Skip to content

පටුනට යන්න

“අමරණීයත්වය” ලබා දෙන ජානය සොයා

“අමරණීයත්වය” ලබා දෙන ජානය සොයා

“අමරණීයත්වය” ලබා දෙන ජානය සොයා

මිනිසා මිය යෑමට හේතුව ගැන කියවෙන පුරාවෘත්ත බොහෝ ශිෂ්ටාචාරවල දැකිය හැකියි. උදාහරණයක් හැටියට, මිනිසුන්ට අමරණීයත්වය දීමට දෙවි විසින් කටුස්සෙකුව එවනු ලැබූ බව එක් අප්‍රිකානු පුරාවෘත්තයක පැවසෙනවා. කෙසේවෙතත්, මේ කටුස්සා මොනතරම් සෙමින් ගමන් කළාද කියනවා නම්, මරණය නමැති පණිවිඩය රැගෙන වෙනත් කටුස්සෙක් ඊට කලින් පැමිණියා. පහසුවෙන්ම රැවටෙනසුලු මිනිස්සු ඒ පණිවිඩය පිළිගත් නිසා මිනිසුන්ට ලැබෙන්න තිබුණු අමරණීයත්වය අහිමි වුණා.

මිනිසා මිය යන්නේ ඇයි යන ප්‍රශ්නයට උත්තරය සොයාගැනීමට දාර්ශනිකයන් සියවස් ගණනාවක් පුරා උත්සාහ කර තිබෙනවා. යම් පුද්ගලයෙකුගේ ජීවිතයේ අඛණ්ඩ පැවැත්ම රඳාපවතින්නේ සිරුරේ උෂ්ණත්වය සමබර මට්ටමක පවත්වාගැනීමට එම පුද්ගලයාගේ සිරුරට තිබෙන හැකියාව මතයි කියා පො.යු.පෙ. හතරවන සියවසේ විසූ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් ඉගැන්වුවා. “බොහෝ අවස්ථාවලදී මරණයට හේතුව සිරුරේ උෂ්ණත්වය පහළ බැසීමයි” කියා ඔහු තවදුරටත් පැවසුවා. අනිත් අතට ප්ලේටෝ ඉගැන්වූයේ, මිය යන විට දිගටම පවතින අමරණීය ආත්මයක් මිනිසාට තිබෙන බවයි.

නවීන විද්‍යාවේ දියුණුව විස්මය දනවනසුලුයි. එහෙත් ජීව විද්‍යාඥයන් අතර පැනනැඟී තිබෙන, අපි මහලු වී මිය යන්නේ ඇයි කියන ප්‍රශ්නයට තවමත් උත්තර සොයාගෙන නැහැ. ලන්ඩනයේ පළ වන ගාඩියන් වීක්ලි නමැති සඟරාවේ මෙසේ සඳහන් වුණා. “වෛද්‍ය විද්‍යාවේ විශාලතම අභිරහස්වලින් එකක් වන්නේ හෘදයාබාධ හා පිළිකාවලින් මිනිසුන් මිය යන්නේ ඇයි කියන එක නොවෙයි, නමුත් මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වයේ කිසිම අඩුපාඩුවක් නොතිබුණත් මිනිසුන් මිය යන්නේ ඇයිද යන ප්‍රශ්නයයි. වසර 70ක් වැනි කාලපරිච්ඡේදයක් පුරා මිනිස් සෛල බෙදෙමින්, මියයන ඒවා වෙනුවට අලුත් ඒවා නිෂ්පාදනය වෙමින් පැවතුණත්, එක්වරම මෙම ක්‍රියාවලිය නතර වන්නේ ඇයි?”

මිනිසා වයසට යෑමේ ක්‍රියාවලිය තේරුම්ගැනීමේ අරමුණින් කරන පර්යේෂණවලදී ජාන විද්‍යාඥයන් හා අණුක ජීව විද්‍යාඥයන් සෛලය ගැන විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනවා. අන්වීක්ෂ යොදාගනිමින් සෛල ගැන කරන මෙම අධ්‍යයනවලින් දිගුකලක් ජීවත් වීම සදහා ඖෂධයක් සොයාගත හැකි බව විද්‍යාඥයන් බොහෝදෙනෙකුගේ විශ්වාසයයි. උදාහරණයක් හැටියට, වැඩි කල් නොගොස් ජාන ඉන්ජිනේරු විද්‍යාවේ උපකාරය ඇතුව පිළිකා හා හෘදයාබාධ සුව කළ හැකියි කියා සමහරු අනාවැකි පළ කරනවා. එහෙත් මිනිසාගේ සදාකල් ජීවත් වීමේ සිහිනය ඉටු වන දවස එන තුරා විද්‍යාවට තව කොතෙක් දුර යන්න තිබෙනවාද?

සෛලයේ අභිරහස් නිරවුල් කිරීම

කලින් පරම්පරාවේ සිටි විද්‍යාඥයන් සෛලය හා සම්බන්ධ අභිරහස් නිරවුල් කිරීමට වෑයම් කළත්, ඒ සඳහා අවශ්‍ය වූ උපකරණ ඔවුන් සතු වුණේ නැහැ. සෛලයක් සියුම් පරීක්ෂණයට ලක් කර, එහි මූලික සංඝටකවලින් බහුතරයක් නිරීක්ෂණය කරන්න විද්‍යාඥයන්ට හැකි වුණේ 20වන සියවසේ පටන්ය. ඔවුන් සොයාගත්තේ මොනවාද? විද්‍යා ලේඛක රික් ගෝර් පවසන පරිදි “සෛලය කුඩා විශ්වයක් හා සමානය.”

සෑම සෛලයක්ම සෑදී තිබෙන්නේ අණු කියා හඳුන්වන ඉතාමත් කුඩා කොටස් ප්‍රකෝටි ගණනක එකතුවකිනි. සෛලයක තිබෙන අතිමහත් සංකීර්ණබව ගැන යමක් එයින් තේරුම්ගත හැකියි. එහෙත් සෛලයක ව්‍යූහය නිරීක්ෂණය කරද්දී එහි තිබෙන ක්‍රමවත්බව හා නිර්මාණාත්මකබව ගැන කැපීපෙනෙන සාක්ෂි විද්‍යාඥයන්ට ලැබෙනවා. ස්ටැන්ෆඩ් විශ්වවිද්‍යාලයේ ජාන හා අණුක ජීව විද්‍යාව පිළිබඳ සහයක මහාචාර්ය ෆිලිප් හානවෝල්ට් මෙසේ පවසනවා. “සරලතම සප්‍රාණික සෛලයේ පවා සාමාන්‍ය වර්ධනය සඳහා මනා සංවිධානාත්මකබවකින් යුත් රසායනික ප්‍රතික්‍රියා දසදහස් ගණනක් සිදු විය යුතුයි.” ඔහු තවදුරටත් මෙසේද පවසනවා. “මෙම ඉතාමත් කුඩා කර්මාන්තශාලාවල ක්‍රමවත් බවකින් සිදු වන කාර්යයන්, රසායනාගාරයක පර්යේෂණ කටයුතුවල යෙදී සිටින විද්‍යාඥයෙකුගේ සියලුම හැකියාවන් අභිභවා යනවා.”

ජීව විද්‍යාත්මක පර්යේෂණ ඇසුරෙන් මිනිසාගේ ආයු කාලය දීර්ඝ කිරීම සඳහා සිදු කරනු ලබන අසීරු කාර්යය ගැන මදක් සිතා බලන්න. මේ සඳහා ජීවයේ මූලික සංඝටක ගැන ගැඹුරු අවබෝධයක් පමණක් නොව, එම සංඝටක දක්ෂ ලෙස මෙහෙයවීමේ හැකියාවද අවශ්‍යයි. ජීව විද්‍යාඥයන් මුහුණ දෙන අභියෝග ගැන පැහැදිලි අදහසක් ලබාගැනීම සඳහා අපි දැන් මිනිස් සෛලයක අභ්‍යන්තරයට එබී බලමු.

සෑම දෙයක්ම තීරණය වන්නේ ජාන මතයි

සෑම සෛලයකම න්‍යෂ්ටිය කියා හඳුන්වන සංකීර්ණ පාලක මධ්‍යස්ථානයක් තිබෙනවා. මෙම න්‍යෂ්ටිය සංකේතවලින් යුත් උපදෙස් මාලාවකට අනුව සෛලයේ ක්‍රියාකාරිත්වය පාලනය කරනවා. මෙම උපදෙස් තැන්පත් වී තිබෙන්නේ වර්ණදේහ තුළයි.

අපේ වර්ණදේහ තුළ අඩංගු ප්‍රධානතම දෙය වන්නේ ප්‍රෝටීන් සහ ඩයොක්සිරයිබොනියුක්ලේක් අම්ලයයි. මෙය කෙටියෙන් DNA කියා හඳුන්වනවා. a විද්‍යාඥයන් 1860 ගණන්වල අවසානභාගයේ සිට DNA ගැන දැන සිටියත්, එහි අඩංගු අණුක ව්‍යූහය පිළිබඳ තොරතුරු අනාවරණය කරගත්තේ 1953දීයි. ඉන්පසු ජාන හා සම්බන්ධ තොරතුරු ගෙන යෑමට DNA අණු මගින් යොදාගැනෙන “භාෂාව” තේරුම්ගැනීමට දශකයකට වැඩි කාලයක් ගත වුණා.—22වන පිටුවේ කොටුව බලන්න.

වර්ණදේහ ස්ථාවරව තබාගැනීමට උපකාරවත් වන DNAවල කෙටි අනුපිළිවෙළක් සෑම වර්ණදේහයකම අග තිබෙන බව ජාන විද්‍යාඥයන් 1930 ගණන්වලදී සොයාගත්තා. DNAවල කුඩා අග කොටස, ටෙලමියස් කියා හඳුන්වන අතර, මෙම වචනය සෑදී තිබෙන්නේ ටෙʹලොස් (අග) හා මෙʹරොස් (කොටස) යන ග්‍රීක් වචනවලිනි. එය සපත්තු ලේස් එකක අග තිබෙන කුඩා වැස්ම හා සමානයි. ටෙලමියස් නොතිබුණා නම් අපේ වර්ණදේහ එකින් එක වෙන් විය හැකියි. ඒ වගේම කුඩා කොටස්වලට කැඩී, එකිනෙකට ඇලෙන්නත් ඉඩ තිබෙනවා. එසේත් නැත්නම් ඒවායේ ස්ථාවරබව බිඳී යා හැකියි.

කෙසේවෙතත්, ක්‍රමවත්ව බෙදී යෑමෙන් පසු, සෛල වර්ග බොහොමයක ටෙලමියස් කෙටි වන බව පර්යේෂකයන් නිරීක්ෂණය කර තිබෙනවා. මෙසේ සෛලයක් පනස්වතාවක් පමණ බෙදී යාමෙන් පසු, එම සෛලයේ ටෙලමියස් ඉතා කුඩා ගැටිත්තක් දක්වා කෙටි වී බෙදීමේ ක්‍රියාවලිය නතර වන අතර, අවසානයේදී සෛලය මිය යනවා. මෙසේ සෛල මිය යන්න කලින් ඒවායේ බෙදීම නිශ්චිත ගණනකට සීමා වන බව මුලින්ම වාර්තා කළේ ආචාර්ය ලෙනාඩ් හේෆ්ලික් විසින් 1960 ගණන්වලදීයි. මෙම සංසිද්ධිය අද බොහෝ විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ හේෆ්ලික්ගේ සීමාව කියායි.

සෛලවල ජීව කාලය අඩුවීමට මූලික හේතුව ආචාර්ය හේෆ්ලික් සොයාගත් බව සමහරු සිතුවා. “හෝරායන්ත්‍රයක කටුව ගමන් කරන්නාක් මෙන් සෑම ජීවියෙකුගේම ජීව ශක්තිය ක්‍රමානුකූලව ක්ෂය වන අතර, එම ක්‍රියාවලිය නිශ්චිත වේලාවකදී සිදු වන ස්වයං විනාශයක් මෙන් ඇණහිටියි” කියා වයසට යෑම ගැන නව සංකල්ප ඇතුළත් 1975දී ප්‍රකාශයට පත් කළ සොබාදහම හා විද්‍යාව පිළිබඳ වාර්ෂික සංග්‍රහය නමැති පොතේ සඳහන් වුණා. මෙමගින් විද්‍යාඥයන් වයසට යෑමේ හෝරායන්ත්‍රයේ කටුව නතර කිරීමේ ඉලක්කය කරා ළඟා වෙමින් සිටින බවට වූ බලාපොරොත්තු වැඩි වෙන්න පටන්ගත්තා.

එක්දහස් නවසිය අනූගණන්වලදී පිළිකා සෛල ගැන අධ්‍යයනය කළ පර්යේෂකයන් මෙම “සෛල හෝරායන්ත්‍රය” ගැන වැදගත් හෝඩුවාවක් සොයාගත්තා. අසීමිත ගණනකට බෙදී යෑමටත් “සෛල හෝරායන්ත්‍රයේ” ගමන් කිරීම ඉක්මන් කිරීමටත් මරු කැඳවන පිළිකා සෛල කෙසේ හෝ සමත් වී තිබෙන බව ඔවුන් සොයාගත්තා. මෙම සොයාගැනීමේ ප්‍රතිඵලයක් හැටියට ඉතාමත් අසාමාන්‍යය එන්සයිමයක් සොයාගන්න ජීව විද්‍යාඥයන්ට හැකි වුණා. මුලින්ම මෙය දැනගත්තේ 1980දීයි. ටෙලමිරේස් කියා හඳුන්වන මෙම එන්සයිමය පිළිකා සෛල බොහොමයක තිබෙන බව පසුව සොයාගත්තා. මෙයින් කෙරෙන කාර්යය කුමක්ද? සරලවම කියනවා නම්, ටෙලමියස්වල දිග ප්‍රමාණය වැඩි කරමින් සෛලය තුළ තිබෙන “හෝරායන්ත්‍රයේ” කටුවේ ගමන් වේගය වෙනස් කරවීමයි.

වයසට යෑමට නිමාවක්?

ටෙලමිරේස් ගැන කළ පර්යේෂණය වැඩි කල් නොගොස්ම අණුක ජීව විද්‍යාවේ වැඩියෙන්ම කතාබහට ලක් වෙන විෂය බවට පත් වුණා. සාමාන්‍යයෙන් සෛල බෙදී යන විට ටෙලමියස්වල සිදු වන කෙටිවීම පාලනය කිරීමට ටෙලමිරේස් යොදාගන්න ජීව විද්‍යාඥයන්ට හැකි වුණොත්, වයසට යෑම නැවැත්විය හැකි බවට වූ අදහස ප්‍රචලිත වුණා. එසේ නැත්නම් අඩුම තරමින් සැලකිය යුතු කාලයකින්වත් වයසට යෑම ප්‍රමාද කළ හැකියි. “මියයන සෛල වෙනුවට අලුත් සෛල සෑදීමේ අසීමිත හැකියාවක්” සාමාන්‍යය මිනිස් සෛලවලට ලබා දිය හැකි බව, පර්යේෂකයන් ටෙලමිරේස් යොදාගනිමින් රසායනාගාරවල කළ පරීක්ෂණවලින් දැනටමත් පෙනීගොස් තිබෙන බව ජරෝන් කෝපරේෂන් නියූස් වාර්තා කිරීම උනන්දුව දනවනසුලුයි.

මෙවන් ප්‍රගතියක් ඔවුන් ලබා තිබුණත්, නුදුරු අනාගතයේදී ජීව විද්‍යාඥයන් ටෙලමිරේස් යොදාගනිමින් අපිට දීර්ඝායුෂ ලබා දෙයි කියා බලාපොරොත්තු තබාගැනීමට තරම් හොඳ හේතු නැහැ. ඒ ඇයි? එක් හේතුවක් නම් පුද්ගලයෙක් වයසට යන්නේ ටෙලමිරේස්වල ක්‍රියාකාරිත්වය අඩපණ වීම පමණක්ම නොවන නිසයි. උදාහරණයක් හැටියට වයසට යෑම නතර කිරීම නමැති පොතේ කර්තෘ ආචාර්ය මයිකල් ෆොසල් පළ කළ මෙම අදහස සැලකිල්ලට ගන්න. “වයසට යෑම කියා අද අපි දැන සිටින දෙය කවදා හෝ ජයගත්තත්, අපි නොදන්න යම් අලුත්ම හේතුවක් ඇති වීමෙන් වයසට යෑම වැළැක්විය නොහැකි වෙයි. ටෙලමිරේස්වල ක්‍රියාකාරිත්වය දිගටම පවත්වාගැනීමට අපිට හැකි වුණොත් මහලු වයස නිසා ඇති වන රෝග සුව කරගැනීමටත් හැකියි. කෙසේවෙතත්, දිගුකලක් පාවිච්චි කිරීම නිසා ක්‍රියා විරහිත වන භාණ්ඩයක් වගේ අපි අවසානයේදී මිය යනවා.”

ඇත්තෙන්ම, වයසට යෑමේ ක්‍රියාවලිය කෙරෙහි බලපාන ජීව විද්‍යාත්මක සාධක ගණනාවක්ම තිබෙනවා. තවමත් විද්‍යාඥයන්ට ඒවා සොයාගෙන පිළියම් යෙදීමට හැකි වී නැහැ. මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ ලෙනාඩ් ග්වරෙන්ට් මෙසේ පවසනවා. “වයසට යෑම තවමත් ලොකු අභිරහසක්.”—සයන්ටිෆික් අමෙරිකන්, ශරත් ඍතුව 1999.

මිනිසුන් මහලු වීමටත් මිය යෑමටත් හේතුව තේරුම්ගැනීම සඳහා ජීව විද්‍යාඥයන් හා ජාන විද්‍යාඥයන් දිගටම සෛලය පරීක්ෂණවලට ලක් කළත්, සැබෑ හේතුව හෙළි කරන්නේ දෙවිගේ වචනය පමණයි. එහි සරලව මෙසේ සඳහන් වෙනවා. “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.” (රෝම 5:12) ඔව්, මිනිසාගේ මරණයට හේතු වී තිබෙන උරුම වූ පාපය නැති කර දමන්න විද්‍යාඥයන්ට කවදාවත්ම නොහැකියි.—1 කොරින්ති 15:22.

ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව යොදාගනිමින් උරුම වී තිබෙන පාපයේ බලපෑම් නැති කර දමන්න අපගේ මැවුම්කරු පොරොන්දු වෙනවා. (රෝම 6:23) වයසට යෑම හා මරණයට හේතු වන දෙය නැති කරන්නේ කෙසේද කියා අපේ මැවුම්කරු දන්න බව ගීතාවලිය 139:16හි සඳහන් මෙම වදන්වලින් අපිට මනාව පැහැදිලි වෙනවා. “ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව [කලලය, NW] පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය.” හරියට පොතක ලිය වී තිබෙන්නාක් මෙන් සැකසී ඇති මිනිසාගේ ප්‍රවේණි සැලැස්ම මුලින්ම නිර්මාණය කළේ නිසැකවම යෙහෝවා දෙවි මිස වෙන කිසිවෙකු නොවෙයි. එනිසා, ඔහුට කීකරුව ජීවත් වෙන අයව සදාකල් ජීවත් කරවීම සඳහා ඔවුන්ගේ ජානවලට අවශ්‍ය හැකියාව ලබා දීමට දෙවිට හැකියි.—ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4.

[පාදසටහන]

a DNA ගැන වැඩි විස්තර සඳහා 1999 සැප්තැම්බර් 8 පිබිදෙව්! සඟරාවේ 5-10 දක්වා පිටු බලන්න.

[22වන පිටුවේ කොටුව]

DNA යොදාගන්නා “භාෂාව”

DNA යොදාගන්න භාෂාවේ අඩංගු මූලික ඒකක නොහොත් “අක්ෂර” භෂ්ම කියා හඳුන්වන රසායනික සංයෝගවලින් සමන්විතයි. තයිමින්, ඇඩිනින්, ගුවානින් හා සයිටොසින් යනුවෙන් භෂ්ම වර්ග හතරක් තිබෙනවා. සාමාන්‍යයෙන් මේවා T, A, G සහ C ලෙස කෙටි කර දක්වනවා. “මෙම භෂ්ම වර්ග හතර අක්ෂර හතරකින් සමන්විත හෝඩියක් බව සිතන්න” කියා නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ සඳහන් වෙනවා. “අපේ හෝඩියේ තිබෙන අක්ෂර එකතු කරමින් අපි අර්ථාන්විත වචනයක් සාදන්නාක් මෙන් ජාන සෑදී තිබෙන T, A, G සහ C යන භෂ්ම, සෛලයේ පාලන පද්ධතියට තේරුම්ගත හැකි අක්ෂර තුනකින් සමන්විත ‘වචන’ සාදනවා.” මෙසේ ජාන විසින් සාදන “වචන” එකතු වීමෙන් සෑදෙන “වාක්‍යයන්” ප්‍රෝටීනයක් නිෂ්පාදනය කරන ආකාරය ගැන සෛලයට පවසනවා. මෙසේ සාදනු ලබන ප්‍රෝටීනයේ කාර්යය වන්නේ ඔබේ රාත්‍රි ආහාරය දිරවීමට අවශ්‍ය එන්සයිමයක් ලෙස ක්‍රියා කිරීමද, විෂ බීජයකට එරෙහිව සටන් කරන ප්‍රතිදේහයක් ලෙස ක්‍රියා කිරීමද, නැත්නම් ඔබේ සිරුරේ තිබෙන දහස්ගණනින් යුත් ප්‍රෝටීනවලින් එකක් ලෙස ක්‍රියා කිරීමද කියා තීරණය වන්නේ DNA අක්ෂර එකට එක් වන අනුපිළිවෙළ මතයි. DNA “ජීවිතයේ ප්‍රධානතම සැලැස්ම” කියා සෛලය (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ සඳහන් කිරීම ගැන පුදුම විය යුතු නැහැ.

[21වන පිටුවේ පින්තූරය]

වර්ණදේහවල අඩංගු අග කොටස් (මෙහි දීප්තිමත්ව දක්වා තිබේ) මගින් සෛල නැවත නැවත බෙදීම සිදු කරනු ලබනවා

[හිමිකම් විස්තර]

Geron Corporation අනුග්‍රහයෙනි