Skip to content

පටුනට යන්න

දිගු ඉතිහාසයක් තිබෙන ව්‍යාපාරයක්

දිගු ඉතිහාසයක් තිබෙන ව්‍යාපාරයක්

දිගු ඉතිහාසයක් තිබෙන ව්‍යාපාරයක්

ජෝන් ලී බඩු සාප්පුවක අයිතිකරුවෙකු විය. ඔහු විසූ නගරයේ තිබූ හොඳම ලී බඩු සාප්පුව වූයේ එයයි. තමාගේ ව්‍යාපාරයේ දියුණුව ගැන ඔහු බොහෝ සෙයින් සෑහීමට පත්ව සිටියේය. එහෙත් එක් රාත්‍රියකදී ඔහුගේ සාප්පුව ගිනි ගත්තේය. එය අළු ගොඩක් වීමට ගත වූයේ පැය කිහිපයක් පමණි.

මීට කලින්, ජෝන් මෙම සාප්පුව ඉදි කිරීම සඳහා වැය කළ මුදලින් කොටසක් ගිනි රක්ෂණයක් සඳහා යෙදවීම ගැන කල්පනා කර තිබිණ. කෙසේවෙතත්, ඔහු මෙසේද කල්පනා කළේය. ‘මම වැඩ කරන්නේ බොහොම පරෙස්සමින්. මගේ සාප්පුව කවදාවත්ම ගිනි ගත්තේ නැත්නම්, රක්ෂණය සඳහා යෙදවූ මුදල අපතේ යනවා.’ එහෙත් ඔහුගේ සාප්පුව ගිනි ගත්තේය. ජෝන් තම සාප්පුව රක්ෂණය කර තිබුණා නම්, ගිනි ගත් එය නැවත ගොඩනඟාගන්න ඔහුට හැකියාව තිබිණ. රක්ෂණය කර නොතිබූ නිසා ඔහුට එය නැවත ගොඩනඟාගන්න නොහැකි විය.

රක්ෂණය යනු කුමක්ද?

තමන් යෙදවූ මුදල් ආපසු ලබාගත හැකියයි අපේක්ෂා කළ හැකි ආයෝජනයක් ලෙස රක්ෂණය සැමවිටම සැලකිය නොහැක. එමෙන්ම රක්ෂණය සූදුවක්ද නොවේ. සූදුවක නියැලෙන කෙනෙක් අවදානමකට යටත් වෙයි. එහෙත් රක්ෂණයේදී සිදු වන්නේ දැනටමත් පවතින අවදානමකට හොඳින් මුහුණ දීමේ හැකියාව පුද්ගලයෙකුට ලබා දීමයි. අවදානමක් පුද්ගලයන් කිහිපදෙනෙකු අතර බෙදාගැනීමේ අරමුණින් පිළියෙළ කර තිබෙන ක්‍රමයකි, රක්ෂණය.

ඈත අතීතයේ සිටම ඇතැම් ප්‍රජාවන් විසින් ඔවුන් සතු වත්කම්වලින් කොටසක් වෙන් කරමින් පොදු අරමුදලක් පිහිටුවාගන්නා ලදි. මෙහි අරමුණ වූයේ තම ප්‍රජාවේ සිටින කෙනෙකු අවදානමකට ලක් වූ විට, ඔහුට සිදු වූ පාඩු පියවාගැනීමට උපකාර කිරීමයි. උදාහරණයක් හැටියට, ‘විදේශීන්ගේද පියා නැත්තන්ගේද, වැන්දඹුවන්ගේද’ ප්‍රයෝජනය පිණිස කලින් කලට තම ඵලදාවෙන් කොටසක් පරිත්‍යාග කරන්න කියා මීට අවුරුදු 3,500කට පමණ ඉහතදී මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ට උපදෙස් දුන්නේය.—ද්විතීය කථාව 14:28, 29.

රක්ෂණයේ මූලාරම්භය

රක්ෂණය අවුරුදු දහස් ගණනක සිට පැවතෙන ව්‍යාපාරයකි. මෝසෙස්ගේ ව්‍යවස්ථාවටත් කලින් සකස් කර තිබේයයි විශ්වාස කෙරෙන බබිලෝනිය නීති සමුදායකින් සමන්විත හමුරාබි නීති සංග්‍රහයෙහි, ණය රක්ෂණයක ස්වරූපය ගත් ක්‍රමයක් ඇතුළත් විය. පුරාණ කාලයේදී නැව් හිමියෝ වෙළඳ කටයුතුවල යෙදීම සඳහා මුදල් ණයට දෙන පුද්ගලයන්ගෙන් ණය ලබාගත්හ. නැවක් මුහුදුබත් වූවා නම්, නැව් හිමියන්ට ණය මුදල් ආපසු ගෙවීමෙන් නිදහස් වීමේ හැකියාව තිබිණ. නැව් බොහොමයක් කිසිදු අනතුරකින් තොරව ආපසු පැමිණි නිසා, නැව් හිමියන් විශාල පිරිසක් විසින් ගෙවන ලද පොලී මුදල් මගින්, ණය දෙන ආයතනවලට මුහුණ දීමට සිදු වූ අවදානම ආවරණය කරන ලදි.

ලෝකයේ සුප්‍රසිද්ධ රක්ෂණ සමාගමක් වන ලන්ඩනයේ ලොයිඩ්ස් සමාගම ආරම්භ වූයේද එවන් පසුබිමක් යටතේය. එඩ්වඩ් ලොයිඩ් නමැත්තා වර්ෂ 1688දී පමණ ලන්ඩනයේ කෝපි කඩයක් පවත්වාගෙන ගියේය. මෙතැනට පැමිණි වෙළඳුන් හා බැංකුකරුවන් ව්‍යාපාරික කටයුතුවලද නිරත විය. එමෙන්ම මෙම ස්ථානයට පැමිණි ආයෝජකයෝ නාවිකයන් සමඟ ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව රක්ෂණය වීමේ අවස්ථාව ඔවුන්ට ඉදිරිපත් කළහ. හානියක් සිදු වුවහොත්, එයින් නිශ්චිත කොටසකට තමන් වගකියන බවට එකඟ වෙමින් ආයෝජකයෝ එම ගිවිසුමට යටින් අත්සන් කළහ. මෙසේ අවදානම බාරගැනීම වෙනුවෙන් ඔවුහු නිශ්චිත වාරික මුදලක් අය කරගනු ලැබූහ. මෙම රක්ෂකයන් ප්‍රාරක්ෂකයන් (underwriters) වශයෙන් ප්‍රසිද්ධ විය. පසු කාලයේදී, එනම් 1769දී ලොයිඩ්ස් රක්ෂණ සමාගම විධිමත් ලෙස පිහිටුවන ලද ප්‍රාරක්ෂකයන් කණ්ඩායමක් බවට පත් විය. කල්යෑමේදී මෙම සමාගම මුහුදු රක්ෂණයේ ප්‍රමුඛයා බවට පත් විය.

වත්මන් රක්ෂණය

වර්තමානයේද මිනිසුන් රක්ෂණ ඔප්පුවක් මිල දී ගන්න විට සිදු වන්නේ එකිනෙකා මුහුණ දිය හැකි අවදානම් හවුලේ බෙදාගැනීමයි. අනාගතයේදී තම රක්ෂිතයන්ට යම් අලාභහානි සිදු වුවහොත්, ඒ සඳහා ගෙවීමට සිදු වන වන්දි මුදල කොපමණද කියා තීරණය කිරීමට, වර්තමානයේදී රක්ෂණ සමාගම් කුමන පියවර අනුගමනය කරයිද? මේ සඳහා ඔවුන් අතීතයේදී වන්දි මුදල් ගෙවන ලද වාර ගණන පිළිබඳ දත්ත යොදාගනියි. උදාහරණයක් හැටියට, සාප්පු ගිනි රක්ෂණයේදී ගෙවා තිබෙන වන්දි ප්‍රමාණය කොපමණද කියා සංඛ්‍යා ලේඛන ඇසුරෙන් ගණන් බැලීමක් සිදු කරයි. තමන්ගෙන් රක්ෂණ ඔප්පුවක් මිල දී ගත් කෙනෙකුට සිදු වන හානියකට වන්දි ගෙවීම සඳහා රක්ෂණ සමාගම් යොදාගන්නේ රක්ෂණය වූ අනික් පුද්ගලයන් වාරික වශයෙන් ගෙවන මුදල්ය.

ඔබ රක්ෂණ ඔප්පුවක් මිල දී ගත යුතුද? එසේනම්, ඔබට සුදුසු වන්නේ කුමන ආකාරයේ රක්ෂණ ඔප්පුවක්ද? ඔබ රක්ෂණ ඔප්පුවක් මිල දී ගත්තත් නැතත්, ජීවිතයේ අවදානම්වලට සාර්ථකව මුහුණ දීම සඳහා ඔබට කල්තියා ගත හැකි ආරක්ෂක පියවරවල් මොනවාද?

[3වන පිටුවේ පින්තූරය]

ලෝකයේ සුප්‍රසිද්ධ රක්ෂණ සමාගමක් ආරම්භ වූයේ කෝපි කඩයකදීය

[හිමිකම් විස්තර]

අනුග්‍රහය: Lloyd’s of London