හුල්දා කොහොමහරි එයාගේ ඉලක්කයට ගියා
මීට අවුරුදු ගාණකට කලින් ඔයා ඉන්දුනීසියාවේ සැංගීර් බේසා කියන පුංචි දූපතට ගියා නම් ඔයාට මුහුදු වෙරළේදී අනිවාර්යයෙන්ම අපේ සහෝදරියන් තුන්දෙනෙක්ව හම්බ වෙයි. ඒ දූපතේ එයාලා වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙලා හිටියේ බයිබලේ තියෙන ශුභාරංචිය කියන අය විදිහට. හැබැයි එයාලා මුහුදු වෙරළේදී කළේ නම් සම්පූර්ණයෙන්ම වෙනස් වැඩක්.
මුලින්ම එයාලා මුහුදේ ඇවිදන් ගිහින් ලොකු ලොකු ගල් වෙරළට ගේනවා. ඒ සමහර ගල් ෆුට් බෝලයක් තරම් ලොකුයි. ඊටපස්සේ එයාලා බංකුවල වාඩි වෙලා මිටියකින් ඒවා පොඩි පොඩි කෑලිවලට කඩනවා. ඒ කෑලි කුකුල් බිත්තරේකටත් වඩා පොඩියි. ඊටපස්සේ ඒ ගල් කෑලි ප්ලාස්ටික් බකට්වල දාලා පඩි පෙළ නැඟගෙන එයාලාගේ ගෙවල්වලට ගෙනියනවා. ඒ විදිහට එයාලා ගල් ටික ටික එකතු කරලා ලොකු බෑග්වල දාලා ලොරිවලට පටවනවා. ඒ ගල් තමයි පාරවල් හදන්න පාවිච්චි කරන්නේ.
මේ සහෝදරියන් තුන්දෙනාගෙන් එක් කෙනෙක් තමයි හුල්දා. මේ වැඩේ කරන්න එයාට අනිත් අයට වඩා කාලේ හොයාගන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් එයා හම්බ කරන හැම සතයක්ම වියදම් කළේ පවුලේ අය වෙනුවෙන්. හැබැයි ඒකට අමතරව එයාට තව ඉලක්කයක් තිබුණා. ඒ තමයි කීය කීය හරි එකතු කරලා ටැබ් එකක් ගන්න එක. මොකද එතකොට එයාට ‘JW ලයිබ්‍රරි’ ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්නේ. හුල්දා දැනන් හිටියා ඒ ඇප් එකේ තියෙන වීඩියෝ සහ ලිපි සේවේට වගේම අධ්‍යයනයටත් කොච්චර ප්‍රයෝජනවත්ද කියලා.
මාස එකහමාරක් තිස්සේ හැම දවසකම උදේ වැඩිපුර පැය දෙකක් හුල්දා මේ විදිහට ගල් කැඩුවා. කොච්චර ගල් එකතු වුණාද කියනවා නම් පොඩි ලොරියක් පිරෙන්නම ගල් කඩන්න එයාට පුළුවන් වුණා. අන්තිමේදී එයා ටැබ් එකක් ගත්තා.
හුල්දා මෙහෙම කියනවා. “අත් දෙක කැඩෙන කල් මං ගල් කැඩුවා. හැබැයි අලුත් ටැබ් එක අතට ගත්තා විතරයි, ඒ හැම වේදනාවක්ම කොහේ ගියාද දන්නේ නෑ. දැන් මට කලින්ටත් වඩා හොඳට සේවේ කරන්න, රැස්වීම්වලට ලෑස්ති වෙන්න පුළුවන්.” ඒ වගේම හුල්දා කිව්වා කොරෝනා පටන්ගත්ත අලුත ටැබ් එක එයාට සෑහෙන්න ප්‍රයෝජනවත් වුණා කියලා. මොකද ඒ කාලේ රැස්වීම්, සේවේ හැම දෙයක්ම තිබ්බේ වීඩියෝ කොන්ෆරන්ස්වලින්. හුල්දා අමාරුවෙන් හරි එයාගේ ඉලක්කයට ගිය එක ගැන අපිටත් සතුටුයි.