ළදරු වියේදී පුහුණුව කොතරම් වැදගත්ද?
ළදරු වියේදී පුහුණුව කොතරම් වැදගත්ද?
හතළිස් වියේ සිටි ෆ්ලොරෙන්ස්ට දරුවෙකු ලැබීමට තිබුණේ පුදුම ආශාවක්. නමුත් ඇගේ ගර්භිණී සමයේදී ඇයට උපදින්න සිටින දරුවාට ඉගෙනීමේ විකලතා ඇති විය හැකි බව වෛද්‍යවරුන් අනතුරු ඇඟෙව්වා. ඒත් ඇය තම බලාපොරොත්තු අත්හැරියේ නැහැ. පසුව ඇය නිරෝගී පුතෙකුව බිහි කළා.
ෆ්ලොරෙන්ස් ඇගේ පුතා ස්ටීවන් ඉපදී වැඩි කල් යන්නට පෙර ඇයට ලැබෙන හැම අවස්ථාවකදීම පුතාට ඇසෙන සේ කියවන්න පටන්ගත්තා. ඔහුත් සමඟ නිතර කතා කළා. පුතා ටිකෙන් ටික ලොකු වෙනකොට ඔහුත් සමඟ සෙල්ලම් කළා. ලස්සන තැන් බලන්න ගියා. ඔහුට ගණින්න ඉගැන්නුවා. සිංදු කිව්වා. “නාන වේලාවට පවා අපි පොඩි පොඩි සෙල්ලම් කළා” කියා ඇය කියනවා. ඇගේ වෑයමට හොඳ ප්‍රතිඵල ලැබුණා.
ස්ටීවන් අවුරුදු 14ක් වන විට අමෙරිකාවේ මියාමි විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධිය ලබාගත්තා. ඉන් වසර දෙකකට පසු ඔහු නීතිය පිළිබඳව හදාරා නීතිඥයෙක් වුණා. අමෙරිකාවේ ළාබාලම නීතිඥයා බවට පත් වුණේ ඔහු කියා ඔහුගේ ජීවිත කතාවේ සඳහන් වෙනවා. ඔහුගේ මව වන වෛද්‍ය ෆ්ලොරෙන්ස් බැකස් ගුරුවරියක් ලෙස සේවය කර තිබෙනවා. ඒවගේම ඇය විශ්‍රාම ගිය උපදේශිකාවක්. ඇය ළදරු වියේදී දරුවන්ව පුහුණු කිරීම පිළිබඳව හැදෑරීමට විශාල කාලයක් කැප කළ අයෙක්. තම පුතුගේ අනාගතය හොඳ අතට හැරුණේ ඔහුගේ ළදරු අවධියේදී ඔහුට දුන් අවධානය මෙන් නොයෙකුත් ක්‍රියාකාරකම්වලට යොමු කළ නිසා බව ඇයට ස්ථිරයි.
ක්‍රම දෙකක්
ළමා වර්ධනයට දායක වන්නේ දරුවන් “උපතින් උරුම” කරගන්නා දේද නැතහොත් දෙමාපියන් දරුවන් “හදා වඩා” ගැනීමේදී හා පුහුණු කිරීමේදී ඔවුන්ට ලබා දෙන දේද යන කාරණය ළමා මනෝ විද්‍යාඥයන්ගේ විවාදයට ලක් වුණා. පර්යේෂකයන් වැඩිදෙනෙකුට තේරුම්ගියේ දරුවෙකුගේ වර්ධනයට මෙම ක්‍රම දෙකම දායක වන බවයි.
ළමා වර්ධනය පිළිබඳ විශේෂඥයෙක් වන වෛද්‍ය ජේ. ෆ්රේසර් මස්ටඩ් පවසන්නේ මෙවන් දෙයක්. “අප දැනට සොයාගෙන තිබෙන දේ අනුව දරුවෙකු ළදරු වියේ ලබන අද්දැකීම් තමයි දරුවාගේ බුද්ධි වර්ධනයට දායක වෙන්නේ.” මහාචාර්යවරියක් වන සුසැන් ග්රීන්ෆීල්ද ඒ හා සමාන අදහසක් ඉදිරිපත් කරනවා. “අප සොයාගත් දෙය උදාහරණයකින් පෙන්වනවා නම්, වයලීන වාදනය කරන අයගේ වම් අතේ ඇඟිලි ක්‍රියා කරවීමට දායක වන මොළයේ කොටස, වෙනත් පුද්ගලයන්ගේ මොළයේ එම කොටසට වඩා වර්ධනය වෙනවා.”
ලබා දිය යුතු පුහුණුව
මෙම සොයාගැනීම් නිසා දෙමාපියන් හුඟදෙනෙක් තම දරුවන්ව හොඳම දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට යැවීමට අපමණ වෙහෙසක්
ගන්නවා. ඒ විතරක් නෙමෙයි සංගීත හා චිත්‍ර ඇඳීමේ පංතිවලට යැවීමට විශාල ලෙස මුදල් වැය කරනවා. සමහරු හිතන්නේ දරුවා හැම දෙයක්ම ඉගෙනගත් විට ඔහු ලොකු වුණ පසු ඕනෑම දෙයක් කරන්න පුළුවන් හපනෙක් වෙයි කියලා. මේ සඳහා නොයෙකුත් ටියුෂන් පංති සහ ළදරු පාසැල් වැඩි වෙන්නේ හතු පිපෙන්නා වගෙයි. හැමෝටම වඩා තමන්ගේ දරුවා ඉදිරියෙන් ඉන්නවා දැකීමට සමහර දෙමාපියන් නොකරන දෙයක් නැහැ.මෙවන් වෑයමක් දැරීම හැම අතින්ම ප්‍රයෝජනවත්ද? සමහරවිට මෙවැනි ක්‍රමවලින් දරුවන්ට විවිධාකාරයේ වාසි ලැබෙන බව පෙනෙන්නට පුළුවන්. නමුත්, බොහෝවිට සිදු වන්නේ නිදහසේ සෙල්ලම් කිරීමේ අද්දැකීම දරුවන්ට නොලැබී යෑමයි. දරුවන්ට අවශ්‍යම දේ එයයි. විද්වතුන් කියා සිටින්නේ, දරුවෙකුට නිදහසේ සෙල්ලම් කිරීමට ඉඩ දීමෙන් දරුවාගේ නිර්මාණශීලී හැකියාවන් හා හිතලා බලලා කටයුතු කිරීමේ හැකියාවන් දියුණු වන අතර ඔවුන් මනුෂ්‍යයන් සමඟ හොඳින් ආශ්රයටද හුරු වන බවයි.
ළමා වර්ධනය පිළිබඳ අධ්‍යයනය කරන විශේෂඥයන් කියා සිටින්නේ දෙමාපියන් විසින් දරුවන්ට නිදහසේ සෙල්ලම් කිරීමට ඉඩ නොදී සෑම දෙයකටම ඇඟිලි ගසනවා නම් එවැනි දරුවන් මානසික පීඩනයෙන් පෙළෙන බවයි. තවදුරටත් ඔවුන් කියා සිටින්නේ දරුවන්ගේ මානසික හැකියාවන්ද සමබර නැති බව හා එවැනි දරුවන්ට නිදාගැනීමේ දුෂ්කරතාවන් තිබෙන අතර නොයෙක් විට එම දරුවන්ට වේදනාවන් දැනෙන බවයි. එක් මනෝවිද්‍යාඥයෙක් කියා සිටින්නේ මෙවැනි දරුවන් නහඹරවියට පා තබන විටත් ප්‍රශ්න ගැටලුවට මුහුණ දීමට ශක්තියක් ඔවුන් තුළ නැහැ කියායි. “ඉක්මනින්ම ශාරීරිකවත් මානසිකවත් වෙහෙසට පත් වෙනවා. මිනිසුන් සමඟ ඇසුරට කැමැත්තක් නැහැ. ඒවගේම හරිම දඩබ්බරයි.”
මෙබැවින්, දෙමාපියන් සිටින්නේ අර්බුදයකට මැදි වෙලා. ඔවුන්ට අවශ්‍ය තම දරුවන් හැම අතින්ම සාර්ථක වෙනවා දකින්න. ඒත් පුංචි දරුවන් මත ඕනෑවට වැඩිය බර පැටවීම අනුවණ දෙයක් කියාත් ඔවුන් දන්නවා. මේ ප්රශ්නයේදී සමබර වීමට ක්‍රමයක් තිබෙනවාද? දරුවන්ගේ වර්ධනය සිදු වන්නේ කොහොමද? එම වර්ධනයේ විවිධ පැති තවත් ඔප මට්ටම් කරන්නේ කොහොමද? දෙමාපියන්ට තම දරුවන්ව හැම අතින්ම සාර්ථක පුද්ගලයන් බවට පත් කිරීමට කුමක් කළ හැකිද? අනෙක් ලිපි මෙම ප්‍රශ්නවලට අවධානය යොමු කරයි.
[3වන පිටුවේ පින්තූරය]
ළදරු වියේ අද්දැකීම් දරුවාගේ බුද්ධි වර්ධනයට දායක වෙයි
[4වන පිටුවේ පින්තූරය]
සෙල්ලම් කිරීමට ඉඩ දීමෙන් දරුවෙකුගේ නිර්මාණශීලී හැකියාවන් සහ අනෙකුත් හැකියාවන් වර්ධනය වේ