Skip to content

පටුනට යන්න

කාගෙත් සිත්ගත් කොතැනත් වෙසෙන කුකුළා

කාගෙත් සිත්ගත් කොතැනත් වෙසෙන කුකුළා

කාගෙත් සිත්ගත් කොතැනත් වෙසෙන කුකුළා

කෙන්යාවේ පිබිදෙව්! ලේඛක විසිනි

කුකුළා මිහිතලයේ වැඩියෙන්ම වෙසෙන පක්ෂියා විය හැකියි. ගණන් බලා ඇති ආකාරයට, උන්ගේ සංඛ්‍යාව බිලියන 13 ඉක්මවයි! ඒ වගේම උගේ මාංශ මිනිසුන් අතර කොතරම් ජනප්‍රියද කියනවා නම්, සෑම වසරකම කුකුළු මස් රාත්තල් බිලියන 73කට වඩා ආහාරයට ගනු ලැබේ. මීට අමතරව, ලොව පුරා වෙසෙන කිකිළියෝ වසරකට බිත්තර බිලියන 600ක් පමණ දමති.

බටහිර රටවල කුකුළන් තොග පිටින් ලබාගත හැකි අතර මිලත් අඩුයි. එහෙත් මීට දශක ගණනකට පෙර එක්සත් ජනපදයේ තත්වය ඊට වඩා වෙනස් විය. ඡන්දෙ කාලෙදී එහි ඡන්ද අපේක්ෂකයන් ආසනයට තරඟ වැදුණේ, ඡන්දෙ දුන්නොත් සෑම නිවසකම කුකුළු මස් ඉවේවි කියා පොරොන්දු දෙමිනි. කෙසේනමුත් අදදින, කුකුළු මස් ධනවතුන්ට පමණක් සීමා වූ ආහාරයක් නොවේ. මෙම අරුම පුදුම පක්ෂියා සැම තැන වෙසෙමින් කාගෙත් සිත්ගෙන ඇත්තේ කෙසේද? එමෙන්ම අන්ත දුගී රටවල තත්වය කුමක්ද? උන් එහෙත් බහුලව වෙසෙනවාද?

කුකුළාගේ වතගොත

කුකුළා පැවත එන්නේ ආසියාවේ රතු වලි කුකුළාගෙනි. ඌව පහසුවෙන් ගෘහාශ්‍රිතව ඇති කළ හැකි බව මිනිසා විසින් වැඩි කල් යෑමට මත්තෙන් සොයාගන්නා ලදි. එය මැනවින් තහවුරු වන්නේ වසර 2,000කට පමණ පෙර කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතු කරගන්නා ආකාරය ගැන යේසුස් ක්‍රිස්තුස් පැවසූ දෙයිනි. (මතෙව් 23:37; 26:34) එවැනි උපහැරණයක් භාවිත කිරීමෙන් පෙනී යන්නේ, එම පක්ෂියා සාමාන්‍යයෙන් මිනිසුන් අතරේ ගැවසුණු බවය. එහෙත් 19වන සියවස වන තෙක්ම කුකුළන් හා බිත්තර නිෂ්පාදනය සුලබ නොවූ අතර, එය වාණිජ ව්‍යාපාරයක් බවට පත් වූයේද නැත.

අදදින කවුරුත් පාහේ ප්‍රිය කරන අහරකි කුකුළු මස. ගම් නියම් ගම්වල වෙසෙන පවුල් පමණක් නොව නගරබද පවුල්ද තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා මෙන්ම මුදල් උපයාගැනීම සඳහාද කුකුළන් ඇති කරති. ඇත්තවශයෙන්ම, ගොවිපොළවල ඇති කරන සෑම සත්වයෙකුම කුකුළන් මෙන් විවිධ භූගෝලීය ප්‍රදේශවල බෝ කිරීමේ හැකියාවක් නැත. බොහෝ රටවල පවතින දේශගුණික තත්වයන්ට හා අවශ්‍යතාවන්ට අනුව කුකුළු වර්ග බෝ කර ඇත. ඒවායින් සමහරකි මේ: ඕස්ට්‍රේලියාවේ ඕස්ට්‍රලෝප්. එමෙන්ම කවුරුත් දන්නා ලෙග්හෝන්. උගේ නිජබිම මැදපෙරදිග වුවත් ජනප්‍රිය වී සිටින්නේ එක්සත් ජනපදයේය. නිව් හැම්ප්ෂයර්, ප්ලිමත් රොක්, රෝඩ් අයිලන්ඩ් රෙඩ් (R.I.R.) සහ වයන්ඩොට් වර්ග සියල්ලම දකින්න ලැබෙන්නේ එක්සත් ජනපදයේය. තවද කෝනිෂ්, ඕපිංග්ටන් හා සසෙක්ස් යන වර්ගවල නිජබිම වන්නේ එංගලන්තයයි.

වැඩිදියුණු කළ විද්‍යානුකූල ක්‍රම අනුව සත්ව පාලනය සිදු කිරීම හේතුවෙන් කුකුළන් ඇති කිරීමද වඩාත් සාර්ථක වූ කෘෂිකාර්මික ව්‍යාපාර අතරට එක් වී ඇත. එක්සත් ජනපදයේ සත්ව පාලකයෝ රෝග මර්දනය කරන වෛද්‍ය ක්‍රම උපයෝගී කරගන්නා අතර ආහාර පානාදිය දීම සඳහා පාලිත ක්‍රම සියුම් ලෙස යොදාගනිති. තාක්ෂණය උපයෝගී කරගෙන විශාල වශයෙන් සිදු කෙරෙන මෙම නිෂ්පාදන බොහෝදෙනා හෙළා දකින්නේ එය අකාරුණික දෙයක් බව පවසමිනි. එනමුත් සත්ව පාලකයන් ඉන් සැලී නැත. ඔවුහු මෙම පක්ෂීන් බෝ කිරීමේ දක්ෂ ක්‍රම වැඩිදියුණු කිරීමෙහි දිගටම නියැලෙති. නවීන තාක්ෂණ ක්‍රම හේතුවෙන් දැන් එක් පුද්ගලයෙකුට කුකුළන් 25,000 සිට 50,000ක් දක්වා සංඛ්‍යාවක් බලාගැනීමට හැකි වී තිබේ. විකිණීමට සුදුසු බර කරා පැමිණීමට කුකුළන්ට ගත වන්නේ මාස තුනක් පමණි. a

මස් ලැබෙන මඟක්

හෝටලයකට ගියත්, අවන්හලකට ගියත්, බත් කඩේකට ගියත් නොවරදින කෑමකි කුකුළු මස්. ඇත්තෙන්ම, ලොව පුරා ක්ෂණික ආහාර තිබෙන ඕනෑම තැනක විශේෂ ලෙස සකස් කළ කුකුළු මස් දීසියක් නම් වරදින්නේ නැත. ඇතැම් සමාජයන්වල විශේෂ අවස්ථාවන් සඳහා කුකුළු මස් නැතුවම බැරි කෑමක් බවට පත්ව ඇත. එමෙන්ම ඉන්දියාව වැනි සමහර රටවල මෙම පක්ෂියාව නෙත් සිත් පිනවන ක්‍රමවලට සකස් කර පිළිගැන්වේ. රතු මාළු මිරිස් යොදා සකස් කළ ලාල් මර්ජි නම් කුකුළු මස් දීසිය, සිහින්වට පෙති ගසාගත් කුකුළු මස්වලින් සකස් කළ කර්ජි මර්ජි දීසිය හා ඉඟුරු යහමින් යොදා පිසගත් ආඩ්‍රාක් මර්ජි නම් කුකුළු මස් දීසිය රස නහර පිනවන්නකි!

කුකුළු මස්වලට මේ තරම් ජනප්‍රියත්වයක් ඇයි? කුකුළු මස් මෙන් විවිධ රසයන්ට අනුව සකස් කළ හැකි ආහාර වර්ග ස්වල්පයක් පමණක් තිබීම ඊට හේතුවයි. ඔබ කැමති එය කෙලෙස පිළියෙළ කරනවාටද? තෙලේ බැද, රෝස්ට් කර, බ්‍රොයිල් කර, බ්‍රේස් කර නැත්නම් ස්ටූ කර තිබෙනවාටද? ඕනෑම ඉවුම් පිහුම් පොතක් පෙරළා බලන්න. කුකුළාගේ සෑම අංගයක්ම ප්‍රණීත ලෙස සකස් කළ හැකි වට්ටෝරු එමට සොයාගත හැකි වේ.

බොහෝ රටවල කුකුළු මස් බහුලව තිබෙන නිසා යම් දුරකට මිල අඩුය. කුකුළු මස්වල කෙනෙකුගේ ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන්, විටමින් හා ඛනිජ අඩංගු බැවින් එය පෝෂණවේදීන්ගේ සිත්ද දිනාගෙන ඇත. එනමුත් එහි කැලරි, සංතෘප්ත මේද හා වෙනත් මේද තිබෙන්නේ අඩු ප්‍රමාණයකි.

සංවර්ධනය වෙමින් පවතින රටවල් පෝෂණය කරයි

ඇත්තෙන්ම, සෑම රටකම පාහේ කුකුළු මස් නිෂ්පාදන බහුලව දක්නට නොමැත. කෘෂිකාර්මික විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ කවුන්සලයෙන් යෙදවූ කණ්ඩායමක් ඉදිරිපත් කළ වාර්තාව සලකා බලන විට ඒ බව මනාව පැහැදිලි වේ. එහි මෙසේ පැවසේ. “වසර 2020 වන විට ලෝක ජනගහනය බිලියන 7.7ක් දක්වා වැඩිවීමට ඉඩ ඇත. . . . එම වැඩිවීම විශාල ලෙස (සියයට 95ක්) සිදුවීමට යන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල බවට ලකුණු පහළ වී තිබේ.” දැනටමත් මිලියන 800ක ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙනවා නේද කියා කල්පනා කර බලන කල මෙම ප්‍රකාශයේ සත්‍යතාව තහවුරු වේ.

කෙසේනමුත්, ප්‍රවීණයන් බොහෝදෙනෙකුට හැඟෙන්නේ, කුසගින්නේ පෙළෙන ජනයාව පෝෂණය කිරීමේදී හා සත්ව පාලකයන්ට අත්‍යවශ්‍ය ආදායම ලබා දීමේදී විශාල සේවයක් කිරීමට කුකුළු මස්වලට හැකි බවය. ගැටලුව වන්නේ මෙම පක්ෂීන්ව විශාල වශයෙන් බෝ කිරීම දිළිඳු සත්ව පාලකයන්ට සැබෑ අභියෝගයක් විය හැකිවීමය. වඩාත් දිළිඳු රටවල කුකුළන් ඇති කරන්නේ ගම්බද ගොවිපොළවල හෝ නිවසේ පිටුපස මිදුලේ සුළු පරිමාණයෙනි. එමෙන්ම එවැනි රටවල කුකුළන්ව ආරක්ෂිත පරිසරයක ඇති කරන්නේ කලාතුරකිනි. දහවල් කාලයේදී කුකුළන්ට නිදැල්ලේ අහුලා කෑමට ඉඩහරින අතර රාත්‍රියේදී උන් යළි නිවෙස් කරා පැමිණෙන්නේ ගස්වල නැතහොත් කූඩුවල ලගින්නටය.

එවන් ක්‍රමවලට ඇති කරන ලද පක්ෂීන් බොහෝමයක් මියයෑම අරුමයක් නොවේ. මාරාන්තික නියූකාස්ල් රෝගය නිසා උන්ගෙන් සමහරෙකු මියැදෙන අතර අනික් එවුන් සිව්පාවුන්ගේ හා මිනිසුන්ගේ ගොදුරු බවට පත් වේ. තවද තම කුකුළන්ට ප්‍රමාණවත් ආහාර දීම, නිසි කූඩු සැපයීම හෝ රෝග වැළඳීමට නොදී උන්ව රැකගැනීම සම්බන්ධයෙන් බොහෝ සත්ව පාලකයන්ට කොහෙත්ම දැනුමක් නැත. එමෙන්ම ඒ සඳහා යෙදවීමට ප්‍රමාණවත් මුදලක්ද ඔවුන් ළඟ නොමැත. මේ හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල සත්ව පාලකයන්ව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළවල් දියත් කර තිබේ. උදාහරණයකට, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෑතකදී වසර පහක ව්‍යාපෘතියක් ඇරඹුවේ “අප්‍රිකාවේ ගම්බද දිළිඳු ජනතාවගේ ප්‍රයෝජනය තකාය. කුකුළු නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට එයින් උපකාර පිරිනැමිණ.”

යහපත් චේතනාවෙන් දියත් කර ඇති වැඩ පිළිවෙළවල් කෙතරම් දුරකට සාර්ථක වේද යන්න දැකගත හැකි වන්නේ ඉදිරියේදීය. ධනවත් රටවල වෙසෙන්නන්, තම රටේ ලාබෙට ලබාගත හැකි කුකුළු මස් මිහිමත වෙසෙන වැඩිදෙනෙකුට සුඛෝපභෝගී ආහාරයක් විය හැකියි යන කාරණය කල්පනා කර බැලීම යෝග්‍ය නොවේද? ඔවුනට “සෑම නිවසකම කුකුළු මස් ඉවේවි” යන්න සැබෑ නොවන සිහිනයක් වීමට ඉඩ ඇත.

[පාදසටහන]

a එක්සත් ජනපදයේ කිකිළියන්ව බිත්තර ලබාගැනීම සඳහාද ඇති කළත් සියයට 90ක්ම ඇති කරන්නේ මස් පිණිසය.

[25වන පිටුවේ කොටුව⁄පින්තූර]

අමු කුකුළු මස් අල්ලන්නේ බලාගෙනයි!

“අමු කුකුළු මස් සැල්මොනෙල්ලා වැනි ක්ෂුද්‍ර ජීවීන්ට තෝතැන්නක් විය හැකි බැවින් එය පිසීමේදී සැලකිලිමත් විය යුතුය. කුකුළු මස් කැපීමට පෙර හා පසුව නොවරදවාම ඔබේ දෑත් මෙන්ම කපන ලෑල්ල, පිහිය හා මස් කපන කතුරු සබන් යොදා උණුසුම් වතුරෙන් සෝදන්න. නටන වතුරෙන් සේදිය හැකි කපන ලෑල්ලක් භාවිත කිරීම වඩාත් යෝග්‍යය. . . . එමෙන්ම හැකි නම්, නොපිසූ කුකුල් මස් කැපීම සඳහා කපන ලෑල්ලක් වෙන් කර තබාගන්න. පිසීමට පෙර අයිස් සම්පූර්ණයෙන්ම ඉවත් වන තුරු තිබෙන්න හරින්න.”—සූපවේදියාගේ අත්පොත, ඉංග්‍රීසියෙන්.

[23වන පිටුවේ පින්තූර]

වයිට් ලෙග්හෝන්, අළු වලි කුකුළා, ඕපිංග්ටන්, පෝලිෂ් හා ස්පෙකල්ඩ් සසෙක්ස් බෝ කිරීමට යොදාගන්නා ඇතැම් වර්ගයන්ය

[හිමිකම් විස්තර]

වයිට් ලෙග්හෝන් හැර අන් සෑම එකෙක්ම: © Barry Koffler/www.feathersite.com

[[24වන පිටුවේ පින්තූර]

සංවර්ධනය වෙමින් පවතින රටවල සත්ව පාලකයන්ට කුකුළු නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා උපකාර කිරීමට විධිවිධාන යොදා ඇත

[24වන පිටුවේ පින්තූර]

එක්සත් ජනපදයේ කිකිළියන් සියයට 90ක්ම ඇති කරන්නේ මස් පිණිසය