Skip to content

පටුනට යන්න

කඩුලු පැනීමේ තරඟයක් වැනි වූ මාතෘත්වය

කඩුලු පැනීමේ තරඟයක් වැනි වූ මාතෘත්වය

කඩුලු පැනීමේ තරඟයක් වැනි වූ මාතෘත්වය

මාතෘත්වය යනු බිය, සැක, ප්‍රීතිය මුසු වූ ඉතා සංකීර්ණ මෙන්ම පුදුමාකාර අද්දැකීමක්. මව්වරුන් තම දරුවන් සමඟ කාලය ගත කරන අතරතුරේදී අද්දකින සුන්දර අවස්ථා වෙන කිසිම දෙයක් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සූදානම් නැහැ. නමුත් ඇතැම්විට ඔවුන් කොතරම් වෙහෙසට පත් වෙනවාද කිව්වොත් තම වගකීම් තවත් දරාගන්න බැහැයි කියා ඔවුන්ට හැඟෙන්න පුළුවන්. හෙලන්, මවක් වශයෙන් ඇය ගත කරන ජීවිතය සමාන කරන්නේ කඩුලු පැනීමේ තරඟයකටයි. කාලය ගෙවී යද්දී තව තවත් කඩුලු පනින්න සිදු වන අතර එන්න එන්නම ඒවායේ උසත් වැඩි වෙනවා.

දරුවන්ව හොඳින් රැකබලා ගැනීම සඳහා තමන්ගේ විවේක කාලය මෙන්ම හිතමිතුරන් සමඟ විනෝද වීම වැනි දේවල්ද කැප කිරීමට මව්වරුන්ට සිදු විය හැකියි. “මගේ ළමයින්ට මාව උවමනා වන හැම වෙලාවකම මං ඒගොල්ලන් එක්ක ඉන්න ඕනේ” කියා දරුවන් පස්දෙනෙක් සිටින මවක් වන එස්තර් පවසනවා. “මට දැන් හොඳට වේලාව අරගෙන නාලා මහන්සිය අරින්න තරම් කාලය නැහැ. මං වතුර මල යටට ගිහින් ඉක්මනට නාලා එළියට එනවා. ඉස්සර මගේ මහත්තයාට මං විශේෂ කෑමක් හදලා අපි දෙන්නා විතරක් එකතු වෙලා කන දවස් තිබුණා. දැන් නම් මං ඔය තියෙන මොනවාහරි එකක් ඉක්මනට රත් කරලා දෙනවා. මං හරි ආසයි නිවාඩුවක් අරගෙන මං කවදාවත් දැකපු නැති තැන්, දැකපු නැති දේවල් බලන්න යන්න. ඒත් ඉතිං ඒවා කරන්න කොහෙද වේලාව? හැබැයි අපේ රෙදි ටික නම් හෝදලා, මැදලා, නවලා තියන්න මං කොහොමහරි වෙලාව හොයාගන්නවා.”

කොහොම නමුත්, බොහෝ මව්වරුන් තම දරුවන් ඇති දැඩි කරද්දී ප්‍රීතිය අද්දකින අද්විතීය අවස්ථා ගැන කතා කරන්න පසුබට වෙන්නේ නැහැ. “ඉඳ හිට ඒගොල්ලන්ගේ මුහුණේ සිඟිති සිනා රැල්ලක් විකසිත වෙද්දී, ‘අම්මිට මං ආදරෙයි’ වැනි සුරතල් කතාවක් අහන්න ලැබෙද්දී හා එක පාරටම ඒගොල්ලන් මාව ඇවිල්ලා බදාගනිද්දී මට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා” කියා එස්තර් පවසනවා. a

රැකියා කරන මව්වරුන්

මාතෘත්වය වඩාත් සංකීර්ණ කරවන විශාල කඩුල්ලක් වන්නේ සම්ප්‍රදායික පවුල් වගකීම් ඉටු කරන අතරතුරේදී පවුලේ වියහියදම් පියවාගැනීමට සඳහා රැකියාවක් කිරීමට සිදුවීමයි. මෙවැනි බොහෝ මව්වරුන් නිවසින් පිට රැකියාවක් කරන්නේ නිකම් ආශාවට නොව නමුත් පවුලේ ආර්ථිකය ගැට ගසාගන්නයි. ගෙදරට වී සිටියොත් පවුලේ, විශේෂයෙන්ම දරුවන්ගේ අවශ්‍යතාවන් පිරිමසාගන්න බැරි වෙයි කියා ඔවුන් දන්නවා. ඔවුන් පිරිමින් හා සමාන රැකියා කළත් ලැබෙන වැටුප නම් පිරිමින්ට ලැබෙන වැටුපට වඩා අඩුයි. ඒ වැටුප පවා ඔවුන්ට අත්‍යවශ්‍යයි.

උදාහරණයකට, බ්‍රසීලයේ සඕ පවුලෝහි රැකියා කරන අය අතරින් සියයට 42ක්ම කාන්තාවන්. ගෙදරට වී දරුවන් ඇති දැඩි කරන මව්වරුන්ගේ සංඛ්‍යාව දැන් “අඩු වෙමින් පවතිනවා” කියා එහි පුවත්පතක සඳහන් වුණා. දරුවෙක් පිටේ බැඳගෙන, හිස මත දර මිටියක් රැගෙන යන කාන්තාවන් අප්‍රිකාවේ ගම්බද පළාත්වල නිතරම වාගේ දකින්න ලැබෙන දසුනක්.

දැඩි ඉල්ලීම් කරන රැකියා ස්ථාන

මවකට පනින්න තවත් කඩුල්ලක් තිබෙනවා. එනම් කාන්තාවන් සඳහා විවෘත වී තිබෙන රැකියා ප්‍රස්තාවලදී දීර්ඝ පැය ගණනක් වැඩ කිරීම ඔවුන්ගෙන් අපේක්ෂා කළ හැකියි. ඔවුන්ගෙන් කරන ඉල්ලීම් එතැනින් අවසන් වන්නේ නැහැ. ග්‍රීසියේ වෙසෙන මරියාව රැකියාවට බඳවාගනිද්දී ඇගේ ස්වාමියා ඇයට ලියවිල්ලකට අත්සන් තබන්න කිව්වා. එම ලියවිල්ලේ සඳහන් වී තිබුණේ වසර තුනක් යන තෙක්ම දරුවෙක් ගැබ්ගන්නේ නැති බවටත් හදිසියේවත් ගැබ්ගත්තා නම් ඒ සඳහා වන්දි මුදල් ගෙවන බවටත් වූ ඇගේ පොරොන්දුවයි. මරියා එම ලියවිල්ලට අත්සන් තැබුවා. කනගාටුවකට මෙන් අවුරුදු එකහමාරකට පසු ඇය ගැබ්ගත් අතර ඇගේ ස්වාමියා ලියවිල්ල පෙන්වා වන්දි මුදල් ඉල්ලා සිටියා. මේ වන විට මරියා ඇය වැඩ කරන ආයතනයේ එම ප්‍රතිපත්තියට විරුද්ධව නඩු දමා තිබෙන අතර තීරණයක් එන තෙක් බලා සිටිනවා.

එතරම් අන්තවාදී නොවන ස්වාමිවරුන් පවා මව්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවා ඉපදුණ පසු හැකි තාක් ඉක්මනට රැකියාවට පැමිණෙන ලෙසයි. ඔවුන් නැවත වැඩට පැමිණි පසුත් ඔවුන්ට වැඩ කිරීමට සිදු වන පැය ගණන අඩු කරන්නේ නැහැ. ඔවුන්ට දැන් චූටි බබෙක් බලාගැනීමේ අමතර වගකීම තිබුණත් කලින් කළ වැඩ ප්‍රමාණයම ඔවුන්ගෙන් අපේක්ෂා කරනවා. ඔවුන්ට වැඩියෙන් නිවාඩු ගැනීමට නොහැකි වන්නේ එසේ කළොත් ඔවුන්ගේ වැටුප අඩු කරන නිසයි. ළමා සුරැකුම් ආයතනවල තත්වය හා සේවාවන් පහත් අඩියක තිබීම මෙන්ම රජයෙන් ප්‍රමාණවත් උපකාර නොලැබීම වැනි ගැටලුවලටත් මව්වරුන්ට මුහුණ දීමට සිදු විය හැකියි.

අනික් අතට, සමහර මව්වරුන් වැඩ කරන්නේ ආර්ථික හිඟයක් තිබෙන නිසා නොව, යම් තෘප්තියක් ලබාගැනීමට නැත්නම් තමන්ගේ ආත්ම ගරුත්වය ගොඩනඟා ගැනීමටයි. සැන්ඩ්‍රා තම දරුවන් දෙදෙනා ඉපදුණු අවස්ථාවලදී නැවත වැඩට යන්න තීරණය කළා. එකපාරටම තනියෙන් දරුවෙක් එක්ක ගෙදරට වෙලා ඉන්න වුණාම ඇයට පාළුවක් දැනුණා කියාත් “සමහර දවස්වලදී ජනේලය ගාවට ගිහින් එළිය බලාගෙන අනිත් මිනිස්සු මොනවාද කරන්නේ කියා කල්පනා කර කර හිටියා” කියාත් ඇය සිහියට නඟනවා. තවත් මව්වරුන් රැකියාවක් කරන්නේ පවුල් ජීවිතයේ අද්දකින අධිකතර මානසික වෙහෙසින් මිදෙන්නයි. බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ මෙසේ වාර්තා කර තිබුණා. “සමහර දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ තරමක් සන්සුන් වාතාවරණයක් ඇති තම වැඩපොළ තුළ වැඩිපුර පැය ගණනක් විවේක ගන්නයි. එහෙත් එන්න එන්නම උදාසීන, කලහකාරි හා කැරලිකාර ස්වභාවයක් විදහාපෙන්වීමට පටන්ගන්නා තම දරුවන් සමඟ ගත කරන්න තිබෙන කාලය තව තවත් අඩු වන නිසා එක ගැටලුවක් විසඳන්න ගිහින් තවත් ගැටලු ගණනාවක් මතු වෙයි.”

මහත් සටනක්

රැකියා ස්ථානයේ වැඩ හා ගෙදර දොරේ වැඩ එකිනෙකට සමබරව කිරීම පහසු දෙයක් නෙවෙයි. බොහෝ මව්වරුන්ගේ හැඟීම් හෙළි කරමින් නෙදර්ලන්තයේ මවක් මෙසේ පවසනවා. “කොයි වෙලාවේ බැලුවත් මට මහන්සියි. මම උදේ නැඟිටින්නෙත් මහන්සියෙන්. මම වැඩ ඇරලා ගෙදර ආවම මට කිසිම වැඩක් කරගන්න බැහැ. ‘අම්මාට හැම තිස්සේම මහන්සියිනේ!’ කියලා මගේ ළමයි දැන්ම ඉඳන් කියන්න පටන් අරගෙන. එහෙම කියද්දී මට මං ගැනම හරි කනගාටුවක් දැනෙනවා. මම වැඩට නොයා ඉන්න කැමති නැහැ. හැබැයි මගේ ළමයි වෙනුවෙන් හැම දෙයක්ම කරන්නත් ඒගොල්ලන් එක්ක විනෝද වෙමින් කතා බහ කරන්නත් මට ඕනේ. සර්ව සම්පූර්ණ මවක් වෙන්න වෑයම් කළත් මට එහෙම වෙන්න බැහැ.”

නිතරම ගෙදර සිටියේ නැතත් දරුවන් සමඟ ‘ඵලදායී ලෙස කාලය’ ගත කළොත් එය ප්‍රමාණවත් කියා සිතූ මව්වරුන් මිලියන ගණනක් අතරින් ඇයත් එක්කෙනෙක්. හැබැයි එම අදහසේ යම් දෝෂයක් ඇති බව දැන් වැටහී තිබෙනවා. බොහෝ මව්වරුන් පවසන්නේ අද කාලයේ වැඩපොළේ අද්දකින පීඩාකාරි තත්වයන්ට මුහුණ දෙන ගමන්ම නිවසේ වගකීම් ඉටු කිරීම මහත් සටනක් බවයි. අන්තිමට ඔවුන්ට සිදු වන්නේ අධික වැඩ, අධික වෙහෙස හා ප්‍රමාණවත් වැටුප් නොලැබීම වැනි ගැටලුවලට මුහුණ දීමටයි.

කාන්තාවන් පැය ගණනාවක් තම දරුවන්ගෙන් ඈත් වී සිටින විට දරුවන්ගේ ප්‍රධානතම අවශ්‍යතාව වන තම මව්වරුන්ගේ කාලය සහ අවධානය ඔවුන්ට ලැබෙන්නේ නැහැ. බ්‍රසීලයේ දරුවන් පිළිබඳ මනෝ චිකිත්සකයෙක් වන ෆ’නැන්ඩා ඒ. ලීමා පැවසුවේ මවකගේ කාර්යභාරය හොඳම ආකාරයෙන් ඉටු කළ හැක්කේ මවකට පමණක් බවයි. “දරුවෙකුගේ ජීවිතයේ වඩාත්ම තීරණාත්මක අවධිය වන්නේ ඔහුගේ ජීවිතයේ මුල් අවුරුදු දෙකයි” කියා ඇය පවසනවා. “ඒ වයසේදී, මව තමා සමඟ නැත්තේ ඇයි කියා තේරුම්ගැනීමට තරම් දරුවාට හැකියාවක් නැහැ.” දරුවාගේ ඕනෑ එපාකම් බලාගැනීම සඳහා මව වෙනුවට වෙනත් කෙනෙකුව තබා යන්න පුළුවන් වුණත්, එම පුද්ගලයාට මවගේ තැන ගත නොහැකියි. “මවගේ සෙනෙහස තමාට ලැබෙන්නේ නැහැයි කියා ළදරුවාට දැනෙනවා” කියා ලීමා තවදුරටත් පවසනවා.

කැති පූර්ණ කාලීන රැකියාවක් කරන මවක්. ඇයට කුඩා දියණියක් සිටිනවා. ඇය පවසන්නේ මෙහෙමයි. ‘මට මං ගැනම ලොකු කනගාටුවක් දැනුණා. මට දැනුණේ හරියට මගේ චූටි දූව මං [ළමාගාරයේ] අතරමං කරලා යනවා වගේ. තමාගේම දරුවාගේ වර්ධනය අද්දකින්න බැරි වුණාම හරිම දුකක් දැනෙනවා. අනිත් එක දරුවා මාත් එක්ක ඉන්නවාට වඩා ළමාගාරයේ ඉන්න කැමතියි කියලා දැනගත්තාම හරිම අමුතු හැඟීමක් ඇති වෙනවා.’ මෙක්සිකෝවේ ගුවන් සේවිකාවක් මෙසේ පිළිගත්තා. “කාලයක් යනකොට දරුවාට අම්මාව අඳුරගන්න බැරිව යනවා. එයාව හදා වඩා ගන්නේ නැති හින්දා අම්මාට ගරු කරන්නෙත් නැහැ. දරුවා දන්නවා එයාගේ අම්මා කවුද කියලා. හැබැයි වැඩි කැමැත්තක් දක්වන්නේ එයාව බලාගෙන ඉන්න කාන්තාව එක්ක ඉන්නයි.”

අනික් අතට, තම මුළු කාලය, ශ්‍රමය දරුවන් වෙනුවෙන් කැප කරන ගෙදරට වී සිටින මව්වරුන් කියන්නේ අද සමාජයේ වැටුප් ලබන රැකියාවක් උසස් කොට සලකන නිසා මිනිස්සු ඔවුන්ව පහත් කොට සලකනවා කියායි. ඇතැම් සමාජයන්වල ගෘහණියක් වීම එතරම් ගෞරවයට පාත්‍ර නොවන නිසා අමතර ආදායමක් අවශ්‍ය නොවුවත් වෘත්තියක් ලුහුබැඳීමට කාන්තාවන් මත පීඩනයක් එල්ල වෙනවා.

තනි සටනක්

මාතෘත්වයේ පැනීමට තිබෙන තවත් කඩුල්ලක් තිබෙනවා. දවස පුරාම රැකියාවේ නිරත වී මහන්සියෙන් සිටින මවකට ගෙදරට ඇවිත් විවේක ගන්න බැහැ. ඇය ආව ගමන් ගෙදර වැඩ කටයුතුවල නිරත වෙන්න අවශ්‍යයි. මවක් රැකියාවක් කළත් නැතත්, ගෙදර දොරේ හා දරුවන්ගේ වැඩ කටයුතු බලාකියා ගත යුත්තේ ප්‍රධාන වශයෙන්ම ඇයයි කියා සාමාන්‍ය මතයක් පවතිනවා.

වැඩි පැය ගණනක් රැකියාවේ නිරත වන මව්වරුන්ගේ ගණන එන්න එන්නම වැඩි වන නමුත් ඔවුන්ගේ බර සැහැල්ලු කිරීමට පියවරුන් බොහෝදුරට ඉදිරිපත් වන්නේ නැහැ. ලන්ඩන්හි ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මෙසේ ලියා තිබුණා. “බ්‍රිතාන්‍යයේ නිවෙස්වල පියවරුන්ව සොයාගත නොහැකියි. මෑතකදී කළ පර්යේෂණවලට අනුව, පියවරුන් තම දරුවන් සමඟ ගත කරන්නේ දිනකට විනාඩි 15ක් තරම් කෙටි කාලයක් පමණයි. . . . බොහෝ පිරිමින් තම පවුලේ අය සමඟ කාලය ගත කරන්න සතුටු නැහැ. . . . ඊට වෙනස්ව බ්‍රිතාන්‍යයේ රැකියා කරන සාමාන්‍ය මවක් තම දරුවන් සමඟ දිනකට විනාඩි 90ක් ගත කරනවා.”

සෑම දෙයක්ම ඔවුන්ට හුරුපුරුදු ආකාරයටම කෙරෙන්න ඕනේ කියා සිතන නිසා භාර්යාවන් ඔවුන්ට වැඩ පවරන්න කැමති නැහැයි කියා සමහර පුරුෂයන් මැසිවිලි නඟනවා. පුරුෂයන් පවසන්නේ “අපි මොනවා කළත් එයාලට අල්ලන්නේ නැහැ” කියායි. විඩාවට පත් වූ ගෘහණියකට පුරුෂයාගේ සහයෝගය අවශ්‍ය නම් ගෙදර දොරේ යම් වැඩ කටයුතු කරන ආකාරය පිළිබඳව ඇය නම්‍යශීලී විය යුතු බව මින් පැහැදිලි වෙයි. අනික් අතට, පුරුෂයා ගෙදර දොරේ වැඩ කටයුතු කිසිවක් නොකර සිටීම සඳහා ඉහත සඳහන් තර්කය අතකොළුවක් කරගැනීම සුදුසු නැහැ.

තවත් කඩුලු

මුල් බැසගත් සම්ප්‍රදායන් පවා කඩුල්ලක් විය හැකියි. ජපානයේ මව්වරුන් තම දරුවන්ගේ වයස් මට්ටමේ සිටින අනිත් ළමයින්ව ඇති දැඩි කරන ආකාරයටම තම දරුවන්වත් ඇති දැඩි කළ යුතුයි කියා අපේක්ෂා කරනවා. පියානෝව වාදනය කිරීමට හෝ චිත්‍ර ඇඳීමට අනිත් ළමයින්ට උගන්වනවා නම් ඇගේ දරුවන්වත් එම පංතිවලට යැවීමට මවක් පෙලඹිය හැකියි. පාසැල්වලින් පවා දෙමව්පියන්ට බල කරන්නේ අනිත් ළමයි කරන අමතර ක්‍රියාකාරකම්වල ඔවුන්ගේ දරුවන්වත් යොදවන්න කියායි. අනිත් අයට වඩා වෙනස් වීම හේතුවෙන් ළමයින්ගේ, ගුරුවරුන්ගේ, අනිත් දෙමව්පියන්ගේ හා නෑදෑයන්ගේ කන්දොස්කිරියාවට ලක්වීමට දෙමව්පියෙකුට සිදු විය හැකියි. වෙනත් රටවලත් මීට සමාන තත්වයක් පවතිනවා.

වෙළඳ දැන්වීම් නිසා හා භාණ්ඩ මිල දී ගැනීම මතම යොමු වී සිටින සමාජයක ජීවත් වන නිසා දරුවන් නිතරම දේවල් අරං දෙන්න කියා ඉල්ලා සිටින්න පුළුවන්. සංවර්ධිත රටවල වෙසෙන මව්වරුන් සිතන්න පුළුවන් ඔවුන්ගේ දරුවන් ඉල්ලන සෑම දෙයක්ම මිල දී ගන්න අවශ්‍යයි කියා. එයට හේතුව වන්නේ අනිත් මව්වරුන් තම දරුවන්ට එම භාණ්ඩ අරං දී තිබීමයි. ඔවුන්ට එසේ කිරීමට නොහැකි වුණොත් ඔවුන් දෙමව්පියන් වශයෙන් අසාර්ථක වී ඇති බව ඔවුන්ට හැඟෙන්න පුළුවන්.

නූතන කාලයේ මාතෘත්වය පිළිබඳ මෙම සාකච්ඡාවේදී, වෙහෙස මහන්සි වී තම දරුවන් වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන මිලියන ගණන් කඩිසර මව්වරුන් මතු පරම්පරාව බිහි කිරීම සඳහා දරන උදාර වෑයම අමතක නොකළ යුතුයි. මෙය ඇත්තෙන්ම වරප්‍රසාදයක්. බයිබලයේ පවසන්නේ “දරුවෝ ආශීර්වාදයකි. ස්වාමීන්ගෙන් ලද දීමනාවකි” කියායි. (ගීතාවලිය 127:3, Contemporary English Version) එවැනි මව්වරුන් හොඳින් නියෝජනය කරන මිරියම් පවසන්නේ මෙහෙමයි. “මවකට අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණත්, එයින් ලැබෙන සතුට කිසි දෙයකට සම කළ නොහැකියි. දරුවන් අපි දෙන පුහුණුවට හා හික්මවීමට ප්‍රතිචාරය දක්වමින් සමාජයේ වගකීම් දැරිය හැකි පුද්ගලයන් බවට පත් වෙනවා දකිද්දී මව්වරුන් වන අපි ලොකු තෘප්තියක් ලබනවා.”

ඔවුන්ට ලැබී ඇති දීමනාව තුළින් වැඩි ප්‍රීතියක් අත් කරගැනීමට මව්වරුන්ට උපකාරවත් වන්නේ කුමක්ද? ඊළඟ ලිපිය ප්‍රායෝගික යෝජනා කිහිපයක් ඉදිරිපත් කරනවා.

[පාදසටහන]

a මෙම ලිපිවල සාකච්ඡා කරන්නේ විවාහක මව්වරුන් ගැනයි. පිබිදෙව්! සඟරාවේ මතු කලාපයක අවිවාහක මෙන්ම තනි මව්වරුන් අද්දකින අභියෝග ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

[16වන පිටුවේ කොටුව]

“මව්වරුන්ගේ දිනය”

අන්ත දුගීකම, අධ්‍යාපනයේ ඌනතාව, වගකීම් දැරීමට අපොහොසත් වන පුරුෂයන් සහ ඒඩ්ස් වසංගතය වැනි ගැටලු නිසා දකුණු අප්‍රිකාවේ මව්වරුන් පීඩා විඳිනවා. මෑතකදී සැමරූ මව්වරුන්ගේ දිනයේදී, ද සිටිසන් නමැති දකුණු අප්‍රිකානු පුවත්පතේ මෙසේ වාර්තා කර තිබුණා. “මව්වරුන්ගේ දිනයේදීත් මව්වරුන් දහස් ගණනක් තම කලත්‍රයන් අතින් ශාරීරික හා ලිංගික හිරිහැරවලට ලක් වන අතර ඔවුන්ගෙන් සමහරෙක් ජීවිතක්ෂයට පවා පත් වෙති.” දකුණු අප්‍රිකාවේ සෑම වසරකදීම, එවැනි ගැටලුවලට මුහුණ දෙන දහස් ගණන් මව්වරුන් තම ළදරුවන්ව අත්හැර දමා යනවා. මෑත අවුරුදු දෙකක කාලපරිච්ඡේදයක් ඇතුළත අත්හැර දමා ගිය ළදරුවන්ගේ සංඛ්‍යාව සියයට 25කින් ඉහළ ගොස් තිබුණා. ඊට වඩා තැතිගන්වනසුලු වන්නේ සියදිවි හානි කරගන්නා කාන්තාවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයයි. මෑතකදී ඉතා දුගී ප්‍රදේශයක ජීවත් වූ කාන්තාවක් තමා වෙතට පැමිණෙමින් තිබූ දුම්රියක් ඉදිරියට පැන්නේ දරුවන් තිදෙනාවත් තුරුල් කරගෙනයි. හතරදෙනාම එකවර මිය ගියා. සමහර මව්වරුන් තම ජීවිතය ගැට ගසාගන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය විකිණීමෙන් හා ගණිකා වෘත්තියේ යෙදීමෙන්. එහෙමත් නැත්නම් එවැනි ජීවන මාර්ගයකට ඔවුන් තම දියණියන්ව යොමු කරනවා.

මේ වාර්තාව පැමිණෙන්නේ හොංකොංවලින්. “පීඩාකාරි තත්වයන්ට මුහුණ දිය නොහැකි ඇතැම් මව්වරු උපන් මොහොතේදීම තම දරුවන්ව මරා දමති. එහෙමත් නැත්නම් ඔවුන්ව කුණු බක්කියකට විසි කර දමති.” එක් පුවත්පතක (South China Morning Post) පවසා තිබුණ පරිදි හොංකොංහි විවාහක කාන්තාවන් “කොතරම් පීඩනයට ලක් වී ඇද්දැයි පැවසුවොත් සියදිවි හානි කරගන්නා මට්ටමටම ඔවුන්ගේ මානසිකත්වය බිඳ වැටෙන්න පුළුවන.”

[17වන පිටුවේ කොටුව]

විවිධ රටවල මාතෘත්වය

කාලය ප්‍රමාණවත් නැහැ

හොංකොංවලදී කළ සමීක්ෂණයකට අනුව රැකියාවල නිරත වන මව්වරුන්ගෙන් සියයට 60ක් පවසන්නේ ඔවුන් තම දරුවන් සමඟ ප්‍රමාණවත් කාලයක් ගත නොකරන බවයි. ඒ වගේම, රැකියා කරන දෙමව්පියන් සිටින අවුරුදු තුනේ හා ඊට අඩු වයසේ දරුවන්ගෙන් සියයට 20ක්ම සතියේ දවස්වල ජීවත් වන්නේ තම නිවෙස්වල නෙවෙයි, තම ආච්චිලා සීයලා සමඟයි.

මෙක්සිකෝවේ කාන්තාවන් අඩුම තරමින් (අවුරුදු පහෙන් පහළ) එක් දරුවෙකුව බලාගැනීම සඳහා තම ජීවිතයෙන් අවුරුදු 13ක්ම කැප කරනවා.

රැකියා සහ මව්වරු

අයර්ලන්තයේ කාන්තාවන්ගෙන් සියයට 60ක් ගෙදර නැවතී සිටින්නේ තම දරුවන් බලාගැනීම සඳහායි. ග්‍රීසියේ, ඉතාලියේ හා ස්පාඤ්ඤයේ කාන්තාවන්ගෙන්ද සියයට 40ක් පමණ මෙසේ කරනවා.

ගෙදර දොරේ වැඩවලට උපකාර කිරීම

ජපානයේ ගෘහණියන්ගෙන් සියයට 80ක්ම පවසන්නේ ගෙදර දොරේ වැඩ කටයුතු කිරීමට පවුල් සාමාජිකයන් උදව් කරනවා නම් එය තමන් ඉතා අගය කරන බවයි. අසනීපව සිටියදී කරන උදව් උපකාර ඔවුන් බොහෝ සේ අගය කරනවා.

නෙදර්ලන්තයේ පිරිමින් තම දරුවන් සමඟ දවසකට පැය දෙකක් ගත කරන නමුත් ගෙදර දොරේ වැඩ කිරීම සඳහා යොදවන්නේ පැය 0.7ක් පමණයි. කාන්තාවන් තම දරුවන් සමඟ පැය තුනක් ගත කරන අතර ගෙදර වැඩ කටයුතු සඳහා පැය 1.7ක් යොදවනවා.

පීඩනයෙන් හෙම්බත් වූ මව්වරුන්

ජර්මනියේ මව්වරුන්ගෙන් සියයට 70ක්ම සිතන්නේ තමන් අධිමානසික පීඩනයට ලක් වී ඇතැයි කියායි. සියයට 51කට කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග තිබෙනවා. තුනෙන් පංගුවක් නිතර තෙහෙට්ටු ගතියෙන් හා කලකිරීමෙන් පසු වන අතර සියයට 30කට ආසන්න සංඛ්‍යාවකට හිසේ කැක්කුම හා ඉරු රුදාව තිබෙනවා.

ගුටි බැට කන මව්වරුන්

හොංකොංහි සමීක්ෂණයකට භාජන කළ කාන්තාවන්ගෙන් සියයට 4ක් පැවසුවේ තමන් ගැබ්ගෙන සිටි අවස්ථාවේදී කලත්‍රයන් අතින් ගුටි බැට කා ඇති බවයි.

ජර්මනියේ ෆෝකස් සඟරාව කළ සමීක්ෂණයකට අනුව තම දරුවා අඩුම තරමින් එක් වතාවක් හෝ ඔවුන්ට පහර දී ඇති බව මව්වරුන් 6දෙනෙකුගෙන් එක්කෙනෙකු පමණ පිළිගත්තා.

[17වන පිටුවේ පින්තූර]

බොහෝ කාන්තාවන්ට රැකියාවේ හා ගෙදර දොරේ කටයුතු එකිනෙකට සමබරව කරන්න සිදු වන නිසා මවක් වීම පීඩාකාරි අද්දැකීමක් විය හැකියි