Skip to content

පටුනට යන්න

දිවා ආලෝකය සුරැකීම—අකලට කළ යෝජනාවක්

දිවා ආලෝකය සුරැකීම—අකලට කළ යෝජනාවක්

දිවා ආලෝකය සුරැකීම—අකලට කළ යෝජනාවක්

බොහෝ රටවල වසරකට දෙවතාවක් වේලාව සකස් කළ යුත්තේ ඇයි? ඇතමෙකු මෙලෙස වේලාව අඩු වැඩි කිරීම මහත් කරදරයක් ලෙස සලකයි. තවද වේලාව වැඩි කරන්න අවශ්‍ය වන්නේ කවදාද? එය නැවතත් අඩු කළ යුත්තේ කවදාද? බොහෝ රටවල වසන්ත ඍතුවේදී වේලාව වැඩි කරන අතර ශරත් ඍතුවේදී වේලාව අඩු කරයි. දිවා ආලෝකය සුරැකීම යන අදහස ඇති වූයේ කෙසේද? තවද එය යෝජනා කෙරුවේ කවුද? යන ප්‍රශ්න පැනනැඟී ඇත.

අමෙරිකාවේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු සහ දේශපාලන විශාරදයෙකු වූ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් 1784දී මෙම අදහස මුලින්ම යෝජනා කළ බව බ්‍රිටැනිකා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) පවසයි. නමුත් එය කදිම අදහසක් ලෙස පිළිගෙන ක්‍රියාත්මක කිරීමට ශතවර්ෂයකට වඩා වැඩි කාලයක් ගත විය. එය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාශීලී උත්සාහයක යෙදුණේ විලියම් විලට් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයායි. එනමුත් පාර්ලිමේන්තුව විසින් මේ අදහස නීතියක් වශයෙන් ස්ථාපිත කිරීමට ප්‍රථමයෙන් ඔහු මිය ගියේය.

කෙන්ට් ප්‍රාන්තයේ චිසල්හර්ස්ට් දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ගොඩනැඟිලි ඉදිකරන්නෙක් වූ විලියම් විලට් වේලාව වෙනස් කර දිවා ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමේ වැදගත්කම වටහාගත් ආකාරය ගැන ටෝනි ෆ්‍රාන්සිස් නම් ලේඛකයා මෙසේ පවසයි. එක් ග්‍රීෂ්ම දිනක පාන්දරින්ම අවදි වූ විලට් ඔහුගේ අශ්වයා පිට නැඟ පෙට්ස් නමැති නගරය හරහා ගමන් කළේය. අවුරුද්දේ අන් කිසිම කාලයකට වඩා මේ ඍතුවේදී වේලාසනින්ම හිරු උදා වෙයි. එහෙත් තවමත් ඔරලෝසුවේ සඳහන් වේලාවට අනුව නම් වේලාසන වැඩි හෙයින් බොහෝ මිනිස්සු ගෙවල් දොරවල් වසාගෙන නිදාගෙන සිටියහ. ‘උදෑසන ආලෝකය කොතරම් නාස්ති කිරීමක්ද!’ කියා ඔහුට නිසැකවම සිතෙන්න ඇති. එමනිසා වේලාව වැඩි කළහොත් මිනිසුන් මේ වන විටත් අවදිව සිටීවියි කියා තේරුම්ගත් ඔහු පාර්ලිමේන්තුවෙන් මෙය නීතියක් හැටියට ස්ථාපිත කරවීමට මහත් සේ වෙර දැරුවේය. මේ අනුව වසන්ත ඍතුව ආරම්භ වන මාසය තුළ සතර වතාවක් එනම් සතියකට වරක් වේලාව විනාඩි 20කින් වැඩි කිරීමටද, ශරත් ඍතුව අවසන් වන මාසයේ සතර වතාවක් එනම් සතියකට වරක් වේලාව විනාඩි 20කින් අඩු කිරීමටත් ඔහු යෝජනා කළේය. මේ ආකාරයට සවස් වරුවේ වැඩි කාලයක් හිරු එළිය භුක්ති විඳීමට ජනතාවට හැකි වන බව ඔහු පෙන්වා දුන්නේය.

“ආලෝකය යනු මැවුම්කරු මිනිසාට දී ඇති අතිවිශිෂ්ට දීමනාවකි. හිරු එළිය බබළද්දී සන්තෝෂය රජයයි. කනස්සලු වීමට කිසියම් හේතුවක් අපට තිබුණත් ආලෝකය තිබෙන විටදී එහි පීඩනය අප මත එතරම්ම බලපාන්නේ නැහැ. තවද ජීවිතයේ ගැටලුවලට එඩිතරව මුහුණ දීමට එයින් අපට විශාල දිරිගැන්වීමක් ලැබෙනවා” කියා විලට් ලිවූ එක් පත්‍රිකාවක සඳහන් වූ බව ෆ්‍රාන්සිස් තව දුරටත් කියයි.

එවකට පාලනය කළ හත්වැනි එඩ්වර්ඩ් රජ පාර්ලිමේන්තුව විසින් පනතක් ස්ථාපිත කරන තෙක් බලා සිටියේ නැත. සැන්ඩ්‍රින්හම්හි පිහිටා තිබුණු ඔහුගේ රාජකීය මන්දිරයට අයත් අක්කර 19,500හි ඔහු වේලාව වෙනස් කරමින් එම ප්‍රදේශය දිවා ආලෝකය සුරැකුම් කලාපයක් බවට පත් කළේය. පසුව වින්ඩ්සර්හි සහ බැල්මෝරල්හි පිහිටි අනෙක් රාජකීය ඉඩම්ද එලෙසම දිවා ආලෝකය සුරැකුම් කලාප කළ යුතුයයි ඔහු තීරණය කළේය.

කාලයාගේ ඇවෑමෙන් දේශපාලනඥයන්ද කෙමෙන් කෙමෙන් විලට්ගේ අදහසට එකඟ විය. ඊට හේතුව කුමක් වීද? පළමුවන ලෝක මහා යුද්ධය පැවති කාලයේදී විදුලිය සංරක්ෂණය කිරීම ඔවුන්ට අවශ්‍ය විය. එමනිසා වසන්ත සමයෙහි වේලාව වැඩි කර වැඩි කාලයක් පවතින්නාවූ ස්වාභාවික ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔවුහු උනන්දු වූහ. මේ ගැටලුව බලපෑ වෙනත් රටවල්ද මෙලෙසම දිවා ආලෝකය සුරැකීමට උත්සුක විය. දෙවන ලෝක මහා යුද්ධය පැවති කාලයේදී බ්‍රිතාන්‍යයෙහි අවුරුද්ද පුරාම මෙම ක්‍රමය ක්‍රියාත්මක විය. අවුරුද්ද පුරාම දිවා ආලෝකය සුරැකීමට ග්‍රීෂ්ම කාලයේදී වේලාව පැය දෙකකින් වැඩි කළ අතර ශීත ඍතුවෙහි වේලාව පැයකින් වැඩි කෙරිණ.

විලියම් විලට්ව සැමරීමට පෙට්ස් නමැති නගරයෙහි ස්මාරකයක් තනා ඇත. එය දකුණු පැත්තෙහි තිබෙන පින්තූරයෙහි දැක්වෙයි. එහි ඔහු ගැන සඳහන් කර ඇත්තේ “වෙහෙස මහන්සිය නොතකා ‘ග්‍රීෂ්ම කාලයට’ අනුබල දුන් තැනැත්තා” කියායි. එම ස්මාරකයෙහි හිරුගේ ඡායාව මාර්ගයෙන් වේලාව කියන යන්ත්‍රයක්ද සවි කර ඇත. එයට පහළින් හෝරස් නොන් නුමේරෝ නිසි අයිස්ටිවාස් කියා ලියා ඇත. එහි අර්ථය වන්නේ, “මා කාලය පැය ගණන්වලින් ගනින්නේ ඒවා ග්‍රීෂ්ම කාලයේ පැය නම් පමණි” යන්නයි.

[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

With thanks to the National Trust