Skip to content

පටුනට යන්න

මානසික පීඩනයට ලක් වන වෛද්‍යවරු

මානසික පීඩනයට ලක් වන වෛද්‍යවරු

මානසික පීඩනයට ලක් වන වෛද්‍යවරු

“තරුණ යුවළක් මා ළඟට ආවේ ඔවුන්ගේ අලුත උපන් ළදරුවාව සුව කරගැනීමේ බලාපොරොත්තුවෙන්. ඒත් ළදරුවාව සෝදිසි කරද්දී මට ඇති වුණේ කනගාටුවක්. දරුවාට තිබුණේ සුව කරන්න බැරි ලෙඩක්. ඔවුන්ගේ පුතා අන්ධයි. මෙයාට කවදාවත් පෙනීම ලැබෙන්නේ නැහැ කියලා මම ඔවුන්ට කිව්ව වෙලාවේදී මට මොන වගේ හැඟෙන්න ඇද්ද කියලා ටිකක් හිතලා බලන්න. ඔවුන් මගේ කාමරයෙන් පිට වෙලා යද්දී මං හිටියේ හුඟක් දුකෙන්. ඒත් තව මොහොතකින් මගේ ඊළඟ රෝගියා මාව බලන්න ආවේ මම ඔහුව සිනාවකින් පිළිගනියි කියන බලාපොරොත්තුවෙන්! ඒ වගේ වෙලාවට කියන්න බැරි තරම් මානසික පීඩනයක් ඇති වෙනවා.”—දකුණු අමෙරිකාවේ අක්ෂි ශල්‍ය විශේෂඥයෙක්.

රෝගීන් සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු ළඟට යන්නේ වෛද්‍යවරයාගේ ප්‍රශ්න ගැටලු ගැන සලකා බලන්න නෙවෙයි. රෝගියා එහි යන්නේ තමාට උපකාරයක් ලබාගැනීමේ අදහසිනුයි. මේ හේතුවෙන් වෛද්‍යවරුන් මොන තරම් මානසික පීඩනයකට ලක් වෙනවාද යන්න වටහාගන්නේ ස්වල්පදෙනෙක් පමණයි.

හැමෝම මානසික පීඩනය අද්දකින බව ඇත්තයි. වෛද්‍ය වෘත්තිය පමණක් නෙවෙයි වෙහෙසකර වෘත්තිය වෙන්නේ. කෙසේනමුත් වෛද්‍යවරයා හා රෝගියා අතර සබඳතාව අද්දකින්න හැම කෙනෙකුටම පාහේ සිදු වන නිසා වෛද්‍යවරුන්ට තිබෙන මානසික පීඩනයත්, ඉන් ඔවුන්ට ඇති වන ප්‍රතිඵලත් තේරුම්ගැනීම ප්‍රයෝජනදායකයි.

වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වීම සඳහා පොරබැදීමක් කිරීමට සිදු වන නිසා වෛද්‍යවරුන් මානසික පීඩනය අද්දකින්නේ ඔවුන්ගේ බාල වියේ සිටමයි. වෛද්‍ය පුහුණුව ලබද්දී ඔවුන්ට තම හැඟීම් සමඟත් සෑහෙන සටනක් කරන්න සිදු වෙනවා. වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ හැඟීම්වල විතරක් නෙවෙයි ඔහුගේ මුළු චරිතයේම වෙනසක් විය හැකි ක්‍රියාවලියකටයි ඔහු දැන් අතගසා තිබෙන්නේ.

වෛද්‍ය පුහුණුව—හද කම්පිත කරවන අද්දැකීමක්

වෛද්‍ය විද්‍යාලයේ හද කම්පිත කරවන මුල්ම අද්දැකීම ලැබෙන්නේ මුල් සතියේදීම මිනී කපන කාමරයට ගිය විටයි. ශිෂ්‍යයන්ගෙන් බොහෝදෙනෙක් ඊට පෙර මිනියක් දැකලාවත් නොතිබෙන්න පුළුවන්. ශරීර ව්‍යූහය දැකගැනීම සඳහා නොයෙක් ආකාරවලට කපන ලද නිරුවත් වැහැරුණු මළ සිරුරු දැකීම හද සලිත කරවන අද්දැකීමක් විය හැකියි. මෙවිට තමන්ගේ හැඟීම් පාලනය කරගැනීම සඳහා ශිෂ්‍යයන්ට උපක්‍රම ඉගෙනගැනීමට සිදු වෙයි. හුඟක් වෙලාවට ඔවුන් කරන්නේ ඒ හැම මිනියකටම විකට නමක් දාලා විහිළුවක් තහළුවක් කරන එකයි. ඒක සමහරවිට පිට කෙනෙක් දැක්කොත් හිතයි කිසි හිතක් පපුවක් නැති, ගෞරව කරන්න දන්නැති අය කියලා. ඒත් එම මළ සිරුරු ජීවමාන පුද්ගලයන්ව හිටියා කියන එක නොසිතා ඉන්න නම් ශිෂ්‍යයන්ට සිදු වෙනවා එවැනි දෙයක් කරන්න.

ඉන්පසු රෝහලක රෝගීන්ව පරීක්ෂා කිරීමේ පුහුණුව පටන්ගන්නවා. මැදි වියට එළඹෙන තෙක් බොහෝ අය ජීවිතය කෙතරම් කෙටිද කියා සිතන්න පෙලඹෙන්නේ නැහැ. නමුත් වෛද්‍ය ශිෂ්‍යයන්ට ඔවුන්ගේ යොවුන් වියේදීම නිදන්ගත රෝග සහ මරණය සම්බන්ධයෙන් හිතන්න සිදු වෙනවා. රෝහලේදී තමා ලැබූ පළමු අද්දැකීම් සම්බන්ධයෙන් කෙනෙක් කීවේ “සමහර වෙලාවට ඒක එපාම වෙන වැඩක්” කියායි. ප්‍රමාණවත් මුදලක් නැති නිසා අවශ්‍ය ප්‍රතිකාර ගන්න බැරි වෙන රෝගීන්ගේ සංඛ්‍යාව ගැන හිතනකොට ධනවත් මෙන්ම දිලිඳු රටවල සිටින වෛද්‍ය ශිෂ්‍යයන්ට එයත් හද කම්පිත කරවන අද්දැකීමක් විය හැකියි.

අලුතෙන් සුදුසුකම් ලබාගත් වෛද්‍යවරුන් මානසික පීඩනයට මුහුණ දෙන්නේ කෙසේද? වෛද්‍ය කාර්ය මණ්ඩලයට බොහෝවිට සිදු වන්නේ රෝගියා පුද්ගලයෙකු හැටියට නොසිතා සිත දැඩි කරගෙන කටයුතු කරන්නයි. පුද්ගලයාව හඳුන්වනවා වෙනුවට කාර්ය මණ්ඩලය රෝගියෙකුව නම් කරන්නේ මේ විදිහටයි. “ඩොක්ටර් දෙවෙනි කාමරයේ කැඩිච්ච කකුලක් තියෙනවා.” එහෙම කියන්නේ ඇයි කියලා ඔබ නොදැන සිටියා නම් ඔබට සිනහවක් පහළ නොවී තිබේවිද?

දයාව දැක්වීමත් වෙහෙස කරයි

වෛද්‍යවරුන්ව පුහුණු කර තිබෙන්නේ විද්‍යාඥයන් ලෙස වුවත් ඔවුන්ගෙන් වැඩිදෙනෙකුගේ රාජකාරියට ඇතුළත් වන්නේ රෝගීන් සමඟ කටයුතු කිරීමයි. රෝගීන්ගේ හැඟීම් සමඟ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඔහුට පුහුණුවක් ලැබෙන්නේ නැහැ. එමනිසා වෛද්‍යවරයා හා රෝගියා අතර සබඳතාවේදී ඇති වන හැඟීම්වලට මුහුණ දෙන්න පුළුවන් වෙයිද කියා සමහර වෛද්‍යවරුන් කල්පනා කරනවා. මුලින් පැවසූ ලෙස වෛද්‍යවරයෙකුට අමාරුම කාර්යයක් වන්නේ දුක්ඛදායක ආරංචියක් පැවසීමට සිදුවීමයි. සමහරුන්ට දිනපතාම එසේ කරන්න සිදු වෙනවා. පීඩාකාරී තත්වයකට මුහුණ දී සිටින්නන්ට බොහෝවිට ඕනෑ කරන්නේ තමන්ගේ දුක කාට හරි කියන්නයි. වෛද්‍යවරුන් තමන්ට සවන් දෙයි කියා ඔවුන් බලාපොරොත්තු වෙනවා. කලකිරුණු, භය වුණු අය එක්ක කටයුතු කිරීම වෙහෙසකර දෙයක් විය හැකියි. ඇතැම් වෛද්‍යවරුන් ඒ නිසා ශාරීරිකවත්, මානසිකවත් පීඩනයකට ලක් වෙනවා.

පවුලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන කැනඩාවේ වෛද්‍යවරයෙක් ඔහුගේ මුල් අවදිය ගැන මෙසේ ලිව්වා. “ඉහටත් උඩින් මට වැඩ තිබුණා. මගේ උපකාරය ඕන වුණ අය වෙනුවෙන් මගේ කාලය කැප කරන්න සිද්ධ වුණා. කැළඹිලා හිටිය ඔවුන් මට ඔවුන්ගේ දුක කිව්වා. අසනීපවලින් පෙළුණු අය බලාපොරොත්තු වුණේ මම මොනවා හරි දෙයක් කරලා ඔවුන්ව සුව කරයි කියලා. කපටි උපක්‍රම යෙදුව අය මගේ උපකාරය බලෙන් ඉල්ලලා හිටියා. මා ළඟට ඔවුන් ආවා. ඔවුන්ව බලන්න එන්න කියලා මට බල කළා. මගේ ගෙදරට, මගේ නිදන කාමරයට පවා ඔවුන් දුරකථනය හරහා ආවා. කිසිම විවේකයක් තිබුණේ නැහැ. මිනිස්සුන්ට උපකාර කරන්න මට ඕන වුණා තමයි. ඒත් මේ වගේ තත්වයකට මූණ දෙන්න වෙන එක නම් හරිම අසාධාරණයක්.”—A Doctor’s Dilemma, ජෝන් ඩබ්ලිව්. හොලන්ඩ් විසින් ලියූ ප්‍රකාශනයක්.

වසර ගණනාවක් වෘත්තියෙහි නියැලුණු පසු මානසික පීඩනය අඩු වෙයිද? ජ්‍යෙෂ්ඨයෙකුට සාමාන්‍යයෙන් වැඩි වගකීමක් දරන්න සිදු වෙනවා. ජීවිතයත් මරණයත් අතර තීරණ හදිසියෙන් ගන්න ඔවුන්ට සිද්ධ වෙන අවස්ථා අනන්තයි. සමහරවිට මෙම තීරණ ගන්න සිදු වන්නේ රෝගියා පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු නොමැතිවයි. “තරුණ කාලේදී මට එච්චර ගානක් තිබුණේ නැහැ. නොසැලකිල්ලෙන් රිය පදවන තරුණයන් වගේ මාත් තරුණ කාලේදී ජීවිතයේ වටිනාකම ගැන ඒ තරම් හිතුවේ නැහැ. ඒත් වයසින් මුහුකුරා යනකොට ජීවිතයේ වටිනාකම දැනෙන්න පටන්ගන්නවා. එතකොට මොන වගේ ප්‍රතිකාරයක් සුදුසුද කියලා තීරණය කරන්නේ මම සෑහෙන්න හිතලා බලලා.”

මානසික පීඩනය වෛද්‍යවරුන්ට බලපාන්නේ කොහොමද? රෝගීන් සමඟ කටයුතු කිරීමට සිදු වන්නේ හැඟීම්වලට බර නොවී නිසා වෛද්‍යවරයෙකුගේ පවුල් ජීවිතයටත් එය බලපානවා. පවුල් ජීවිතය තුළ ඊට වෙනස්ව කටයුතු කරන එක ලේසි නැහැ. රෝගීන්ගේ හැඟීම් තේරුම්ගෙන රෝගීන්ට උපකාර කරන සමහර වෛද්‍යවරුන් ඔවුන්ට හුඟක් අනුකම්පා කරනවා. ඒත් වෙහෙසට පත් නොවී අනුකම්පාව පෙන්වන්න පුළුවන් කොයි තරම් දුරකටද? වෛද්‍යවරයෙකුට විසඳගන්න බැරි අමාරුම ගැටලුව එයයි.

කරදරකාරී රෝගීන් එක්ක කටයුතු කිරීම

වෛද්‍යවරයා හා රෝගියා අතර සබඳතාවේදී ඇති වන මානසික පීඩනය ගැන ඇසූ විට වෛද්‍යවරුන් බොහෝවිට කතාව පටන්ගන්නේ කරදරකාරී රෝගීන් ගැන පැවසීමෙන්. මතු දැක්වෙන අය ගැන ඔබට සමහරවිට වැටහීමක් ඇති.

තමාගේ රෝගය ගැන කෙටියෙන් නොකියා වෛද්‍යවරයාගේ කාලයත් නාස්ති කරමින් වැල්වටාරම් දොඩන රෝගීන් ඉන්නවා. තවත් රෝගීන් එතරම් බරපතළ තත්වයක් නැතත් රාත්‍රියේදී හෝ සති අන්තවලදී වෛද්‍යවරයාව කැඳවනවා. ඒ වගේම වෛද්‍යවරයා නිර්දේශ කරන්න අකමැති ප්‍රතිකාරත් බලෙන් ඉල්ලා සිටිනවා. තවත් සමහර රෝගීන්ව විශ්වාස කළ නොහැකියි. සමහරු තමන්ගේ තත්වය ගැන අන්තර්ජාලයෙන් ප්‍රයෝජනවත් තොරතුරු ලබාගන්නා අතර එය උපකාරයක් විය හැකියි. එනමුත් එවැනි තොරතුරු නිසා තමන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා කෙරෙහි තිබෙන විශ්වාසය අඩු වෙන්න පුළුවන්. එවැනි තොරතුරුවලින් ලැබෙන වාසි අවාසි ගැන තර්ක කිරීමට වෛද්‍යවරයාට කාලයක් නොතිබිය හැකියි. රෝගියෙකු විසින් වෛද්‍යවරයාව විශ්වාස නොකිරීම, වෛද්‍යවරයෙකු තුළ කලකිරීමක් ඇති කරනවා. ඒ වගේම ඉවසීම නැති රෝගීන්ද ඉන්නවා. සුවවීම ප්‍රමාද වන විට ඔවුන් ප්‍රතිකාරය අත්හැර වෙනත් උපදෙස් සොයාගෙන යනවා.

කෙසේවෙතත් ලෝකයේ ඇතැම් ප්‍රදේශවල වෛද්‍යවරුන්ට මානසික පීඩනය අද්දකින්න වෙන ලොකුම හේතුව රෝගියා නෙවෙයි නීතිඥවරයායි.

ඇඟ බේරාගැනීමේ උත්සාහයක්

වෛද්‍යවරුන් තම කාර්යය හරියට කර නැතැයි පවසමින් වෛද්‍යවරුන්ට නඩු දමන බවට බොහෝ රටවලින් වාර්තා වෙයි. ඇතැම් නීතිඥයන් රෝගීන් වෙනුවෙන් පෙනී සිටින්නේ තමන්ටත් ගානක් කොටාගැනීමේ අදහසින්. ඒ නිසා වැදගැන්මකට නැති සුළු සුළු දේවල් පවා උලුප්පලා පෙන්වන්න හදනවා. අමෙරිකානු වෛද්‍ය සංගමයේ ප්‍රධානියා මෙසේ පැහැදිලි කළා. “වෛද්‍යවරයා ගෙවිය යුතු රක්ෂණ වාරිකය වැඩි කරන්න කියා ඔවුන් පවසනවා. එමෙන්ම මෙවැනි නඩු නිසා වෙනත් වේදනාකාරී තත්වයන්ද උද්ගත විය හැකියි. බොරු නඩුවකට පටලැවීම නිසා වෛද්‍යවරයෙකු ලජ්ජාවට පත්විය හැකි අතර ඔහුගේ කාලයද අපතේ යා හැකියි. . . . මානසික පීඩනය සහ කාන්සාව අද්දැකීමටත් සිදු විය හැකියි.” සමහර වෛද්‍යවරුන් සිය දිවි නසාගැනීමට පවා පෙලඹී තිබෙනවා.

මේ හේතූන් නිසා බොහෝ වෛද්‍යවරුන් උත්සාහ කරන්නේ ඇඟ බේරාගැනීමටයි. රෝගියාට යම් ප්‍රතිකාරයක් තීරණය කිරීමේදී එය රෝගියාගේ යහපතට දායක වනවාද කියා බැලීමට වඩා එයින් තමන්ට උසාවියේදී චෝදනාවක් එල්ල වෙයිද කියා වෛද්‍යවරු සිතා බලනවා.“තමන්ගේ ඇඟ බේරාගන්නා ආකාරයෙන් ප්‍රතිකාර කිරීම අද සාමාන්‍ය ජීවිතයේ කොටසක් වෙලා” කියා ප්‍රකාශනයක පවසා තිබෙනවා.—Physician’s News Digest.

වෛද්‍යවරුන්ගේ පීඩාකාරී තත්වය වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ගේ අනාගතය කුමක් වෙයිද කියා වෛද්‍යවරුන් බොහෝදෙනෙක් කල්පනා කිරීමට නැඹුරු වෙනවා. වෛද්‍ය විද්‍යාවේ දියුණුවක් දක්නට ඇතත්, සමහර රෝග නිසා දුක් අඳෝනා වැඩි වී තිබෙන බව දකින බොහෝ රෝගීන්ටද තිබෙන්නේ එවැනිම ප්‍රශ්නයක්. වෛද්‍යවරුන්ට මෙන්ම රෝගීන්ට අනාගතය දෙස යථාර්ථවාදීව බැලීමට ඊළඟ ලිපිය උපකාර කරයි.

[18වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබේ වෛද්‍යවරයාට සහයෝගය දැක්වීම

1. ඔබේ වෛද්‍යවරයාගේ සහ ඔබේ කාලය නැණවත්ව පාවිච්චි කරන්න. මූලික අවධානය දිය යුතු කරුණ ගැන කෙටියෙන් නිවැරදිව පවසමින් ඔබේ ගැටලුව ගැන පැහැදිලි කිරීම සඳහා වෛද්‍යවරයා ළඟට යෑමට පෙර සූදානම් වෙන්න.

2. හදිසිතාවක් නොමැති නම් වෛද්‍යවරයා සේවයේ නොයෙදෙන අවස්ථාවල වෛද්‍යවරයාව ඇමතීමෙන් වළකින්න.

3. ඉවසිලිවන්ත වන්න. නිසි රෝග නිර්ණය සහ ඊට ප්‍රතිකාර කිරීම සඳහා යම් කාලයක් ගත වෙයි.

[19වන පිටුවේ කොටුව⁄පින්තූර]

නිතර නිතර පැමිණෙන රෝගීන්ගෙන් පවා සෑහීමට පත් විය හැකියි’

“මෙහි තිබෙන වෛද්‍ය ප්‍රතිකාර සහ දියුණු වූ පැතිවල තිබෙන ප්‍රතිකාර අතර ලොකු පරතරයක් තියෙනවා. මෙහෙ වෘත්තියක් හදාරනවා කියන්නේ දිලිඳුකමෙන් මිදීමට මඟක්. ඒ නිසා හුඟදෙනෙක් වෛද්‍ය විද්‍යාව හදාරනවා. ඉතින් හුඟක් දොස්තරවරු ඉන්නවා ඒත් අවශ්‍ය තරම් රැකියාවල් නැහැ. ඒ හින්දා වෛද්‍යවරුන්ගේ අතට එන්නේ සුළු මුදලක්. පෞද්ගලික වෛද්‍යවරයෙකුව බැලීමට මුදල් තියෙන්නේ ටිකදෙනෙක් ළඟ විතරයි. මම සේවය කරන්නේ පරණ රෝහලක. ඒකේ වහලත් දිරාපත් වෙලා. ඒකේ විතරයි මූලික වෛද්‍ය උපකරණ තියෙන්නෙත්. අපේ කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන් දෙන්නෙකුත් හෙදියන් පස්දෙනෙකුත් ඉන්නවා. අපි 14,000කට සේවය කරනවා.

“සමහර වෙලාවට ලෙඩ්ඩු හිතන්නේ මම ඒගොල්ලන්ව පරීක්ෂා කරන්න ප්‍රමාණවත් වෙලාවක් ගන්නේ නැහැ කියලයි. ඒත් රෝගීන් 25දෙනෙක් පෝළිමේ ඉන්නකොට එක ලෙඩෙකුට වැඩි වෙලාවක් වැය කරන්න බැහැ. කොහොමවුණත් රෝගීන්ට ප්‍රතිකාර කරන එකත්, නිතර නිතර එන ලෙඩ්ඩුන්ට පවා ප්‍රතිකාර කරන එක මට සතුටක්. උදාහරණයක් කියනවා නම් සමහර අම්මලා ඇස් ගිලා බැහැපු, මලානික මූණවල් තියෙන දුර්වල ළමයින්ව නිතරම මා ළඟට ගේනවා. පාචනය නිසා සමහර ළමයි හොඳටම ඇදිලා ගිහිල්ලා. මට තියෙන්නේ විජලනය සඳහා දෙන පාන වර්ග, පණු බෙහෙත් සහ ප්‍රතිජීවක ඖෂධ දෙන ආකාරය ගැන අම්මලාට කියලා දෙන්න විතරයි. ඔවුන් උපදෙස් පිළිපැද්දහම නැවතත් දරුවා ආසාවෙන් කෑම කනවා. සතියකට විතර පස්සේ දකින්න ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දරුවෙක්. දීප්තිමත් ඇස් ඇති, සිනහව පිරි දඟකාර දරුවෙක්. ඒ වගේ අද්දැකීම් ලබන්න ආස නිසයි වෛද්‍යවරයෙක් වෙන්න මට ඕන වුණේ.

“පුංචි සන්දියේ ඉඳලාම මම සිහින මැව්වේ රෝගීන්ට ප්‍රතිකාර කරන්නයි. ඒත් වෛද්‍ය පුහුණුව මාව වෙනස් කළේ පුදුම විදිහටයි. ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය කරන සුළු මුදලක් පවා සොයාගැනීමට නොහැකිව මිනිස්සු මියයන ආකාරය බලාගෙන ඉන්න මට සිද්ධ වුණා. ඔවුන් ගැන දැනෙන දුක නැති කරගන්න මගේ සිත දැඩි කරගන්න මට සිද්ධ වුණා. දුක් වේදනාවලට හේතුව බයිබලයෙන් මට පෙන්නුවාට පස්සෙයි දෙවිගේ දයාව තේරුම්ගන්න මට පුළුවන් වුණේ. ආපහු අන් අය ගැන දුක දැනෙන්න පටන්ගත්තෙත් ඊට පස්සෙයි.”

[පින්තූර]

වෛද්‍ය මාකෝ බියාගාස් බොලිවියාවේ ඇමසන් ගඟ අසල පිටිසර පළාතක පිහිටි කුඩා නගරයක සේවය කරමින්