Skip to content

පටුනට යන්න

දෙවි අපේ දුර්වලකම් නොසලකාහරියිද?

දෙවි අපේ දුර්වලකම් නොසලකාහරියිද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

දෙවි අපේ දුර්වලකම් නොසලකාහරියිද?

‘මම දුෂ්ටයෙක් නොවෙමි. නරක පුරුදු අත්හැරීමට මා දැඩි වෙහෙසක් දරා ඇති මුත් මම අතිශයින්ම දුර්වලයෙක්මි.’

ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට මෙලෙසම හැඟේද? බොහෝදෙනෙකුගේ නිගමනය වන්නේ මුල්බැසගත් සදාචාරමය දුර්වලකම් ජයගැනීමට ඇත්තෙන්ම නොහැකි බවය. සමහරෙක් මත්පැන්, දුම් වැටි හෝ මත්ද්‍රව්‍ය මත රඳා සිටිති. තවත් බොහෝදෙනෙකුගේ ජීවිතවල රජයන්නේ ගිජුකමය. එමෙන්ම තමන් ගොඩ ආ නොහැකි සේ ලිංගිකත්වයට ඇබ්බැහි වී ඇතැයි පවසමින් අනිසි ලිංගික හැසිරීමට නැඹුරු වී ඇති අයද සිටිති.

මතෙව් 26:41ට අනුව, යේසුස් කාරුණිකව පෙන්නුම් කළේ මිනිසුන්ගේ දුර්වලකම් ගැන තමා හොඳින් අවබෝධ කරගෙන සිටින බවය. a ඇරත්, යෙහෝවා දෙවි හා යේසුස් ඇත්තෙන්ම මිනිසුන් කෙරෙහි දයාව දක්වන බව මුළු බයිබල් වාර්තාවෙන්ම තහවුරු වෙයි. (ගීතාවලිය 103:8, 9) එහෙත් දෙවි අපේ සියලු දෝෂයන් නොසලකාහරියි කියා අපේක්ෂා කිරීමට අපට හැකිද?

මෝසෙස් සහ දාවිත්

මෝසෙස්ගේ වාර්තාව සලකා බලන්න. ඔහු “පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක්” ලෙස ප්‍රසිද්ධව සිටි අතර එම යහපත් ගුණාංගය පවත්වාගැනීමට ඔහු වෙර දැරුවේය. (ගණන් කථාව 12:3) වනාන්තරයේ ගමන් කළ අවස්ථාවේ ඊශ්‍රායෙල්වරුන් බොහෝවිට අසාධාරණව ක්‍රියා කළ අතර දෙවි හා ඔහුගේ නියෝජිතයන්ට ගෞරව කළේද නැත. එම මුළු කාලය පුරාම මෝසෙස් යටහත් පහත්ව දිව්‍යමය මඟ පෙන්වීම පැතුවේය.—ගණන් කථාව 16:12-14, 28-30.

කෙසේවුවත්, දිගු වෙහෙසකර ගමන අවසන් වෙත්ම ඔහු මුළු ජාතිය ඉදිරියේදීම සිය කෝපය පිට කරමින් දෙවිගේ උපදෙස්වලට පිටුපෑවේය. දෙවි ඔහුට සමාව දුන් නමුත් ඔහු එම සිද්ධිය නොසලකාහැරියාද? නැත. ඔහු මෝසෙස්ට මෙසේ පැවසුවේය. “නුඹලා ඊශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි මට ගෞරව පැමිණෙන ලෙස මා කෙරෙහි විශ්වාස නොකළ බැවින් මේ සභාවට මා විසින් දුන් දේශයට නුඹලා ඔවුන් නොපමුණුවන්නහුයයි කීවේය.” මෝසෙස් පොරොන්දු දේශයට ඇතුල් වූයේ නැත. එම වරප්‍රසාදය ලබාගැනීමට වසර 40ක් පුරා වෙහෙස දැරුවත් ඔහු අතින් සිදු වූ බරපතළ වරදක් නිසා ඔහුට ලැබෙන්න තිබූ එම ආශීර්වාදය අහිමි විය.—ගණන් කථාව 20:7-12.

දුර්වලකමක් තිබූ තවත් දේවභක්තික මිනිසෙකි දාවිත් රජ. එක්තරා අවස්ථාවකදී ඔහු රාගයට ඉඩහැර තවත් මිනිසෙකුගේ භාර්යාවක් සමඟ ලිංගික සබඳකම් පැවැත්විය. ඉන්පසු ඔහු එම වරද වැසීමට වෑයම් කරමින් ඇගේ ස්වාමිපුරුෂයාව මරා දැමුවේය. (2 සාමුවෙල් 11:2-27) පසු කලෙක, ඔහු සිය අපරාධ ගැන දැඩි ලෙස පසුතැවිලි වූ නිසා දෙවි ඔහුට සමාව දුණි. එහෙත් දාවිත් පවුලක්ම විනාශ කර තිබූ බැවින් ඉන්පසු ඇති වූ වේදනාකාරී විපත්තිවලින් දෙවි ඔහුව ආරක්ෂා කළේ නැත. ඔහුගේ බිළිඳු දරුවා ලෙඩ වී අසාධ්‍ය වූ බැවින් තම දරුවා ගැන දාවිත් කොතෙකුත් යාච්ඤා කළ නමුදු යෙහෝවා ඊට මැදිහත් නොවීය. දරුවා මියගිය අතර පසුව දාවිත්ගේ ගෘහයේ නොකඩවාම ඛේදජනක සිද්ධීන් රැසක් සිදු විය. (2 සාමුවෙල් 12:13-18; 18:33) සදාචාරයෙන් පිට පැනීම හේතුවෙන් දාවිත්ට විශාල පාඩුවක් විඳීමට සිදු විය.

මෙම ආදර්ශවලින් පෙන්වන්නේ මිනිසුන් සිය හැසිරීම සම්බන්ධයෙන් දෙවිට වගකිව යුතු බවය. ඔහුට සේවය කිරීමට කැමැත්තක් දක්වන්නන් තමන්ගේ ආත්මිකව දුර්වල වී ඇති පැති හරිගස්වාගෙන වඩාත් හොඳ ක්‍රිස්තියානීන් විය යුතුය. පළමු සියවසේදී බොහෝදෙනෙක් එසේ කළහ.

පව්කාර ක්‍රියාවලින් මිදීමට සටනක යෙදී

ආදර්ශවත් ක්‍රිස්තියානි ජීවිතයක් ගත කළ කෙනෙකු වශයෙන් ප්‍රේරිත පාවුල්ව සැලකීම සුදුසුය. එහෙත් ඔහුගේ දුර්වලකම්වලට එරෙහිව නිරතුරු සටනක යෙදීමට ඔහුට සිදු වූ බව ඔබ දන්නවාද? රෝම 7:18-25හි මෙම සටන නැතහොත් 23වන පදයට අනුව ‘යුද්ධය’ පිළිබඳව පැහැදිලිව විස්තර කෙරේ. පාපය අප පසුපස හඹා එන බව දැන සිටි නිසා පාවුල් අත්නෑර සටනක යෙදුණි.—1 කොරින්ති 9:26, 27.

පුරාණ කොරින්ති සභාවේ සිටි ඇතැම් ක්‍රිස්තියානි සාමාජිකයන් පුරුද්දක් ලෙස වැරදි කරමින් සිටි කාලයක් තිබුණි. බයිබලයේ පවසන්නේ ඔවුන් ‘වේශ්‍යාකම් කරන්නන්, රූප වඳින්නන්, පරදාර සේවනයේ යෙදෙන්නන්, පිරිමින් සමඟ කාම සේවනයේ යෙදෙන පිරිමින්, සොරුන්, තණ්හා ඇති අය, බේබද්දන්ව’ සිටි බවයි. එහෙත් ඔවුන්ව “සෝදා පවිත්‍ර කර” ඇති බවද එහි පවසයි. (1 කොරින්ති 6:9-11, NW) කෙසේද? නිවැරදි දැනුම, ක්‍රිස්තියානි ඇසුර හා දෙවිගේ ආත්මය මගින් ඔවුන්ගේ දුෂ්ට ක්‍රියා නතර කිරීමට අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබුණි. අවසානයේදී, ඔවුන් ධර්මිෂ්ඨ බව දෙවි විසින් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලැබීය. ඇත්තෙන්ම, දෙවි ඔවුන්ට සමාව දීම හේතුවෙන් පිරිසිදු හෘදය සාක්ෂියක් ඇති කරගැනීමට ඔවුන්ට හැකි විය.—ක්‍රියා 2:38; 3:19, 20.

පාවුල් සහ කොරින්තියේ ක්‍රිස්තියානීන් තම පව්කාර නැඹුරුවාවන් සුළු කොට දැක්වීමට වෑයම් කළේ නැත. ඒ වෙනුවට, ඔවුහු ඒවා සමඟ සටන් කොට දෙවිගේ උපකාරයෙන් ජය ලැබූහ. පළමු සියවසේ සිටි එම නමස්කාරකයන් කුමන වාතාවරණයක සිටියත්, ඔවුන්ට මොන අසම්පූර්ණ නැඹුරුවාවක් තිබුණත් ඔවුහු ප්‍රශංසනීය ලෙස සදාචාරය පවත්වාගත්හ. අප ගැන කුමක් කිව හැකිද?

අපේ දුර්වලකම්වලට එරෙහිව අප සටන් කරනවා දැකීම දෙවිගේ අපේක්ෂාවයි

දුර්වලකමක් සමඟ පොරබැදීම යන්නෙන් අදහස් කරන්නේ එය සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීම නොවේ. අපේ අසම්පූර්ණත්වයට අප යටත් නොවිය යුතු වුවත් අපට එය සහමුළින්ම නැති කර දැමිය නොහැක. එමගින් දුර්වලකම් බිහි කරන අතර ඒවා දිගටම පැවතිය හැක. එහෙත් අප අපේ දුර්වලකම්වලට ඉඩ නොදිය යුතුය. (ගීතාවලිය 119:11) මෙය එතරම් වැදගත් වන්නේ මන්ද?

එය වැදගත් වන්නේ, නරක හැසිරීම සඳහා අසම්පූර්ණත්වය නිදහසට කරුණක් කරගැනීමට දෙවි ඉඩ නොහරින බැවිනි. (යූද් 4) යෙහෝවා කැමති මිනිසුන් පවිත්‍රව සිට හොඳ සදාචාර ජීවිතයක් ගත කරනවා දැකීමටයි. බයිබලය මෙසේ පවසයි. ‘නපුරට පිළිකුල් කරන්න.’ (රෝම 12:9) දෙවි එවැනි ස්ථාවරයක සිටින්නේ මන්ද?

එක් හේතුවක් නම් දුර්වලකම්වලට ඉඩ දීම හානිදායක වීමය. “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපාගන්නේය” කියා බයිබලයේ ගලාති 6:7හි පවසයි. ඇබ්බැහි වීම්වලට, ගිජුකමට හා අසංවරකමට නැඹුරු වන අය බොහෝවිට නෙළාගන්නේ හානිදායක අස්වැන්නකි. එහෙත් ඊටත් වඩා වැදගත් හේතුවක් තිබේ.

පාපය දෙවිව අසතුටු කරවන්නකි. එය අප හා යෙහෝවා අතර ‘වෙන් කිරීමක්’ සිදු කරයි. (යෙසායා 59:2) පාපයේ ගැලී සිටින්නන්ට ඔහුගේ අනුමැතිය ලබාගත නොහැකි බැවින්, ඔහු ඔවුන්ට මෙවැනි උපදෙසක් දෙයි. “නුඹලා සෝදාගෙන පවිත්‍ර වෙන්න. . . . නපුරුකම් කිරීමෙන් වැළකෙන්න.”—යෙසායා 1:16.

අපේ මැවුම්කරු ප්‍රේමණීයය; දයාවන්තය. “සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට ඔහු [නොකැමැතිය].” (2 පේතෘස් 3:9) දුර්වලකම්වලට නිරතුරුව ඉඩ දීමෙන් සිදු වන්නේ දෙවිගේ අනුග්‍රහය ලැබීමට නොහැකි වීමය. දෙවි අපේ දුර්වලකම් නොසලකා නොහරින නිසා, අපද අපේ දුර්වලකම් නොසලකා නොහැරිය යුතුය.

[පාදසටහන]

a “සිත නම් කැමතිය, නමුත් මාංසය දුර්වලය” [NW] කියා යේසුස් පැවසුවේය.