අශ්වයාව මෙන් දිවද මෙල්ල කරන්න
අශ්වයාව මෙන් දිවද මෙල්ල කරන්න
“අශ්වයා යුද්ධ දවසට සෑදී සිටියි” කියා පුරාණ ඊශ්‍රායෙලයේ සිටි ප්‍රඥාවන්ත සලමොන් රජ කියා සිටියා. (හිතෝපදේශ 21:31) සටන් ජයගැනීමේදී අශ්වාරෝහක හමුදාවන් බොහෝ කාලයක් පුරා ඉටු කර ඇත්තේ අතිවැදගත් මෙහෙවරක්. පුරාණ කාලයේ හමුදාවන් අශ්වයාගේ නොහික්මුණු ස්වභාවය හා බලය මෙල්ල කිරීමට කටකලියාවක් භාවිත කර තිබෙනවා.
කටකලියාවක් යනු කුමක්ද කියා එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පැහැදිලි කරන්නේ මෙසේයි. “එය පටි කිහිපයකින් සමන්විත වන අතර සතාගේ කටේ තිබෙන තලයටද ඉන් සවිමත්භාවයක් ලබා දෙයි. ඒ වගේම ඊට සම්බන්ධ කර ඇති තෝන් ලණුව මගින් සතාව මෙල්ල කිරීමටත් මිනිසාට හැකියි.” පුරාණයේ තිබූ කටකලියාවන් හා නවීන දින ඒවා අතර එතරම් වෙනස්කමක් නැහැ. අශ්වයන් හීලෑ කිරීමටත් පැදවීමටත් එයින් ලැබෙන්නේ විශාල උපකාරයක්.
“තේරුම් නැති අශ්වයෙක් හෝ අශ්වතරයෙක් මෙන් නොවෙන්න. උන් දමනය කරන පිණිස කටකලියාව සහ පටිය දැමිය යුතුය” කියා සලමොන්ගේ පියා වන දාවිත් පැවසූ විට ඔහු කටකලියාවක තිබෙන වැදගත්කම වක්‍රාකාරව යොමු දැක්වුවා. (ගීතාවලිය 32:9) අශ්වයෙකුව හීලෑ කළ විට ඌ විශ්වාසවන්ත මිත්‍රයෙකු වෙන්න පුළුවන්. මහා ඇලෙක්සැන්ඩර් ඔහුගේ බුස්ෆලස් නමැති අශ්වයාව වටිනා සම්පතක් සේ සැලකුවා. ඒ නිසයි ඔහු එම අශ්වයාට ගෞරව කිරීමක් වශයෙන් උගේ නමින් ඉන්දියාවේ නගරයක් පවා නම් කළේ.
මිනිසා ශතවර්ෂ ගණනාවක් පුරා අශ්වයන්ව සාර්ථක ලෙස හීලෑ කර තිබෙනවා. නමුත් අපේ අසම්පූර්ණ ස්වභාවය මෙල්ල කරන එක ඊට හාත්පසින්ම වෙනස් කාරණයක්. “අපි සියලුදෙනාම බොහෝ වර වැරදි කරන්නෙමු. යමෙකු වචනයකින්වත් වැරදි කරන්නේ නැත්නම්, ඔහු තමාගේ මුළු ශරීරයම දමනය කළ හැකි පරිපූර්ණ මිනිසෙකි” කියා ක්‍රිස්තියානි ගෝලයෙකු වන යාකොබ් පැවසුවා. (යාකොබ් 3:2, NW) කවමදාකවත් සිතා බලන්නේ නැතුව කතා කර නැහැ, සිත් රිදවන වචනයක් හෝ සැර පරුෂ වචනයක් කටෙන් පිට කර නැහැයි කියා අපෙන් කාටද කියන්න පුළුවන්?
‘කිසිවෙකුටත් මෙල්ල කරන්න බැරි’ දිවට කටකලියාවක් දමන්න මහන්සි විය යුත්තේ ඇයි? (යාකොබ් 3:8, NW) අශ්වයෙකුව හීලෑ කිරීමට මිනිසුන් කාලය කැප කරමින් වෑයමක් දරන්නේ එසේ පුහුණු කළ සතෙකු ප්‍රයෝජනදායක බව ඔවුන් දන්නා නිසයි. ඒ හා සමානව අපත් අපගේ දිව පාලනය කරන හෝ මෙල්ල කරන තරමට එය ප්‍රයෝජනදායක වෙයි.
හොඳින් සිතා බලා වචන හැසිරවීමෙන් අපගේ නෑහිතවතුන්ගේ හා රැකියා ස්ථානයේ මිතුරන්ගේ සිත් සනසන්නට හා ඔවුන්ව දිරිගන්වන්නට පුළුවන්. (හිතෝපදේශ 12:18) එවැනි වදන් අප අවට සිටින අයගේ ජීවිතයට ප්‍රීතියක් එක් කරනවා. මෙල්ල නොකළ දිව ප්‍රශ්නවලට මුලපුරයි. “තමාගේ මුඛය . . . රැකවල් කරගන්නා තමාගේ ප්‍රාණය විපත්තිවලින් රැකගන්නේය.” (හිතෝපදේශ 21:23) අප දිව මෙල්ල කරන තරමට අපටත් අපට ඇහුම්කන් දෙන අයටත් ප්‍රයෝජන නෙළාගත හැකි වෙනවා. *
[පාදසටහන]
^ 7 ඡේ. නමස්කාරය හා කතාව එකිනෙකට බැඳී තිබෙන බවට බයිබලය තුළ ක්‍රිස්තියානීන්ට කර තිබෙන සිහිගැන්වීම සැලකිල්ලට ගත යුතුයි. එහි පවසන්නේ, “යමෙක් තම නමස්කාර පිළිවෙතට ලැදියයි සිතාගෙන සිටියත් තමාගේ දිව මැඩපවත්වා නොගෙන තමාගේම සිත රවටාගන්නේ නම්, ඒ මිනිසාගේ නමස්කාර පිළිවෙත නිෂ්ඵලය.”—යාකොබ් 1:26, NW.
[31වන පිටුවේ පින්තූරය]
මහා ඇලෙක්සැන්ඩර්
[හිමිකම් විස්තර]
Alinari/Art Resource, NY