Skip to content

පටුනට යන්න

මහලු වීමට හේතුව කුමක්ද?

මහලු වීමට හේතුව කුමක්ද?

මහලු වීමට හේතුව කුමක්ද?

“මව් කුසින් උපන් හැම කෙනෙකුගේම ජීවිත කෙටිය. දුකින් පිරී ඇත.”—යෝබ් 14:1, නව අනුවාදය.

නිතර භාවිත කරන වාහන වගේම මහන මැෂිමක් වැනි මොන යම් හෝ යන්ත්‍රයක ක්‍රියාකාරිත්වය යම් දිනෙක ඇනහිටියි. මෙලෙස සෑම ජීවියෙක්ම ටිකෙන් ටික ගෙවී කවදා හෝ නැත්තටම නැති වී යයි කියාත් ඔබ සිතනවා ඇති. නමුත් සත්ව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීවන් ඕස්ටඩ් පැහැදිලි කරන්නේ මෙලෙසයි. “ජීවීන් යන්ත්‍රවලට වඩා බෙහෙවින් වෙනස්. ජීවීන්ට තමන් තුළම අලුත්වැඩියා වීමේ හැකියාවක් තිබෙනවා.”

ඔබට අනතුරක් වූ විට යළි සුවවීම අද්විතීයයි. නමුත් ඊටත් වඩා මවිතාකාර දෙයක් වන්නේ කිසි හානියක් නොවන විට පවා දිනපතා සිරුර තුළ සිදු වන අලුත්වැඩියා වීමයි. උදාහරණයකට ඔබේ අස්ථි දිහා බලන්න. “බැලූ බැල්මට පේන්නේ ඒවා අප්‍රාණික වගෙයි නේද? ඒත් අස්ථියක් කියන්නේ සෛල ගණනාවක එකතුවක්. ජීවිත කාලය පුරාම එම අස්ථිය තුළ සෛල විනාශ වීමේ හා අලුත් ඒවා නිපදවීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. මේ නිසා වසර දහයෙන් දහයට කෙනෙකුගේ මුළු ඇටසැකිල්ලම සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා වෙනවා” කියා සයන්ටිෆික් අමෙරිකන් සඟරාවේ පැහැදිලි කරනවා. සිරුරේ අනිත් කොටස්ද නිතරම අලුත්වැඩියා වෙනවා. සමේ, අක්මාවේ හා බඩවැලේ සමහර සෛල හැම දිනකම පාහේ අලුතෙන් නිපදවෙනවා. සෑම තත්පරයකදීම ඔබේ සිරුරේ සෛල මිය ගොස් ඒ වෙනුවට අලුත් සෛල මිලියන 25ක් පමණ නිපදෙනවා. මෙයාකාරයට ඔබේ සිරුරේ සියලු කොටස් නිරතුරුවම අලුත්වැඩියා වුණේ නැත්නම් ළමා වියේදීම ඔබ මහල්ලෙකු වේවි.

සෛලවල අඩංගු අණු පිළිබඳව අධ්‍යයනයක යෙදුණු විද්‍යාඥයන් විසින් අපි ටිකෙන් ටික ගෙවී ගොස් අවසානයේදී නැත්තටම නැති වී නොයන බව තහවුරු කිරීමට තවත් තොරතුරු සොයාගෙන තිබෙනවා. ඔවුන් සොයාගත්තේ මෙයයි. සෑම අලුත් සෛලයකම DNA තිබිය යුතුයි. මෙම DNA හෙවත් ඩිඔක්සිරයිබොනියුක්ලෙයික් අම්ලය ජීවීන්ගේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන ප්‍රවේණි ද්‍රව්‍යයි. අලුත් සෛලවලට DNA ලබා දීමේ ක්‍රියාවලිය සිදුවීමට මිනිස් ජීවය බිහි වූ දා පටන් යළි යළිත් DNA නිපදවිය යුතු වුණා. ඔබේ ජීවිත කාලය පුරා ඔබේ සිරුරේ මේ ක්‍රියාවලිය සිදුවීමට පෙර කොපමණ වාරයක් නම් මෙම DNA නිපදවෙන්න ඇද්ද? මේ මොන තරම් පුදුමයක්ද කියා දැනගැනීමට ඡායා පිටපත් යන්ත්‍රයක ක්‍රියාවලිය ගැන සලකා බලමු. මුල් මුද්‍රණයෙන් අලුත් පිටපතක් ගන්නවා. ඉන්පසු එම අලුත් පිටපතෙන් තවත් පිටපතක් ගන්නවා. මේ විදිහට දිගටම පිටපත් කරන විට ක්‍රම ක්‍රමයෙන් අකුරු ලා පැහැයක් ගනියි. අන්තිමේදී අකුරු පේන්නේ නැතුවම යයි. ඒත් DNA අණුවකින් තවත් අණුවක්ද, පිටපත් වූ එම අලුත් අණුවෙන් තවත් එකක්ද නිපදවන විට මුල් අණුවේ අඩංගු වූ සියලුම දේ එහිද තිබීම පුදුමයක් නොවේද? ඊට හේතුව අලුත් DNA නිපදෙන විට යම් දෝෂයන් තිබුණොත් ඒවා නිවැරදි කිරීමේ හැකියාව අපේ සෛල තුළ තිබීමයි. ඒක එසේ නොවුණා නම් අද මේ මිහිතලයේ මිනිස් ජීවිතයක් සොයාගන්න බැරි වේවි.

අපේ සිරුරේ පුංචි අණුවක් මෙන්ම විශාල අස්ථියක් යන සෑම කොටසක්ම නිතර අලුත්වැඩියා වෙන නිසා ගෙවී යෑම මහලු වීමට මූලික හේතුව ලෙස දැක්විය නොහැකියි. දශක කීපයක් පුරා සිරුරේ ක්‍රියාදාමයන් රැසක් අලුත්වැඩියා වන්නේ එකිනෙකට වෙනස් ක්‍රමයකින් හා වේගයකිනුයි. එසේනම් ඒ සියල්ලේම ක්‍රියාකාරිත්වය එකම කාලයකදී එක විට නවතින්න පටන්ගන්නේ කොහොමද?

උපතේදීම ආයු කාලය ලියවී ඇද්ද?

මේ ගැන සිතන්න. නිවසක ඇති කරන පූසෙක් වසර 20ක් ජීවත් වුණත් උගේ ප්‍රමාණයට සමාන දඬු ලේනෙකුගේ ආයු කාලය අවුරුදු පහක් නැත්නම් හයක් වෙන්නේ ඇයි? ඒ වගේම මීයෙක් අවුරුදු තුනකින් මියයද්දී වවුලෙකුට අවුරුදු 20ක් හෝ 30ක් ජීවත් විය හැකියි. යෝධ ඉබ්බෙක් අවුරුදු 150ක් ජීවත් වෙද්දී අලියෙක් ජීවත් වෙන්නේ අවුරුදු 70ක් විතරයි. මෙහෙම වෙන්නේ ඇයි? සතුන්ගේ ආහාර රටාව, සිරුරේ බර, මොළයේ ප්‍රමාණය හෝ වර්ධන වේගය උන්ගේ ආයු කාලයේ එවැනි විවිධත්වයක් තිබීමට මූලික හේතුව කියා පැවසිය නොහැකියි. “සත්ව විශේෂයන්ගේ සෛල තුළ උන්ගේ වයස ලියැවී තිබෙන නිසා ඉන් එහාට උන්ට ජීවත් විය නොහැකියි” කියා එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා විශ්වකෝෂය පවසයි. උපරිම ආයු කාලය ජානවල ලියැවී තිබෙනවා. මෙම ආයු කාලයේ අවසානයට ළඟා වන විට සිරුරේ සියලුම ක්‍රියාදාමයන් අඩාළ වෙන්න පටන්ගන්නේ ඇයි?

අණුක ජෛව විද්‍යාඥයෙකු වන වෛද්‍ය ජෝන් මෙඩීන මෙසේ පවසනවා. “වැඩුණු සෛලවලට ක්‍රියාකාරිත්වය නතර කරන්න කියා එක පාරටම සංඥාවක් දෙනවා වගෙයි පේන්න තියෙන්නේ.” ඒ වගේම “සෑම ජීවියෙකුටම, සෑම සෛලයකටම මහලු වී මිය යන්න කියා පැවසිය හැකි ජාන තිබෙන” බවද ඔහු පවසනවා.

නිදසුනකට, අපේ සිරුර, දශක ගණනාවක් පුරා සාර්ථකව ව්‍යාපාරයක් පවත්වාගෙන යන සමාගමකට සමාන කළ හැකියි. එහෙත් එහි කළමනාකරුවන් හදිසි තීරණයක් ගෙන අලුත් සේවකයන්ව බඳවාගැනීම හා පුහුණු කිරීම නතර කරනවා. යන්ත්‍ර අලුත්වැඩියා කිරීම හෝ අලුතෙන් ගැනීම නවතා දමනවා. එමෙන්ම ව්‍යාපාර ස්ථානය නඩත්තු කිරීම සහ යළි ඉදි කිරීම් නවත්වනවා. මෙහෙම වෙද්දී වැඩි කල් නොගොස් ව්‍යාපාරය බංකොලොත් වෙනවා. ඒත් ඇයි මේ කළමනාකරුවන් දියුණුවට දායක වූ ප්‍රතිපත්ති වෙනස් කළේ? වයසට යෑම පිළිබඳ අධ්‍යයනයේ නිරත වන ජීවවිද්‍යාඥයන්ද මුහුණ පාන්නේ එවැනිම ප්‍රශ්නයකටයි. එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “වයසට යෑමට හේතුව අභිරහසක්ව තිබෙන හෙයින් පර්යේෂකයන් වෑයම් කරන්නේ සෛල අලුතෙන් නිපදවීම නතර වී ටිකෙන් ටික මැරී යන්නේ මන්දැයි අවබෝධ කරගැනීමටයි.”—එම පොත The Clock of Ages.

වයසට යෑම නතර කළ හැකිද?

“ජීව විද්‍යාත්මක ගැටලු සියල්ලෙන් සංකීර්ණම ගැටලුව” වී තිබෙන්නේ වයසට යෑමයි. දශක ගණනාවක් විද්‍යාත්මක පර්යේෂණ පවත්වා තිබුණත් වයසට යෑමේ හේතුවවත්, වයසට යෑම නතර කිරීමට ප්‍රතිකාරයක්වත් සොයාගෙන නැහැ. මේ විෂය පිළිබඳ අධ්‍යයනය කළ විද්‍යාඥයන් 51දෙනෙක් 2004දී සයන්ටිෆික් අමෙරිකන් සඟරාවේ මෙවැනි අනතුරු ඇඟවීමක් පළ කළා. “වයසට යෑම ප්‍රමාද කිරීමට, නැවැත්වීමට හෝ ආපස්සට හැරවීමට මේ වන තුරු කිසිම ඖෂධයක් නිපදවා නැහැ. සමබර ආහාර ගැනීමෙන් හා ව්‍යායාමයේ යෙදීමෙන් හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වාගන්න හා අකාලයේ මිය යෑමෙන් වැළකෙන්න පුළුවන් වුණත් වයසට යෑම නතර කළ නොහැකියි. මෙවැනි සාධකවලින් අපේ මතකයට නැඟෙන්නේ යේසුස්ගේ වදන්. “කනස්සලු වීමෙන් තම ආයු කාලයට කිසිවක් එක් කරගන්න ඔබ අතරෙන් කාට පුළුවන්ද?”—මතෙව් 6:27.

වයසට යෑම වැළැක්වීමට දරන ප්‍රයත්නයන්ගේ සාර්ථකත්වය ගැන කැටි කොට දක්වමින් මෙඩීන මෙසේ ලිව්වා. “අපි වයසට යන්නේ ඇයි කියන කාරණයවත් අපි දන්නේ නැහැ. . . . පිළිකා රෝගය වර්ධනය වූ කාලයේ පටන් එය වැළැක්වීමට ප්‍රතිකාර ක්‍රම සෙව්වත් තාමත් සම්පූර්ණ සුවයක් ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. පිළිකා සෑදීමට හේතු වන දේ තේරුම්ගන්න අමාරු නම් වයසට යෑමේ ක්‍රියාවලිය තේරුම්ගන්න ඊටත් වඩා අමාරුයි.”

පර්යේෂණ මගින් වටිනා නිගමනයක්

ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය හා වයසට යෑමේ හේතුව ගැන සම්පූර්ණයෙන්ම සොයාගන්න බැරි වුණත් පර්යේෂණවලින් බොහෝ දේ හෙළි වී තිබෙනවා. බොහෝදෙනෙකුට ඔවුන් කරන පර්යේෂණවලින් එක දෙයක් පැහැදිලියි. ඒ ගැන අණුක ජෛව විද්‍යාඥ මයිකල් බීහී ලියන්නේ මෙසේයි. “පසුගිය දශක හතර පුරා නවීන ජෛවරසායනික විද්‍යාව මගින් සෛලයක ක්‍රියාකාරිත්වය පිළිබඳ සියලු රහස් හෙළි කර තිබෙනවා. . . . සෛලයක සැකැස්ම පිළිබඳව දරන ලද සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵලය වී තිබෙන්නේ ජීවීන්ව ‘නිර්මාණය’ කර ඇති බව හැම පර්යේෂණයකින්ම පැහැදිලි වීමයි. බුද්ධිමත් කෙනෙක් ජීවීන්ව නිර්මාණය කර තිබෙනවා.” මෙම නිගමනයට එළඹුණු මුල්ම තැනැත්තා බීහී නොවෙයි. මිනිස් සිරුරේ සැකැස්ම ගැන මෙනෙහි කළ ආදියේ විසූ ගීතිකාකරුවෙකු මෙසේ ලිව්වා. “මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි.”—ගීතාවලිය 139:14.

ජීවීන්ව නිර්මාණය කර ඇත්නම් කුතුහලය දනවන ප්‍රශ්නයක් පැනනඟියි. ශ්‍රේෂ්ඨ නිර්මාණකරු වන දෙවි මිනිසාව මවනු ලැබුවේ බොහෝ සත්වයන්ගේ ආයු කාලයට සමාන ආයු කාලයක් ඇතුවද එහෙමත් නැත්නම් සත්වයන්ට වඩා වැඩි කාලයක් ජීවත් වීමටද?

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘අපව මවා තිබෙන්නේ අරුම පුදුම ලෙසයි’

[4, 5වන පිටුවේ පින්තූරය]

වයසට යන්නේ ගෙවී යෑම නිසාමද?

[6වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

DNA: Photo: www.comstock.com