සමාව ලැබිය නොහැකි පාපයක් තිබේද?
බයිබලයේ දෘෂ්ටිකෝණය
සමාව ලැබිය නොහැකි පාපයක් තිබේද?
මරණයට වඩා දරුණු තවත් දඬුවමක් තිබේද? ඔව්, එය නම් යමෙකු සමාව ලැබිය නොහැකි පාපයක් කිරීම හේතුවෙන් නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් නොමැතිව ලබන මරණයයි. යේසුස් පැවසුවේ “කමා කරනු නොලබන” පාපයක් තිබෙන බවය.—මතෙව් 12:31.
කෙසේවුවත්, බයිබලයේ දෙවිව විස්තර කරන්නේ සමාව දෙන කෙනෙකු ලෙසයි. මිනිසුන් තරහව සිතේ තබාගෙන සමාව නොදී සිටීමට ප්‍රවණතාවක් දැක්විය හැකි වුවත් දෙවි “අතිශයින් කමා” වන දෙවි කෙනෙකි. (යෙසායා 55:7-9) ඇත්ත වශයෙන්ම, දෙවි විශාල පරිත්‍යාගයක් කරමින් තම ප්‍රේමණීය පුත්‍රයාව පොළොවට එව්වේ අපේ පාප මකා දැමීමට හැකි කරවන තරමටම වටිනා සමඟි කිරීමේ නොහොත් පව් ආවරණය කිරීමේ පූජාවක් වීමටය.—යොහන් 3:16, 17; ක්‍රියා 3:19; 1 යොහන් 2:1, 2, NW.
දෙවි නියම කරගත් කාලයේදී, බරපතළ පාප සම්බන්ධයෙන් වරදකාරී හැඟීම් ඇති බොහෝදෙනෙකු නැවත නැඟිටුවනු ලබන අතර ඔවුන්ගේ අතීත වැරදි සම්බන්ධයෙන් තවදුරටත් ගණන් ගැනීමක් නොකරනු ඇත. (ක්‍රියා 24:15; රෝම 6:23) ඇත්තවශයෙන්ම, සමාව ලැබිය නොහැකි පාප හැර අන් ‘සෑම පාපයකටම සහ අපහාස කිරීමකටම සමාව ලැබේ’ කියා යේසුස් පැවසුවේය. (මතෙව් 12:31, NW) එබැවින් ඔබ මෙසේ කල්පනා කළ හැක. ‘දෙවි විසින් සමාව නොදෙන තරමටම දරුණු විය හැක්කේ කුමනාකාරයේ පාපයක්ද?’
පසුතැවිලි නොවන තත්වයකට පත් වන විට
යේසුස්ගේ අනතුරු ඇඟවීමෙන් අදහස් කළේ “ශුද්ධාත්මයට විරුද්ධව” ඕනෑකමින්ම හා හිතා මතාම කරන ‘අපහාසයයි.’ මෙවැනි පාපයකට සමාව නොලැබේ. ඔහු තවදුරටත් පැවසුවේ “දැන් පවතින ක්‍රමයේවත් පැමිණෙන්න තිබෙන ක්‍රමයේවත් ඔහුට සමාව නොලැබේ” කියාය. (මතෙව් 12:31, 32, NW) එවැනි පාපයක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වන තැනැත්තෙකුව නැවත නැඟිටුවනු නොලැබේ.
ආත්මයට විරුද්ධව කරන අපහාසය කුමක්ද? එය හෘදයෙන්ම හටගන්නා නපුරු සිතුවිල්ලක් හා චේතනාවක් විය හැක. මෙලෙස කරනු ලබන පාපයේ බරපතළකම වැඩි වන්නේ, දෙවිගේ ශුද්ධාත්මයට විරුද්ධව සැලසුම් කරන ලද චේතනාවක් ඒ පිටුපස තිබෙන නිසාය. නිදසුනක් වශයෙන්, ලෝකයේ ඇතැම් ස්ථානවල නීතිය මගින් මිනී මැරීම කොටස් දෙකකට බෙදා තිබේ. එනම් හිතා මතා කරන මිනී මැරුම සහ සාවධ්‍ය මිනිස් ඝාතනය වශයෙනි. එය නිගමනය කරන්නේ චේතනාව සහ මරණය සිදු කළ ක්‍රමය මත පදනම්වයි. මරණීය දණ්ඩනය (මරණය) සීමා වන්නේ හිතා මතා හෝ කලින් සැලසුම් කරන ලද මිනී මැරීම් සඳහාය.
ප්‍රේරිත පාවුල් කලින් නින්දා කරන්නෙකුව සිටි නමුත් මෙසේ පැවසීය. ‘නොදන්නාකමින් එසේ කළ බැවින්, දයාව ලැබුවෙමි.’ (1 තිමෝති 1:13) ශුද්ධාත්මයට විරුද්ධව කරන පාපය යනු ඕනෑකමින්ම ඊට එරෙහි වීමය. එයට ඇතුළත් වන්නේ වෙනස් නොවන තරමටම දැඩි කරගන්නාවූ දුෂ්ට හෘද තත්වයකි.
පාවුල් පැහැදිලිවම මෙවැනි පාපයකට යොමු දැක්වුවේ මෙසේ ලියමින්ය. “වරක් ආලෝක කරනු ලැබුවාවූ, ස්වර්ගීය දීමනාවේ රසය වින්දාවූ, ශුද්ධාත්මයට පංගුකාරයන් වුණාවූ, දෙවියන්ගේ යහපත් වචනයේද මතු පැමිණෙන කාලයේ බලවලද රසය බැලුවාවූ තැනැත්තන් වැටී ගිය කල්හි ඔවුන් නැවත පසුතැවිල්ලට පමුණුවන්ට නුපුළුවන.” (හෙබ්‍රෙව් 6:4-6) ප්‍රේරිතවරයා මෙසේද පැවසීය. “සත්‍යය ගැන නිවැරදි දැනුම ලැබුවායින් පසු, අපි ඕනෑකමින්ම පුරුද්දක් ලෙස පව් කරමු නම්, ඒ පාප උදෙසා පූජාවක් තවත් ඉතිරිව නැත.”—හෙබ්‍රෙව් 10:26, NW.
සමාව ලැබිය නොහැකි පාපය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමට යේසුස් පෙලඹුණේ ඔහුගේ කාලයේදී සිටි ඇතැම් ආගමික නායකයන්ගේ හැසිරීම නිසාය. එහෙත් ඔවුන් ඔහුගේ අවවාදය පිළිපැද්දේ නැත. ඇත්තෙන්ම ඔවුන් කළේ ඔහුව මරා දැමීමය. ශුද්ධාත්මය මගින් යම් ප්රාතිහාර්යමය දෙයක් සිදු කර ඇති බවට ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂියක් පසු කලෙක ඔවුන්ගේ සවනට වැකිණ. යේසුස්ව මළවුන්ගෙන් නැඟිටුවා ඇති බව ඔවුන්ට සැල විණ. යේසුස් ක්‍රිස්තුස් බව පැහැදිලි විය. එහෙත්, රෝම සොල්දාදුවන්ට ගෙවීමක් කර යේසුස්ගේ නැවත නැඟිටීම ගැන බොරු ගෙතීම තුළින් ඔවුහු දුෂ්ට ලෙස ශුද්ධාත්මයට විරුද්ධව ක්‍රියා කළහ.—මතෙව් 28:11-15.
සැබෑ ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟවීමක්
සැබෑ ක්‍රිස්තියානීන් සමාව ලැබිය නොහැකි පාපය පිළිබඳ අනතුරු ඇඟවීම හිතට ගත යුත්තේ මන්ද? දෙවි ගැන හා ඔහුගේ ආත්මයේ ක්‍රියාකාරිත්වය ගැන අපට හරි දැනුමක් තිබුණත් දුෂ්ට හෘදයක් ඇති විය හැකි බැවිනි. (හෙබ්‍රෙව් 3:12) අපට මෙය කෙදිනකවත් සිදු විය නොහැකියි කියා සිතීමෙන් වැළකීමට අප පරෙස්සම් විය යුතුය. යූදස් ස්කාරියොත් ගැන සිතා බලන්න. ඔහු කලක් යේසුස්ගේ විශ්වාසවන්ත අනුගාමිකයෙකුව සිටියේය. ඔහුව ප්‍රේරිතයන් 12දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබුණු බැවින් ඔහු තුළ හොඳ ගුණාංග තිබුණා විය යුතුය. එහෙත් යම් අවස්ථාවකදී ඔහු දුෂ්ට සිතුවිලි හා ආශාවන්ට වැඩෙන්න ඉඩහැරිය අතර අවසානයේදී ඒවා මගින් ඔහුව පාලනය කරනු ලැබීය. යේසුස්ගේ විශ්මිත ප්රාතිහාර්යයන් ඇසින් දුටු අවදියකයි ඔහු මුදල් සොරකම් කළේ. ඉන්පසු, ඔහු වරදක් කරන බව දැන දැනම මුදල් වෙනුවෙන් දෙවිගේ පුත්‍රයාව පාවා දුන්නේය.
යම් කලක විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ව සිටි ඇතැම් අය වුවමනාවෙන්ම දෙවිගෙන් ඈත් වී තිබෙන්නේ සමහරවිට තරහව, උඩඟුකම හෝ කෑදරකම නිසා වන අතර දැන් ඔවුන් දෙවිගේ ආත්මයට එරෙහිව නැඟී සිටින ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන්නන් වී ඇත. ආත්මය විසින් කරනු ලබන දේ පැහැදිලිව දුටුවත් එයට ඔවුහු කැමැත්තෙන්ම විරුද්ධ වෙති. මෙම පුද්ගලයන් සමාව ලැබිය නොහැකි පාප කර තිබේද? අවසාන විනිසුරු යෙහෝවාය.—රෝම 14:12.
අන් අයව විනිශ්චයට ලක් කරනවාට වඩා, අපේ හෘද ක්‍රම ක්‍රමයෙන් දැඩි විය හැකි රහසිගත පාප කිරීමෙන් වැළකී සිටීමට අප පෞද්ගලික වෑයමක් දැරීම සුදුසුය. (එපීස 4:30) එමෙන්ම අප පසුතැවිලි වනවා නම් අප කර ඇති බරපතළ පාපවලට පවා යෙහෝවා අපට විශාල වශයෙන් සමාව දෙනු ඇතැයි යන කාරණයෙන් අපට සැනසීමක් ලැබේ.—යෙසායා 1:18, 19.
[12, 13වන පිටුවේ පින්තූරය]
සමහර ඵරිසිවරු සමාව ලැබිය නොහැකි පාප සිදු කළහ