භේද වූ සමාජයක්
භේද වූ සමාජයක්
“භේද යටපත් කළත් ඒවා යළි යළිත් ඉස්මතු වේ.”—ප්රසියාවේ රජු, මහා ෆ්රෙඩ්රික්.
රාජේෂ් ජීවත් වෙන්නේ ඉන්දියාවේ පලියාඩ් කියන ග්‍රාමයේයි. අනෙකුත් කුල හීන ජන කොටස්වලට අයත් අය මෙන් ඔහුටත් තම නිවසේ පාවිච්චිය සඳහා වතුර ගෙන ඒමට විනාඩි 15ක පමණ දුරක් ඇවිදින්න සිදු වේ. “ගමේ තියෙන පයිප්පය පාවිච්චි කරන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. ඒක පාවිච්චි කරන්නේ ඉහළ කුලයේ අය විතරයි” කියා ඔහු පවසයි. රාජේෂ් පාසැල් ගිය කාලයේදී ඔහුටවත් ඔහුගේ මිතුරන්ටවත් අනිත් ළමයින් සෙල්ලම් කළ පාපන්දුව අල්ලන්නවත් ඉඩ දුන්නේ නැත. “අපි සෙල්ලම් කළේ ගල්වලින්” කියා ඔහු පවසයි.
“මට හිතෙන්නේ මිනිස්සු මට වෛර කරනවා කියලයි. ඒත් මම දන්නේ නැහැ මිනිස්සු එහෙම කරන්නේ ඇයි කියලා.” මෙම වදන් පවසන්නේ ආසියානු රටක උපත ලබා දැන් යුරෝපයේ ජීවත් වන ක්‍රිස්ටිනායි. ඇය නව යොවුන් වියේ පසු වන තරුණියකි. “ඒ ගැන මට ලොකු කලකිරීමක් ඇති වෙනවා. හුඟාක් වේලාවට මං කරන්නේ අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න එකයි. ඒත්, ඒ තත්වයට මුහුණ දෙන්න මට ඒකවත් උපකාර වෙලා නැහැ” කියා ඇය තවදුරටත් පවසයි.
“මිනිසුන්ගේ අසාධාරණකම්වලට මම මුලින්ම මුහුණ දුන්නේ වයස අවුරුදු 16දීයි” කියා බටහිර අප්‍රිකානු රටක ජීවත් වන ස්ටැන්ලි පවසයි. “මම කොහොමටවත් අඳුරන්නේ නැති අය මට කිව්වා, නගරයෙන් පිට වෙන්න කියලා. මගේ ගෝත්‍රයේ සමහර අයගේ ගෙවල්වලට ගිනි තිබ්බා. මගේ තාත්තාගේ ගිණුමට සීල් තැබුවා. මේ හින්දා අපිට අසාධාරණ ලෙස සලකපු අය ගැන වෛරයක් මා තුළ ඇති වෙන්න පටන්ගත්තා.”
රාජේෂ්, ක්‍රිස්ටිනා හා ස්ටැන්ලි අසාධාරණකම්වලට ගොදුරු වී සිටින අයගෙන් කිහිපදෙනෙක් පමණයි. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) විධායක අධ්‍යක්ෂකවරයා වන කොයිචීරෝ මට්සුඌරේ මෙසේ පවසයි. “අද බොහෝදෙනෙක් තමන්ගේ වර්ගය හා තරාතිරම නිසාද තමන් විදේශිකයෙකු වීම නිසාද අසාධාරණකම්වලට ලක් වෙනවා. ඒ වගේම ඔවුන්ව සමාජයෙන් කොන් කරනවා. නූගත්කම හා භේද ඇති කිරීම නිසා වැඩි වන එවන් අමානුෂික ගතිලක්ෂණවල ප්‍රතිඵලයක් හැටියට බොහෝ රටවල අභ්‍යන්තර ආරවුල් ඇති වී තිබෙනවා. මේ නිසා බොහෝදෙනෙක් දුක් වේදනා විඳිනවා.”
ඔබ කවදාවත් භේද ඇති කිරීම නිසා ඇති වන අසාධාරණකම්වලට ගොදුරු වී නැත්නම් එවන් දෙයක් අද්දකින්න ලැබීම මොන තරම් වේදනාකාරී දෙයක්ද කියා ඔබ නොදන්නවා විය හැකියි. “සමහරු මෙය නිහඬව දරාගෙන සිටිති. තවත් අය මෙයට ප්‍රතිචාරය දක්වන්නේ එකට එක කිරීමෙනි” කියා එක් පොතක (Face to Face Against Prejudice) සඳහන් වේ. භේද ඇති කිරීම නිසා ජීවිතවලට හානි සිදු වන්නේ කෙසේද?
ඔබ සුළු ජාතික පිරිසකට අයත් කෙනෙක් නම්, මිනිසුන් ඔබ මඟහැර යන ආකාරයත් ඔබ දෙස රවා බලන ආකාරයත් ඔබ අද්දකිනවා විය හැකියි. ඔබේ සංස්කෘතිය හෙළාදකිමින් ඇතැම් දේවල් පවසනවා ඔබට ඇසෙන්නට ඉඩ ඇත. රැකියා ලබාගැනීමට තිබෙන අවස්ථා විරල විය
හැකියි. ලබාගත හැකි රැකියාවත් කිසි කෙනෙක් කරන්න කැමති නැති මෙහෙකාර වැඩක් හෝ කුලී වැඩක් විය හැකියි. ජීවත් වෙන්න හරි හමං තැනක් සොයාගැනීම දුෂ්කර වීමට ඉඩ තිබේ. කොන් කරනු ලැබූ පිරිසක් මෙන් ඔබේ දරුවන්ට හැඟෙන්න පුළුවනි. පාසැලේදී ඔවුන්ව සෙසු සිසුන් විසින් ඇසුරෙන් කපාහැරිය හැකියි.මෙහි තිබෙන භයානකම දෙය වන්නේ භේද ඇති කිරීම නිසා අපරාධ හා මිනී මැරුම් පවා කිරීමට ජනයා පෙලඹීමයි. භේද ඇති කිරීමේ ප්‍රතිඵලයක් හැටියට සිදු වී තිබෙන තැතිගන්වනසුලු අපරාධවලින් ඉතිහාසයේ පිටු පිරී තිබේ. සමූහ ඝාතන, ජනවර්ගයක් විනාශ කර දැමීම හා වාර්ගික ශෝධනය කියා හඳුන්වන දේවල්ද ඊට ඇතුළත් වේ.
සියවස් ගණනාවක් පුරා භේද ඇති කර තිබෙන අයුරු
එක්තරා යුගයක අසාධාරණකම්වලට ලක් වූ ප්‍රධානතම කණ්ඩායම වූයේ ක්‍රිස්තියානීන්ය. නිදසුනක් වශයෙන් යේසුස්ගේ මරණින් කෙටි කලකට පසු ඔවුන්ට කෲර ලෙස හිංසා පීඩා කරන ලදි. (ක්‍රියා 8:3; 9:1, 2; 26:10, 11) ඉන් සියවස් දෙකකට පසුව සිටි ක්‍රිස්තියානීන්යයි කියාගත් අයද කුරිරුකම්වලට ලක් විය. “වසංගතයක් හටගත්තා නම්, ක්‍රිස්තියානීන්ව සිංහ කූඩුවලට දමන්න කියා ජනයා කෑ මොර ගැසීමට වැඩි වේලාවක් ගත වූයේ නැත” කියා තුන්වන සියවසේ විසූ ලේඛකයෙක් වූ ටර්ටූලියන් ලීවේය.
කුරුස යුද්ධය සිදු වූ 11වන සියවසේ පටන් යුදෙව්වෝ යුරෝපයේ බොහෝදෙනෙකුගේ අප්‍රසාදයට ලක් වූ සුළු ජන පිරිස බවට පත් වූහ. වසර කිහිපයක් ඇතුළත යුරෝපා මහාද්වීපයේ ජනගහනයෙන් හතරෙන් එකක් මරුමුවට පත් කරමින් මහාමාරිය ඒ මහාද්වීපය පුරා පැතිරී ගිය කාලයේදී ඊට කෙළින්ම දොස් පැවරුවේ යුදෙව්වන්ටය. මීට හේතුව ඔවුන් ඒ වන විටත් බහුතරයකගේ වෛරයට ලක් වී තිබීමයි. “මේ වෛරය සාධාරණීකරණය කිරීමට එම වසංගතය හේතුවක් විය. තවද මේ වසංගතය ගැන බියෙන් පසු වූ ජනයා එම වෛරය හේතුවෙන් යුදෙව්වන් ඊට වග කිව යුතු බව විශ්වාස කිරීමටද පෙලඹුණි” කියා ජැනට් ෆාරෙල් ලියූ පොතක (Invisible Enemies) සඳහන් වේ.
කලකට පසු ප්‍රංශයේ දකුණු පළාතේ විසූ යුදෙව්වෙක් වධ හිංසා මැද පාපෝච්චාරණයක් කරමින් පිළිගත්තේ යුදෙව්වන් ළිංවලට වස දැමීමෙන් මේ වසංගතය පතුරුවාහැරිය බවයි. ඔහුගේ පාපෝච්චාරණය සත්‍යයක් නොවීය. එහෙත් එය සත්‍යයක් බවට ප්‍රසිද්ධ කරන ලදි. වැඩි කලක් යන්න කලින් ස්පාඤ්ඤයේ, ප්‍රංශයේ හා ජර්මනියේ සිටි යුදෙව්වන්ව බුරුතු පිටින් ඝාතනය කරන ලදි. එම වසංගතය ඇත්තටම පතුරුවාහැරිය මීයන්ට කිසිවෙක් අවධානය නොදුන් බව මින් පෙනී යයි. අනිත් අය මෙන් යුදෙව්වන්ද එම වසංගතයෙන් මිය ගිය බව තේරුම්ගැනීමට බහුතරය අසමත් වූහ.
භේද නමැති ගින්න වරක් ඇවිළුණොත් එය අළු යට තිබෙන ගිනි අඟුරු මෙන් සියවස් ගණනාවක් පුරා පවතී.
විසිවන සියවසේ මැදභාගයේදී ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනිය පළමුවන ලෝක මහ යුද්ධයෙන් පරාජය වීම ගැන යුදෙව්වන්ට දොස් පවරමින් යුදෙව් විරෝධී ගිනි සිළු යළි ඇවිළුවේය. අවුෂ්විට්ස් ගාල් කඳවුරේ අණ දෙන නාට්සි නිලධාරියා වූ රුඩොල්ෆ් හෙස් දෙවන ලෝක මහ යුද්ධය අවසානයේදී මෙසේ පිළිගත්තේය. “අපි හමුදාවට දුන් පුහුණුව මගින් හා ජනයාගේ මනස්වල පැලපදියම් කළ අදහස්වලින් ජර්මනිය යුදෙව්වන්ගෙන් ආරක්ෂා කරගත යුතුයි කියන මතය සත්‍යයක් බව තහවුරු කළා.” ‘ජර්මනිය ආරක්ෂා කරගැනීම’ සඳහා හෙස් 20,00,000ක් පමණ මිනිසුන්ව ඝාතනය කිරීමේ කාර්යය අධීක්ෂණය කළේය. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් යුදෙව්වන් වූහ.මෙය සිදු වී දශක කිහිපයක් ගත වී තිබුණද ම්ලේච්ඡ ක්‍රියා අවසන් වී නැත. උදාහරණයක් හැටියට 1994දී නැඟෙනහිර අප්‍රිකාවේ ටුට්සි හා හුටු ගෝත්‍ර අතර හටගත් ගෝත්‍රික වෛරය නිසා අඩුම තරමින් මිනිස්සු ලක්ෂ පහක්වත් මරුමුවට පත් වූහ. “ආරක්ෂාව පතා යෑමට තැනක් තිබුණේ නැත” කියා ටයිම් සඟරාවේ සඳහන් විය. “ආරක්ෂාව පතා පල්ලි වෙත ගිය බොහෝදෙනෙකුව ඝාතනය කිරීම නිසා එම පල්ලි ලේ වලින් නැහැවිණි. . . . ඔවුන් සටන් කළේ මුහුණට මුහුණලාය. ඔවුන් එකිනෙකාව මරාගත් විදිහ විස්තර කිරීමට වචන නැත. ඒ ලේ පිපාසිත සටන්වලින් බේරී පලා යෑමට හැකි වූ අය දැඩි මානසික කම්පනයකට පත්ව සිටියහ. ටික දවසක් යන තෙක් ඔවුන්ට කතා කරගන්නට නොහැකි විය.” ඒ ම්ලේච්ඡ අපරාධවලදී දරුවන්ව පවා ඝාතනය කරන ලදි. “රුවන්ඩාව කියන්නේ හුඟාක් කුඩා තැනක්. ඒත් ලෝකයේ බද්ධ වෛරයක් තියෙන තැනකයි අපි ජීවත් වෙන්නේ” කියා එහි එක් වැසියෙක් පැවසුවේය.
කලින් පැවති යුගොස්ලාවියාව කැඩී ගිය වකවානුවේදී සිදු වූ සටන් නිසා සාමාන්‍ය වැසියන් 2,00,000කට වැඩිදෙනෙක් මරුමුවට පත් වූහ. අවුරුදු ගණනාවක් සාමයෙන් එකට කල් ගෙවූ අසල්වැසියෝ එකිනෙකාව මරාගත්හ. ස්ත්‍රීන් දහස් ගණනක්ව දූෂණය කරන ලදි. වාර්ගික ශෝධනය කියා හැඳින්වූ කුරිරු ප්‍රතිපත්තියක් නිසා මිලියන ගණනක්ව ඔවුන්ගේ නිවෙස්වලින් පන්නා දමන ලදි.
භේද භින්න හැඟීම්වල ප්‍රතිඵලය මිනිස් ඝාතනයන් නොවුවද එමගින් මිනිසුන්ව විවිධාකාරවලින් භේද භින්න කරවයි. අන් අය කෙරෙහි නුරුස්නා ගතියක් වැඩෙන්න සලස්වයි. ගෝලීයකරණය නමැති සංකල්පය තව තවත් සැබෑවක් වුවත් ජාතිය, වර්ගය හා සංස්කෘතිය නිසා අසාධාරණකම්වලට ලක්වීම “ලෝකයේ බොහෝ තැන්වල වැඩි වෙමින් පවතී” කියා මෑතකදී පළ වූ යුනෙස්කෝ වාර්තාවක සඳහන් විය.
භේද භින්න හැඟීම් මුලිනුපුටා දැමීමට කිසිවක් කළ හැකිද? මේ ප්‍රශ්නයට උත්තර දීම සඳහා එවන් හැඟීම් මිනිසුන්ගේ සිත්වල මුල් ඇදගන්නා ආකාරය සොයා බැලිය යුතුයි.
[5වන පිටුවේ කොටුව]
භේද ඇති කරවන හැඟීම් හිස ඔසවන අයුරු
භේද භින්න හැඟීම් මිනිසුන් තුළ ඉස්මතු වන විට ඔවුන් හැසිරෙන ආකාර පහක් ගැන ගෝඩන් ඩබ්. ඕල්පෝට් විසින් රචිත පොතක (The Nature of Prejudice) සඳහන් වේ. භේද ඇති කරවන හැඟීම් තිබෙන පුද්ගලයෙකු තුළ සාමාන්‍යයෙන් මෙම ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් දැකිය හැකියි.
1. අප්‍රසාදය පළ කරන දේවල් පැවසීම. මෙවැනි කෙනෙක් ඔහු ප්‍රිය නොකරන ජන පිරිසව හෙළාදකිමින් නොයෙක් දේවල් පවසයි.
2. වැළකී සිටීම. එම ජන පිරිසට අයත් අයව ඇසුරෙන් කපාහරී.
3. අසාධාරණකම්වලට ලක් කිරීම. ඔහු අවමන් කරන ජන පිරිසේ අයට ඇතැම් රැකියා අවස්ථා ලබා නොදෙයි. ඇතැම් ස්ථානවල පදිංචි වීමට අවසර නොදෙයි. අධ්‍යාපනය හා රෝහල් පහසුකම් වැනි වරප්‍රසාද නොදෙයි.
4. ශාරීරිකව පහර දෙයි. තමන් වෛර කරන ජන කොටසව බියගැන්වීමේ අරමුණින් කරන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට ඔහු හවුල් වෙයි.
5. සමූල ඝාතන. වග විභාගයකින් තොරව කරන ඝාතනවලට හා සමූහ ඝාතනවලට හවුල් වෙයි.
[4වන පිටුවේ පින්තූරය]
ටැන්සානියාවේ බෙනාකෝ සරණාගත කඳවුර 1994 මැයි 11
වතුර භාජන ළඟ ගිමන්හරින කාන්තාවක්. ටැන්සානියාවට පලා ගිය සරණාගතයන් 3,00,000කට වැඩි පිරිසකගෙන් බහුතරයක් රුවන්ඩාවේ හුටු වැසියන්ය
[හිමිකම් විස්තර]
ඡායාරූපය Paula Bronstein/Liaison