනෙක් හා හොර දොස්තරවරුන් ළඟට යෑම ඔහු තරයේ හෙළාදැක්කා.

තමන් උගත් ශාස්ත්‍රය තමන්ටම තබා නොගෙන ඔහු දැනගෙන තිබුණු සියලුම ක්‍රම මුලින්ම පොතක ලියා 1728දී ප්‍රචාරය කළේ මොහුයි. මේ නිසා ඔහුව “දන්ත වෛද්‍ය විද්‍යාවේ පියා” ලෙස හඳුන්වනු ලැබුවා. ඉස්සර දත් ගැලෙව්වේ රෝගීන්ව බිම වාඩි කරවා වුවත් මුලින්ම පුටුවක රෝගීන්ව වාඩි කරවා එම කාර්යය කළේ ඔහුයි. ඔහු දත් ගැලවීම සඳහා අවශ්‍ය වන උපකරණ පහක් නිර්මාණය කළා. ඔහු දත් ගැලවීමට පමණක් නොව දත් විදින උපකරණයකුත් සෑදුවා. ඒ වගේම දත් පිරවීමට ක්‍රමත් සොයාගත්තා. තවත් ඔහු ස්නායු පිරවුම් කිරීමටත් කෘත්‍රිම දත් සවි කිරීමටත් සමත් වුණා. ඔහු කෘත්‍රිම දත් සෑදුවේ ඇත් දළවලිනුයි. ඒ වගේම උඩු ඇන්දට කෘත්‍රිම දත් සවි කරන විට එය හොඳින් රඳවා තැබීම සඳහා දඟරයක් භාවිත කළා. වෛද්‍ය ෆෝෂාට් වෘත්තීමය වශයෙන් නිපුණතාවක් ලබාගත් අතර ඔහු අනිකුත් රටවලද මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වුණා.

ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් විඳි දුක

දහහතරවන ලුවී රජුගේ කාලයෙන් පසු දත් කැක්කුමෙන් වේදනා විඳි තවත් කෙනෙක් වූයේ ජනාධිපති ජෝර්ජ් වොෂිංටනුයි. ඔහු අවුරුදු 22 පටන් සෑම අවුරුද්දකම වාගේ දතක් ගැලෙව්වා. ඔහු බ්‍රිතාන්‍යයට එරෙහිව සටන් කරන සමයේදී පවා දත් කැක්කුම ඔහුට මහත් හිසරදයක් වූවාට කිසිම සැකයක් නැහැ. ඔහු 1789 අමෙරිකා එක්සත් ජනපදයේ පළමුවෙනි ජනාධිපති වන විට ඔහුට දත් තිබුණේ නැති තරම්.

දත් නොමැති නිසා ඔහුගේ පෙනුම අවලස්සන වීම ගැනත් හරියට සවි නොවූ කෘත්‍රිම දත් ඇන්ද නිසාත් ඔහු දැඩි සිත්තැවුලට පත් වුණා. අලුත් ජනාධිපති හැටියට මහජනයා ඉදිරියේ හොඳ පෞරුෂත්වයක් ගොඩනඟා ගැනීම සඳහා ඔහු ඔහුගේ පෙනුම ගැන බෙහෙවින් සැලකිලිමත් වුණා. ඒ දවස්වල කෘත්‍රිම දත් ඇදි සෑදුවේ අච්චුවකට අනුව නොවෙයි. මේවා සාදා තිබුණේ ඇත් දළවලින් වන අතර ඒවා රඳවා තබාගැනීම පහසු වුණේ නැහැ. ජෝර්ජ් වොෂිංටන් පමණක් නොව තවත් ඉංග්‍රීසි ජාතිකයන් මේ ප්‍රශ්නෙටම මුහුණ දුන්නා. ඉංග්‍රීසි ජාතිකයින් වැඩියෙන් කට ඇර සිනාසෙන විහිළුවලට අකමැති ඔවුන්ගේ බොරු දත් පෙනෙන නිසා බව කියැවෙනවා.

ජනාධිපති වොෂිංටන්ගේ කෘත්‍රිම දත් සාදා තිබුණේ ලීවලින්යැයි ප්‍රචලිත කට කතාව බොරුවක්. ඔහුගේ කෘත්‍රිම දත් සාදා තිබුණේ ඇත් දළවලින්, ඊයම්වලින් හා සොහොන් හොරුන් සොරාගත් දත්වලිනුයි. ඔහුගේ දන්ත වෛද්‍යවරු බොහෝවිට දත් සොහොන් හොරුන්ගෙන් ලබාගත්තා විය හැකියි. මෙවැනි දත් වෙළඳාමේ යෙදෙන මිනිස්සු හමුදාවන් පසුපස ගොස් යුද්ධයෙන් මැරී වැටෙන සොල්දාදුවන්ගේ දත් ගලවාගත්තා. මේ හේතු නිසා එදා දත් ඇන්දක් ලබාගත හැකි වූයේ පොහොසත් අයට පමණයි. වර්ෂ 1850 ගණන්වලදී කාටත් කෘත්‍රිම දත් ලබාගැනීමට හැකි වූයේ ඒවා තද රබර්වලින් සාදන්න පටන්ගත් නිසායි. ජනාධිපති වොෂිංටන්ගේ දන්ත වෛද්‍යවරු දන්ත ක්ෂේත්‍රයේ මූලික අය වුවත් දත් කැක්කුමට හේතුව ඔවුන් සොයාගෙන තිබුණේ නැහැ.

දත් කැක්කුම ඇති වෙන්නේ ඇයි?

මිනිසුන් 1700 ගණන් දක්වාම සිතා සිටියේ දත් කැක්කුම හැදෙන්නේ පණුවන් නිසා කියායි. ඒත් 1890දී විලෙබි මිලර් නම් අමෙරිකානු ජාතික දන්ත වෛද්‍යවරයා ජර්මනියේ බර්ලින් විශ්වවිද්‍යාලයේ සේවය කරන කාලයේදී දත් දිරා යෑමට ප්‍රධාන හේතුව සොයාගත්තා. එනම් ආහාරවල තිබෙන සීනි මත යැපෙන බැක්ටීරියාවක් නිකුත් කරන අම්ලයක් දත්වලට බලපාන බවයි. ඒත් දත් දිරායෑම වළක්වාගත හැක්කේ කෙසේද? මෙයට පිළිතුර ලැබුණේ අහම්බෙන්.

අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ වෙසෙන දන්ත වෛද්‍යවරුන්ට එහි ජනයාගේ දත්වල කලු තිත් ඇතිවීම ගැන ප්‍රශ්නයක් තිබුණා. එයට හේතුව ජලයේ වැඩිපුර ෆ්ලෝරයිඩ් ප්‍රමාණයක් අඩංගු වීම බව අවසානයේදී ඔවුන් සොයාගත්තා. මේ ගැන අධ්‍යයනය කරගෙන යන අතරතුර මුළු ලෝකයටම ප්‍රයෝජනවත් වන තවත් කාරණයක් ඔවුන්ට සොයාගත හැකි වුණා. එනම් තමන් පාවිච්චි කරන වතුරේ අවශ්‍ය තරම් ෆ්ලෝරයිඩ් ප්‍රමාණයක් නොමැති විට දත් ශීඝ්‍රයෙන් දිරාපත් වන බවයි. දතේ එනැමලය සඳහා අවශ්‍ය දෙයක් වන ෆ්ලෝරයිඩ් සාමාන්‍යයෙන් ජලයේ අඩංගුයි. තමන් පාවිච්චි කරන ජලයේ ෆ්ලෝරයිඩ් ප්‍රමාණය අඩු නම් එය නිසි ලෙස ලබා දීමෙන් දත් දිරා යෑම සියයට 65කින් අඩු කරගත හැකියි.

කවුරුත් නොදැන සිටි රහස හෙළි වුණා. එනම් බොහෝදෙනෙකුට දත් කැක්කුම හැදෙන්නේ දත් දිරායෑම නිසයි. මේ තත්වය සීනි ආහාරයට ගැනීම නිසා වැඩි වන අතර ෆ්ලෝරයිඩ්වලින් එම තත්වය වළක්වාලනවා. කෙසේවෙතත් දත් මැදීමෙන් හා දත් පිරිසිදු කිරීමෙන් අත් වන ප්‍රතිඵලය ලබා දෙන්න ෆ්ලෝරයිඩ්වලට නම් කොහොමටවත් බැහැ.

වේදනාවක් නැතිව දත් ගැලවීම

හිරිවට්ටන්න ක්‍රමයක් සොයාගැනීමට පෙර දත් ගැලවීම ඉතා වේදනාකාරී අද්දැකීමක් වුණා. දන්ත වෛද්‍යවරු නරක් වූ දත තියුණු උපකරණ යොදා හාරා එළියට ගත් අතර එම කුහරය උණු ලෝහවලින් පිරෙව්වා. එමෙන්ම ඒ කාලයේදී වෙනත් විකල්පයක් තිබුණේ නැති නිසා දත ගැලවූ තැන විෂ වීම වැළැක්වීම සඳහා ගිනියම් කළ යකඩ කූරකින් එතන පිච්චුවා. දත් ගැලවීම මෙතරම් වේදනාත්මක දෙයක් වුවද ජනයා එය කිරීමට කැමති වූයේ දත් කැක්කුම ඔවුන්ට ඉවසා දරා සිටීම ඊට වඩා අමාරු දෙයක් වූ නිසයි. සියවස් ගණනාවක් පුරා ඕපියම් වැනි ශාකවලින් ලබාගන්නා යම් දේවල් වේදනා නාශක ලෙස යොදාගත්තද ඒවා එතරම් සාර්ථක වූයේ නැහැ. දන්ත වෛද්‍යවරුන්ට කවදා හෝ වේදනාවකින් තොර වූ ශල්‍යකර්ම කරන්න හැකි වෙයිද?

නයිට්‍රස් ඔක්සයිඩ් (සිනා වායුව) 1772දී මුලින්ම සොයාගත්තේ ජෝසෙෆ් ප්‍රීස්ට්ලි නම් ඉංග්‍රීසි ජාතිකයායි. ඒත් 1844 දක්වා කිසි කෙනෙක් මෙය වේදනා නාශකයක් ලෙස භාවිත කළේ නැහැ. කෙසේවෙතත් ඒ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 10වෙනිදා හොරස් වෙල්ස් නම් දන්ත වෛද්‍යවරයා සහභාගි වූ සමුළුවක මෙම වායුව අත්හදා බලනු ලැබුවා. මෙම වායුවේ බලපෑමට හසු වී සිටි අය තමන්ට රිදවාගත්තත් ඔවුන්ට ඒවා දැනුණේ නැති බව මේ වෛද්‍යවරයා දුටුවා. ඔහු ඉතා අනුකම්පාසහගත පුද්ගලයෙක්. එමනිසා තමන්ගේ රෝගීන් දත් ගැලවීමේදී මොන තරම් වේදනාවක් අද්දකිනවාද කියා ඔහු සිතුවා. ඔහු සිනා වායුව වේදනා නාශකයක් ලෙස භාවිත කිරීමට තීරණය කළා. ඒත් ඔහු මෙම පරීක්ෂණය වෙනත් කෙනෙකුට නොව තමන්ටම කර බලන්න සිතුවා. ඒ නිසා ඔහු පසුවදාම ඔහුගේ වෛද්‍ය සායනයේදී මෙම වායුව සිහි නැති වන තුරුම ඉරුවා. ඊට පස්සේ ඔහුගේ මිත්‍රයෙක් ඔහුට වේදනාවක් වී තිබූ ඔහුගේ ඥාන දත ගැලෙව්වා. එය ඉතිහාසගත වාර්තාවක් වුණා. වේදනාවකින් තොරව දත් ගැලවීමේ ක්‍රමයක් අවසානයේදී සොයාගනු ලැබුවා. *

දන්ත වෛද්‍ය විද්‍යාව මේ වන විට බොහෝසෙයින් දියුණු වී තිබෙන අතර අද දතක් ගැලවීම සුළු දෙයක්. මේ නිසා අද දන්ත වෛද්‍යවරයෙකු මුණගැසීමට යෑමේදී බියක් දැනෙන්නේ නැහැ.

[පාදසටහන]

^ 22 ඡේ. අද සිනා වායුව එතරම් භාවිත නොකරන අතර ඒ වෙනුවට වඩා දියුණු ක්‍රම භාවිත කරනවා.

[28වන පිටුවේ පින්තූරය]

ඇත් දළවලින් නිමවු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන්ගේ දත් ඇන්ද

[හිමිකම් විස්තර]

Courtesy of The National Museum of Dentistry, Baltimore, MD

[29වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1844දී සිනා වායුව යොදාගනිමින් කළ පළමුවෙනි දන්ත ශල්‍යකර්මය සිත්තරුවෙකුගේ දෑසින්

[හිමිකම් විස්තර]

Courtesy of the National Library of Medicine

[27වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Courtesy of the National Library of Medicine