ප්‍රතිසංස්කරණවාදීන් ළඟ විසඳුම් තිබේද?
ප්‍රතිසංස්කරණවාදීන් ළඟ විසඳුම් තිබේද?
අපෙන් බොහෝදෙනෙකුව බලාපොරොත්තු සුන්භාවයට ඇද දමන දේවල් අප ජීවත් වන සමාජයේ බහුලව දැකිය හැක. මීට නිදසුන් ලෙස වංචනික ව්‍යාපාර, නීතිය සැමට එක සේ ක්‍රියාත්මක නොකිරීම, සමාජ අසාධාරණය, දුර්වල සෞඛ්‍ය සේවාව, අධ්‍යාපන ක්ෂේත්රයේ දියුණුවක් නොමැතිකම, ආගමේ නාමයෙන් මුදල් ගසා කෑම, පාරිසරික සම්පත් කොල්ල කෑම යනාදිය සඳහන් කළ හැක. ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ජනයා පෙලඹෙන්නේද ඉහත කී ගැටලු නිසාය.
සෑම සමාජයකම පාහේ ප්‍රතිසංස්කරණවාදීන් දැකිය හැක. ව්‍යවස්ථානුකූලව විධිමත් ලෙස වෙනස්කම් කිරීමට ඔවුහු අනුබල දෙති. ප්රතිසංස්කරණවාදීන්ගෙන් බහුතරයක් නීතියට ගරු කරමින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වැළකී සිටින නිසා ඔවුන් රාජ්‍ය විරෝධීන් හෝ විප්ලවවාදීන් නොවේ. ප්‍රතිසංස්කරණවාදීන් ස්වල්ප පිරිසක් සමාජයේ ඉහළ මට්ටම්වල බලතල හොබවන අතර වෙනස්කම් හඳුන්වා දීමේදී මුල් පියවර ගෙන කටයුතු කරති. සෙසු ප්රතිසංස්කරණවාදීහු වෙනස්කම් ඇති කිරීම සඳහා බලයේ සිටින අයට බලපෑම් කරති.
සමාජයේ පවතින ගැටලුවලට විසඳුම් සොයන ක්‍රම සහ විධි ගැන නැවත සිතා බලා, ඒවායේ වෙනස්කම් කිරීමට සමාජය කැමති කරවාගැනීමට ප්රතිසංස්කරණවාදීහු තැත් කරති. මෙහිදී ඔවුන් කරන්නේ විරෝධතා දියත් කිරීම පමණක් නොවේ. යම් දේවල් දියුණු කළ හැකි ආකාරය ගැන අදහස්ද ඔවුන් ළඟ තිබේ. ඔවුන් විශේෂ උනන්දුවක් දක්වන දේවල් සමාජයේ අවධානයට ලක් කරවීම සඳහා ප්‍රතිසංස්කරණවාදීන් මහජනයාගෙන් නොයෙක් ඉල්ලීම් කළ හැකියි; වීදිවලට බැස පෙළපාලි දියත් කිරීමට ඉඩ තිබේ; එසේත් නැත්නම් ජනමාධ්‍යය හරහා තම අදහස් ප්‍රසිද්ධ කළ හැකියි. ප්රතිසංස්කරණවාදියෙකු නුරුස්සන දේවල් අතර සමාජය ඔහුට සවන් නොදී සිටීම මුල්තැනක් ගනී.
අතීතයේ විසූ ප්රතිසංස්කරණවාදීහු
ඉතිහාසයේ විවිධ කාල වකවානුවල බොහෝ ප්‍රතිසංස්කරණයන් සිදු වී තිබේ. මීට අවුරුදු 2,000කට පමණ පෙර, රෝමයට අයත් පළාතක් වූ යුදයේ ආණ්ඩුකාරයා වූ ෆීලික්ස්ව පැසසුමට ලක් කරමින් ප්‍රසිද්ධ කථිකයෙක් මෙසේ පැවසුවේය. “ඔබේ දූරදර්ශීභාවය නිසා මේ දේශයේ ප්‍රතිසංස්කරණ සිදු [වන්නේය].” (ක්‍රියා 24:2, NW) ෆීලික්ස් ජීවත් වීමට වසර 500කට පමණ කලින් විසූ සෝලන් නම් ග්‍රීක නීති සම්පාදකයා දිලිඳුන්ගේ ජීවන තත්වය දියුණු කිරීමේ අරමුණින් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් දියත් කළේය. සෝලන් පුරාණ ඇතන්ස්හි පැවති “දරුණුතම ඛේදවාචකය වූ දිලිඳුකම නැති කර දැමුවේය” කියා එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාහි පැහැදිලි කර ඇත.
ආගමික ඉතිහාසයේද බොහෝ ප්‍රතිසංස්කරණවාදීන් සිටි බව දැකිය හැක. නිදසුනක් වශයෙන් මාර්ටින් ලූතර් රෝමානු කතෝලික සභාව තුළ ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට තැත් කළේය. රෙපරමාදුවාදය සඳහා මංපෙත් විවර වූයේ ඔහුගේ මූලිකත්වය යටතේ සිදු කළ දේවල් නිසාය.
ප්‍රතිසංස්කරණවල පරාසය
ප්‍රතිසංස්කරණවාදීන් ලෝකයේ පවතින සාමාන්‍ය තත්වය වෙනස් කිරීමට වෑයම් කළ හැක. ඇතැම් ප්රතිසංස්කරණවාදීහු මූලිකව වෙනස් ජීවන රටාවකට අනුබල දෙති. මීට නිදසුනක් ලෙස විසිවන සියවසේ මුල්භාගයේදී ජර්මනියේ සිදු වූ ලේබන්ස්රේෆෝම් (ජීවන රටාවේ වෙනස්කම්) නමැති ව්‍යාපාරය සඳහන් කළ හැක. සමාජය වේගයෙන් කාර්මිකකරණයට ලක්වීම නිසා තමන්ගේ ජීවිත යාන්ත්‍රික වී තිබෙන බවත් පුද්ගලයන් වශයෙන් තමන් නොවටිනා තත්වයකට පත් වී තිබෙන බවත් බොහෝදෙනෙකුට හැඟී ගියේය. මිනිසා මුලින් ගත කළ ස්වාභාවික ජීවන රටාව යළි ඇති කිරීමට ප්රතිසංස්කරණවාදීහු අත හිත දුන්හ. ඒ සඳහා ඔවුහු ශාරීරික සුවතාව රැකගැනීමට, එළිමහන් ක්‍රියාකාරකම්වල නියැලීමට, ස්වාභාවික ඖෂධ භාවිතයට සහ එළවළු පමණක් ආහාරයට ගැනීමට දිරිමත් කළහ.
වෙනත් ප්‍රතිසංස්කරණවාදීන් කරන්නේ සමාජ අසාධාරණය හෙළි කරමින් එයට විසඳුම් සෙවීමට ආණ්ඩුවට බල කිරීමයි. එක්දහස් නවසිය සැත්තෑ ගණන්වල මුල්භාගයේ සිට ප්‍රබල හඬක් නඟා තිබෙන පාරිසරික හිතකාමීන්ගෙන් යුත් කණ්ඩායම් පරිසරයේ සම්පත් අනිසි පරිහරණයට හා නාස්තියට එරෙහිව විරෝධතා ව්‍යාපාර දියත් කර ඇත. මෙම කණ්ඩායම්වලින් සමහරක් ජාත්‍යන්තර සංවිධාන දක්වා වර්ධනය වී තිබේ. මොවුහු පාරිසරික විනාශයන්ට එරෙහිව විරෝධතා ව්‍යාපාර දියත් කරනවාට වඩා වැඩි යමක් කරති. ඔවුහු ගැටලුවලට පිළියම් ඉදිරිපත් කරති. මීට අමතරව, විෂ සහිත අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම හා තල්මසුන්ව ඇල්ලීම සම්බන්ධයෙන් පවතින නීති වෙනස් කිරීමටද ඔවුන්ගේ උපකාරය ලැබී ඇත.
එක්දහස් නවසිය හැට ගණන්වලදී දෙවන වතිකානු සභාව විසින් රෝමානු කතෝලික සභාව තුළ ප්‍රතිසංස්කරණයන් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලදි. එමෙන්ම 1990 ගණන්වලදී, සාමාන්‍ය කතෝලික ජනයා අතරින් ප්‍රතිසංස්කරණවාදීන් ඉස්මතු වූ බවක් පෙනෙන්න තිබිණ. බ්‍රහ්මචාරියාව සම්බන්ධයෙන් වෙනසක් කිරීමට ඔවුන් යෝජනා කර ඇත. එංගලන්ත සභාවෙහි සිටින ප්රතිසංස්කරණවාදීහු පූජකයන් ලෙස සේවය කිරීමට කාන්තාවන්ටද ඉඩ දීම සඳහා වෙනසක් කිරීමට කළ යෝජනාව විරෝධතා මැද සාර්ථක කරගැනීමට සමත් වූහ.
සෑම කෙනෙක්ම කැමති නැත
ඇතැම් ප්‍රතිසංස්කරණවලින් සමාජයට මහත් යහපතක් සිදු වී ඇත. නිදසුනක් වශයෙන්, බොහෝදෙනෙකුගේ පිළිගැනීමට ලක් වන ප්‍රතිසංස්කරණවලට දිරි දුන් නායකයන් හා වෙනත් අය පිළිබඳ උදාහරණ රාශියක් අපට බයිබලයෙන් සොයාගත හැක. එවන් වෑයම්වල ප්‍රතිඵලයක් හැටියට අධ්‍යාත්මික පිබිදීමක්, සමාජීය පුනර්ජීවයක් හා දිව්‍ය අනුමැතිය දැකිය හැකි විය. (2 රාජාවලිය 22:3-20; 2 ලේකම් 33:14-17; නෙහෙමියා 8වන හා 9වන පරිච්ඡේද) මෑතක සිට මූලික නිදහස, සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් යනාදියෙහි වැදගත්කම වැඩියෙන් අවධාරණය කර ඇත. මෙය වරප්‍රසාද නොලත් සුළුතර ජන පිරිස්වලට හා හිංසා පීඩාවලට ගොදුරු වන පුද්ගලයන්ට ආරක්ෂාවක් ලැබීමට මහත් පිටිවහලක් වී ඇත.
කෙසේවෙතත්, ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙන් පසු, බොහෝ අවස්ථාවලදී බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල ඒවායින් ඇති වී තිබේ. විසිවන සියවසේ විසූ සිවිල් නිලධාරියෙකු වූ ජෝන් ඩබ්. ගාඩ්නර් මෙසේ සඳහන් කළේය. “බොහෝ අවස්ථාවලදී ප්‍රතිසංස්කරණවාදීන් ඔවුන්ගේ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල ගැන වැරදි නිගමනවලට එළඹීම, ඉතිහාසයේ දැකිය හැකි පරස්පර විරෝධිතාවන්ගෙන් එකකි.” මේ සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් සලකා බලමු.
තණ බිම්වලින් හා ලඳු කැළෑවලින් ප්‍රයෝජන අත් කරගැනීම ඉලක්ක කරගත් කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් යුරෝපා සංගමය විසින් හඳුන්වා දෙන ලදි. මෙය පටන්ගත්තේ 1980 ගණන්වල මුල්භාගයේදීය. මෙම නව කෘෂිකාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ජර්මනියේ හා ඉතාලියේ වගා කළ හැකි හෙක්ටෙයාර 3,00,000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් තණ බිම් සඳහා වෙන් කරන ලදි. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලද්දේ යහපත් අරමුණු පෙරදැරි කරගෙන වුවද බලාපොරොත්තු නොවූ හානි සිදු විය. මෙම ප්‍රතිසංස්කරණයන් මගින් “එවන් ප්‍රදේශවල පාරිසරික වටිනාකම වැඩි කිරීම සඳහා ප්‍රස්තාවක් උදාවීම ගැන මුලදී සතුටු වුවද ‘තණ බිම් සඳහා ඉඩම් වෙන් කිරීම’ නිසා අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ පෑ හැකියි” කියා එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන සඳහන් කළේය. එම ආයතනය අහිතකර ප්‍රතිවිපාක ලෙස හඳුන්වන්නේ “සම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම අත්හැරීමට ජනයාට බලපෑම් කිරීම සහ වන කළමනාකරණය හා වන රෝපණය සඳහා නොගැළපෙන ක්‍රම යොදාගැනීමයි.”
දිලිඳුන්ට උපකාර කිරීම සඳහා දරන වෑයම් ගැන කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳ ලෝක අරමුදල මෙසේ සඳහන්
කළේය. “විවිධ සංවිධාන මගින් සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ හරහා දුප්පතුන්ට සෙත සැලසීම සඳහා දරන සියලුම වෑයම්වලදී මහත් ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. සාමාන්‍යයෙන් සංවිධාන පිහිටුවාගනු ලබන්නේ හා ක්‍රියාත්මක කරන්නේ බලවන්තයන්ගේ වුවමනා එපාකම් ඉටු කරගැනීම සඳහායි. . . . ‘ලොකු මිනිස්සු’ තමන්ගේ වුවමනා එපාකම් ඉටු කරගැනීම සඳහා ප්‍රාදේශීය ආයතන මෙහෙයවීමට නැඹුරු වෙති.”තවත් උදාහරණයක් වන්නේ කාන්තා සංගම්ය. මෙම සංගම් මගින් කාන්තාවන්ට ඡන්ද බලය සහ උසස් අධ්‍යාපනය හා ඉහළ තනතුරු දරන රැකියා ලබාගැනීමට වැඩි ප්‍රස්තා උදා කර දීම නිසා බටහිර ලෝකයේ කාන්තාවන්ගේ ජීවිත වෙනස් වී ඇත. එහෙත් කාන්තා සංගම් මගින් සමහර ගැටලු විසඳුවත් තවත් ගැටලු වැඩි කර තිබෙන බව කාන්තාවන්ට සම අයිතීන් ලබා දීමට සහය දක්වන ඇතැම් අය පවා පිළිගනිති. ලේඛිකාවක් වන සූසන් වැන් ස්කොයොක් මෙම ප්රශ්නය ඇසුවාය. “කාන්තාවන් ගෙදර දොරේ කරන වැඩකටයුතුවලට යම් සහයෝගයක් දෙන්නේ නැතිව රැකියා කරන ස්ථානවල සම තත්වයක් ඔවුන්ට දීමෙන් අප ඇත්තෙන්ම කාන්තාවන්ට හිමි තත්වයෙහි දියුණුවක් ඇති කර තිබෙනවාද? නැත්නම් කාන්තාවන්ව අපායකට ඇද දමා තිබෙනවාද?”
පලක් නැති ප්‍රතිසංස්කරණ
හුදෙක් දේවල් වෙනස් කිරීම අරමුණු කරගෙන ප්‍රතිසංස්කරණ දියත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් ප්‍රතිසංස්කරණවාදීන්ට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ. පාසැල් හා සම්බන්ධ ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යයනය කර තිබෙන ෆ්රෙඩ්රික් හෙස් පලක් නැති ප්‍රතිසංස්කරණ කියා හැඳින්වූ දෙය ගැන විස්තර කරමින් මෙසේ සඳහන් කළේය. “මහා පරිමාණ ප්‍රතිසංස්කරණ සඳහා දරන වෑයම්වලින් අහිතකර ප්‍රතිඵල ඇතිවීමේ ගැටලුවට හේතුව වන්නේ එම ප්රතිසංස්කරණමයි. ගැටලු විසඳනවා වෙනුවට ප්‍රතිසංස්කරණ සඳහා දරන මෙම වෑයම් ආකර්ෂණීය වූ වෙනත් පැති වෙත යොමු වී තිබේ. මේ නිසා [ඔවුන් විසඳනවායයි පවසා තිබෙන ගැටලු] තව තවත් උග්‍ර වෙමින් පවතී.” ඔහු තවදුරටත් මෙසේ පවසයි. “සෑම පාලනයක්ම නව ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දීමට නැඹුරු වන නිසා අවුරුදු කිහිපයකට වතාවක් සමස්ත ක්‍රියාවලියම යළිත් වරක් අලුතින් පටන්ගනී.”
ප්‍රතිසංස්කරණයන් වෙනස් අරමුණු ඉටු කරගැනීමට යොදාගත හැකියි. ඇතැම්විට ඒවා ගෙන යන්නේ වැරදි දිසාවකටයි. ජර්මනියේ දියත් කරන ලද ලේබන්ස්රේෆෝම් ව්‍යාපාරය මගින් සුජනක විද්‍යාව නමැති සංකල්පයේ වර්ධනයට අත හිත දුණි. මෙම අධ්‍යයන ක්ෂේත්රයෙන් කෙරෙන්නේ වඩාත් ශක්තිමත් ජනිතයන්ව බිහි කළ හැකි දෙමාපියන්ව තෝරාගෙන මිනිස් වර්ගයාව දියුණු තත්වයකට පත් කළ හැකි ආකාරය අධ්‍යයනය කිරීමයි. කෙසේවෙතත් අන්තවාදීහු මෙම දැනුම වැරදි ලෙස භාවිත කරමින් සුපිරි මිනිස් වර්ගයක් බිහි කිරීම සඳහා නාට්සිවාදීන් දැරූ මහත් වෑයම්වලට අනුබලයක් දුන්හ.
මහත් උද්යෝගයකින් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කතා කරන අය පවා ඇතැම් අවස්ථාවලදී ඒවායේ ප්‍රතිවිපාක නිසා කලකිරෙති. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කොෆි අන්නන් කනගාටුවෙන් මෙසේ පැවසුවේය. “වැරදි දේ කුමක්ද, කළ යුතු දෙය කුමක්ද කියා අප සැම දැන සිටියත්, මෙය ක්‍රියාවට නැඟීමට බොහෝ අවස්ථාවලදී අපි අපොහොසත් වන්නෙමු. මා සිතන විදිහට අප තුළ මහත් කලකිරීමක් ඇති කරන්නේ මේ තත්වයයි. ඇතැම් අවස්ථාවලදී මහ ලේකම්ගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියා කරන ලේකම් කාර්යාලයට යම් වෙනසක් කිරීමට බලයක් ලබා දුන්නත්, තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් එම කාර්යාලයට නැත. විශ්වාස කළ නොහැකි දේවල් සිදු වන අවස්ථාවලදී ලෝක ප්‍රජාවගේ හෘදය සාක්ෂියට ඒවා
දැනෙන්න සැලැස්වීමට අප කැමැත්තෙන් සිටියද, අතීතයේදී මුහුණ දීමට සිදු වූ දරුණු අද්දැකීම් නිසා කිසිම කෙනෙකු ඒ සඳහා පියවර ගැනීමට ඉදිරිපත් වන්නේ නැත.”ප්‍රතිසංස්කරණවාදීන් හට බහුතරයකගේ පිළිගැනීම අපේක්ෂා කළ නොහැක. මන්ද, ඔවුහු තම ඉලක්ක ලුහුබැඳ යෑමේදී සෙසු ජනයාව මහත් අපහසුතාවන්ට ලක් කරන නිසාය. “ප්‍රතිසංස්කරණවාදීන් සැමවිටම මහත් හිසරදයක් වී ඇත” කියා නවීන ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙකු මෙන්ම ප්‍රතිසංස්කරණවාදීන් පිළිබඳ විශේෂඥයෙකු වන යර්ගන් රොයිලෙකර් පැවසූ වදන් ඩි ට්සයිට් නමැති පුවත්පතෙහි උපුටා දක්වා තිබිණ. එපමණක්ද නොව, බොහෝ ප්‍රතිසංස්කරණවාදීන් නීතියට අවනත වෙමින් ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටියත්, තමන්ගේ ප්‍රතිසංස්කරණවල ප්‍රගතියක් නැති විට සමහරුන් තුළ නොඉවසිල්ලක් හටගනී. මෙවන් තත්වයන් යටතේ ප්‍රතිසංස්කරණ දියත් කරන කණ්ඩායමක් නීතිය නොතකමින් අවි අතට ගැනීමට ඉඩ ඇත.
ගෙවී ගිය වසරවල ලොව දස දෙස සිදු කරන ලද ප්‍රතිසංස්කරණ මගින් සමස්තයක් වශයෙන් මහජනයාට තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට මං සලසා තිබේද? එවන් දෙයක් සිදු වී තිබෙන බවක් පෙනෙන්න නැත. නිදසුනක් වශයෙන් ජර්මනියේ කරන ලද ජන මත විමසුමකට අනුව පසුගිය වසර 35කට ආසන්න කාලය පුරා ජීවිතයේ තෘප්තිමත්භාවයෙහි කිසිදු වෙනසක් සිදු වී නැත. ආගම ගැන කුමක් කිව හැකිද? නමස්කාරකයන් වැඩි කරගැනීමට ආගමික ප්‍රතිසංස්කරණවලට හැකි වී තිබේද? නමස්කාරකයන් ආගම නිසා පෙරට වඩා තෘප්තිමත් බවක් අද්දකිමින් සිටිනවාද? නැත. මන්ද සාක්ෂිවලින් පෙනී යන්නේ බටහිර ලෝකයේ ජනයා ආගම කෙරෙහි දක්වන උනන්දුව දිනෙන් දින අඩු වීගෙන යන බවයි. ස්ථාපිත ආගම් කෙරෙහි ජනයා ඇදී යෑම දිගින් දිගටම අඩු වෙමින් පවතී.
යේසුස් ක්‍රිස්තුස් ප්‍රතිසංස්කරණවාදියෙක් වීද?
යේසුස් ප්රතිසංස්කරණවාදියෙකුයයි ඇතමුන් පැවසිය හැකියි. එය සැබෑවක්ද? දෙවිගේ සැබෑ සේවකයෙකු වීමට කැමැත්තෙන් සිටින සෑම කෙනෙකුටම එම ප්රශ්නය වැදගත්ය. මන්ද දෙවිගේ සැබෑ සේවකයෙකු වන ඕනෑම කෙනෙකු ක්‍රිස්තුස්ගේ අඩි පාර කිට්ටුවෙන් අනුගමනය කළ යුතු නිසාය.—1 පේතෘස් 2:21, NW.
ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමේ හැකියාව යේසුස්ට තිබූ බවට කිසිම සැකයක් නැත. පරිපූර්ණ මිනිසෙකු වශයෙන් නව ක්‍රම සහ විධි හඳුන්වා දෙමින් පුළුල් ක්ෂේත්රයක් පුරා පැතිරී යන වෙනස්කම් හඳුන්වා දීමේ පුරෝගාමියෙකු වීමට ඔහුට හැකිකම තිබිණ. එහෙත් ඔහු එවකට ලෝකයේ සිටි දූෂිත නිලධාරීන්ව හා වංක ව්‍යාපාරිකයන්ව පහ කර දැමීමේ ව්‍යාපාරයක් දියත් කිරීමට තැත් කළේ නැත. කිසිම වරදක් නොකළ ඔහු ඉමහත් අයුක්තියකට ගොදුරු වුවද, වීදිවලට බැස අයුක්තියට එරෙහිව විරෝධතා ඇති කළේ නැත. ඇතැම් අවස්ථාවලදී යේසුස්ට ‘ඔහුගේ හිස තබන්න තැනක් තිබුණේ නැත.’ එහෙත් ඔහු නිවාස නැති අයගේ අවශ්‍යතා සපුරා දෙන මෙන් ආණ්ඩුවට බල කරන කණ්ඩායමක් පිහිටුවාගත්තේ නැත. ඇතමුන් මුදල් ගැන සැලකිලිමත් වූ අවස්ථාවකදී ඔහු පැහැදිලි කළේ “දිලින්දෝ ඔබ සමඟ සැමදාම සිටිති” කියාය. ලෝකයේ අරගලවලදී යේසුස් දිගටම මධ්‍යස්ථව සිටියේය.—මතෙව් 8:20, NW; 20:28; 26:11, NW; ලූක් 12:13, 14; යොහන් 6:14, 15; 18:36.
දිලිඳුකම, වංචාව හා අයුක්තිය යනාදි ගැටලු ක්‍රිස්තුස්ටද මානසිකව බලපෑ බව අමුතුවෙන් කිව යුතු නැත. මනුෂ්‍ය වර්ගයා සිටි අනුකම්පාසහගත තත්වය නිසා ඔහුගේ සිත ඉමහත් සේ සසල වූ බව බයිබලයේ සඳහන් වේ. (මාර්ක් 1:40, 41; 6:33, 34; 8:1, 2; ලූක් 7:13) එහෙත් ඔහු ගැටලුවලට සැබෑ විසඳුමක් ඉදිරිපත් කළේය. මිනිසාගේ ගැටලුවලට යේසුස් ඉදිරිපත් කළ විසඳුම වූයේ හුදෙක් ප්‍රතිසංස්කරණ සිදු කිරීම නොව, මිනිසාගේ කටයුතු පාලනය කරනු ලබන ආකාරයෙහි සම්පූර්ණ වෙනසකි. ඉදිරියේදී මෙම වෙනස ක්‍රියාත්මක කරනු ලබන්නේ මිනිසාගේ මැවුම්කරු විසින් පිහිටුවන ලද රාජ්‍යය මගිනි. ස්වර්ගයේ සිට පාලනය කරනු ලබන මෙම රාජ්‍යයේ රජ වශයෙන් පාලන කටයුතු මෙහෙයවනු ලබන්නේ යේසුස් ක්‍රිස්තුස් විසිනි. මේ ගැන ඊළඟ ලිපියේදී සාකච්ඡා කෙරේ.
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“බොහෝ අවස්ථාවලදී ප්‍රතිසංස්කරණවාදීන් ඔවුන්ගේ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල ගැන වැරදි නිගමනවලට එළඹීම ඉතිහාසයේ දැකිය හැකි පරස්පර විරෝධිතාවන්ගෙන් එකකි.”—ජෝන් ඩබ්. ගාඩ්නර්
[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“වැරදි දේ කුමක්ද, කළ යුතු දෙය කුමක්ද කියා අපි සැම දැන සිටියත්, මෙය ක්‍රියාවට නැඟීමට බොහෝ අවස්ථාවලදී අපි අපොහොසත් වන්නෙමු. මට හිතෙන්නේ අප තුළ මහත් කලකිරීමක් ඇති කරන්නේ මේ තත්වයයි.”—එජා මහ ලේකම් කොෆි අන්නන්
[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූර]
“පරිසරය රැකගැනීමට මගේ ජීවිතය පරදුවට තැබුවා”
හාන්ට්ස් නැවියෙක් ලෙස අවුරුදු 48ක් සේවය කළේය. ඉන් අවුරුදු 35කට වැඩි කාලයක් සේවය කළේ නැවක කපිතාන්වරයෙකු ලෙසයි. ඔහුගේ වෘත්තියේ අවසාන භාගයේදී ඔහු පාරිසරික සංවිධානයක් විසින් පාවිච්චි කරන ලද නැවක කපිතාන් ලෙස සේවය කළේය. ඔහු සිය අද්දැකීම් ගැන මෙසේ පැහැදිලි කරයි.
“මම හැමදාම විශ්වාස කළ දෙයක් තමයි, මිනිසුන් පරිසරයට හා සොබාදහමට ගෞරවයෙන් සැලකිය යුතු බව. පාරිසරික කණ්ඩායමකට අයත් නැවක කපිතාන් ලෙස සේවය කිරීමේ අවස්ථාව මට ලැබුණු විට, මම දෙවරක් සිතන්නේ නැතුව එය භාරගත්තා. අපේ කාර්යය වුණේ පරිසරයට එල්ල වන තර්ජන සොයාගෙන, ඒවා ප්‍රසිද්ධියට පත් කිරීමයි. අපි මුහුදේදී යම් වැඩපිළිවෙළක් සැලසුම් කළ විගසම මාධ්‍යවේදීන්වත් එයට සම්බන්ධ කරගත්තේ මහජනයාගේ අවධානය අපේ වැඩවලට ලබාගැනීම සඳහායි. විකිරණශීලී අපද්‍රව්‍ය හා විෂ සහිත දේවල් මුහුදට දැමීම නතර කරන්න උත්සාහ කරමින් අපි ගැඹුරු මුහුදට යාත්‍රා කළා. සීල් මසුන්ව හා උන්ගේ පැටවුන්ව මරා දැමීම නතර කිරීම සඳහාත් අපි උත්සාහ කළා.
“බියගුලු අයට නම් මේ වැඩේ කරන්න බැහැ. මම පරිසරය රැකගැනීමට මගේ ජීවිතය පරදුවට තැබුවා. අපි විරෝධතාවක් දැක්වූ එක් අවස්ථාවකදී නැවක නැංගුරමකට මං මාංචු දමාගත්තා. අන්තිමේදී සිදු වූයේ නැංගුරමත් එක්ක මාව මුහුදු පතුලට ඇද වැටීමයි. තවත් අවස්ථාවකදී මම සිටියේ විශාල නැවක් සමඟ වේගයෙන් පදවමින් තිබූ රබර් බෝට්ටුවකයි. නැවේ සිටිය කෙනෙක් ගොඩක් බර යකඩ පීප්පයක් අපේ රබර් බෝට්ටුවට අතහැරියා. අපේ බෝට්ටුව අනිත් පැත්ත පෙරළුණා. මට බරපතළ තුවාල සිදු වුණා.”
තමන් සේවය කරන සංවිධානයේ අරමුණු යහපත් වුවත් තමාගේ ජීවිතය පරදුවට තබා කටයුතු කරන්නේ පරිසරය කෙරෙහි දිගු කාලීනව එතරම් යහපත් බලපෑම් ඇති නොවන වෑයමක් සඳහා බව පසු කාලයේදී හාන්ට්ස් තේරුම්ගත්තේය. (දේශනාකාරයා 1:9) ඔහු එම පාරිසරික කණ්ඩායමෙන් ඉවත් වී වැඩි කලක් යන්න කලින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගෙන, පසුව සාක්ෂිකරුවෙකු ලෙස බව්තීස්ම විය. අද ඔහු පූර්ණ කාලීන දේවසේවකයෙකු ලෙස සේවය කරයි. “පරිසරය සුරැකීම සම්බන්ධයෙන් යථාර්ථවාදී බලාපොරොත්තු තැබිය හැකි එකම දෙය දෙවිගේ මෙසියානු රාජ්‍යය බව තේරුම්ගන්න බයිබලය මට උපකාරවත් වුණා” කියා ඔහු පවසයි.
[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඇය සටන් කළා
සාරා (ඇගේ සැබෑ නම නොවේ) ඉපදුණේ 1960 ගණන්වල මැදභාගයේදී ආසියාවේ පිහිටි රටකය. ඇගේ රටේ විප්ලවයක් ඇති කරමින් නව ආණ්ඩුවක් බලයට පැමිණියේ දේශපාලනික හා සමාජීය ප්‍රතිසංස්කරණයන් සිදු කරන බවට පොරොන්දු වෙමිනි. මුලදී, ඇගේ රටේ ජනතාව මෙම වෙනස ගැන සන්තෝෂ විය. එනමුත් අවුරුද්දක්වත් ගතවීමට කලින් එම නව ආණ්ඩුව කලින් තිබූ ආණ්ඩුව මෙන් එහි විරුද්ධවාදීන්ට හිංසා පීඩා කරන්න පටන්ගත්තේය. බොහෝදෙනෙක් මේ ගැන කලකිරීමට පත් වූ අතර සාරා නව ආණ්ඩුවට විරුද්ධව පිහිටුවාගත් සංවිධානයකට බැඳුණාය. ඇය මෙසේ පැහැදිලි කරයි.
“අපේ විපක්ෂ කණ්ඩායම රැස්වීම් පැවැත්වූ අවස්ථාවලදී අපි ඒවාට ප්‍රසිද්ධියේම විරුද්ධ වුණා. මම මේ රටේ අගනුවර වීදිවල පෝස්ටර් අලවමින් හා අත්පත්‍රිකා බෙදාහරිමින් සිටි වේලාවේදී හමුදාව මාව අත්අඩංගුවට ගත්තා. පස්සේ ඔවුන් මට යන්න හැරියා. අපේ කණ්ඩායමේ අනිත් අයට නම් ඒ අවස්ථාව ලැබුණේ නැහැ. මගේ මිතුරියන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන, පසුව මැරුවා. මගේ ජීවිතය අනතුරේ තිබුණු නිසා, තාත්තා කිව්වා පිටරටකට යන්න කියලා.”
සාරා යුරෝපයේ පිහිටි රටකට පැමිණීමෙන් පසු බයිබලය පාඩම් කර, යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු ලෙස බව්තීස්ම වූවාය. අද ඇය පූර්ණ කාලීනව දේවසේවයේ නිරත වෙයි. අතීතය දෙස ආපසු හැරී බලමින් සාරා මෙසේ පවසයි.
“මම මහත් ආශාවෙන් බලා සිටියේ යුක්තිය ඉටු වෙනවා දකින්නයි. අපේ සමාජයේ ගැටලුවලට විසඳුම් ලැබෙනවා දකින්නයි. අලුත් ආණ්ඩුව අපේ රටේ මේ ඉලක්කය ඉටු කිරීමට පටන්ගෙන තිබූ බවක් මම මුලදී දැක්කා. ඒත් ඒ ආණ්ඩුව මොන තරම් අන්තවාදී වුණාද කියනවා නම් එහි ඉලක්ක අමතක කර දමා, මහජනයාට හිංසා පීඩා කරන්න පටන්ගත්තා. මම අයත්ව සිටි විරෝධතා දියත් කළ කණ්ඩායමට අපේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය නොහැකි බවත් මම තේරුම්ගත්තා. (ගීතාවලිය 146:3, 4) මිනිසාගේ සියලුම ගැටලුවලට විසඳුම දෙවිගේ මෙසියානු රාජ්‍යය බව මම දැන් තේරුම්ගෙන තිබෙනවා.”
[7වන පිටුවේ පින්තූරය]
බර්ලින් තාප්පය 1989දී කඩා දමන ලදි
[8වන පිටුවේ පින්තූරය]
නමස්කාරකයන් වැඩි කරගැනීමට ආගමික ප්‍රතිසංස්කරණවලට හැකි වී තිබේද?
[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඉහළ දකුණ: U.S. Information Agency photo
[7වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කොෆි අන්නන්: UN/DPI photo by Evan Schneider (Feb97); පසුතලය: WHO/OXFAM