මා ජීවත් කරවන්නේ මා ලද බලාපොරොත්තුවයි
මා ජීවත් කරවන්නේ මා ලද බලාපොරොත්තුවයි
පැවසුවේ ටට්යානාවි ලෙස්කාවිසින්
අපි සතුටෙන් කල් යැව්වේ හරියට පුංචි කැදැල්ලක කුරුළු කිරිලියන් වගෙයි. ඒත් දවසක්දා අම්මව ගේ ඇතුලේ මරලා දාලා තිබුණු වෙලාවේ අපේ සතුට පෑල දොරින් පලාගියා. ඊට මාස හතරකට පස්සේ තාත්තා එල්ලිලා මැරුණා. පුංචි කැදැල්ල කෑලි කෑලිවලට කැඩිලා බිඳිලා ගියා. මට හිතුණා දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ඒත් ඇයි තාමත් මම ජීවත් වෙන්නේ? මම ඕගොල්ලන්ට ඒ කතාව කියන්නම්.
ඩොනෙට්ස්ක් කියන්නේ නැඟෙනහිර යුක්රේනයේ පිහිටා තිබෙන ගිනි උදුන් හා ගල් අඟුරු ආකරවලින් පිරි නගරයක්. එහි සිටින මිලියනයකට අධික ජනතාව රුසියානු භාෂාව කතා කරන, වෙහෙස නොබලා වැඩ කරන කාරුණික සෙනඟක්. ඔවුන්ගෙන් සමහරු ජ්‍යෝතිඃශාස්ත්‍රය හෝ භූතවාදය කෙරෙහි විශ්වාසය තබා තිබෙන අතර, වැඩිදෙනෙක් අනාගතය ගැන දැනගන්න කේන්දරත් බලනවා. තවත් සමහරු මන්තරකාරයන් ළඟට යනවා. මේ අයගෙන් සමහරු එසේ යන්නේ අසනීපවලට සහනයක් ලබාගන්නයි, එහෙමත් නැත්නම් නිකම් විනෝදයට මළවුන් එක්ක කතා කරන්නයි. රුසියාවේ මන්තරකාරයන්ව හඳුන්වන්නේ කොල්ඩන්ස් කියලයි.
මගේ තාත්තා සපත්තු හදන කෙනෙක්. ඔහු දෙවියන්ව ඇදහුවේ නැතත් කවුරුහරි කෙනෙක් අපිව පොළොවට එවලා තියෙනවා කියලයි ඔහුට හැඟුණේ. ඔහු කිව්වේ “අපි මේ පොළොවෙ ඉන්න අමුත්තන් විතරයි” කියලයි. අම්මා හැම පාස්කු දවසකම පල්ලි ගියා. මොකද “ඇත්තටම දෙවි කෙනෙක් ජීවමානව ඉන්නවා නම්, අපි එහෙ යන්න ඕන” කියලයි අම්මට හැඟුණේ. මම ඉපදුණේ 1963 මැයි මාසයේදියි. මට ලූබොෆ් කියලා අක්කා කෙනෙකුයි, අලෙක්සන්ඩ කියලා මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඇත්තෙන්ම මුලදී අපේ පුංචි පවුල හුඟක් සතුටෙනුයි කල් යැව්වේ.
‘කිසිම හානියක් වෙන්නේ නැති මැජික්‘
අපිට පියොට්‍ර a කියලා දුර නෑයෙක් හිටියා. දවසක් ඔහු ගල් අඟුරු ආකරයක වැඩ කර කර ඉන්නකොට අනතුරක් වෙලා ඔහුගේ ඔළුව තුවාල වුණ නිසා විශේෂ සායනයකින් ප්‍රතිකාර ගන්න ඔහුට සිද්ධ වුණා. ඔහුගේ සෞඛ්‍යය ගැන හිතලා ඔහු මන්තරකාරයෙක් ළඟට ගියා. මන්තරකාරයා පියොට්‍රව භූත ආත්ම එක්ක සම්බන්ධ වෙන්න සැලැස්සුවා. මන්තර ගුරුකම්වලට හවුල් වෙන එක මෝඩ වැඩක් කියලා පියොට්‍රගේ භාර්යාවත්, මගේ දෙමාපියනුත් ඔහුට කිව්වත් ඔහු හිතුවේ ඒක හොඳ දෙයක් කියලයි. “මම කරන මැජික්වලින් කිසිම හානියක් වෙන්නේ නැහැ. හානියක් වෙන මැජික් තමයි හොඳ නැත්තේ” කියලා ඔහු එක හෙළාකියා සිටියා.
ඉදිරි කාලය ගැන හෙළි කරන්නත්, යක්ෂ බලපෑම්වලින් මිනිස්සුන්ව ආරක්ෂා කරන්නත් පුළුවන් බලයක් තමන්ට ලැබිලා තියෙනවා කියලා පියොට්‍ර කිව්වා. කොහොමවුණත්, පියොට්‍රගේ භාර්යාව ඔහුව දාලා ගියා.
මේ නිසා, සමහර වෙලාවට පියොට්‍ර ඇවිල්ලා සති ගානක් අපේ ගෙදර නවතිනවා. අපේ පවුල කෙරෙහි ඔහුගෙන් ඇති වුණ බලපෑම එන්න එන්නම දරුණු වුණා. මෙහෙම යද්දී, අම්මයි තාත්තයි තදින්ම බැනගන්න පටන්ගත්තා. අන්තිමේදී, ඔවුන් වෙන් වෙලා දික්කසාද වුණා. අපි අම්මත් එක්ක වෙන ගේකට ගියා. අම්මගේ ලේ නෑයෙකු වූ පියොට්‍රත් අපිත් එක්ක පදිංචියට ආවා.
අක්කා (ලූබොෆ්) බැඳලා එයාගේ මහත්තයත් එක්ක අප්‍රිකාවේ උගන්ඩාවේ පදිංචියට ගියා. මල්ලි (අලෙක්සන්ඩ) 1984 ඔක්තෝබර්වලදී නිවාඩුවකට ගිය අතර, මම සතියකට ගර්ලොෆ්කා නගරයට ගියා. ගෙදරින් පිට වෙලා යනකොට මං කිව්වේ අම්මේ මං යනවා කියලා විතරයි. මම ඊට වඩා දෙයක් කිව්වා නම් කොච්චර හොඳද! ඊටත් වඩා හොඳයි යන්නේ නැතුව හිටියා නම්! ඊටපස්සේ ආයි කවදාවත්ම මට අම්මව පණ පිටින් දැකගන්න ලැබුණේ නැහැ.
“ඔයාගේ රත්තරං අම්මා මැරුණා”
මම ගර්ලොෆ්කාවල ඉඳලා ආපහු එනකොට ගෙට අගුලු දාලා, ඇතුල් වීම තහනම් කියලා ලියපු පොලිස් දැන්වීමක් දොරේ එල්ලලා තිබුණා. මගේ සර්වාංගෙම දාලා ගියා. අල්ලපු ගෙදරට ගිහිං ඇයි මේ කියලා ඇහැව්වහම ඔල්ගට කතා කරගන්න බැරුව ගියා. ඇගේ මහත්තයා ව්ලඩිමිර් කරුණාවන්තව මෙහෙම කිව්වා. “ටට්නා, මහ අමුතු දෙයක් තමයි සිද්ධ වුණේ. ඔයාගේ රත්තරං අම්මා මැරුණා. පියොට්‍ර එයාව මැරුවා. ඊට පස්සේ අපේ ගෙදරට ඇවිත් ටෙලිෆෝන් එකෙන් පොලිසියට කතා කරලා, පොලිසියට භාර වුණා.”
පොලිසිය, මේ අශුභ ආරංචිය ඇත්ත බව තහවුරු කරලා, අපේ ගෙදර යතුරු මට භාර දුන්නා. මට පියොට්‍ර එක්ක ඇති වුණේ පුදුම තරහක්. කොච්චර කේන්ති ගියාද කියනවා නම්, පියොට්‍රට අයිති දේවලින් වැඩිහරියක්, මැජික් ගැන ලියලා තියෙන පොත් පවා රෙද්දක් උඩට විසි කරලා, ඒක ළඟපාත තියෙන යායකට ගෙනිහින් පුච්චලා දැම්මා.
අලෙක්සන්ඩට ආරංචිය ලැබිලා ඔහුත් මං වගේම පියොට්‍ර එක්ක වෛර බැඳගත්තා. ඊට පස්සේ අලෙක්සන්ඩව හමුදාවට බන්දගත්ත නිසා ඔහුට ඈතකට යන්න සිද්ධ වුණා. තාත්තා ආවා අපේ ගෙදර නවතින්න. අක්කත් උගන්ඩාවේ ඉඳලා ආවා ටික කාලෙකට අපිත් එක්ක නවතින්න. ඇතැම් අවස්ථාවලදී, දුෂ්ට ආත්ම බලවේග අපිට හිරිහැර කරන බව සිතීමට හේතු තිබුණා. ඊට අමතරව, තාත්තා භයානක හීන දකින්නත් පටන්ගත්තා. අම්මගේ මරණයට ඔහු වග කියන්න ඕනෙ කියලයි ඔහුට හැඟුණේ. “මම එයා එක්ක හිටියා නම් අදත් එයා ජීවතුන් අතර” කියලා ඔහු පැවසුවා. වැඩි කල් යන්න මත්තෙන්, තාත්තා අන්තයටම කලකිරුණා. අම්මා මැරිලා මාස හතරක් යන්න කලින් ඔහු දිවි නහගත්තා.
තාත්තගේ මරණෙන් පස්සේ අලෙක්සන්ඩ ආපහු හමුදාවේ වැඩට ගිය අතර ලූබොෆ් උගන්ඩාවට ගියා. අපේ ගෙදර ඉඳලා විනාඩි 30කින් යන්න පුළුවන් මකෙයිව්කා ඉන්ජිනේරු විද්‍යා ආයතනයේ ඉගෙනගනිමින් අලුත් ජීවිතයක් පටන්ගන්න මම වෑයම් කළා. සිද්ධ වුණ සමහර දේවල් අමතක කරලා දාන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන මම ගේ අලුත්වැඩියා කරලා ලස්සන කළා. ඒත් භූත හිරිහැර තිබෙන බව සැක කරන්න තවදුරටත් හේතු තිබුණා.
“අනේ දෙවියනි, ඔබ ජීවමානව ඉන්නවා නම්”
අලෙක්සන්ඩ ඔහුගේ හමුදා සේවා කාලය නිම කරලා ආපහු ගෙදර ආවා. ඊට පස්සේ ඔහුත් මාත් අතර නිතර නිතර වාද ඇති වෙන්න පටන්ගත්තා. ඔහු විවාහ වුණා. මම ගෙදරින් කිලෝමීටර් 170ක් විතර දුරින් වූ ආෂොව් මුහුදු තීරයේ පිහිටි රුසියානු නගරයක් වන රොස්ටෝව්වලට මාස කීපයකට ගියා. අන්තිමේදී, පියොට්‍රගේ ඉතුරු වෙලා තිබ්බ හැම දෙයක්ම ඉවත් කරන්න මම තීරණය කළා.
මම කොච්චර කලකිරුණද කියනවා නම් මට පණ නහගන්න හිතුණා. ඒත් “ඇත්තටම දෙවි කෙනෙක් ජීවමානව ඉන්නවා නම්” කියලා අම්මා නිතර කිවූ දේ මගේ දෙකන්වල රැව් පිළිරැව් දුන්නා. දිනක් රාත්‍රියේ මම මුල් වතාවට යාච්ඤා කළා. “අනේ දෙවියනි, ඔබ ජීවමානව ඉන්නවා නම්, ජීවිතයේ අරමුණ මොකක්ද කියලා මට පෙන්වන්න” කියලා මම ආයාචනා කළා. ඊට දවස් කීපයකට පස්සේ උගන්ඩාවට එන්න කියලා අක්කා මට ලියුමක් එව්වා. ඉතින් මම පණ නහගන්න හිතුව අදහස වෙනස් කරගත්තා.
උගන්ඩාවේදී පුදුම දේවල්
යුක්‍රේනයට වඩා හාත්පසින්ම වෙනස් උගන්ඩාව වැනි ස්ථානයක් මේ ලෝකයේ තවත් නැතුව ඇති. වර්ෂ 1989 මාර්තුවලදී මම ගුවන් යානයෙන් එන්ටෙබ්වලට ගියා. ගුවන් යානයෙන් ගොඩ බැස්ස ගමන් මට දැනුණේ උදුනකට අඩිය තිබ්බා වගෙයි. ඒ වගේ රස්නයක් නම් මට කවදාවත් දැනිලා නැහැ. ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි, මොකද මම සෝවියට් ජනරජයෙන් පිටට ගිය මුල් වතාව ඒකයි. එහේ මිනිස්සු කතා කළේ ඉංග්‍රීසි භාෂාවයි. ඒක මට තේරුණේ නැති භාෂාවක්.
කම්පාලාවලට යන්න මම ටැක්සියකට ගොඩ වුණා. එහාට යන්න විනාඩි 45ක් විතර යනවා. මට හුරු පුරුදුව තිබුණු භූ දර්ශනයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දර්ශනයක් දකින්න තිබුණ නිසා මට දැනුණේ මම තවත් ලෝකයකට ඇවිල්ලා කියලයි.
ඒත් මගේ රියදුරා මදහස මුව පිරි කරුණාවන්ත කෙනෙක්. ඔහු කොහොමහරි ලූබොෆ් හා ඇගේ මහත්තයාගේ (ජෝසෆ්ගේ) නිවස හොයාගත්තා. එතකොට මට දැනුණේ පුදුම සහනයක්!ලූබොෆ් යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කර කර හිටියා. ඔවුන් ගැන කවදාවත් මම අහලා තිබුණේ නැතත් මට කොහොමහරි ඔවුන් ගැන කියන්න ලූබොෆ්ට ඕනෙ වුණා. ගෙදර දොරේ වැඩ කරන ගමන් ඈ උත්පත්ති ඉඳලා එළිදරව් වෙනකම් ඉගෙනගෙන තිබුණ හැම දෙයක් ගැනම මට කියන්න උත්සාහ කළා. අවංකවම කියනවා නම් ඒක මට මහ වදයක් වුණා!
දවසක් අක්කගේ පාඩම පවත්වන සාක්ෂිකරුවන් එයාගේ ගෙදරට ආවා. ඔවුන්ගෙන් එක්කෙනෙක් මාරිආනායි. ඒ මොහොතේම ඇය මට දේශනා කරන්න උත්සාහ කළේ නැහැ. කොහොමවුණත් මට එතකොට ඉංග්‍රීසි එච්චර තේරුණෙත් නැහැ. නමුත් ස්නේහය පිරි ඇගේ මිත්‍රශීලී නෙත්වලින් කියා පෑවේ ඈ අවංක සුහදශීලී තැනැත්තියක් බවයි. “බලව! මම සියල්ලම අලුත් කරමි” නම් පොත්පිංචයේ තිබුණු පාරාදීසයක පින්තූරයක් ඈ මට පෙන්නුවා. “මේ කාන්තාව දිහා බලන්න. මේ ඉන්නේ ඔයා. මේ අනිත් කාන්තාව මම. මෙතන ඉන්න අනිත් හැමෝම එක්ක අපි දෙන්නත් පාරාදීසයේ එකට ඉන්නවා. කොච්චර ආස හිතෙන දෙයක්ද නේද” කියා ඇය මට පැවසුවා.
කම්පාලාවල හිටිය වෙන සාක්ෂිකරුවනුත් ලූබොෆ්ව සහ ජෝසෆ්ව බලන්න වරින් වර ආවා. ඒගොල්ලෝ හුඟක් මිත්‍රශීලීව හිටිය නිසා මාව ඇදලාගන්නවත් හදනවද කියලා මට සැකයක් පහළ වුණා. සති කීපයකට පස්සේ මම මගේ මුල්ම රැස්වීමට ගියා. ඒක ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය සිහි කිරීමේ රැස්වීමයි. (ලූක් 22:19) කිව්ව දේවල් මට ඒ තරම් වැටහුණේ නැතත්, එතන හිටිය අය හුඟක් මිත්‍රශීලී අය හින්දා ආපහු මගේ හිත ඇදිලා ගියා.
‘මුල ඉඳලා අගටම කියවන්න’
මාරිආනා මට රුසියානු බයිබලයක් දුන්නා. මුල් වතාවට මගේම කියලා බයිබලයක් මට ලැබුණේ එදායි. “මුල ඉඳලා අගටම බයිබලේ කියවන්න. ඔයාට හැම දෙයක්ම තේරුණේ නැතත් ඔක්කොම කියවන්න” කියලා ඈ ආයාචනාත්මකව පැවසුවා.
මාරිආනාගේ තෑග්ග ලැබුණහම මට අමුතුම සතුටක් ඇති වුණා. මම තීරණය කළා ඇගේ උපදෙස පිළිපදින්න. ඒ විතරක් නෙවෙයි, මම මෙහෙමත් හිතුවා. ‘බයිබලයක් තිබිලත් කියවන්නේ නැත්නම් ඇති ඵලේ මොකක්ද?’
මම යුක්රේනයට යනකොට මගේ බයිබලයත් අරගෙනයි ගියේ. ඊළඟ මාස කීපය තුළදී මම රුසියාවේ මොස්කව්වල වැඩ කළ අතර විවේක වෙලාවට බයිබලය කියවන්න පටන්ගත්තා. මාස නවයකට පස්සේ මම ආපහු උගන්ඩාවට යනකොට ඒකෙන් භාගයක්ම කියවලා තිබුණා. ආපහු කම්පාලාවලට ගියහම අනාගතය සම්බන්ධයෙන් මවිතාකාර බලාපොරොත්තුවක් මාරිආනා මට බයිබලයෙන් පෙන්නුවා. පාරාදීසයක්! නැවත නැඟිටීමක්! අම්මවයි තාත්තවයි ආපහු දකින්න ලැබෙනවා! මේ දේවල් මට ඉගෙනගන්න ලැබිලා තියෙන්නේ මම ඩොනෙට්ස්ක්වල ඉන්නකොට කරපු යාච්ඤාවට උත්තරයක් හැටියට බව මට වැටහුණා.—ක්‍රියා 24:15; එළිදරව් 21:3-5.
අපි යක්ෂ ආත්ම කියන විෂය පාඩම් කරද්දී මම අහගෙන හිටියේ පුදුම උනන්දුවකින්. හුඟ කාලෙක ඉඳලා මට පහළ වෙලා තිබුණ සැකය බයිබලයෙන් තවත් තහවුරු වුණා. හොඳ එහෙමත් නැත්නම් හානියක් සිදු නොකරන මැජික් කියලා දෙයක් නැහැ. මැජික්වල් පිරිලා තියෙන්නේ අනතුරුදායක දේවල්. අපේම පවුලට සිද්ධ වුණ දේවල් දිහා බලද්දී මට ඒ ගැන තවත් සාක්ෂි අවශ්‍ය වුණේ නැහැ. මම පියොට්‍රට අයිති දේවල් පුච්චලා දැම්මහම නොදැනුවත්වම කරලා තියෙන්නේ හරි දෙයයි. මුල් ක්‍රිස්තියානීනුත් යෙහෝවාට සේවය කරන්න පටන්ගත්තහම මැජික් ගැන ලියලා තියෙන ඔවුන්ගේ පොත් පුච්චලා දැම්මා.—ද්විතීය කථාව 18:9-12; ක්‍රියා 19:19.
මට බයිබලයේ තියෙන දේවල් වැඩි වැඩියෙන් තේරුම් යද්දී, මට සත්‍යය ලැබිලා තියෙන බව වඩ වඩා සහතික වුණා. මම සිගරට් බොන එක අත්ඇරලා 1990 දෙසැම්බර්වලදී යෙහෝවාට කැපවීමේ සංකේතයක් හැටියට බව්තීස්ම වුණා. ඊට මාස තුනකට ඉස්සෙල්ලා ලූබොෆ් බව්තීස්ම වූ අතර 1993දී ජෝසෆ් බව්තීස්ම වුණා.
නැවතත් ඩොනෙට්ස්ක්වල
වර්ෂ 1991දී මම ඩොනෙට්ස්ක්වලට ආපහු ගියා. ඒ අවුරුද්දේදීම යුක්රේන්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ආගමික කණ්ඩායමක් වශයෙන් නීතිමය ලෙස පිළිගත් නිසා අපිට නිදහසේ එක්රැස් වෙන්නත්, විවෘතව දේශනා සේවයේ යන්නත් හැකි වුණා. අපි එක්ක ටික වෙලාවක් ගත කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්ක අපි වීදියේදී සංවාදයන් ඇරඹුවා. දෙවි කෙනෙකුව අදහන්නේ නැති හුඟදෙනෙක් ඉන්න රටක පවා, වැඩිදෙනෙක් දේවරාජ්‍යය ගැන ඉගෙනගන්න ආසාවෙන් හිටියා.
එක්දාස් නවසිය අනූගණන්වල මුල් කාලයේදී බයිබල් පොත් පත් තිබුණේ සුළු ප්‍රමාණයක් නිසා ආයි භාර දෙන පොරොන්දුව පිට පොත් පත් රැගෙන යන්න පුළුවන් විදිහේ පුස්තකාලයක් අපි ඩොනෙට්ස්ක්හි වීදිවල පවත්වාගෙන ගියා. අපි නගරයේ ප්‍රධාන චතුරස්‍රයේ
තැනක අපේ පොත් සහ පොත් පිංච ප්‍රදර්ශනය කරලා තිබ්බා. වැඩි වෙලාවක් යන්න කලින් මිත්‍රශීලී අය කුතුහලයෙන් නැවතිලා අපෙන් ප්‍රශ්න අහන්න පටන්ගත්තා. පොත් පත් ඕන වෙලා ඒවා රැගෙන ගිය අයට අපි නිවාස බයිබල් පාඩමක් ඉදිරිපත් කළා.මම 1992දී පුරෝගාමියෙකු, ඒ කියන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයෙකු බවට පත් වුණා. වර්ෂ 1993 සැප්තැම්බර්වලදී ජර්මනියේ සෙල්ටර්ස්වල වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ පරිවර්තන කණ්ඩායමකට හවුල් වෙන්න කියලා මට ආරාධනයක් ලැබුණා. යුක්රේන්වල ලාවොෆ්හි අපේ ශාඛා ගොඩනැඟිල්ල ඉදි කර අවසන් කරන තුරු අපි 1998 සැප්තැම්බර්වලදී පෝලන්තයේ වෝර්සෝවලට මාරු වුණා.
යුක්රේනයේ යෙහෝවාගේ සෙනඟගේ වැඩිවර්ධනය පුදුමසහගතයි. ඩොනෙට්ස්ක්වල 1991දී තිබුණේ එක සභාවයි; හිටියේ සාක්ෂිකරුවන් 110යි. නමුත් දැන් සභා 24ක් තියෙනවා; සාක්ෂිකරුවන් 3,000කට වඩා ඉන්නවා! වර්ෂ 1997දී මම ඩොනෙට්ස්වලට ගියහම අහන්න ලැබුණේ ප්‍රීතිමත් ආරංචි විතරක් නෙවෙයි නමුත් දුකට පත් කරවන ආරංචියකුත් අහන්න ලැබුණා.
“පියොට්‍ර ඔයාව හොයනවා”
අපේ පවුල ගැන දැනගෙන හිටිය සාක්ෂිකාරියක් වූ ජූලියා මම ඩොනෙට්ස්ක්වල ඉන්න කාලයේදී මාව භයගන්වන දෙයක් කිව්වා. “පියොට්‍ර ඔයාව හොයනවා. ඔයත් එක්ක කතා කරන්න ඕනෙ කියලා එයා කිව්වා.”
ඒ හැන්දෑවේ ගෙදර ඉන්නකොට මම අඬ අඬා යෙහෝවාට යාච්ඤා කළා. පියොට්‍රට මාව හම්බ වෙන්න ඕනෙ මොකටද? ඔහු කළ අපරාධවලට ඔහු අවුරුදු ගානක්ම හිරබත් කෑ බව මම දැනගෙන හිටියා. ඔහු කරලා තිබුණ දේවල් නිසා මම ඔහුට වෛර කළා. මට හිතුණේ ඔහු යෙහෝවාගේ නව ලෝකය ගැන ඉගෙනගන්න සුදුස්සෙක් නෙවෙයි කියලයි. මේ කාරණය සම්බන්ධයෙන් දවස් ගානක්ම මම යාච්ඤා කළ අතර, සදාකාල ජීවනය ලැබීමට සුදුසු කවුද කියා තීරණය කිරීම මට අයිති දෙයක් නෙවෙයි කියන එක මට වැටහුණා. තමාගේ එක පැත්තක එල්ලලා හිටිය අපරාධකාරයාට යේසුස් ක්‍රිස්තුස් දුන් පොරොන්දුව මගේ මතකයට ආවා. අපරාධකාරයා තමා සමඟ පාරාදීසයේ ඉන්න යන බව ඔහු පැවසුවා.—ලූක් 23:42, 43.
මේ විදිහට කල්පනා කෙරුවට පස්සේ මම තීරණය කළා පියොට්‍රව මුණගැහිලා මෙසියානු රාජ්‍යය ගැනත්, දෙවිගේ නව පිළිවෙළ ගැනත් සාක්ෂියක් දරන්න. තවත් ක්‍රිස්තියානි සහෝදරයන් දෙන්නෙක් එක්ක මම ජූලියා දුන්න ලිපිනය හොයාගෙන ගියා. අම්මගේ මරණෙන් පස්සේ මට පියොට්‍රව මුණගැහුණ මුල් වතාව ඒකයි.
ඒ වෙලාවේ තිබුණේ ටිකක් කලබලකාරි ගතියක්. මම දැන් යෙහෝවාගේ සාක්ෂිකාරියක් බවත්, මේ පිළිවෙළේදී අපි හැමෝම කරදර අද්දකින්නේ එහෙමත් නැත්නම් සමහරවිට ඛේදවාචකයන්ට පවා අපිට
පුද්ගලිකව මූණ දෙන්න සිද්ධ වන්නේ ඇයි කියලා තේරුම්ගන්න බයිබලය මට උපකාර කළ බවත් මම පියොට්‍රට පැහැදිලි කළා. අපේ අම්මත් තාත්තාත් නැතිවීම අපිට දරාගන්න කොයි තරම් අමාරු වුණාද කියලත් මම පියොට්‍රට කිව්වා.මගේ අම්මව මරන්න කියලා කියන හඬක් ඇහුණ බවත්, ඊට පස්සේ ඒ දවසේදී සිද්ධ වුණේ මොනවද කියලත් ඔහු විස්තර කරන්න පටන්ගත්තා. අහගෙන ඉන්නත් පිළිකුල් ඔහුගේ කතාවට ඇහුම්කන් දෙද්දී මට ඔහු ගැන අනුකම්පාවකුත් ඇති වුණා. මොකද ඔහු දඩයම් කරපු සතෙක් වගේ ගැහි ගැහීයි හිටියේ. පියොට්‍ර කතා කරලා ඉවර වුණාට පස්සේ බයිබලයේ තියෙන මවිතාකාර පොරොන්දු කීපයක් ඔහුට පෙන්වන්න මම වෑයම් කළා. ඔහු යේසුස්ව විශ්වාස කරනවා කිව්ව නිසා මම ඔහුගෙන් මෙහෙම ඇහැව්වා:
“ඔයා ළඟ බයිබලයක් තියෙනවාද?”
“තාම නෑ. මම එකක් ඉල්ලුම් කරලයි තියෙන්නේ” ඔහු පිළිතුරු දුන්නා.
“බයිබලයේ කියන විදිහට සැබෑ දෙවිගේ පෞද්ගලික නම යෙහෝවා බව ඔයා දැනටමත් දන්නවා ඇති.”—ගීතාවලිය 83:17.
ඒ නම ඇහෙද්දී පියොට්‍ර කලබල වුණා. “ඔය නම නම් මට ඇහෙන්න කියන්න එපා. ඔය නම ඇහෙනකොටත් මගේ ඇඟේ මාළු නටනවා” කියලා ඔහු කිව්වා. දෙවිගේ මවිතාකාර පොරොන්දු ගැන පියොට්‍රට කියන්න අපි මොනතරම් උත්සාහ කළත් කිසිම ඵලක් වුණේ නැහැ.
එතනින් පිට වෙලා යද්දී මට එක දෙයක් හොඳින් පැහැදිලි වෙලා තිබුණා: මම නිකම්වත් යෙහෝවාව අඳුරගෙන නොතිබුණා නම්, එක්කෝ අම්මව මැරුවා වගේ මාවත් මරලා දාලා එහෙමත් නැත්නම් තාත්තා වගේ මාත් මෙලහකට දිවි නහගෙන. එහෙමත් නැත්නම් පියොට්‍ර වගේ ජරා දේවල් කරන්න මාවත් පෙලඹිලා. ඇත්තටම සැබෑ දෙවි වූ යෙහෝවාව දැනගන්න ලැබුණ එක ගැන මම කොයිතරම් කෘතඥපූර්වක වෙන්න ඕනෙද!
අතීතයට නොව අනාගතයට එබිකම් කරන්න
මේ දුක්ඛදායක අද්දැකීම් මතකයෙන් ඈත් කරන එක ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. දැන් පවා සමහර දේවල් මතක් වෙද්දී මට ඇති වෙන්නේ හරිම වේදනාවක් වගේම කලකිරීමක්. ඒත් යෙහෝවා ගැනත්, ඔහුගේ පොරොන්දු ගැනත් දැනගන්න මට ලැබුණහම සුවදායක තත්වයක් ඇති වෙන්න පටන්ගත්තා. බයිබල් සත්‍යය මට උගන්වලා තියෙන්නේ අතීතයට නෙවෙයි, අනාගතයට එබිකම් කරන්නයි. ඇත්තෙන්ම යෙහෝවා ඔහුගේ සේවකයන්ට දෙන්න සූදානම් කරලා තියෙන්නේ මොනතරම් කදිම අනාගතයක්ද!
ඒ කාලයේදී පාරාදීස පොළොව මත මළවුන්ව පවා නැඟිටුවන්න යනවා. මගේ දෙමාපියන්ව මට ආපහු පණ පිටින් දකින්න ලැබෙනකොට මට මොනතරම් ප්‍රීතියක් ඇති වෙයිද! බලාගෙන ගියහම තාත්තා කියපු වචනවලත් ඇත්තක් තියෙනවා. “අපි මේ පොළොවෙ ඉන්න අමුත්තන් විතරයි.” ඒ වගේම ඇත්තෙන්ම දෙවි ජීවමානව ඉන්නවා කියලා විශ්වාස කරන්න පෙලඹුණ එකෙන් අම්මා කළේ ඇත්තෙන්ම හරි දෙයයි. මගේ හද පත්ලේ තෙරපෙන ආශාව වෙලා තියෙන්නේ අම්මයි, තාත්තයි දෙවිගේ නව පිළිවෙළේදී නැවත නැඟිටිනකොට ඒගොල්ලන්ට බයිබල් සත්‍යයන් උගන්වන්නයි.
[පාදසටහන]
a නම වෙනස් කර ඇත.
[26වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
අම්මගේ මරණෙන් පස්සේ මට ඇගේ මිනිමරුවාව මුණගැහුණ මුල් වතාව ඒකයි
[25වන පිටුවේ පින්තූරය]
උගන්ඩාවේදී මට ඉගැන්නුව මිෂනාරිවරුන් දෙදෙනා වන මාරිආනාව සහ හයින්ස් වර්තෝල්ස්ව හමු වූ මොහොත
[25වන පිටුවේ පින්තූරය]
කම්පාලාවල මම බව්තීස්ම වෙද්දී
[26වන පිටුවේ පින්තූරය]
පෝලන්තයේ වෝර්සෝහි යුක්‍රේනියානු පරිවර්තන අංශයේ වැඩ කරද්දී