Skip to content

පටුනට යන්න

නාගරිකයන්ගේ කුස පිරවීමේ අභියෝගය

නාගරිකයන්ගේ කුස පිරවීමේ අභියෝගය

නාගරිකයන්ගේ කුස පිරවීමේ අභියෝගය

“ලෝකයේ නාගරික වැසියන්ගේ කුස පිරවීම දිනෙන් දින උග්‍ර වන අභියෝගයක්. ඒ සඳහා ආහාර නිෂ්පාදනය, ප්‍රවාහණය, වෙළඳ පොළ හා සිල්ලර වෙළඳුන් යන සෑම දෙයක්ම පරිපාලනය කළ යුතුයි.”—එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් වන ෂාක් ජූෆ් (FAO).

ආහාර සැපයුම පිළිබඳව සොයා බලන විද්වතුන් කියන්නේ නාගරික වැසියන්ට හිඟයකින් තොරව සුදුසු ආහාර ලබා දීම 21වන සියවසේදී “මිනිසාගේ ලොකුම ගැටලුව වී” තිබෙන බවයි.

හොඳ ආහාර සැපයුමක් කියන්නේ “හැමෝටම නිරෝගි ජීවිතයක් ගත කිරීම සඳහා කිසිම හිඟයක් නොමැතිව ආහාර ලබාගැනීමට ඇති හැකියාවයි.” දැන් ලෝකයේ තිබෙන ආහාර ප්‍රමාණය ජනතාවගේ අවශ්‍යතා අනුව බෙදාහැරියා නම් එය ප්‍රමාණවත්. ඒත් යථාර්ථය නම් මිලියන 840ක් පමණ නින්දට යන්නේ කුසට හරිහැටි ආහාරයක් නොමැතිවයි. එයින් බොහෝදෙනෙක් ජීවත් වන්නේ නගරයේ. මෙම ගැටලුවේ පැති කිහිපයක් සලකා බලමු.

විශාල නගරවලට තොග පිටින් ආහාර

ක්‍රම ක්‍රමයෙන් නගර විශාල වන විට නිවාස, කර්මාන්ත ශාලා හා පාරවල් තැනීම සඳහා එම නගර අවට වගා බිම් යොදාගන්නවා. අවසානයේ නගරවල ආහාර සැපයුමට දායක වූ වගා බිම් නැති වී යනවා. මේ නිසා බොහෝවිට නගර තුළ වගා කරන්නේ සුළු වශයෙන්. සමහරවිට වගා බිම් කොහෙත්ම දක්නට ලැබෙන්නෙත් නැහැ. මස් ආදි ආහාර දුර බැහැර ගම්බද පළාත්වලින් නගරයට ප්‍රවාහණය කරනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක ප්‍රමාණවත් මං මාවත් නැහැ. එමනිසා ගම්බද ගොවි පොළවලින් නගරයට බඩු ප්‍රවාහණය කරන විට කාලය අපතේ යනවා. බඩු තොග විනාශ වීම වැනි දේවල්ද අද්දකිනවා. මේ නිසා පාරිභෝගිකයන්ට බඩු විකිණීමේදී වැඩි මුදලක් ඔවුන්ගෙන් අය කිරීමට සිදු වෙනවා. මෙයින්ද පීඩා විඳින්නේ දුප්පත් අසරණ ජනතාවයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල සමහර නගර විශාලයි. ඉදිරියේදී එම නගරවල මායිම් තව තවත් විශාල වෙයි. වර්ෂ 2015දී මුම්බායිවල (කලින් බොම්බේ) ජනගහනය මිලියන 22.6ක්, දිල්ලිවල මිලියන 20.9ක්, මෙක්සිකෝවල මිලියන 20.6ක්, සඕ පවුලෝහි මිලියන 20ක් දක්වා ඉහළ යයි කියා අපේක්ෂා කරනවා. මිලියන දහයක ජනගහනයක් සිටින මැනිලා හෝ රියෝ ද ජැනීරෝ වැනි නගරවලට දිනකට ආහාර ටොන් 6,000ක් පමණ ආනයනය කිරීමට සිදු වෙන බව ගණන් බලා තිබෙනවා.

මෙය ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. විශේෂයෙන්ම ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වන ප්‍රදේශවල මෙය ඉතාමත් දුෂ්කර කාර්යයක්. නිදසුනකට පකිස්ථානයේ ලාහොර් නගරයේ වැඩි උපත් වර්ධනයක් (සියයට 2.8) තිබුණත් ගම්වලින් නගරයට ඇදී එන සංඛ්‍යාව “පුදුමාකාර” ලෙස වැඩි වී තිබෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක ගම්වැසියන් තම ජීවන තත්වය දියුණු කරගැනීමට, රැකියා, භාණ්ඩ හා සේවාවන් ලබාගැනීමට තදබදයෙන් පිරි නගර කරා ඇදී එන ආකාරයක් දක්නට ලැබෙනවා. මෙසේ නගර කරා ඇදී ඒම නිසා බංග්ලාදේශයේ ඩකා නුවරේ ජන සංඛ්‍යාව නුදුරු අනාගතයේදී වසරකට මිලියනයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ යයි කියා අපේක්ෂා කරනවා. අනාගත ජනගහනය ගැන කරන තක්සේරුවලට අනුව 2025දී චීනයේ ජනගහනයෙන් තුනෙන් දෙකක් වන ගම්බද වැසියන්ගෙන් වැඩි හරියක්ම නාගරික වැසියන් බවට පත් වෙයි. එම කාලයේදී ඉන්දියාවේ නගරවල මිලියන 600ක් ජීවත් වෙයි කියා අපේක්ෂා කරනවා.

නගරවලට ජනයා ඇදී ඒම බොහෝ රටවල තිබෙන ගැටලුවක්. බටහිර අප්‍රිකාවේ 1960දී නගරවල ජීවත් වුණේ ජනගහනයෙන් සියයට 14ක් පමණයි. නමුත් 1997 වන විට එය සියයට 40ක් දක්වා වැඩි වූ අතර 2020 වන විට සියයට 63ක් දක්වා වර්ධනය වෙයි කියා විශ්වාස කරනවා. නැගෙනහිර අප්‍රිකාවේ රටවල නාගරික ජනගහනය වසර දහයක් ඇතුළත දෙගුණයක් වෙයි කියා අපේක්ෂා කරනවා. නුදුරු අනාගතයේදී සංවර්ධනය වෙමින් පවතින රටවල මුළු ජනගහන වර්ධනයෙන් සියයට 90ක් නගරවල සිදු වෙයි කියා අපේක්ෂා කරනවා.

නාගරික වැසියන්ගේ කුසගින්න නිවාලීමට ප්‍රමාණවත් ලෙස ආහාර සැපයීම එසේ මෙසේ කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා ගොවියන්, අසුරන්නන්, ප්‍රවාහණ සේවාවන්, වෙළඳුන්, ආහාර සපයන්නන් වගේම රථ දහස් ගණනක් සහයෝගයෙන් වැඩ කළ යුතුයි. ඒත් නගරවල තිබෙන ඉල්ලුමට සරිලන සේ සැපයීමට ප්‍රමාණවත් ආහාර නැහැ. ඊටත් වඩා සංවර්ධනය වෙමින් පවතින රටවල ගමනාගමන පහසුකම්, ගබඩා, වෙළඳ සංකීර්ණ වැනි ගොඩනැඟිලි සහ ආහාරය සඳහා සතුන් මරන ස්ථාන දැනටමත් ප්‍රමාණවත් මදි.

දුප්පත්කම දසත පැතිරිලා

ඉහළ යන ජනගහනයට ආහාර සැපයීම අභියෝගයක්. දසත පැතිරී තිබෙන දුප්පත්කම එම අභියෝගය තව තවත් උග්‍ර කරනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල ඩකා, ග්වාටමාලාවල අගනුවර, ලාගොස්, ලා පාස් හා ෆ්‍රීටවුන් වැනි නගරවල වැසියන්ගෙන් සියයට 50ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් දැනටමත් දුගීකමෙන් පෙළෙනවා.

එවැනි ජනගහනයකට නිසි ලෙස ආහාර සැපයීම ගැන කතා කරන විට, විශ්ලේෂකයන් වෙළඳ පොළේ තිබෙන ආහාර සහ ඒවා මිල දී ගැනීමට ඇති හැකියාව අතර වෙනස ගෙනහැර දක්වනවා. වෙළඳ පොළවල ඇති තරම් ආහාර තිබුණත් නගරයේ සිටින දුප්පතුන්ගේ අතේ ඇති මුදල්වලට වඩා වෙළඳ පොළේ ආහාරවල මිල අධික නම් ඔවුන්ට ඒවා මිල දී ගත නොහැකියි. සමහර නගර වැසියන්ගේ ආදායම ඉහළ යන විට ඔවුන් වැඩි ආහාර ප්‍රමාණයක් වගේම විවිධ ආහාර වර්ග මිල දී ගන්නවා. එහෙත් දුප්පතුන්ට තමන්ගේ අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා ප්‍රමාණවත් ආහාර මිල දී ගැනීමට පවා හැකියාවක් නැහැ. එවැනි දුප්පත් පවුල්වලට සමහරවිට තම මුළු ආදායමෙන් සියයට 60ත් 80ත් අතර ප්‍රමාණයක් ආහාර සඳහා වැය කළ යුතු වෙනවා.

ආහාර තොග පිටින් මිල දී ගන්නා විට අඩු මුදලට ලබාගත හැකියි. ඒත් මිනිසුන්ට එය කළ හැක්කේ අතේ ප්‍රමාණවත් මුදල් තිබෙනවා නම් විතරයි. බොහෝ පවුල්වලට තමන්ගේ එදා වේල සොයාගැනීමත් අභියෝගයක් වී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මන්දපෝෂණයෙන් පෙළෙනවා. දකුණු අප්‍රිකාවේ යම් ප්‍රදේශවල මන්දපෝෂණය “දරුණු ලෙස දසත පැතිර තිබීම” නිදසුනක් ලෙස පෙන්විය හැකියි.

ප්‍රමාණවත් ආහාර නොලැබීමේ මෙම ගැටලුව ගමෙන් නගරයට ඇදී එන අයට වැඩි වශයෙන් බලපානවා. විශේෂයෙන්ම තනි මව්වරුන්ට, ප්‍රමාද වී වැටුප් ලබන රජයේ සුළු සේවකයන්ට, ආබාධිතයන්ට, මහලු සහ අසනීප අයට මෙය බලපානවා. මෙවැනි අය බොහෝවිට ජීවත් වෙන්නේ මූලික පහසුකම් වන විදුලිය, ජලනල, කසළ කානු, පාරවල්, අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රම නැති ඉතාමත් දුෂ්කර ප්‍රදේශවලයි. ඒ වගේම බොහෝදෙනෙකු ජීවත් වෙන්නේ තාවකාලික හෝ අනාරක්ෂිත නිවෙස්වලයි. ආහාර සැපයීමේ සේවාවන්ට යම් බාධා ඇති වන විට මෙවැනි තත්වයන් යටතේ සිටින අයට ඒවා දරුණු ලෙස බලපායි. මෙම පුද්ගලයන් ජීවත් වන ප්‍රදේශවල බොහෝවිට ළඟපාත වෙළඳ පොළවල් නැහැ. එමනිසා අඩු තත්වයේ ආහාර කිසිම තේරීමකින් තොරව වැඩි මිලකට ඔවුන්ට ගැනීමට සිදු වෙනවා. ඔවුන්ගේ තත්වය ඇත්තෙන්ම ශෝචනීයයි.

අස්ථාවර හා අහිතකර තත්වයන්

බොහෝ රටවල ශීඝ්‍ර ලෙස නාගරීකරණය සිදු වෙන්නේ සැලසුමකින් තොරව හා නීතිවිරෝධීවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපරාධ බහුල ලෙස සිදු වෙන නුසුදුසු සහ අනාරක්ෂිත වාතාවරණයක් ඇති වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ FAO සංවිධානයේ ප්‍රකාශනයක මෙසේ සඳහන් වුණා. “බොහෝවිට සංවර්ධනය වෙමින් පවතින රටවල, නගර පරිපාලකයන්ට තිබෙන ලොකුම ගැටලුව නම් සීමිත ජන සංඛ්‍යාවක් ජීවත් විය හැකි නගරවල ශීඝ්‍රයෙන් ජනගහනය වර්ධනය වීමයි.”— Feeding the Cities.

අප්‍රිකාවේ බොහෝ රටවල වෙළඳ පොළ සැකසී තිබෙන්නේ කිසිම සැලසුමකින් තොරවයි. වෙළෙන්දෝ තමන්ට වැඩි ලාභයක් ලැබෙන තැනට ගොස් තම භාණ්ඩ විකුණනවා. මෙවැනි සැලසුමක් නැති වෙළඳ පොළවල මූලික පහසුකම්වත් නැහැ.

ශ්‍රී ලංකාවේ තොග හා සිල්ලර වෙළඳ පොළ තිබෙන්නේ කොළඹ නගරයේ තදබදයෙන් පිරි ස්ථානයකයි. විශාල ජන පිරිසක් එහි ගැවසෙනවා. ට්‍රක් රථ රියැදුරන් කියා සිටින්නේ කොළඹ ප්‍රධාන වෙළඳ පොළට යෑමට හා ඊමට පැය ගණනක් වැය වෙන බවයි. රථ නැවැත්වීමට, බඩු පැටවීමට හා බෑමට තිබෙන ඉඩ කඩ ප්‍රමාණවත් නැහැ.

වෙනත් රටවල තිබෙන වෙළඳ පොළවල්ද නිසි ලෙස නඩත්තු හා පරිපාලනය කරන්නේ නැහැ. ගොඩ ගැසෙන කැළි කසළ හා අපවිත්‍ර දේවල් නිසා සෞඛ්‍ය ගැටලු ඉස්මතු වෙනවා. දකුණු ආසියාවේ රටක නගරාධිපතිවරයෙක් මෙසේ පැවසුවා. “මෙම ගැටලු නිසා සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරන්න බැරි වෙනවා.”

දකුණු ආසියාතික නගරයක මස් මාළු වෙළඳාම පිළිබඳව කළ සමීක්ෂණයක ප්‍රතිඵලවලින් මෙම ගැටලුවේ බරපතළකම දැකගත හැකියි. එම නගරයේ මස් වර්ග විකිණීමට තබා තිබුණේ “කිලිටි වතුර ඇති දූවිලි පොළොවේ.” එම ස්ථානයෙන් ගත් මස් වර්ගවල බැක්ටීරියා තිබුණා. සැල්මොනෙල්ලා බැක්ටීරියාව ඌරු මස් සාම්පලවල සියයට 40ක්ද, හරක් මස් සාම්පලවල සියයට 60ක්ද, ඊ-කොලයි බැක්ටීරියාව හරක් මස් සාම්පලවල සියයට 100ක්ද තිබුණා. ඒ වගේම ඊයම් හා රසදිය වැනි ලෝහ ද්‍රව්‍යද ඒවාට මුසු වී තිබුණා.

නයිජීරියාවේ කානෝ නගරයේ වැසියන්ට ආහාර ප්‍රමාණවත් ලෙස නොලැබෙන නිසා ඔවුන් තිබෙන ඕනෑම හිස් ඉඩමක වගා කිරීමට පෙලඹී තිබෙනවා. බොහෝදෙනෙකුට මෙම ඉඩම්වලට අයිතිවාසිකමක් නැහැ. ඔවුන් වගා කිරීමට විශාල වෙහෙසක් දැරුවත් ඔවුන්ගේ වගා විනාශ කර ඔවුන්ව පන්නා දමයි යන අවදානම තිබෙනවා.

ඔලීව්යෝ ආර්ජෙන්ටි, FAO සංවිධානයට අයත් නගරවල ආහාරවල තත්වය ගැන සොයා බලන විශේෂඥයෙක්. ඔහු මෙක්සිකෝවේ කෘෂිකාර්මික ප්‍රදේශයක් නැරඹීමට ගියා. එහි ගොවීන් එළවළුවලට වතුර හා පාත්ති සකස් කිරීමට මඩ ලබාගන්නේ ඒ අසලින් ගලා ගිය ගඟෙන්. ඒත් ළඟ පාත වෙසෙන ගම්මු කුණු කසළ හා අසූචි දැමුවේ එම ගඟටයි. ආර්ජෙන්ටි මෙසේ පවසනවා. “එයින් ඇති විය හැකි අනතුරු ගැන දන්නවාද කියා මම බලධාරීන්ගෙන් ඇහැව්වා. ඔවුන් කියා සිටියේ වෙනත් විකල්පයක් ගැන සිතීමට මුදල් හෝ තාක්ෂණික දැනුම තමන්ට නැති බවයි.” මෙවැනි ගැටලු සංවර්ධනය වෙමින් පවතින රටවල නිතරම පාහේ දක්නට ලැබෙනවා.

ගැටලු සමඟ පොරබදන නගර

නාගරික ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වන විට මුහුණ දීමට තිබෙන ගැටලුත් වැඩි වෙනවා. එම ගැටලු විසඳීමට ජාත්‍යන්තර සංවිධාන, සැලසුම්කරුවන් සහ පරිපාලකයන් තමන්ට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා. ඔවුන්ගේ වෑයම්වලට ඇතුළත් වන්නේ ගම්බද ප්‍රදේශවල ආහාර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම හා ඒවා ලබාගැනීමේ ක්‍රම දියුණු කිරීම, අලුත් මං මාවත්, වෙළඳ සංකීර්ණ, ආහාරය සඳහා සතුන් මරන ස්ථාන තැනීම, ගබඩා පහසුකම් ලබා දීමට පෞද්ගලික ආයතනවලට දිරිගැන්වීම, ගොවීන්ට, වෙළඳුන්ට හා ප්‍රවාහන සේවා සපයන්නන්ට ණය පහසුකම් ලබා දීම, වෙළඳ හා සනීපාරක්ෂාව පිළිබඳ නීති රීති ක්‍රියාත්මක කිරීමයි. ඒත් විශ්ලේෂකයන් කියා සිටින්නේ කොතරම් වෑයම් කර තිබුණත් ප්‍රාදේශීය බලධාරීන් ගැටලු හඳුනාගෙන ඒවාට නිසි ලෙස පිළියම් යොදා නැති බවයි. යම් අවස්ථාවල ඔවුන් ක්‍රියාත්මක වුණත් තිබෙන සම්පත් ප්‍රමාණවත් නැහැ.

නගරවල තිබෙන විශාල ගැටලු, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල තිබෙන ගැටලු නිසා අනතුරු ඇඟවීම් කර තිබෙනවා. එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර තිබෙන ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය මෙවැනි ප්‍රකාශයක් කරනවා. “නාගරික ජනගහනය දිගින් දිගටම වර්ධනය වෙනවා. අපි වහාම පියවරක් ගත්තේ නැත්නම් ජනගහන වර්ධනයත් එක්කම [කුසගින්න, මන්දපෝෂණය හා දුගීකම] වැනි ගැටලුත් වර්ධනය වෙයි.” නාගරික ගැටලුවලට විසඳුම් සෙවීමට විවිධ ජාත්‍යන්තර සංවිධාන එකතු වී ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එහි සභාපතිනිය වන ජැනිස් පර්ල්මන් දිලිඳු නගරවල අනාගතය ගැන මෙසේ අදහස් දක්වනවා. “මෙම නගරවල ආහාර සැපයීම, නිවාස, රැකියා හෝ ප්‍රවාහණය වැනි දේවල් සඳහා නිසි සැලසුමක් නැත්තේ අධික ජනගහනයක් සිටීම හා මූල්‍යමය මෙන්ම පාරිසරික ගැටලු තිබීම නිසයි. නගරවල පිරී ඉතිරී යන ජනගහනයට ජීවිතය ඉදිරියට ගෙන යෑමට ප්‍රමාණවත් සම්පත් නැහැ.”

ඒත් ආහාර සැපයුම හා බෙදාහැරීම සම්බන්ධයෙන් තිබෙන ගැටලු ළඟදීම විසඳෙන බව විශ්වාස කිරීමට පදනමක් තිබෙනවා.

[5වන පිටුවේ කොටුව]

නාගරික තදබදය

ඊළඟ වසර 30 ඇතුළත ලෝක ජනගහනයෙන් වැඩි හරියක් නගරවල බිහි වෙයි කියා අපේක්ෂා කරනවා.

වර්ෂ 2007 වන විට ලෝක ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් නගරබදව ජීවත් වීමට ඉඩ තිබෙනවා.

ලෝ පුරා නගරවල ජීවත් වන ජන සංඛ්‍යාව වාර්ෂිකව සියයට 1.8කින් වැඩි වන බවට ගණන් බලා තිබෙනවා. එහෙම වුණොත් තව අවුරුදු 38කින් නාගරික ජනගහනය දෙගුණයක් වෙයි.

වර්ෂ 2003දී මිලියන පහක් හෝ ඊට වැඩි පිරිසක් සිටි නගර 46ක් තිබුණා. එය 2015 වන විට 61ක් දක්වා ඉහළ යයි කියා අපේක්ෂා කරනවා.

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: World Urbanization Prospects—වර්ෂ 2003 එක්සත් ජාතීන්ගේ ආර්ථික, සමාජ කටයුතු හා ජනගහනය පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් සැකසූ පිටපත

[6වන පිටුවේ කොටුව]

ආහාර සැපයීම අඩාළ වීමට දායක වන හේතු

“ආහාර මිල ඉහළ යන විට ඊට බොහෝදුරට හේතු වන්නේ නගරවල තිබෙන දේශපාලන අරගල හා සමාජීය අස්ථාවරයයි.”—එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් වන ෂාක් ජූෆ්.

වර්ෂ 1999දී කැරිබියනු දූපත් හා මධ්‍යම අමෙරිකාව හරහා හමා ගිය ජෝජ් හා මිච් සුළි සුළඟ නිසා සිදු වූ ව්‍යසනයෙන් සාමාන්‍ය කටයුතුවලට හා ආහාර සැපයුමට බාධා සිදු වුණා.

වර්ෂ 1999දී ඉක්වදෝරයේ සහ 2000දී බ්‍රිතාන්‍යයේ ඉන්ධන මිල ඉහළ යෑමට පෑ විරෝධය නිසා හටගත් තත්වය ආහාර සැපයුමට විශාල බාධාවක් වුණා.

ආහාර හිඟය, යුද්ධය නිසා ඇති වී තිබෙන එක් දුක්ඛිත තත්වයක්.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මිලියන ගණනකින් එක් අයෙකු

කොන්සිලෝ දරුවන් 13දෙනෙකුගේ මවක්. ඔවුන් ජීවත් වුණේ පෙරූවල ලීමා නගරයට මායිම්බදව, අනවසරයෙන් පැල්පත් අටවාගත් ප්‍රදේශයකයි. (ඉහත පින්තූරය) ඇගේ දරුවන් තිදෙනෙක් ක්ෂය රෝගයෙන් පෙළෙනවා. ඇය මෙසේ පවසනවා. “අපි ජීවත් වුණේ කඳුකරයේ. එක දවසක් අපේ ගමේ සිය ගණන් අය නගරයේ පදිංචියට ආවා. අපි හිතුවා, ‘ලීමාවලදී අපේ දරුවන්ට හොඳට ඉගෙනගන්න වගේම සපත්තු දාන්නත් පුළුවන් වෙයි කියලා. එහෙට වඩා මෙහෙ හොඳින් ජීවිතය ගෙවන්න පුළුවන් වෙයි කියලත් හිතුවා.’” ගම්මුන් පන් පැදුරු වියාගෙන එක් රාත්‍රියක නගරයේ පදිංචියට පැමිණ පැදුරු ගෙවල් අටවගත්තා. පසුදා උදෑසන වන විට බලධාරීන්ට පන්නා දැමිය නොහැකි තරමට පැල්පත් පිරී තිබුණා.

කොන්සිලෝගේ පැල්පතේ වහලේ ලොකු සිදුරක් තිබෙන අතර පොළොවට දමා තිබුණේ මැටියි. ගෙයි එහෙ මෙහෙ යන සතුන්ව පෙන්වා ඇය මෙසේ කීවා. “මම මේ කුකුළන්ව ඇති කරන්නේ පොහොසත් මිනිසුන්ට විකුණලා සල්ලි ගන්නයි. මගේ දුවට සපත්තු කුට්ටමක් අරන් දෙන්න මට ඕන වුණත් දැන් ඒ සල්ලි බෙහෙත්වලට වියදම් කරන්න වෙලා තියෙනවා.”

කොන්සිලෝගේ ගෙයි කෑමට තිබුණේ ලූනු ගෙඩි කිහිපයක් පමණයි. රැකියාවක් සොයාගැනීම දුෂ්කරයි. වතුර මිල දී ගන්නවත් ඈ ළඟ මුදල් නැහැ. කොයි මොහොතේ හෝ කඩා වැටිය හැකි පැල්පතේ ජල පහසුකම්වත් වැසිකිළියක්වත් නැහැ. “අපි මේ බාල්දිය තමයි වැසිකිළි යන්න පාවිච්චි කරන්නේ. රෑට ළමයින්ව යවනවා ඒක කොහේට හරි හලන්න. වෙන මොනවා කරන්නද?” කියා ඇය පවසනවා.

ඉඳ හිට දකින ස්වාමි පුරුෂයාගෙන් කොන්සිලෝට කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඇය තවම ඇගේ 30වන වියේ පසු වුණත් ඊට වඩා වියපත් පෙනුමක් ඇගෙන් දිස් වෙනවා. “තඩිස්සි වූ ඇගේ මුහුණෙනුත් මලානික වූ ඇගේ දෙනෙතිනුත් දිස් වන්නේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් ඇයට නැති” බවයි කියා ඇයගෙන් තොරතුරු විමසූ ලේඛිකාව පවසනවා.

[හිමිකම් විස්තර]

Source: In Context

AP Photo/Silvia Izquierdo

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“නගරයේ පදිංචියට යා යුතුද?”

කවරෙකු හෝ නගරයේ පදිංචියට යන්න අදහස් කරනවා නම් කල්පනා කර බැලීමට කාරණා කිහිපයක් තිබෙනවා. “හුඟදෙනෙක් නගරයට ඇදී එන්නේ ගමේ ජීවිතයට වඩා හොඳ ජීවිතයක් නගරයේ ගත කරන්න. නමුත් හිතන තරම් ඉක්මනින් ඒ දියුණුව ලැබෙන්නේ නැහැ. සමහරවිට පරම්පරා ගණනක් ඒ සඳහා බලා ඉන්න වෙයි” කියා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළ පොතක සඳහන් වෙනවා.—Feeding the Cities.

ගමේ සිට නගරයට ඇදී එන හුඟදෙනෙක් පෙර සිටියාට වඩා හරිහැටි නිවසක් හා රැකියාවක් නොමැතිව අන්ත දුගීකමෙන් පෙළෙනවා. මේ හැම දෙයක්ම අද්දකින්නේ නුහුරු පරිසරයකදීයි. ඔබත් නගරයට යන්න අදහස් කරනවා නම් ඔබේ පවුල නඩත්තු කරන්න හැකි බව ඔබට ස්ථිරද? නගරයේ රැකියාවලින් බොහෝවිට ලැබෙන්නේ අඩු වැටුපක්. වියදම් පිරිමසා ගැනීමට වැඩි කාලයක් වැඩ කරන්න සිදුවීමෙන් ඔබේ හෝ ඔබේ පවුලේ අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් අතපසු වෙයිද?—මතෙව් 28:19, 20; හෙබ්‍රෙව් 10:24, 25.

සමහර දෙමාපියන් පවුලේ අනෙකුත් අයව නිවසේ තනි කර නගරයේ පදිංචියට යනවා. මෙය නැණවත් දෙයක්ද? ක්‍රිස්තියානි දෙමාපියන්ට තම පවුල නඩත්තු කිරීමට වගකීමක් තිබෙන බව සත්‍යයක්. නමුත් වෙන්ව ජීවත් වීමෙන් පවුලේ අයගේ මානසික තත්වයට හා දෙවි සමඟ ඔවුන්ට තිබෙන සබඳතාවට කුමක් සිදු වෙයිද? (1 තිමෝති 5:8) පියෙකුට තම දරුවන්ව ‘යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඇති දැඩි කරන්න’ හැකි වෙයිද? (එෆීස 6:4) භාර්යාව හා ස්වාමි පුරුෂයා වෙන්ව සිටීම නිසා වැරදි හැසිරීමකට පෙලඹෙයිද?—1 කොරින්ති 7:5.

පදිංචිය වෙනස් කිරීම පෞද්ගලික තීරණයක්. නමුත් එම තීරණය ගැනීමට පෙර ක්‍රිස්තියානියෙකු, සෑම දෙයක් ගැනම හොඳින් විමසා බලා ඒ සඳහා යෙහෝවා දෙවිගෙන් යාච්ඤාපූර්වකව මඟ පෙන්වීම් පැතිය යුතුයි.—ලූක් 14:28.

[8, 9වන පිටුවේ පින්තූර]

අපිරිසිදුකමෙන් හා වාහන තදබදයෙන් පිරි නගර

ඉන්දියාව

නයිජර්

මෙක්සිකෝව

බංග්ලාදේශය

[8වන පිටුවේ පින්තූරය]

දුගී නාගරික පවුල් බොහොමයක දරුවෝ පවා රැකියාවන්වල නිරත වෙනවා

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඉන්දියාව: © Mark Henley/Panos Pictures; නයිජර්: © Olivio Argenti; මෙක්සිකෝව: © Aubrey Wade/Panos Pictures; බංග්ලාදේශය: © Heldur Netocny/Panos Pictures; පහත පින්තූරය: © Jean-Leo Dugast/Panos Pictures