ඔබට රක්ෂණයක් අවශ්‍යද?
ඔබට රක්ෂණයක් අවශ්‍යද?
සමහර රටවල ඇතැම් රක්ෂණ ඔප්පු ලබාගැනීම අනිවාර්ය කර තිබේ. තවත් සමහර රටවල භාවිත කෙරෙන්නේ රක්ෂණ ඔප්පු වර්ග කිහිපයක් පමණි. එමෙන්ම රක්ෂණ ඔප්පුවක් මිල දී ගැනීම සඳහා වැය වන මුදල හා ඉන් ආවරණය කෙරෙන හානි රටින් රටට බෙහෙවින් වෙනස් වේ. කෙසේවෙතත්, රක්ෂණයේ මූලික සංකල්පය වන අවදානම සාමූහිකව බෙදාගැනීම ඕනෑම රක්ෂණයක දැකිය හැක.
ඇත්තෙන්ම, යමෙකු සතු දේපොළ වැඩි වන විට, ඔහුට විඳීමට සිදු වන පාඩුද වැඩිය. මේ හා සමානව යමෙකු පවුලේ වගකීම්වලට වැඩියෙන් උර දෙනවා නම්, එම තැනැත්තා මිය ගියහොත් හෝ ආබාධිතයෙකු බවට පත් වුවහොත් එය පවුලට දැඩි ලෙස බලපායි. තමන්ගේ දේපොළවලට හානි සිදු වුවහොත් හෝ අනතුරකට ලක්වීම නිසා තමන් ආබාධිතයෙකු බවට පත් වුවහොත් සිදු විය හැකි පාඩුව සම්බන්ධයෙන් යමෙකු තුළ ඇති විය හැකි බිය තුනී කරගැනීම සඳහා රක්ෂණයක් ලබාගැනීම උපකාරවත් විය හැක.
එහෙත්, කිසිදාක තමන්ට වන්දියක් ලබාගත නොහැකි රක්ෂණයක් සඳහා මුදල් වැය කිරීම නැණවත් දෙයක්ද? ඔව්. මේ ගැන මෙසේ සිතන්න. කවදාවත්ම ප්‍රයෝජනවත් වූයේ නැතත්, මෝටර් රථයක අමතර ටයරයක් තබාගැනීම සඳහා යොදවන මුදල නාස්තියක්ද? වාහනයක අමතර ටයරයක් තිබෙන විට, එහි රියැදුරාට ආරක්ෂා සහිත බවක් හැඟෙන නිසා, ඒ සඳහා වැය කරන මුදල නාස්තියක් කියා සැලකිය නොහැක. කෙසේවෙතත්, ඇතැම් හානි, මුදලින් පියවාගත නොහැකි වුවත්, මුදලින් පියවාගත හැකි හානිද තිබේ.
රක්ෂණ ඔප්පු මගින් ආවරණය කෙරෙන්නේ කිනම් හානිද?
රක්ෂණ වර්ග
රක්ෂණ ඔප්පු වර්ග බොහොමයක් දේපොළ, වගකීම්, සෞඛ්‍යය, දුබලතා හා ජීවිත යනුවෙන් වර්ග කළ හැක.
දේපොළ රක්ෂණය: මෙම රක්ෂණ ක්‍රමය පිළියෙළ කර තිබෙන්නේ අවදානම්වලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙන නිවස, ව්‍යාපාරය, වාහනය හා වෙනත් භාණ්ඩ යනාදියට සිදු වන හානිය පියවාගැනීමටයි. මුල් ලිපියේදී සඳහන් කළ ජෝන් ඔහුගේ ලී බඩු සාප්පුව සඳහා මිල දී ගැනීමට තීරණය නොකළේ මෙම රක්ෂණ ක්‍රමයයි.
ඇතැම් නිවාස රක්ෂණ ඔප්පු මගින් නිවසේ තිබෙන සමහර භාණ්ඩවලට සිදු වන හානිද ආවරණය කරයි. ඔබ මිල දී ගෙන තිබෙන්නේ මෙවැනි රක්ෂණයක් නම්, නිවසේ තිබෙන රක්ෂිත භාණ්ඩ පිළිබඳ ලැයිස්තුවක් සකස් කර තිබීම හෝ ඒවා ඡායාරූපගත කර තිබීම හෝ ඒවා වීඩියෝගත කර තිබීම නැණවත් දෙයකි. මෙම ලැයිස්තුව සමඟ එම භාණ්ඩ මිල දී ගත් රිසීට් පත්ද නිවසින් පිටත ආරක්ෂිත ස්ථානයක තබන්න. මෙසේ කිරීමෙන් වන්දි ලබාගැනීමේ කටයුතු පහසු වේ.
වගකීම් රක්ෂණය: රියැදුරෙකු, නිවසක හෝ වෙනත් නිශ්චල දේපොළක හිමිකරුවෙකු, ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකු හෝ වෙනත් අයව රැකියාවක් සඳහා යොදාගන්නෙකු යන ඕනෑම කෙනෙකු සිදු වන අනතුරක වගකීම බාරගැනීමට බැඳී සිටියි. අනතුර නිසා දේපොළට හානි සිදු විය හැකියි. නැත්නම් වෙනත් පුද්ගලයෙකු තුවාල වීමට හෝ මරණයට පත්වීමට ඉඩ කඩ තිබේ. දේපොළ අලුත්වැඩියා කරගැනීම සඳහා හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා හෝ වෙනත් ආකාරයක වේදනාවක් සුව කරගැනීම සඳහා හෝ හානියකට පිළියම් යෙදීම සඳහා අවශ්‍ය වන්දි ගෙවීමට රියැදුරෙකුට හෝ නිශ්චල දේපොළක නැත්නම් ව්‍යාපාරයක අයිතිකරුවෙකුට සිදු විය හැක. මෙම වියදම් පියවාගැනීම සඳහා උපකාරවත් වන වගකීම් රක්ෂණයක් ලබාගන්න කියා ඇතැම් රටවල හාම්පුතුන්ට හා රියැදුරන්ට නීතියෙන් නියම කර තිබේ. රක්ෂණ ඔප්පුවක් ලබාගැනීම නීතිමය අවශ්‍යතාවක් නොවන අවස්ථාවකදී පවා, අනතුරකට පත් වූ තැනැත්තාට හෝ ඔහුගේ පවුලේ අයට යම් වන්දියක් ගෙවීමට රියැදුරු, දේපොළ අයිතිකරු හෝ හාම්පුතා නීතියෙන් බැඳී සිටිය හැක. මොවුහු තමන් වගකිව යුතු හානිය සඳහා වන්දි ගෙවීමට නීතිමය වශයෙන් පමණක් නොව සදාචාරමය වශයෙන්ද බැඳී සිටිති.
සෞඛ්‍ය රක්ෂණය: මහලු වූ කල යම් විශ්‍රාම මුදලක් ගෙවීම හෝ වෛද්‍ය පහසුකම් සපයා දීම වැනි ප්‍රයෝජන ඇතුළත් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් රජය මගින් එහි පුරවැසියන්ට ලබා දීමේ වැඩපිළිවෙළක් බොහෝ රටවල ක්‍රියාත්මක වේ. එහෙත්, මෙවැනි රක්ෂණ ඔප්පුවලින් පවා ආවරණය කෙරෙන්නේ වෛද්‍ය වියදම්වලින් කොටසක් පමණක් විය හැක; නැත්නම් යම් නිශ්චිත වෛද්‍ය වියදම් ප්‍රමාණයක් පමණි. මේ නිසා සමහර අය තමන්ට දැරීමට සිදු වන ඉතිරි මුදල පියවාගැනීමේ අරමුණින් පෞද්ගලිකව වෙනම සෞඛ්‍ය රක්ෂණ ඔප්පුවක් මිල දී ගනිති. බොහෝ රටවල සේවකයන්ට ඔවුන් කරන රැකියාවේ කොන්දේසියක් ලෙස සෞඛ්‍ය රක්ෂණයක් හිමි වේ.
සෞඛ්යාරක්ෂක සංවිධාන ඇතුළු ඇතැම් සෞඛ්යාරක්ෂක වැඩසටහන් මගින් මාසිකව හෝ වාර්ෂිකව මුදල් ගෙවීමේ කොන්දේසිය මත විවිධාකාරයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා පහසුකම් සලසා දෙයි. අඩු වියදම් සහිත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සැපයීමෙන් හා රෝග වැළැක්වීමේ ක්‍රමවලට අනුබල දීමෙන් එම සංවිධාන වියදම් අඩු කිරීමට වෑයම් කරයි. කෙසේවෙතත්, සෞඛ්යාරක්ෂක සංවිධානයකින් ප්‍රතිකාර ලබන විට සාමාන්‍ය සෞඛ්‍ය රක්ෂණයකදී මෙන් නොව, වෛද්‍යවරුන්ව හා ප්‍රතිකාර ක්‍රම තෝරාගැනීමේ නිදහස සීමිත විය හැකිය.
දුබලතා රක්ෂණය හා ජීවිත රක්ෂණය: පුද්ගලයෙකුට සුපුරුදු පරිදි ඔහුගේ රැකියාව කරගෙන යෑමට නොහැකි වන පරිදි අනතුරක් සිදු වුවහොත් දුබලතා රක්ෂණයක් මගින් ඔහුට ජීවත් වීම සඳහා යම් මුදලක් ලබා දෙයි. ජීවිත රක්ෂණයේදී රක්ෂිතයා මියගිය අවස්ථාවක ඔහුගෙන් හෝ ඇයගෙන් යැපෙන්නන්ට වන්දි මුදල් ගෙවනු ලැබේ. මෙවන් රක්ෂණයක් ලබාගෙන තිබීම නිසා තම පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා අනතුරකට ලක් වූ විට හෝ මියගිය විට, බොහෝ පවුල්වලට තමන්ගේ මූල්‍යමය අවශ්‍යතා සපුරාගැනීමට හැකි වී තිබේ.
විශ්වාසවන්ත රක්ෂණ සමාගමක් තෝරාගැනීම
අනාගතයේදී මූල්‍යමය ආරක්ෂාවක් ලබාගැනීමේ අරමුණින් වර්තමානයේදී යම් මුදලක් ගෙවීම නමැති
සංකල්පය මත රක්ෂණය පදනම් වී ඇති නිසා රක්ෂණ ක්ෂේත්රයේ වංචාවන් සිදුවීම පුදුමයක් නොවේ. සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද මේ තත්වය දක්නට තිබේ. එනිසා අඩු මුදලකට මිල දී ගත හැකි රක්ෂණ ඔප්පු ගැනත් සැකකටයුතු රක්ෂණ ක්‍රම ගැනත් කල්පනාකාරි වීම නැණවත් දෙයකි. මෙවන් රක්ෂණ ඔප්පු හඳුන්වා දෙන සමාගම් තමන්ගේ රක්ෂිතයන්ට මුදල් ගෙවීම පැහැරහරින නිසා හෝ හිටිහැටියේම අතුරුදහන් වන නිසා, ඔවුන්ගේ ගනුදෙනුකරුවන් බොහෝදෙනෙකු අතරමං වී තිබේ.මේ නිසා රක්ෂණ ඔප්පුවක් මිල දී ගැනීමට පෙර, විවිධ රක්ෂණ සමාගම්වල ඔප්පු වර්ග සසඳා බැලීමෙන් ඔබේ මුදල් ආරක්ෂා කරගත හැක. උදාහරණයක් හැටියට, ඇතැම් රක්ෂණ සමාගම් දුම්පානය නොකරන්නන්ට හා රිය පැදවීමේ විශේෂ පාඨමාලා හදාරා තිබෙන අයට අඩු වාරික යටතේ සෞඛ්‍ය රක්ෂණ ඔප්පු ලබා දෙයි. කෙසේවෙතත් රක්ෂණ ඔප්පුවක් මිල දී ගැනීමට අපේක්ෂා කරන කෙනෙකුට විශ්වාසවන්ත රක්ෂණ සමාගමක් සොයාගත හැක්කේ කෙසේද?
මෙහිදී මුල්ම පියවර වශයෙන්, විවිධ රක්ෂණ සමාගම් හා රක්ෂණ නියෝජිතයන් සමඟ කටයුතු කිරීමේදී වෙනත් අය අද්දැක තිබෙන දේවල් සොයා බැලිය හැක. යම් රක්ෂණ සමාගමක් අත් කරගෙන තිබෙන කීර්තිය ගැන හෝ අවංකව කටයුතු කිරීමෙන් හා තම සේවාදායකයන් කෙරෙහි පෞද්ගලික සැලකිල්ලක් දැක්වීම සම්බන්ධයෙන් රක්ෂණ නියෝජිතයෙකු ලබා තිබෙන හොඳ නම ගැන මිතුරන්ගෙන් හෝ අසල්වාසීන්ගෙන් දැනගත හැක. යම් අර්බුදවලට මුහුණ පා සිටින රක්ෂණ සමාගම් සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳව සොයා බැලීමත් නැණවත් දෙයකි.
මේ හැර, රක්ෂණ ක්ෂේත්රය තුළ යම් රක්ෂණ සමාගමකට හිමි වී තිබෙන තැන හා එහි මූල්‍යමය තත්වය ගැන තොරතුරු හෙළි කරන සංඛ්‍යා ලේඛන, පුස්තකාලයකින් හෝ පොත් හලකින් හෝ අන්තර් ජාලයෙන් හෝ පරීක්ෂා කර බැලිය හැක. යම් රක්ෂණ සමාගමක් මූල්‍යමය වශයෙන් ශක්තිමත්ද? අවුරුදු ගණනාවක් පුරා සාර්ථක ලෙස එහි ව්‍යාපාරික කටයුතු කරගෙන ගොස් තිබෙනවාද? ගනුදෙනුකරුවන් සමඟ කාරුණිකව කටයුතු කරමින් වන්දි මුදල් ඉක්මනින් ලබා දීම සම්බන්ධයෙන් එය ප්‍රසිද්ධියක් උසුලයිද? යන ප්‍රශ්නවලට උත්තර සොයාගැනීමට එම තොරතුරු උපකාරවත් විය හැක.
කෙසේවෙතත් හොඳම රක්ෂණ සමාගම් ඇගයීමේදී ලබාගත හැකි සංඛ්‍යා ලේඛන මුළුමනින්ම නිවැරදියි කියා පැවසිය නොහැක. මන්ද දිගු කලක සිට සාර්ථකව ව්‍යාපාරික කටයුතු කරගෙන ගිය ඩොලර් බිලියන ගණනක වත්කම්වලින් යුත් රක්ෂණ සමාගමක් පවා රජයට පවරාගැනීමට සිදු විය. මෙය සිදු වන විට, මෙම සමාගම රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක් බව එක් ප්‍රසිද්ධ ප්රකාශනයක සඳහන් වීමෙන් ගත වී තිබුණේ සතියක් වැනි සුළු කාලයක් පමණි.
රක්ෂණ නියෝජිතයන්ගේ කාර්යභාරය
සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට රක්ෂණ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ හැක්කේ එක් රක්ෂණ සමාගමක පමණි. එනමුත් තමන්ගේ සේවාදායකයන්ට හොඳම රක්ෂණ ඔප්පුවක් මිල දී ගැනීමට උපකාර කිරීමේදී රක්ෂණ සමාගම් කිහිපයකින් තොරතුරු විමසා ලැබීමට තැරැව්කරුවෙකුට හෝ ස්වාධීන නියෝජිතයෙකුට හැක. තමන්ගේ ව්‍යාපාරය දිගටම කරගෙන යෑම සඳහා රක්ෂණ සමාගම මෙන්ම රක්ෂණ නියෝජිතයාද තමන්ගේ සේවාදායකයන් සමඟ හොඳ සබඳතාවක් පවත්වාගත යුතුය. රක්ෂණ නියෝජිතයෙකු තම සේවාදායකයන්ගේ විශ්වාසය දිනාගෙන ඔවුන් කෙරෙහි සැලකිල්ල දක්වන විට, සේවාදායකයන්ට එය මහත් අස්වැසිල්ලක් විය හැක.
විවිධ වර්ගයේ නම්වලින් හඳුන්වන රක්ෂණ ඔප්පු ගණනාව අතරින් තමන්ගේ සේවාදායකයාට වඩාත්ම යෝග්‍ය රක්ෂණ ඔප්පුව ලබාගැනීමට උපකාර කිරීම හොඳ රක්ෂණ නියෝජිතයෙකුට කළ හැකි මූලික දෙයයි. රක්ෂණ ඔප්පුවට අදාළ සියලුම විස්තර ඔහු පැහැදිලි කර දෙනු ඇත. රක්ෂණ ඔප්පුවල තිබෙන දේවල් තේරුම්ගැනීම ඉතාමත් දුෂ්කරයි කියා බොහෝදෙනෙක් පවසති. එක් රක්ෂණ සමාගමක සභාපතිවරයෙක් පැවසුවේ, ඔහුගේ නිවාස රක්ෂණ ඔප්පුවේ සඳහන් සමහර දේවල් ඔහුට පවා තේරුම්ගැනීමට නොහැකි වූ බවය.
තම සේවාදායකයාට නොසිතූ ලෙස මුහුණ දීමට සිදු වන අපහසුතා මඟ හරවාගැනීම සඳහා රක්ෂණ නියෝජිතයෙකු අදාළ කාරණා හොඳින් පැහැදිලි කර දිය යුතුය. උදාහරණයක් හැටියට, වන්දි මුදල් ගෙවීමේදී රක්ෂණ සමාගම විසින් ගෙවිය යුතු මුළු මුදලින් යම් කොටසක් අඩු කරගන්නා කොන්දේසියක් දේපොළ හා සෞඛ්‍ය රක්ෂණ ඔප්පු වර්ග බොහොමයක තිබේ. රක්ෂණ සමාගම අඩු කරගන්න මෙම කොටස රක්ෂිතයා ගෙවිය යුතුය. උදාහරණයක් හැටියට, මෝටර් රථයක් අලුත්වැඩියා කිරීමේ වියදම සඳහා හෝ වෛද්‍ය ගාස්තු සඳහා හෝ රක්ෂණ සමාගමෙන් වන්දි මුදල් ලබාගැනීමට කලින් රක්ෂිතයා වියදමට අදාළ තමාගේ කොටස ගෙවිය යුතුය. වන්දි මුදල් ලබාගැනීමේදී යම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන විට රක්ෂණ නියෝජිතයා තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටිය යුතුය.
රක්ෂණය සහ ක්‍රිස්තියානීන්
තමන්ට දෙවිගේ උපකාරය ලැබෙන බවට දැඩි විශ්වාසයෙන් සිටින හා වත්මන් ක්රමයෙහි අවසානය සිදු වන තුරු බලා සිටින ක්‍රිස්තියානියෙකු රක්ෂණය වීම අවශ්‍යද? පිබිදෙව්! සඟරාවේ සහායක සඟරාව වන මුරටැඹ නමින් ප්‍රසිද්ධ සඟරාවෙහි සංස්කාරක වූ චාල්ස් ටේස් රසල්ගෙන් වර්ෂ 1910දී සමහරු ඉහත සඳහන් ප්රශ්නය ඇසූහ. වත්මන් ක්රමයෙහි අවසානය ගැන බයිබලය පුරෝකථනය කරන බව රසල් පිළිගත් අතර, පෞද්ගලිකව තමා ජීවිත රක්ෂණ ඔප්පුවක් ලබාගෙන නොමැති බවද ඔහු පැවසුවේය.
1 තිමෝති 5:8) තමාගේ පවුලේ අයගේ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් යම් මුදලක් වෙන් කිරීමට පුරුෂයෙකු තීරණය කරන්න පුළුවන් කියා ඔහු පැවසුවේය. “නමුත් යමෙකුට මෙය කළ නොහැකි නම්, ජීවිත රක්ෂණ ඔප්පුවක් මිල දී ගැනීමෙන් තමාගේ වගකීම ඉටු කරන්න ඔහු පියවර ගැනීමට ඉඩ තිබෙනවා” කියා රසල් තවදුරටත් අදහස් දැක්වුවේය.
“කෙසේවෙතත්, එක් එක්කෙනාගේ තත්වයන් වෙනස්. තමන්ගෙන් යැපෙන භාර්යාවක් හා කුඩා දරුවන් සිටින පියෙකුට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමේ වගකීම පැවරෙනවා” කියා රසල් තවදුරටත් පැවසුවේය. (තමන්ගෙන් යැපෙන අය වෙනුවෙන් කෙනෙකු සෞඛ්‍යය, දුබලතා හා වෙනත් ආකාර රක්ෂණ ඔප්පු මිල දී ගත හැක. බොහෝ අවිවාහකයන්ද යම් හදිසි අනතුරකදී හෝ අසනීපයකදී දැරීමට සිදු වන වියදම් පියවාගැනීමේ අරමුණින් රක්ෂණය වේ.
රක්ෂණය හා සම්බන්ධ කාරණාවලදී අවංකකමට ප්රමුඛත්වයක් හිමි වේ. සැබෑ ක්‍රිස්තියානියෙකු රක්ෂණ අයදුම්පතක් පිරවීමේදී හා වන්දි මුදල් ඉල්ලුම් කිරීමේදී කිසිවිටකත් වැරදි තොරතුරු සපයන්නේ නැත. (හෙබ්‍රෙව් 13:18, NW) රක්ෂණ ඔප්පුවක් ලබාගැනීමේ අරමුණ, තමන්ට යම් හානියක් සිදු වූ අවස්ථාවකදී වන්දි මුදලක් ලබාගැනීම බව ඔහු හෝ ඇය මතක තබාගත යුතුය. රක්ෂණය වීම සුඛෝපභෝගි ජීවිතයක් ගත කිරීමට මං උදා කළ හැකි ලොතරැයි පතක් නොවේ.—1කොරින්ති 6:10, NW.
රක්ෂණයක් ලබාගැනීමේදී ඊට අදාළ සියලුම නීතිවලට ක්‍රිස්තියානීහු කීකරු වෙති. ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේදී හෝ වාහනයක් පැදවීමේදී යෝග්‍ය රක්ෂණයක් ලබාගැනීම නීතිමය අවශ්‍යතාවක් නම් ඔවුහු එය ලබාගනිති. (රෝම 13:5-7) රක්ෂණ වාරික අඛණ්ඩව ගෙවීමේදී අවංකකම මෙන්ම දුර දක්නා නුවණද අවශ්‍ය වේ. වාරික ගෙවා නැත්නම් රක්ෂණ ඔප්පුව අවලංගු කිරීමටත් වන්දි නොගෙවා සිටීමටත් රක්ෂණ සමාගමකට පුළුවන. තමන් වාරික ගෙවා තිබෙන බවට සහතික කරගැනීම සඳහා කලින් කලට සෘජුවම රක්ෂණ සමාගමෙන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමත් වාරික ගෙවූ බවට තිබෙන රිසීට් පත් නැති කර නොගෙන තබාගැනීමත් නැණවත් දෙයකි.
ඔබට රක්ෂණ ඔප්පුවක් මිල දී ගැනීමේ හැකියාව තිබුණත් නැතත්, අනතුරු වළක්වාගැනීම සඳහා ඔබට උපකාරවත් විය හැකි පූර්වාරක්ෂක පියවර කිහිපයක් තිබේ. මෙම පූර්වාරක්ෂක පියවර ගැනීමෙන් කිසිම රක්ෂණයකින් ආවරණය කළ නොහැකි වේදනාවලින් ඔබවත් ඔබ ආදරය කරන අයවත් රැකගත හැක. මෙම පූර්වාරක්ෂක පියවරවලින් සමහරක් පිළිබඳව අපි ඊළඟ ලිපියේදී සලකා බලන්නෙමු.
[7වන පිටුවේ පින්තූරය]
රක්ෂණයක් ලබාගැනීම සම්බන්ධයෙන් යම් තීරණ ගැනීමේදී ඔබට උපකාර කරන්න විශ්වාසවන්ත රක්ෂණ නියෝජිතයෙකුට පුළුවන
[7වන පිටුවේ පින්තූරය]
නීතියෙන් නියම කළත් නැතත්, බොහෝදෙනෙක් රක්ෂණයක් ලබාගනිති