Skip to content

පටුනට යන්න

කුණාටු මැදින් නිසංසල පරිසරයකට

කුණාටු මැදින් නිසංසල පරිසරයකට

කුණාටු මැදින් නිසංසල පරිසරයකට

පැවසුවේ හාන්ස් ස්ටුම්

අවුරුදු 200කට වැඩි කාලයක් පුරා, මගේ පවුලේ පිරිමි අය සේවය කරලා තිබුණේ නාවිකයන් හැටියටයි. මගේ තාත්තා, මුහුදු ජීවිතයට පුරුදුව සිටි මගේ සීයාගේ අඩි පාරේ ගියා වගේම, මගේ අභිලාෂය වෙලා තිබුණෙත් තාත්තාගේ අඩි පාරේ යන්නයි.

වර්ෂ 1914දී, Iවෙනි ලෝක මහා යුද්ධය පටන්ගත් විට, මගේ තාත්තාව ජර්මානු නාවුක හමුදාවේ අනිවාර්ය සේවයට ගත්තා. එතකොට බෝල්ටික් මුහුදේ ගමන් කරන යුද්ධ නැවක සේවය කරන්න ඔහුට සිදු වුණා. වර්ෂ 1916 වන විට, තාත්තාව වෙළඳ නැවක සේවය සඳහා යවා තිබූ අතර, ඔහුගේ නැව යොදාගත්තේ සතුරු ආක්‍රමණ අවසාන වන තුරු ස්වීඩනයෙන් යපස් ආනයනය කිරීමටයි. ඔහු 1919දී මියගියා. එතකොට මට වයස අටක් වුණත් ඔහු නැව්වල ගත කළ කාලය මතක් වෙද්දී නාවිකයෙක් වෙන්න මා තුළ පෙලඹීමක් ඇති වුණා.

මම තෝරාගත් වෘත්තියෙහි දියුණු වීම සඳහා තිබුණු ආශාව ඉටු කරගන්න මට අවුරුදු හතරක් මුහුදේ සේවය කරන්න සිද්ධ වෙනවා. ඒ කාලයෙන් මාස 20ක් සේවය කරන්න වෙන්නේ රුවල් නැව්වලයි. යාත්‍රා පුහුණු විද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන් වන්නේ එතකොටයි. ඉතින් මට 15දී මගේ අම්මා මාව මම ඉපදුණු ෂ්ටෙටින්වලින් (දැන් ෂ්ටෙච්සීන්, පෝලන්තය) ජර්මනියේ හැම්බර්ග්වලට අරගෙන ගියා. ලයිස් සමාගම සතුව රුවල් යාත්‍රා ගණනාවක් තිබුණ බව අපි දැන සිටි අතර, මට ආධුනිකයෙකු හැටියට බැඳෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවා. ගාස්තුව ගෙවන්න අපිට හැකියාවක් තිබුණේ නැතත්, මගේ තාත්තාගේ නාවික පසුබිම නිසා ලයිස් සමාගම කිසිම මුදලක් අය නොකර මාව අරගත්තා.

වර්ෂ 1927දී, මම කුඹ ගස් හතරකින් යුත් පාඩූආ a නම් වානේවලින් නිම වූ නැවක යාත්‍රා කළා. එය නයිට්රේට් පටවාගෙන ඒමට හැම්බර්ග්හි සිට චිලී දක්වා යාත්‍රා කළා. එහි තිබුණේ රුවල් විතරයි. එන්ජිමක් තිබුණේ නැහැ. තරුණයන් වූ අපි සියලුදෙනාටම අත්ලාන්තික් හරහා ගිය එම ගමන් ප්‍රීතිමත් අද්දැකීම් වුණා.

අපි හුඟක් වෙලාවට යාත්‍රා කළේ කුණාටු ඇති වුණ මුහුදු හරහායි. ඒ වගේ අවස්ථාවලදී, රුවල් බෑවා. නැව පෙරළෙන්න යද්දී රුවල් බාන්න කුඹ ගසට නඟින්න සිද්ධ වෙන එක කොයි වගේ අද්දැකීමක්ද කියලා හිතලා බලන්න. ඇත්තෙන්ම මම හොඳටම භයෙනුයි හිටියේ! ඒත් නියෝගය දුන් විට, ඕන දෙයක් වුණදෙන් කියලා හිතාගෙන මම ඒකට නැඟලා මට කිව්ව දේ කළා.

මට පාලනය කළ නොහැකි හේතු

මගේ අම්මා රෝමානු කතෝලිකයෙක්ව සිටියත්, තාත්තා මැරිලා වැඩි කල් යන්න කලින් ඇය අන්ස්ට බීබල්ෆොෂර් එහෙමත් නැත්නම් උනන්දුමත් බයිබල් ශිෂ්‍යයන් කියා ජර්මනියෙහි එවකට ප්‍රසිද්ධව සිටි අය එක්ක ඇසුරු කරන්න පටන්ගත්තා. ඒ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හැඳින්නුවේ ඒ නමින්. වර්ෂ 1923දී ඈ බව්තීස්ම වුණා. මා තුළ කවදාවත් කතෝලික ආගමට විශේෂ ඇල්මක් තිබුණේ නැහැ. අනික් අතට, මගේ අම්මා පැවසූ දේවල්වලත් යම් අර්ථයක් තිබුණා. ඒ නිසා මගේ නංගි මාගොට් සහ මම අම්මා එක්ක බයිබල් පාඩම් රැස්වීම්වලට ගියා.

වර්ෂ 1929දී, මම පාඩූආවලින් ඉවත් වුණා. ඉන්පසුව ඊළඟ අවුරුදු තුනේදී විවිධ දුම් නැව්වල සේවය කළා. මේවාවලින් මට උතුරු යුරෝපීය වරායන්වලටත්, මධ්‍යධරණී මුහුද ආශ්‍රිත වරායන්වලටත් යන්න ප්‍රස්තාව ලැබුණා. එක ගමනකදී, මම ලෝකෙ වටා එක වටයක් ගියා. මම මේ ජීවිතයෙන් සතුටක් වින්ද අතර, මගේ තාත්තා කළා වගේම මමත් ෂ්ටෙච්සීන්හි යාත්‍රා පුහුණු විද්‍යාලයට ඇතුල් වෙන්න ආසාවෙන් හිටියා. වර්ෂ 1933දී, නැවේ දෙවන නිලධාරියා හැටියට සුදුසුකම් ලබාගන්න මම මාස 18ක පාඨමාලාවක් පටන්ගත්තා. කොහොමනමුත්, මට පාලනය කරන්න බැරි හේතු නිසා මං කරන්න හිතාගෙන හිටිය දේවල් වතුරේ ගියා.

ඒ අවුරුද්දේදිම හිට්ලර් බලයට පත් වුණ අතර, ජර්මනිය පුරා ජාත්‍යාලීය හැඟීම් පැතිරෙන්න පටන්ගත්තා. ශිෂ්‍යයන් “හයිල් හිට්ලර්!” කියා කෑගැහැව්වේ ඉමහත් සතුටකිනුයි. ඒත් මගේ අම්මාගෙන් ඉගෙනගත් හැටියට මට කවදාවත් ඒක කරන්න බැරි බව මම දැනගෙන හිටියා. හේතු පැහැදිලි කරන්න කිවූ අවස්ථාවේදී, පැහැදිලිව හේතු දුන්නත් ඒ එකක්වත් පිළිගත්තේ නැහැ. මාව පාසැලෙන් අස් කළා. විදුහල්පති කරුණාවන්ත කෙනෙක්ව සිටි නිසා, මම අවුරුද්දක් අධ්‍යාපනය ලබාගත් බවට ලිපියක් දුන්නා. පාඨමාලාව සම්පූර්ණ කරන්න බැරි වුණ හින්දා මට කිසිම සුදුසුකමක් තිබුණේ නැහැ. මගේ ලෝකය බිඳ වැටෙන්න පටන්ගත්තා.

පීඩනය වැඩි වේ

මගේ මධ්‍යස්ථභාවය නිසා, මේ වෙනකොට මාව දඬුවම් ලබන තත්වයකට පත් කර තිබුණා. කිසිම නැවක යාත්‍රා කරන්න විතරක් නෙවෙයි, කිසිම රස්සාවක් ලබාගන්නත් මට හැකිකමක් තිබුණේ නැති නිසා ගෙදර ඉඳලා මම මගේ අම්මාට උදව් කළා. ඈ ජීවිතය ගැට ගහගත්තේ කෑම පාර්සල් විකුණලා. මම දීසි හෝදලා, ඇයට එළවළුත් කපලා දුන්නේ හරිම කැමැත්තෙන්. දෙවෙනි ලෝක මහා යුද්ධෙ පටන්ගන්න අවුරුදු හතරකට ඉස්සෙල්ලා 1935දී මගේ ජීවිතයේ තවත් පිටුවක් පෙරළුණා.

මගේ ඔස්කා මාමා හිටියේ ඩැන්සිග්වලයි (දැන් ග්ඩාන්ස්ක්). මං වැටිලා හිටිය අමාරු තත්වය දැනගත්ත ඔහු, ඔහුගේ අවන්හලේ වැඩට එන්න කියලා මට ආරාධනා කළා. මගේ මාමයි, ඔහුගේ භාර්යාව වූ රෝස්ල් නැන්දයි, දෙන්නම යෙහෝවාගේ සාක්ෂිකරුවන්. මම ඔවුන්ගේ කරුණාවන්ත ආරාධනය සතුටෙන් පිළිගත්තා. මට ස්ථිර පඩියක් ගෙවන්න ඔවුන්ට පුළුවන්කමක් තිබුණේ නැතත්, ඔවුන් එක්ක ඉන්නකොට මට වැඩි සුරක්ෂිතබවක් දැනුණා.

පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ, එක්සත් ජාතීන්ගේ මඟ පෙන්වීම යටතේ විශාල බිම් තීරයක් ලබා දීමත් සමඟම ඩැන්සිග් නිදහස් නගරයක් බවට පත් වුණා. එහි අරමුණ වුණේ මුහුදට ඇතුල් වෙන්න පෝලන්තයට මාර්ගය සලසා දීම වුණත්, මේ සැලැස්ම නිසා ජර්මනියේ ඉතිරි කොටස්වලින් නැඟෙනහිර ප්‍රෂියාව වෙන් වුණා. හිට්ලර් මේ තත්වය පිළිගන්න කැමති වුණේ නැහැ. ඇත්තවශයෙන්ම, ඔහු පෝලන්තය ආක්‍රමණය කිරීමත්, එම රට ඔහුගේ පාලනයට නතු කරගැනීමත් IIවන ලෝක මහා යුද්ධය හටගැනීමට හේතු වුණා.

මගේ මාමයි, නැන්දයි ළඟට මම ගියාට පස්සේ, යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුව සිටි නිසා ගාල් කඳවුරක ඉන්න සිද්ධ වෙලා තිබුණ තරුණයෙකුටත් ඔවුන් පිහිට වුණා. ඔහුට විඳින්න සිද්ධ වුණ දරුණු දේවල් ගැන ඔහු මට පැවසුවා. ටික දවසකට පස්සේ, හිට්ලර්ට ආචාර කිරීම ප්‍රතික්ෂේප කළ නිසා මගේ මාමවයි, නැන්දවයි අත්අඩංගුවට ගත් නමුත් ඔවුන්ව නිදහස් කළා. මේ වෙනකොට ගෙස්ටාපෝ පොලිසිය මගෙනුත් ප්‍රශ්න කළා. ඒ වුණත් මාව හිරේ දැම්මේ නැහැ.

මේ අතරතුරේදී, මට ජර්මන් හමුදාවට බැඳෙන්න කියා එවා තිබුණ ලිපිය ෂ්ටෙච්සීන්වල හිටිය මගේ අම්මාට ලැබී තිබුණා. එවෙලේම ඇය ව්‍යංගයෙන් මට අනතුරු අඟවමින් ලියුමක් ලියලා, උතුරු ස්වීඩනයේ පදිංචි වෙලා හිටිය නයෝමි නැන්දව හම්බ වෙන්න කියලා මට දන්වලා තිබුණා. ඈ අදහස් කළේ රටෙන් පිට වෙන්න කියන එක බව මට වැටහුණා!

නාට්සි වධහිංසා

එන්න එන්නම තත්වය දරුණු වුණා. මගේ මාමවයි, නැන්දවයි ආපහු අත්අඩංගුවට ගත්තා. මේ අවස්ථාවේදී ඔවුන්ව ඩැන්සිග්වල ඉඳලා බස් එකෙන් යන්න පැය දෙකක් විතර ගත වෙන ෂ්ටූට්හෝෆ්හි ගාල් කඳවුරට ගෙනිහින් තිබුණා. වර්ෂ 1945දී, යුද්ධෙ අවසන් වෙන තුරුම ඔවුන්ව එහෙ හිර කරලා තිබුණා. ළඟා වෙමින් සිටි රුසියානු හමුදාවෙන් බේරෙන්න කඳවුරේ හිටිය සිරකරුවන්ව ගෙනගිය නැවකදී මාමා මියගිය බව මට දැනගන්න ලැබීම කනගාටුවට කරුණක්. කොහොමනමුත්, මගේ නැන්දා බේරුණ අතර, ඇය පූර්ණ කාලීන එවැන්ජලිස්තවරියක් බවට පත් වුණා.

මගේ මාමවයි, නැන්දවයි ෂ්ටූට්හෝෆ්හි කඳවුරට ගෙනියන අතරතුරේදී, මගේ අම්මාව ෂ්ටෙච්සීන්හි හිර කරලා තිබුණා. ඇය එහි සිරභාරයේ මාස හතක් ගත කළා. මගේ නංගි සාක්ෂිකාර යුවළකගේ පුතෙක් එක්ක විවාහ වෙලා තිබුණ අතර, මගේ අම්මා හිරේ හිටිය කාලෙම ඇයත් හිරේ හිටියා. ඇගේ ස්වාමිපුරුෂයාව හා ඔවුන්ගේ දියණියවත් ගාල් කඳවුරුවලට යවා තිබුණා. ඇගේ ස්වාමිපුරුෂයා එහිදී මියගිය අතර, ඇගේ දියණිය බෙල්සන් ඇතුළු හුඟාක් නරකයි කියා ප්‍රසිද්ධ කඳවුරු කීපයක අවුරුදු අටක් ගත කළා.

එක අවස්ථාවකදී, පතොරම් දැමීමට පටි මහන්න අකමැති වුණ හින්දා, මගේ නංගිගේ දියණියටයි තවත් සාක්ෂිකරුවන් කීපදෙනෙකුටයි තුනී ඇඳුම් ඇඳගෙන උදේ හයේ ඉඳලා හවස හය වෙනකම් එළියේ ඉන්න සැලැස්සුවා. අනික එහෙම කළෙත් ඉතා ශීත නොවැම්බර් මාසයේදියි. ඔවුන්ගේ දෛනික ආහාර වේල පාන් පෙත්තකට හා වතුර ජෝගුවකට සීමා කළ අතර, ඔවුන්ට උණු සුප් කෝප්පයක් ලැබුණේ දවස් තුනකට සැරයයි. ඔවුන්ට නිදාගන්න ලැබුණේ අඩුම තරමින් පැදුරක්වත් නැති නිකම්ම සිමෙන්ති පොළොවකයි. මේ විදිහට සති හයක් ඉන්න සිද්ධ වුණ අතර, හැමෝම බේරුණ එක ගැන කඳවුරේ පරිපාලකයන් පුදුම වුණා.

පලා යෑම—කොහාටද?

මගේ මාමවයි, නැන්දවයි දෙවෙනි පාරටත් අත්අඩංගුවට ගත් විට, ආපහු ගෙස්ටාපෝ පොලිසිය ඇවිත් මාවත් ගෙනියන්න ඉස්සෙල්ලා මම ඩැන්සිග්වලට යා යුතු බව මම දැනගෙන හිටියා. මගේ මාමා මට ණයට මුදල් ටිකක් දීලා තිබුණ අතර, එංගලන්තයේ නැඟෙනහිර වෙරළේ පිහිටි හල් බලා යන පෝලන්ත නැවකට නැඟගන්න මට පුළුවන් වුණා. නැවෙන් ගොඩ බැස්සහම, සාමාන්‍යයෙන් විදේශීන්ට ඉන්න දෙන කාලපරිච්ඡේදය වූ මාස තුනක් එහි නැවතීමට අවසර ලැබුණා.

එවලේම මම ලන්ඩන්හි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ ලිපිනය වන 34 ක්‍රේවන් ටෙරස් බලා ගියා. ඒ කාලයේදී ශාඛා අවේක්ෂකව සිටි ප්‍රයිස් හ්‍යූස්ව මට එහිදී මුණගැහුණා. එංගලන්තයේ බටහිර වෙරළේ ලිවර්පූල්හි සිටි ඔහුගේ නෑයෙකු වූ ස්ටැන්ලි රොජස් එක්ක නවතින්න ඔහු මට සැලසුම් යොදා දුන්නා. ස්ටැන්ලි මට හුඟාක් කරුණාවන්තව සැලකුවා.

වර්ෂ 1937 වසන්තයේදී, යෙහෝවාට මගේ කැපවීම සංකේතවත් කරමින් ලිවර්පූල්හිදී මම බව්තීස්ම වුණා. කොහොමවුණත්, නැව්වල සේවය කිරීමට තිබුණු මගේ ආශාව පහ වෙලා තිබුණේ නැති නිසා මම ලිවර්පූල්හි නාවික යාත්‍රා පුහුණු විද්‍යාලයට ඇතුල් වූ අතර, මාස දෙකකට පස්සේ තුන්වන නිලධාරියෙක් හැටියට බලපත්‍රය ලබාගන්න මට පුළුවන් වුණා. එංගලන්තයේ ඉන්න තිබුණ කාල සීමාව ඉවර වෙමින් තිබුණ නිසා ලිවර්පූල්හි හිටිය මිත්‍රයන් ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාව මුණගැසුණු අතර, තවත් මාස තුනකට ඉන්න කාල සීමාව දික් කරගන්න පුළුවන් වුණා. ඒ හින්දා මට නිදහසේ අවශ්‍ය දේවල් කරගන්න පුළුවන් වුණා.

පාඩූආ රුවල් නැවේදී මම ලබාගෙන තිබුණ පළපුරුද්ද නිසා, නාවික යාත්‍රා විද්‍යාලයේ මගේ නාවික ශාස්ත්‍ර උපදේශක මා ගැන විශේෂ උනන්දුවක් දැක්වුවා. මං වැටිලා හිටිය අසීරු තත්වය දැනගත් ඔහු බ්ලූ ෆනල් සමාගමට ගිහින් බලන්න කියලා මට කිව්වා. එහිදී මට එම සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වූ ලෝරන්ස් හෝල්ට්ව මුණගැසුණා. අවුරුදු දෙකකට පස්සේ ඔහුව ලිවර්පූල්හිදී සමාගමේ නැවකදී නැවතත් මුණගැසුණු විට, මට දෙවන නිලධාරියා හැටියට බලපත්‍රය ලබාගන්න පුළුවන් වුණාද කියලා ඔහු ඇහැව්වා. නැවක් යාත්‍රා කිරීම සම්බන්ධයෙන් තවත් සති දෙකක පුහුණුවක් ලබාගැනීමට අවශ්‍යව තිබෙනවා කියා මම ඔහුට පැවසුව නිසා ඊජිප්තුවේ පෝට් සෙඩ්වලට යාත්‍රා කරන්න ඔහු මට සැලසුම් යොදා දුන්නා.

මම 1939 ජූලි 7වෙනිදා ලිවර්පූල්වලට ආපහු ගියහම, දෙවන නිලධාරියාගේ තනතුර සඳහා වූ විභාගයට පෙනී ඉන්න මම හිතාගෙන හිටියත්, යුද්ධය පටන්ගන්න ඔන්න මෙන්න කියා තිබුණ නිසා ඒක කරන්න බැරි බව පෙනුණා. ඒ වෙනුවට, මාව ලන්ඩන්හි නැවකට යැව්වා. රජයේ බලධාරීන් මා ගැන දැනගත් විට මාව නාවික සේවයෙන් අස් කළ අතර, මම ජර්මන් ජාතිකයෙක් නිසා සතුරෙකු හැටියට සලකා මාව හිරේ දාන්න ඔවුන්ට ඕන වුණා. නමුත් හෝල්ට් මහතා මැදිහත් වූ අතර, මාව ලිවර්පූල්හි උයන්පල්ලෙකු හැටියට වැඩට යෙදෙව්වා. කොහොමනමුත්, 1940 මැයිවලදී මාව අත්අඩංගුවට ගත් අතර, ජූනිවලදී එට්‍රික් දුම් නැවෙන් මාව කැනඩාවට යැව්වා.

කැනඩාවට

අඩක් සරණාගතයන් හා අඩක් යුධ සිරකරුවන් වූ ජර්මන් ජාතිකයන් 5,000ක් විතර එට්‍රික් නැවෙන් ගෙන ගියා. සරණාගතයින් අතර කවුන්ට් වොන් ලින්ගන් හිටියා. අපි ඔහුව දැනගෙන හිටියේ කලින් සිටි ජර්මන් පාලකයාගේ මුනුබුරා හැටියටයි. තැපැල් කරන්න ගෙන ගිය සියල්ලම සෝදිසි කළ නිසා, “ප්‍රිය ආන්ටි මේරි” කියා ආමන්ත්‍රණය කරමින් එංගලන්තයේ රැජිනගේ මව වූ මේරි රැජිනට වොන් ලින්ගන් ලියූ ලිපියක් දුටු තොරතුරු සපයන නිලධාරියා, ඒ ගැන ප්‍රශ්න කළා. කොහොමනමුත්, වොන් ලින්ගන් වරදක් කර තිබුණේ නැහැ. එංගලන්තයේ රාජකීය පවුල හා ජර්මනියේ රාජකීය පවුල අතරේ කිට්ටු සම්බන්ධකමක් තිබුණා. මේ සිද්ධියෙන් මට වැටහුණේ යුද්ධය මෝඩ, නිෂ්ඵල දෙයක් කියන එක විතරයි.

කලින් සඳහන් කළ ස්ටැන්ලි රොජස් ලෝක මහා යුද්ධ දෙක අතර කාලයේදී කැනඩාවේ සංචාරක අවේක්ෂකයෙකු හැටියට සේවය කළා. ඔහු එහි සිටි සාක්ෂිකරුවන්ව හමු වූ අතර, ඔවුන් මාවත්, පිටුවහල් කර සිටි අනිත් සාක්ෂිකරුවා වූ ටෝනි ස්ටෙෆන්ස්වත් මුණගැහුණා. ඔවුන්ගේ ලිපි හා තෑගිවලින් අපි ධෛර්යයක් ලැබුවා. අවුරුදු දෙකහමාරක් තිස්සේ මට කඳවුරු අටක සිරගත වෙලා ඉන්න සිද්ධ වුණා. එහිදී මම ගොඩක් වෙලාවට කාලය ගත කළේ ලී මේස හා බංකු සාදමිනුයි.

යළිත් එංගලන්තයට, ඉන්පසු නිදහස!

දෙවන ලෝක යුද්ධයේ අවසානය ළඟාවත්ම මාව යළිත් එංගලන්තයේ මෑන් දූපතේ සිර කඳවුරකට යැව්වා. එහිදී, වොච් ටවර් සමිතියේ ලන්ඩන් ශාඛා කාර්යාලයෙන් ජෝන් බාර් මාව බලන්න ආවා තවත් සාක්ෂිකරුවන් කීපදෙනෙක් එක්ක. ඔහු දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක්. මාව 1944දී නිදහස් කළ අතර නැවතත් ස්ටැන්ලිට එකතු වුණා. මේ අතරතුරේදී, ස්ටැන්ලි නීටා ටොමස්ව විවාහ කරගෙන, ලිවර්පූල් අසල වූ මර්සි ගඟේ වරායක් වන බර්කන්හෙඩ්හි පදිංචිව හිටියා. මට ඔලිව්ව හමු වුණේ එහිදියි. ඇය නීටාගේ නංගියි. ඊළඟ අවුරුද්දේදී අපි දෙන්නා විවාහ වුණා.

අපිට අවසර ලැබුණ ගමන්ම, ඔලිව් හා මම මගේ අම්මාව බලන්න ජර්මනියට ගියා. මම හොඳින් දැන සිටි, විනාශ වී ගොස් ඇති නගර පහු කරලා යද්දී මට හරියට දුක හිතුණා. ලයිස් කාර්යාලය බලන්න, මට විශේෂයෙන්ම හැම්බර්ග්වලට යන්න ඕනෙ වුණා. එහිදී කපිතාන් පෙනිංව මුණගැහුණ එක මොනතරම් පුදුමයක්ද! වර්ෂ 1928දී හා 1929දී ගිය මගේ අන්තිම නාවික ගමන් දෙකේදී පාඩූආ නැවේ ප්‍රධානියාව සිටියේ ඔහුයි. යුද්ධෙ පැවති කාලෙදී ඔහු යුද කටයුතුවලට කෙළින්ම සම්බන්ධ වූ අතර, සටන්වලදී ඔහුගේ පුත්තු දෙන්නාම මියගිහින් තිබුණා. ඔහුගේ බලාපොරොත්තු ගොඩක් කඩ වෙලයි තිබුණේ. මට අහන්න දකින්න ලැබුණ දේවලින් මට ලොකු දුකක් ඇති වුණා.

මම කැනඩාවේ ගත කළ කාලයේදී, බ්ලූ ෆනල් සමාගම මා ගැන උනන්දුවක් දක්වන්න පටන්ගෙන තිබුණු අතර, මම ආපහු ආවහම ඔවුන් කැමැත්තෙන්ම මාව සේවයට ගත්තා. වර්ෂ 1947දී, දෙවන නිලධාරියා හැටියට මම සුදුසුකම් ලබාගත්තා. ඊට පසු අවුරුද්දේදී, ඔලිව් පූර්ණ කාලීන එවැන්ජලිස්තවරියක් බවට පත් වුණා.

ජීවිතයේ අරමුණ සෙවීම

මගේ නාවික ගමන්වලදී යළිත් මම නැඟෙනහිර ආසියාතික රටවලට ගිය අතර, මිෂනාරි සාක්ෂිකරුවන් ගණනාවක් මුණගැසුණා. නමුත් 1947දී ලන්ඩන්හි පැවති සමුළුවකදී, මගේ හෘදයේ නොමැකෙන දෙයක් සටහන් වුණා. යෙහෝවාට පූර්ණ කාලීනව සේවය කිරීම මගේ ඉලක්කය විය යුතු බව එහිදී මට ඒත්තු ගියා. මගේ ස්වාමිවරුන් අධෛර්යයට පත් වුණා. නමුත් ඔලිව් එක්ක පූර්ණ කාලීන දේශනා සේවයේ හවුල් වෙන්න පුළුවන්කම සලසමින්, 1952දී ඔවුන් මට කාර්යාලයක අර්ධ කාලීන රැකියාවක් ලබා දුන්නා. මුහුදු ජීවිතයකට මා තුළ කිඳා බැස තිබුණ ආසාව, ඊටත් වඩා වැඩි ආසාවකින් යටපත් වී ගියා.

ඔලිව් හා මම එක්ව දේශනා සේවයේ යෙදීමෙන් ඉමහත් ප්‍රීතියක් ලැබූ අතර, බයිබල් සත්‍යයන් පිළිබඳ නිවැරදි දැනුමක් ලැබීමට බොහෝදෙනෙකුට උපකාර කරන්න අපට වරප්‍රසාද ලැබුණා. (2 කොරින්ති 3:2, 3) ගත වූ වසර ගණනාව පුරා, දිස්ත්‍රික් සමුළුවලදී හා චාරිකා එක්රැස්වීම්වලදී මට අමතර වරප්‍රසාද ලැබී තිබෙනවා. විරල් අර්ධද්වීපයේ හා බර්කන්හෙඩ්හි මෙන්ම අවට ප්‍රදේශයන්හි වැඩිමහල්ලෙක් හැටියට අදදින මම සේවය කරමින් ඉන්නවා.

මගේ ආදරණීය ඔලිව් 1997දී මියගියා. අතීතය ගැන කල්පනා කර බලද්දී, මගේ ජීවිතයේ මුල් කාලයේදී මම කුණාටු බොහෝමයකින් බේරිලා තියෙනවා. නමුත් අන්තිමේදී යෙහෝවාගේ මඟ පෙන්වීම යටතේ ප්‍රේමනීය සහකාරියක සමඟ මට නිසංසල පරිසරයකට යාත්‍රා කරන්න පුළුවන් වුණා. එනම් අවුරුදු 50කට වැඩි කාලයක් පුරා උතුම්ම සේවය වන යෙහෝවාගේ සේවයේ නිරත වෙන්න පුළුවන් වෙලා තියෙනවා.

[පාදසටහන]

a 1946දී සෝවියට් ජනරජයට පාඩූආ භාර දුන් අතර කෘසෙන්ෂ්ටන් කියා එහි නම වෙනස් කළා.

[18වන පිටුවේ පින්තූරය]

1914දී මගේ තාත්තායි අම්මායි එක්ක

[18, 19වන පිටුවේ පින්තූර]

ජර්මනියේ වැඩවලින් නිදහස් කිරීමේ පොත. එහි කුඹ ගස් හතරකින් යුත් “පාඩූආ” නැවේ මා ගිය ගමන් වාර්තා කර තිබෙනවා

[21වන පිටුවේ පින්තූරය]

1974දී ලන්ඩන් සමුළුවේදී මගේ භාර්යාව වූ ඔලිව් එක්ක