Skip to content

පටුනට යන්න

පොලිස් ආරක්ෂාව—බලාපොරොත්තු හා විවිධාකාර භය

පොලිස් ආරක්ෂාව—බලාපොරොත්තු හා විවිධාකාර භය

පොලිස් ආරක්ෂාව—බලාපොරොත්තු හා විවිධාකාර භය

එංගලන්තයේ 19වන සියවසේ විසූ බොහෝදෙනෙක් නිල ඇඳුමෙන් සැරසුණු වෘත්තිමය පොලිස් බලකායක් හඳුන්වා දීමට ඉදිරිපත් වූ යෝජනා ප්‍රතික්ෂේප කළා. මධ්‍යම ආණ්ඩුව යටතේ අවි සන්නද්ධ බලකායක් තිබුණොත් ඔවුන්ගේ නිදහසට තර්ජනයක් එල්ල වේවි කියා ඔවුන් තුළ බියක් හටගෙන තිබුණා. අවසානයේදී ප්‍රංශයේ ෂොසෙෆ් ෆූෂේ යටතේ පැවති ඔත්තු සපයන රහස් පොලිසිය හා සමාන පොලිස් රාජ්‍යයක් බිහි වෙයි කියා ඇතමෙක් තම බිය සැක පළ කළා. කොහොම නමුත්, එකිනෙකාට තම තමාගෙන්ම අසන්න සිදු වූ වැදගත් ප්‍රශ්නය වූයේ, ‘පොලිස් බලකායක් නොතිබුණොත් අපට කුමක් සිදු වේවිද’ යන්නයි.

ඒ වන විට ලන්ඩනය ලෝකයේ විශාලතම මෙන්ම ධනවත්ම නගරය වූ අතර එහි සාපරාධී ක්‍රියාවන් උත්සන්න වීම හේතුවෙන් ව්‍යාපාරවලට විශාල තර්ජනයක් එල්ල වෙමින් තිබුණා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ රාත්‍රි මුරකරුවන්වත් වෘත්තියක් වශයෙන් සොරුන් ඇල්ලූ අයවත් (Bow Street Runners) මිනිසුන්ව හා දේපළ ආරක්ෂා කිරීමට සමත් වුණේ නැහැ. එංගලන්ත පොලිසිය පිළිබඳ දේශපාලනික හා සමාජීය ඉතිහාසයක් (සිංහලෙන් නොමැත) නම් වූ තම කෘතියේ ක්ලයිව් එම්ස්ලි මෙසේ ලිව්වා. “අපරාධ, ආරවුල් වැනි දේවල් ශිෂ්ටසම්පන්න සමාජයක් තුළ නොපැවතිය යුතුයි යන මතය ජනයා අතර වඩ වඩාත් ප්‍රචලිත වුණා.” ඒ නිසා අවසානයේදී විසඳුමක් වශයෙන් ලන්ඩනයේ වැසියන් ශ්‍රීමත් රොබට් පීල්ගේ a අධීක්ෂණය යටතේ වෘත්තිමය පොලිස් බලකායක් සංවිධානය කිරීමට එකඟ වුණා. වර්ෂ 1829 සැප්තැම්බර් මාසයේදී අගනුවර පොලිසියට අයත් නිල ඇඳුමෙන් සැරසුණු කොස්තාපල්වරු තමන්ගේ බලප්‍රදේශවල මුර සංචාරයේ යෙදෙන්න පටන්ගත්තා.

පොලිස් නිලධාරීන්ගේ නවීන දින ඉතිහාසය පටන්ගත් දා සිට ඔවුන් පිළිබඳව මිනිසුන්ගේ සිත් තුළ බලාපොරොත්තු ජනිත වී ඇත්තාක් මෙන්ම බියද පහළ වී තිබෙනවා. පොලිසිය මාර්ගයෙන් තමන්ගේ ආරක්ෂාව සලසාගත හැකියයි ඔවුන් බලාපොරොත්තු වන අතරතුර පොලිසිය තම බලය අනිසි ලෙස යොදාගනියි යන බියද ඔවුන් තුළ හටගෙන තිබෙනවා.

අමෙරිකාවේ පොලිස් නිලධාරීන්ගේ ආරම්භය

එක්සත් ජනපදයේ වෘත්තිමය පොලිස් බලකායක් මුලින්ම පිහිටෙව්වේ නිව් යෝක් නගරයේ. එම නගරයේ ධනය වැඩිවීමත් සමඟම සාපරාධී ක්‍රියාවල වර්ධනයක්ද දක්නට ලැබුණා. එක්දහස් අටසිය තිස්ගණන් වන විට අඩු මුදලකට ලබාගත හැකි සුප්‍රසිද්ධ පුවත්පත් (ද පෙනි ප්‍රෙස්) ප්‍රකාශයට පත් කිරීමට පටන්ගත්තා. ඕනෑම පවුලකට කියවීමට පුළුවන් වුණ එම පුවත්පත්වල බිහිසුණු සාපරාධී ක්‍රියා පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සපයා තිබුණා. වැඩි කල් යෑමට පෙර මෙම සාපරාධී ක්‍රියා පිළිබඳව මහජනයා අතර මහත් ආන්දෝලනයක් ඇති වූ නිසා 1845දී නිව් යෝක් නගරයේද පොලිස් බලකායක් සංවිධානය කරනු ලැබුවා. එදා සිට අද දක්වාම නිව් යෝක්හි මෙන්ම ලන්ඩනයෙහි වැසියන් එකිනෙකාගේ පොලිස් බලකායන් ගැන දැඩි උනන්දුවක් දක්වා තිබෙනවා.

ආණ්ඩු බලය යටතේ අවි සන්නද්ධ බලකායක් තිබීම ගැන අමෙරිකානු ජාතිකයන් තුළද බ්‍රිතාන්‍ය ජාතිකයන් තුළ මෙන් බියක් හටගත්තා. එහෙත් මෙම ජාතීන් දෙක ඉදිරිපත් කළේ එකිනෙකට වෙනස් වූ විසඳුම් දෙකක්. එංගලන්ත ජාතිකයන් තම පොලිස් නිලධාරීන් උස් වූ තොප්පි හා තද නිල් පැහැති නිල ඇඳුමෙන් සැරසුණු ආචාරශීලී ගතිගුණැති අය විය යුතුයයි තීරණය කළා. ඔවුන්ගේ එකම ආයුධය වුණේ නිල ඇඳුමේ සඟවාගත් ඉතා කෙටි වූ බැටන් පොල්ලක් පමණයි. අද පවා බ්‍රිතාන්‍යයේ පොලිස් භටයන් හදිසි අවස්ථාවකදී මිසක තුවක්කු රැගෙන නොයයි. කොහොම නමුත් එක් වාර්තාවක පවසා තිබුණ පරිදි “නුදුරු අනාගතයේදී බ්‍රිතාන්‍ය පොලිසිය අවි සන්නද්ධ බලකායක් බවට පත්වීම . . . වැළැක්විය නොහැකියි යන අදහස ජනයා අතර පැතිරෙමින් පවතිනවා.”

රජය බලය අනිසි ලෙස භාවිත කරයි යන බිය නිසා එක්සත් ජනපදය වෙනස් ආකාරයේ පියවරක් ගනිමින් එ.ජ. ව්‍යවස්ථාවට දෙවන සංශෝධනයක් එකතු කරනු ලැබුවා. “අවි තමන් සතු කරගැනීමට හා ඒවා රැගෙන යෑමට ජනයා සතු අයිතිය” එමගින් සහතික කරනු ලැබූ නිසා අත් තුවක්කු රැගෙන යෑමට පොලිස් නිලධාරීන්ටත් වුවමනා වුණා. තුවක්කු භාවිතය නිසා කාලයාගේ ඇවෑමෙන් වීථිවල පොලිස් භටයන් හා සොරුන් අතර වෙඩි හුවමාරු කරගැනීම් ඇති වෙන්න පටන්ගත්තා. ඇත්තෙන්ම එය කොතරම් සාමාන්‍ය දෙයක් බවට පත් වුණාද කිව්වොත් එවැනි වීථි සටන් පිළිබඳව අමෙරිකානු පොලිසිය ප්‍රසිද්ධත්වයක් උසුලන්න පටන්ගත්තා. එක්සත් ජනපදයේ මුල්ම පොලිස් බලකාය පිහිටෙවූ කාලයේදී එහි පැවතියේ ලන්ඩනයට වඩා හාත්පසින්ම වෙනස් සමාජයක්. එය තුවක්කු රැගෙන යෑම පිළිබඳව අමෙරිකානුවන් දැරූ ආකල්පයට බලපෑ තවත් හේතුවක් කියා පැවසිය හැකියි. ජනගහනය හතු පිපෙන්නාක් මෙන් වැඩිවීමට පටන්ගත් නිසා නිව් යෝක්හි පැවතියේ ඉතාම අවුල්සහගත තත්වයක්. ප්‍රධාන වශයෙන් යුරෝපීය සංක්‍රමණිකයන් මෙන්ම 1861-65 දක්වා පැවති සිවිල් යුද්ධය පටන්ගත් පසු අප්‍රිකානු අමෙරිකානු සංක්‍රමණිකයන්ගේ පැමිණීමත් සමඟ ජනවාර්ගික අරගල හටගත්තා. මේ හේතුවෙන් පෙරට වඩා දැඩි පියවර ගත යුතු බව පොලිස් නිලධාරීන්ට හැඟුණා.

එමනිසා ජනයා බොහෝවිට පොලිස් නිලධාරීන්ව සැලකුවේ තමන්ට තර්ජනයක් එල්ල විය හැකි අය හැටියටයි. කොහොම වුණත් පොලිසියේ සේවාවන් තමන්ට අත්‍යවශ්‍ය වූ බව ජනයාට අකමැත්තෙන් වුණත් පිළිගන්න සිද්ධ වුණා. පොලිසිය ඉඳ හිට සදාචාරමය සීමාවලින් පිට පැන්නත් ජනයා ඒවා දරාගෙන සිටියේ යම් තාක් දුරකට විධිමත් හා සුරක්ෂිත සමාජයක් බිහි වේවි යන බලාපොරොත්තුව ඇතුවයි. කොහොම නමුත්, ලෝකයේ වෙනත් ප්‍රදේශවල තවත් ආකාරයේ පොලිස් බලකායක් බිහි වෙන්න පටන්ගත්තා.

ත්‍රාසය උපදවන පොලිස් නිලධාරීන්

දහනවවන සියවසේ මුල් අවධියේදී, එනම් නූතන පොලිස් බලකායන් බාල අවධියේ පැවති කාලයේදී ලෝකයේ විශාල ප්‍රදේශයක් යටත් කරගෙන සිටියේ යුරෝපීය අධිරාජ්‍යයන් විසින්. යුරෝපීය පොලිස් නිලධාරීන්ව බොහෝදුරට සංවිධානය කරනු ලැබුවේ ජනයාගේ ආරක්ෂාව සඳහා නොවෙයි පාලකයන්ගේ ආරක්ෂාව සඳහායි. තම මව්බිම තුළ සන්නද්ධ වූ හමුදාමය පොලිස් නිලධාරීන් සිටීම ගැන අප්‍රසාදය පළ කර තිබූ බ්‍රිතාන්‍යයන් පවා යටත් විජිතයන් තම අණසක යටතේ තබාගැනීමේදී එවන් නිලධාරීන්ව යොදාගැනීමට පසුබට වූ බවක් නම් නොපෙනෙයි. ලෝ වටා පොලිස් සේවය (සිංහලෙන් නොමැත) නම් තම පොතේ රොබ් මෝබී පවසන්නේ, “පොලිසියේ කෲරත්වය, වංචනික කටයුතු, ප්‍රචණ්ඩකාරිත්වය, මිනිමැරුම් හා බලය අනිසි ලෙස යොදාගැනීම යටත් විජිත ඉතිහාසයේ සෑම දශකයකම පාහේ කැපීපෙනෙන ලක්ෂණයක් වුණා” කියායි. යටත් විජිත පොලිස් සේවය යම් ප්‍රයෝජනද අත් කර දුන් බව පැහැදිලි කළ පසු එම පොතේ තවදුරටත් පවසා තිබුණේ, “පොලිස් බලකායක් මගින් කෙරෙන්නේ මහජන සේවයක් නොව රජයේ පාලන බලය මෙහෙයවීමයි යන අදහස ලෝ පතළ කරවීමට” එම පොලිස් සේවය සමත් වූ බවයි.

විප්ලවයක් ඇති වේවි යන බිය හේතුකොටගෙන ඒකාධිපති රාජ්‍යයන් තම වැසියන් පිළිබඳව ඔත්තු බලන්න නිතරම පාහේ රහස් පොලිසියේ සහය පැතුවා. එවන් පොලිස් නිලධාරීන් තොරතුරු ලබාගන්නේ නොයෙක් ආකාරයේ වධ හිංසා කිරීමෙන් හා විප්ලවකාරීන් කියා සැක කරන පුද්ගලයන්ව ඝාතනය කිරීමෙන් හෝ නඩු විභාගයක් නොමැතිව ඔවුන්ව අත්අඩංගුවට ගැනීමෙන්. නාට්සිවරුන්ට ගෙස්ටාපෝ, සෝවියට් ජනරජයට කේ.ජී.බී. හා නැඟෙනහිර ජර්මනියට ෂ්ටාසි නම් වූ රහස් පොලිස් බලකායන් තිබුණා. දශලක්ෂ 16ක් පමණ වූ ජනගහනයක් පාලනය කිරීමට ෂ්ටාසි පොලිසිය නිලධාරීන් 1,00,000ක් හා සමහරවිට ඔත්තුකාරයන් ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් සේවයට බඳවාගැනීම පුදුම දනවන්නක්. ෂ්ටාසි නිලධාරීන් පැය විසිහතර පුරාම මිනිසුන්ගේ දුරකථන ඇමතුම්වලට හොරෙන් සවන් දුන් අතර මුළු ජනගහනයෙන් තුනෙන් පංගුවක් පිළිබඳව ලිඛිත වාර්තා තැබුවා. ෂ්ටාසි නමැති තම කෘතියේ ජෝන් කෝලර් පැවසුවේ, “ෂ්ටාසි නිලධාරීන්ට සීමාවන් තිබුණේ නැහැ. ඔවුන්ට ලැජ්ජාවක් බයක් තිබුණෙත් නැහැ” කියායි. “රෙපරමාදු මෙන්ම කතෝලික පල්ලිවලට අයත් උසස් නිලධාරීන් ඇතුළු පූජක පක්ෂයේ අයව පවා රහස් ඔත්තුකාරයන් වශයෙන් බඳවාගනු ලැබුවා. ඔවුන්ගේ කාර්යාලවල හා පාපෝච්චාරණ කුටිවලදී පැවසූ දේවලට රහසේ සවන් දීමට හැකි වන පරිදි ඒවායේ අස්සක් මුල්ලක් නෑර උපකරණ සවි කර තිබුණා.”

ත්‍රාසය උපදවන මෙවන් පොලිස් නිලධාරීන් සිටින්නේ ඒකාධිපති ආණ්ඩු ක්‍රම පවතින රටවල පමණක් නෙවෙයි. වෙනත් රටවල විශාල නගරවල පොලිස් නිලධාරීන් ඕනෑවට වඩා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් නීතිය ක්‍රියාත්මක කරන විට ඔවුන් ජනයාව බියගන්වන බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඔවුන් විශේෂයෙන්ම දෝෂාරෝපණයට ලක් වන්නේ සුළුතර කණ්ඩායම් ඉලක්ක කරගන්නා විටයි. ලොස් ඇන්ජලීස්හි හොඳින් ප්‍රසිද්ධ වූ ආපදාවක් පිළිබඳව එක් ප්‍රවෘත්ති පත්‍රයක අදහස් දක්වා තිබුණා. එම සිද්ධිය මගින් පැහැදිලි වන්නේ “පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම දැන් වඩාත් දාමරික ස්වරූපයක් ගන්නා බවයි. තවද පොලිස් නිලධාරීන්ට අලුත් නමක් (gangster cop [මැරවර භටයෝ]) පටබැඳීමටද එය හේතු වී තිබෙන” බව එම පුවත්පතේ විස්තර කළා.

එමනිසා තම කීර්ති නාමය ඉහළ නංවාගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවලට කළ හැක්කේ කුමක්ද කියා ආණ්ඩු නිලධාරීන් ප්‍රශ්න කර තිබෙනවා. මහජනයාට සේවයක් පිරිනැමීම සඳහා තමාට හිමි කාර්යය වෙත අවධානය යොමු කරමින් බොහෝ පොලිස් බලකායන් තම වැඩවලින් සමාජයට සිදු වන යහපත ගෙනහැර දැක්වීමට වෑයම් කරනවා.

ප්‍රජා මට්ටමෙන් පොලිස් සේවය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවක්

ජපානයේ ප්‍රජා මට්ටමෙන් සිදු කෙරෙන සම්ප්‍රදායානුකූල පොලිස් සේවය විදේශ රටවල අවධානයටද ලක් වී තිබෙනවා. සාමාන්‍යයෙන් ජපානයේ පොලිසියේ වැඩ මෙහෙයවනු ලබන්නේ දිස්ත්‍රික්ක මට්ටමෙන් පිහිටුවා ඇති කුඩා පොලිස් ස්ථාන මගින්. ඒවායේ පොලිස් නිලධාරීන් 12දෙනෙක් පමණ සේවය කරන අතර ඔවුන්ගේ වැඩ සංවිධානය වී ඇත්තේ වැඩ මුර අනුවයි. අපරාධ විද්‍යාව පිළිබඳ දේශකයෙක් මෙන්ම ජපානයේ බොහෝ කාලයක් පුරා පදිංචිකරුවෙක්ව සිටින ෆ්‍රැන්ක් ලයිෂ්මන් පැවසුවේ, “මිත්‍රශීලී කෝබාන් නිලධාරීන් විසින් මහජනයාට පිරිනමන සේවාවන් රැස ලෝක ප්‍රසිද්ධ යමක්” කියායි. “ජපානයේ නම් කර නැති වීථි පිළිබඳව තොරතුරු සැපයීම, අයිතිකාරයෙක් නැති කුඩ වැස්සට හසු වූ මඟීන්ට ලබා දීම, බීමත් ව්‍යාපාරිකයන් හෝ කාර්යාල සේවකයන්ව (සාරාරීමාන්) කෙසේ හෝ අන්තිම කෝච්චියේවත් ගෙදර පිටත් කර යැවීම, ‘රට වැසියන්ගේ ගැටලු’ සම්බන්ධයෙන් උපදෙස් දීම වැනි දේවල් මෙම සේවාවන්ට අයත් වෙනවා.” ප්‍රජා මට්ටමෙන් කරන පොලිස් සේවය නිසා මඟීන්ට සුරක්ෂිතව ඇවිදිය හැකි පාරවල් තිබීම ගැන ජපානය හොඳ නමක් දරනවා. එවන් සිත්ගත් නමක් දැරීමට ලෝකයේ ඕනෑම රටක් කැමති වන බව නිසැකයි.

වෙනත් රටවලත් මෙවන් පොලිස් සේවයක් පිරිනැමුවා නම් එය සාර්ථක වේවිද? එතුළින් උගත හැකි පාඩමක් තිබෙන බව අපරාධවේදීන් කිහිපදෙනෙකුට වැටහී ගියා. නවීන සන්නිවේදනයේ වත්මන් දියුණුව, පොලිස් නිලධාරීන්ව තමන් සේවය කරන ජනයාගෙන් ඈත් කරවීමට හේතුවක් වී තිබෙනවා. අද බොහෝ නගරවල පොලිස් නිලධාරීන්ගේ ප්‍රධාන වැඩය වන්නේ හදිසි අවස්ථා පැනනැඟුණු විට ඒවාට ප්‍රතිචාරය දැක්වීමයි. මුල් කාලවලදී අපරාධ වැළැක්වීම කෙරෙහි දැක්වූ උනන්දුව දැන් නැති වී ගොස් ඇති බව පැහැදිලියි. මෙම නැඹුරුවාව නිසා දැන් නැවතත් ප්‍රජා මුර සේවය ජනප්‍රිය වී තිබෙනවා.

ප්‍රජා මුර සේවය

“එය ඇත්තටම සාර්ථකයි. අපරාධ මර්දනය කිරීමටත් එය දායක වී තිබෙනවා” කියා වේල්ස්හි වැඩ කරන පොලිස් කොස්තාපල්වරයෙක් පවසනවා. “ප්‍රජා මුර සේවය කියන්නේ එකිනෙකාගේ ආරක්ෂාව ගැන අවදිව සිටීමට ජනයාට දිරිගැන්වීමයි. අපි ප්‍රජාවේ සියලුදෙනාටම එකිනෙකාව හඳුනාගෙන, එකිනෙකාගේ නම්, දුරකථන අංක දැනගැනීමට හා අපරාධ වැළැක්විය හැකි ක්‍රම පිළිබඳව ඉගැන්වීමට රැස්වීම් සංවිධානය කරනවා. මේ සැලැස්මට මම ගොඩක් කැමති වීමට හේතුව ප්‍රජාව තුළ සියලුදෙනාම එක පවුලක් යන හැඟීම එතුළින් ජනිත කරවන නිසයි. ගොඩක් වෙලාවට ජනයා තමන්ගේ අසල්වාසීන් කවුද කියාවත් දන්නේ නැහැ. මෙම සැලැස්ම සාර්ථක වන්නේ ජනයාට විමසිල්ලෙන් සිටීමට එය උපකාරවත් වන නිසායි.” එය මහජනයා හා පොලිසිය අතර සබඳතා දියුණු කිරීමටද දායක වෙනවා.

විපතට පත්වූවන් සමඟ වඩාත් අනුකම්පාසහගත හැඟීමකින් යුතුව කටයුතු කිරීමටද පොලිස් නිලධාරීන්ට දිරිගන්වා තිබෙනවා. විපතට පත්වූවන් පිළිබඳව අධ්‍යයනය කළ සුප්‍රසිද්ධ යාන් වැන් ඩයික් ලීවේ, “විපතකට ගොදුරු වූ කෙනෙකුට කතා කරන හා ඔහු සමඟ කටයුතු කරන ආකාරය, වෛද්‍යවරයෙක් රෝගියෙකු සමඟ කටයුතු කරන ආකාරය තරම්ම වැදගත් බව පොලිස් නිලධාරීන් වටහාගත යුතු” බවයි. බොහෝ ප්‍රදේශවල පොලිස් නිලධාරීන් තවමත් ගෘහස්ථ සැහැසියාව හා ස්ත්‍රී දූෂණය නියම අපරාධ වශයෙන් සලකන්නේ නැහැ. නමුත් රොබ් මෝබී පැවසුවේ මෙලෙසයි. “මෑත වසරවලදී පොලිස් නිලධාරීන් ගෘහස්ථ සැහැසියාව හා ස්ත්‍රී දූෂණය වැනි අපරාධ හසුරුවන ආකාරයේ යම් දියුණුවක් පෙනෙන්න තිබුණත් තවත් දියුණු විය හැකි බොහෝ පැති තිබෙනවා.” බලය අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් ගත් කල එයින් වැළකීම සඳහා සෑම පොලිස් බලකායකටම දියුණු විය හැකියි.

පොලිසියේ සිදු වන දූෂණ ක්‍රියා පිළිබඳ භය

පොලිසියේ දූෂණ ක්‍රියා පිළිබඳ පුවත් දසත පැතිරී ඇති නිසා ඔවුන් අපට ආරක්ෂාව සලසා දෙනවා යන අදහස බොළඳ එකක් මෙන් පෙනිය හැකියි. පොලිස් ඉතිහාසයේ ආරම්භයේ සිටම එවැනි වාර්තා අසන්න ලැබී තිබෙනවා. එක්තරා කෘතියක (NYPD—A City and Its Police) 1855 වසර ගැන සඳහන් කරමින් මෙසේ පැවසුවා. “නිව් යෝක් වැසියන් බහුතරයකගේ අදහස වුණේ මැරවරයන්ගෙන් පොලිස් නිලධාරීන්ව වෙන් කොට හඳුනාගැනීම වඩ වඩාත් දුෂ්කර වූ බවයි.” ඩන්කන් ග්‍රීන්ගේ කෘතියක (Faces of Latin America) වාර්තා කර තිබුණේ පොලිස් බලකායන්වල “දූෂණ ක්‍රියා, නුසුදුස්සන්ව පත් කිරීම හා මානව හිමිකම් උල්ලංගනය කිරීම සුලභව පවතිනවා” කියායි. දහහතර දහසක් තරම් විශාල සේවක පිරිසක් සිටින ලතින් අමෙරිකානු පොලිස් බලකායක ප්‍රධානියා පැවසුවේ මෙලෙසයි. “පොලිස් නිලධාරියෙක් මාසයකට ඩොලර් 100කටත් වඩා අඩු ආදායමක් උපයන විට ඔහු එවැනි ක්‍රියාවලට නොපෙලඹෙයි කියා බලාපොරොත්තු විය හැකිද? අල්ලසක් දුන්නොත් ඔහු එය නොගෙන සිටී කියා සිතන්න පුළුවන්ද?”

දූෂණ ක්‍රියා පිළිබඳ ගැටලුව කොතරම් දුරට ව්‍යාප්ත වී තිබෙනවාද? ඔබ එම ප්‍රශ්නය අසන පුද්ගලයාට අනුව පිළිතුරද වෙනස් විය හැකියි. අවුරුදු ගණනාවක් පුරා 1,00,000ක ජනගහනයක් ඇති නගරයක මුර සංචාරයේ යෙදුණු උතුරු අමෙරිකානු පොලිස් නිලධාරියෙක් පිළිතුරු සපයන්නේ මෙසේයි. “වංක පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ඉන්න බව ඇත්තයි. හැබැයි නිලධාරීන් වැඩිදෙනෙක් කරන්නේ අවංක සේවයක්. මගේ අද්දැකීම ඒකයි.” අනික් අතට, වෙනත් රටක අවුරුදු 26ක අද්දැකීම් ලත් අපරාධ විමර්ශකයෙක් පවසන දේ සලකා බලන්න. “දූෂණ ක්‍රියා ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සිදු වෙනවා. පොලිස් නිලධාරීන් අතර අවංකකම හරිම දුර්ලභ ගුණාංගයක් වෙලා. සොරු පැනපු ගෙයක් පරීක්ෂා කරන්න යන විට පොලිස් නිලධාරියෙකුට සල්ලි සම්බ වුණොත් ඔහු ඒක ගනියි කියා සිතන්න පුළුවන්. සොරකම් කළ වටිනා භාණ්ඩ ආපසු සොයාගත් විට ඔහු ඉන් සමහර භාණ්ඩ භාර නොදී සිටිය හැකියි.” ඇතැම් පොලිස් නිලධාරීන් දූෂිත ක්‍රියාවලට පෙලඹෙන්නේ ඇයි?

ඇතමෙක් තම සේවය ආරම්භ කරන්නේ ඉතා උසස් ප්‍රමිති රැකීමේ චේතනාවෙන්. එහෙත් පසුව සෙසු සේවකයන්ගේ දූෂිත බලපෑම්වලට හා නිතරම පාහේ ගැවසෙන අපරාධ ලෝකයේ පහත් ප්‍රමිතිවලට ඔවුන් ගොදුරු වෙනවා. චිකාගෝහි මුර සංචාරයේ යෙදෙන නිලධාරියෙක් පැවසූ දේ එක්තරා කෘතියක (What Cops Know) මෙසේ සඳහන් වෙනවා. “පොලිස් නිලධාරීන් තම පෞද්ගලික අද්දැකීම් තුළින් දුෂ්ටකම පිළිබඳව ඉගෙනගන්නවා. ඔවුන් දුෂ්ට දේවලින් වට වී සිටිනවා. ඔවුන් නිතරම පාහේ වැඩ කරන්නේ එවන් වාතාවරණයක් තුළයි. අසන්න ලැබෙන්නෙත් එවන් තොරතුරු ගැනයි. ගැවසෙන්න සිදු වන්නේත් එවන් පුද්ගලයන් එක්කයි.” එවන් පහත් වාතාවරණයක ගැවසෙන්න සිදු වන විට ඔවුන් නපුරු බලපෑම්වලට පහසුවෙන්ම නතු විය හැකියි.

පොලිසිය අපට අගනා සේවයක් පිරිනැමුවද එය අංග සම්පූර්ණ එකක් නොවන බව පිළිගත යුතුයි. අපට ඊට වඩා යහපත් දෙයක් බලාපොරොත්තු විය හැකිද?

[පාදසටහන]

a බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරීන්ව සංවිධානය කළ ශ්‍රීමත් රොබට් (බොබි) පීල්ගේ නම පදනම් කරගෙන පොලිස් නිලධාරීන්ට බොබීස් යන නම පටබැඳුණා.

[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූර][Box/Pictures on page 8, 9]

ප්‍රශංසාවට ලක් වූ බ්‍රිතාන්‍ය පොලිස් භටයෝ

වෘත්තිමය පොලිස් බලකායක් සංවිධානය කිරීමට තරම් ප්‍රමාණවත් ධනයක් තිබූ මුල්ම ජාතීන් අතුරෙන් එකකි බ්‍රිතාන්‍යය. ඔවුන්ට අවශ්‍ය වුණේ වේලාවට වැඩ කළ ඔවුන්ගේ කාර්යක්ෂම අශ්ව රථ ප්‍රවාහණ සේවාව මෙන් සමාජයත් විධිමත්ව සකස් කරගැනීමටයි. රටේ අභ්‍යන්තර කටයුතු භාරව සිටි ශ්‍රීමත් රොබට් (බොබි) පීල් 1829දී ලන්ඩන් නුවරේ පොලිසිය පිහිටුවීමට පාර්ලිමේන්තුවට ඒත්තුගැන්වුවා. එහි මූලස්ථානය තිබුණේ ස්කොට්ලන්ඩ් යාඩ්වලයි. බීමත්කම හා වීථිවල කෙරෙන සූදුවට එරෙහිව දැඩි පියවර ගත් එංගලන්තයේ පොලිස් භටයෝ මුලදී ජනයා අතර ප්‍රසිද්ධියක් ඉසිලුවේ නැතත් පසු කලෙක ජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වුණා.

වර්ෂ 1851දී බ්‍රිතාන්‍යයේ කාර්මික දියුණුව කියාපෑම සඳහා සංවිධානය කළ විශාල ප්‍රදර්ශනයක් නැරඹීමට ලන්ඩනය ලෝකයේ සියලුදෙනාටම ආරාධනා කළේ ඉතා ආඩම්බරයෙන්. එහි විධිමත්ව සකස් වූ වීථි තිබීම ගැනත් පාරවල්වල බේබද්දන්, ගණිකා ස්ත්‍රීන් සහ අයාලේ යන මිනිස්සු නොමැති වීම ගැනත් පැමිණ සිටි අමුත්තන් පුදුමයට පත් වුණා. කාර්යශූර පොලිස් නිලධාරීන් සෙනඟට මඟ පෙන්නුවා. අමුත්තන්ගේ බඩු බාහිර ආදිය රැගෙන ගියා. මිනිසුන්ට පාර පනින්න උදව් වුණා. වයසක කාන්තාවන්ට ටැක්සි රථවලට නඟින්න පවා උපකාර කළා. එසේ නම්, බ්‍රිතාන්‍ය ජාතිකයන් පමණක් නොව විදේශිකයන් පවා “බ්‍රිතාන්‍ය පොලිස් භටයන් කදිමයි නේද?” කියමින් ඔවුන්ව ප්‍රශංසාවට ලක් කිරීම පුදුමයක් නොවෙයි.

ඔවුන් අපරාධ වැළැක්වීමේදී කොතරම් දුරට සාර්ථක වූවාද කිව්වොත් සංවිධානාත්මකව සිදු කරන අපරාධ නැත්තටම නැති වන කාලයක් ගැන 1873දී චෙස්ටර් ප්‍රාන්තයේ සිටි ප්‍රධාන කොස්තාපල්වරයා සිහින මැව්වා! ගිලන් රථ හා ගිනි නිවන සේවාවන් සංවිධානය කිරීමටද පොලිසිය පියවර ගත්තා. දුප්පතුන්ට සපත්තු හා ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කිරීම සඳහා අසරණ සරණ ව්‍යාපාරයන් පවා සැලසුම් කළා. ඇතැම් අය පිරිමි ළමයින් වෙනුවෙන් සමාජ පිහිටෙව්වා. විනෝද ගමන් සංවිධානය කළා වගේම නිවාඩු නිකේතනද පිළියෙළ කළා.

අලුතෙන් පිහිටුවන ලද පොලිසියට විනය සම්බන්ධයෙන් ගැටලු නොතිබුණාම නොවෙයි. දූෂණ ක්‍රියා හා අමානුෂික හැසිරීම වැනි ගැටලු ඒ අතර තිබුණා. නමුත් හැකි තාක් දුරට බලය අඩුවෙන් යොදවා සාමකාමී, විධිමත් සමාජයක් පවත්වාගැනීමටයි ඔවුන්ගෙන් වැඩිදෙනෙක් කැමති වූයේ. වර්ෂ 1853දී වයිගන් ලැන්කෂයර්හි වැඩ වර්ජනයක යෙදුණු පතල්කරුවන්ගේ කෝලහලයක් මැඩපැවැත්වීමට පොලිසියට සිදු වුණා. මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීමට ගිය පොලිස් නිලධාරීන් 10දෙනා භාරව සිටි නිර්භීත සාජන්ට්වරයා පතල් අයිතිකරුගේ තුවක්කු භාවිත කිරීම ප්‍රතික්ෂේප කළා. වර්ෂ 1886දී තම පියාගේ වෘත්තිය තෝරාගත් හෙක්ටර් මක්ලෞඩ් පොලිස් සේවයට බැඳුණු අවස්ථාවේදී, ඔහු අතට පත් වූ ලිපියකින් දැකගැනීමට හැකි වුණේ ඒ වන විට ප්‍රවර්ධනය වී තිබූ ආකල්පයයි. දි ඉංග්ලිෂ් පොලීස් නම් ප්‍රකාශනයේ එම ලිපියෙන් මෙසේ උපුටා දක්වනවා. “ඔබ කෲර ලෙස හැසිරුණොත් මහජනයාගේ අනුමැතිය හා පක්ෂපාතිත්වය අහිමි වේවි. . . . මම මුල් තැන දෙන්නේ මහජනයාටයි. පොලිස් නිලධාරීන්ව යම් කාලෙකට මහජනයා අතරට යවන්නේ සමාජයේ සේවකයන් ලෙසයි. ඒ නිසා ඔවුන්වයි අපේ අණ දෙන නිලධාරියාවයි සතුටු කිරීමට අපි බැඳී සිටිනවා.”

ලන්ඩන් නුවර පොලිසියේ විශ්‍රාම ලත් පොලිස් පරීක්ෂකවරයෙක් වන හේඩන් මෙලෙස කියයි. “නිතරම අපි අපවම හික්මවාගත යුතුයි කියා අපට ඉගැන්නුවා. මොකද අපේ සේවය සාර්ථක කරගන්න නම් ප්‍රජාවේ සියලුදෙනාගේම උදව් උපකාර අවශ්‍යයි. අපේ කෙටි බැටන් පොල්ල භාවිත කළේ අවසාන පියවර වශයෙන් විතරයි. බොහෝ නිලධාරීන් තම මුළු සේවා කාලය පුරාම එය භාවිතා කළේ නෑ.” අවුරුදු 21ක් පුරාම රූපවාහිනියේ විකාශනය කළ ප්‍රසිද්ධ ටෙලි වෘත්තාන්තයක්ද (Dixon of Dock Green) බ්‍රිතාන්‍ය භටයන් ගැන හොඳ හැඟීමක් ඇති කිරීමට දායක වුණා. එහි කතාව ගෙතී තිබුණේ තමාට අයිති බලප්‍රදේශයේ සියලුදෙනාවම හොඳින් දන්නා හඳුනන අවංක පොලිස් කොස්තාපල්වරයෙක් වටායි. එම නිලධාරියා විදහාපෙන්වූ උසස් ප්‍රතිපත්ති අනුව ජීවත් වීමට නිලධාරීන්ට දිරිගැන්වීමක් ලැබුණා විය හැකියි. ඒ වගේම ඔවුන්ට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ගෞරවාදරය හිමිවීමටද එය ප්‍රධාන සාධකයක් වුණ බවත් නිසැකයි.

එක්දහස් නවසිය හැට ගණන් වන විට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ආකල්ප වෙනස් වෙන්න පටන්ගැනීම කනගාටුවට කරුණක්. ජනයා අතර තිබූ ජාතික අභිමානයේ හැඟීම නැති වී ඔවුන් අධිකාරීන් සැක කිරීමට පුරුදු වුණා. පොලිස් බලකායන් තුළ දූෂණ ක්‍රියා හා ජාති භේදය පැවතුණ බවට 1970 ගණන්වල ලැබුණ වාර්තාවලින් පොලිසියේ හොඳ නම පලුදු වී ගියා. ප්‍රජා මුර සේවා සැලසුම මගින් මහජනයාගේ අනුමැතිය දිනාගැනීමට වෑයම් කළත් ඉන් ඵලක් වුණේ නැහැ. වඩා මෑතකදී ජාති භේද පිළිබඳව හා දණ්ඩන නියම කිරීම සඳහා බොරු සාක්ෂි නිර්මාණය කිරීම පිළිබඳව චෝදනා ලැබූ පසු, පොලිසිය තම හැසිරීම් රටාව නිවැරදි කරගැනීමට තවදුරටත් අවංක වෑයමක් දරා තිබෙනවා.

[හිමිකම් විස්තර]

Photograph above: http://www.constabulary.com

[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]

නිව් යෝක්හි ප්‍රාතිහාර්යයක්

පොලිසිය විශේෂ ආයාසයක් දරන විට ඉන් පුදුමාකාර ප්‍රතිඵල නෙළාගත හැකියි. නිව් යෝක් දීර්ඝ කාලයක් පුරා ලෝකයේ භයානකම නගරවලින් එකක් වශයෙන් නම් දරා තිබෙනවා. එක්දහස් නවසිය අසූ ගණන්වල අගභාගය වන විට, එහි අධෛර්යයට පත්ව සිටි පොලිස් බලකාය කොයිම ආකාරයකින්වත් අපරාධ මර්දනය කිරීමට සමත් වී සිටියේ නැහැ. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වැටුප් මට්ටමේ විෂමතාවක් ඇතිවීමට ඉඩ නොදීමටත් පොලිස් බලකායේ මිනිස් ශ්‍රමය අඩු කිරීමටත් රජයට සිදු වුණා. මෙය අතකොළුවක් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම ක්‍රියාකාරකම් පුළුල් කිරීමට පියවර ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉතා බිහිසුණු ලෙස ප්‍රචණ්ඩත්වය පැතිරුණා. නගර අභ්‍යන්තරයේ ජීවත් වූවන්ට රාත්‍රියේ නිදාගන්නට සිදු වුණේ වෙඩි ශබ්දයේ දෝංකාරය මධ්‍යයේ. වර්ෂ 1991දී දරුණු ජනවාර්ගික කෝලහාල හටගත් අතර පොලිසිය පවා තමන්ගේ සේවක ගැටලු ගැන පැමිණිලි කිරීමට නොහික්මුණු විරෝධතා පෙළපාළියක් දියත් කළා.

නමුත් නිලධාරීන් තුළ උද්‍යෝගය පුබුදුවාලීමට කැමැත්තක් දැක්වූ අලුත් පොලිස්පතිවරයෙක් නිතිපතා ඔවුන්ව හමු වී, එක් එක් බලප්‍රදේශය තුළ යොදන උපක්‍රම විග්‍රහ කර බැලීමට පියවර ගත්තා. NYPD යන තම කෘතියේ ජේම්ස් ලාඩ්නර් හා තොමස් රපෙටෝ එය පැහැදිලි කළේ මෙලෙසයි. “බලප්‍රදේශයක අණ දෙන නිලධාරියා රහස් පරීක්ෂක අංශයේ හෝ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානීන් ගැන පුවත්පත්වලින් කියවා තිබුණත් ඔවුන්ව මුහුණට මුහුණලා හමු වී තිබුණේ කලාතුරකින්. නමුත් දැන් ඔවුන් සියලුදෙනාම එකට වාඩි වී පැය ගණන් සාකච්ඡා පවත්වනවා.” මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අපරාධ ප්‍රතිශතය පුදුමාකාර ලෙස පහත බැස්සා. මිනිමැරීම්ද ක්‍රමක්‍රමයෙන් අඩු වූ බව වාර්තා වෙනවා. වර්ෂ 1993දී මිනිමැරීම් 2,000කට ආසන්න සංඛ්‍යාවක් සිදු වූ අතර 1998දී එය 633ක් දක්වාම අඩු වුණා. අවුරුදු 35ක් ඇතුළත මිනිමැරීම් අඩුවෙන්ම සිදු වූ වසර එයයි. නිව් යෝක්හි වැසියන් කියන්නේ ප්‍රාතිහාර්යයක් සිදු වී ඇති බවයි. ගෙවී ගිය වසර අට ඇතුළත වාර්තා කරන ලද අපරාධවල ප්‍රතිශතය සියයට 64කින් අඩු වී තිබෙනවා.

මෙතරම් සාර්ථකත්වයක් අත් කරගත්තේ කෙසේද? ද නිව් යෝක් ටයිම්ස් 2002 ජනවාරි 1 කලාපයේ මෙම සාර්ථකත්වයට එක් ප්‍රධාන හේතුවක් වූයේ කොම්ස්ටැට් යන පරිගණක වැඩසටහන බව පැහැදිලි කරනවා. “මෙය අපරාධ සෙවීමේ පද්ධතියක් වන අතර සතියක් සතියක් පාසා එය එක් එක් බලප්‍රදේශවල දත්ත පරීක්ෂා කර බලා ගැටලුවක් පැනනැඟෙන විගස ඒවා විසඳීමට ප්‍රතිචාර දක්වනවා.” හිටපු පොලිස් කොමසාරිස් බර්නාර්ඩ් කෙරික් පවසන්නේ මෙලෙසයි. “අපරාධ සිදු වන්නේ කොහෙද කියාත් ඊට හේතුව මොකක්ද කියාත් අපි සොයා බැලුවා. ඊට පස්සේ එම ප්‍රදේශ හොඳින් අධීක්ෂණය කිරීම සඳහා අපි පොලිස් නිලධාරීන්ව මාරු කළ අතර ඔවුන්ට අවශ්‍ය උපකරණ ආදියද සැපයෙව්වා. අපරාධ මර්දනය කරන්නේ එහෙමයි.”

[7වන පිටුවේ පින්තූරය]

ජපානයේ සාමාන්‍ය පොලිස් ස්ථානයක්

[7වන පිටුවේ පින්තූරය]

හොංකොංහි රථ වාහන පොලිසිය

[8, 9වන පිටුවේ පින්තූරය]

එංගලන්තයේ පාපන්දු තරඟයකට යන සෙනඟ හැසිරවීම

[9වන පිටුවේ පින්තූරය]

හදිසි අනතුරුවලට ලක් වූ අයට උපකාර කිරීම පොලිස් නිලධාරීන්ගේ වගකීම්වලට අයත් වේ