Skip to content

පටුනට යන්න

දෙවිගේ මහත් කරුණාව ගැන ශුභාරංචිය හැමෝටම කියන්න

දෙවිගේ මහත් කරුණාව ගැන ශුභාරංචිය හැමෝටම කියන්න

‘දෙවිගේ මහත් කරුණාව පිළිබඳ ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දෙන්න.’—ක්‍රියා 20:24.

ගීතිකා: 101, 84

1, 2. දෙවි පෙන්නන මහත් කරුණාව අගය කරනවා කියලා පාවුල් පෙන්නුවේ කොහොමද?

පාවුල් මේ වචන කියන්නේ හදවතින්මයි. “දෙවි මට පෙන්වූ මහත් කරුණාව නිෂ්ඵල වූයේ නැත.” (1 කොරින්ති 15:9, 10 කියවන්න.) එයා හොඳින්ම දැනගෙන හිටියා දෙවිගේ මහත් දයාව ලබන්න තරම් තමන් වටින්නේ නැහැ කියලා. මොකද කලින් එයා ක්‍රිස්තියානීන්ට පීඩා කරපු කෙනෙක්.

2 ඒත් ජීවිතේ අවසාන කාලෙදී එයා තිමෝතිට මේ වගේ දෙයක් කිව්වා. “මට බලය දුන් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ට මම ස්තුතිවන්ත වෙමි. මා එසේ කරන්නේ මට මෙම දේවසේවය පැවරීමෙන් ඔහු මා විශ්වාසවන්ත කෙනෙකු ලෙස සැලකූ නිසාය.” (1 තිමෝ. 1:12-14) පාවුල්ට භාර දුන්න ඒ සේවය මොකක්ද? එයා එෆීසයේ වැඩිමහල්ලන්ට මෙහෙම කිව්වා. “මට වැදගත් වන්නේ මගේ ජීවිතය නොවෙයි. මගේ එකම ආශාව නම් අවසානය දක්වා මා යා යුතු ගමනත් ස්වාමීන් වන යේසුස්ගෙන් මට ලැබුණු පැවරුමත් සාර්ථකව නිම කිරීමයි. ඒ පැවරුම නම් දෙවිගේ මහත් කරුණාව පිළිබඳ ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දීමයි.”ක්‍රියා 20:24.

3. පාවුල්ට දීපු පැවරුම මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

3 පාවුල්ට දේශනා කරන්න කියපු ශුභාරංචිය මොකක්ද? දෙවි මහත් කරුණාව පෙන්නන කෙනෙක් කියලා ඒකෙන් ඔප්පු වුණේ කොහොමද? එෆීසයේ අයට එයා කිව්වේ “දෙවිගේ මහත් කරුණාව ගැන ඔබට ප්‍රකාශ කිරීමේ වගකීම මට භාර දුන් බව ඔබ දැන සිටිනවාට සැකයක් නැත” කියලයි. (එෆී. 3:1, 2) පාවුල්ගේ පැවරුම වුණේ යුදෙව් නොවන අයට ශුභාරංචිය දැනුම් දෙන එකයි. ඒ ශුභාරංචිය තමයි යේසුස් එක්ක දේවරාජ්‍යයේ පාලනයට හවුල් වෙන්න යුදෙව් නොවන අයටත් අවස්ථාව තියෙනවා කියන දේ. ඒක දෙවිගේ මහත් කරුණාවට සාක්ෂියක්. (එෆීස 3:5-8 කියවන්න.) ඒ ශුභාරංචිය උද්‍යෝගයෙන් දේශනා කරපු නිසයි දෙවි තමන්ට පෙන්නපු මහත් කරුණාව “නිෂ්ඵල” වුණේ නැහැ කියලා කියන්න පාවුල්ට පුළුවන් වුණේ. එයා අපිට හොඳ ආදර්ශයක්.

දෙවිගේ මහත් කරුණාව ඔයා අගය කරනවද?

4, 5. ‘රාජ්‍යය ගැන ශුභාරංචිය’ කියන්නේ ‘දෙවිගේ මහත් කරුණාව ගැන ශුභාරංචියටමයි’ කියලා කියන්නේ ඇයි?

4 අවසාන කාලයේ ඉන්න දෙවිගේ සේවකයන්ට ලැබිලා තියෙන පැවරුම ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස මුළු පොළොව පුරාම දේශනා’ කරන එකයි. (මතෙ. 24:14) එතකොට අපි දේශනා කරන රාජ්‍යය ගැන ශුභාරංචිය ‘දෙවිගේ මහත් කරුණාව ගැන ශුභාරංචියට’ සමානද? ඔව්, මොකද දෙවිගේ රාජ්‍යය මාර්ගයෙන් ලැබෙන්න යන හැම ආශීර්වාදයක්ම අපිට අද්දකින්න පුළුවන් වෙන්නේ දෙවිගේ මහත් කරුණාව නිසයි. (එෆී. 1:3) පාවුල් වගේ උද්‍යෝගයෙන් දේශනා කරලා දෙවි පෙන්නන මහත් කරුණාව අගය කරනවා කියලා ඔයාත් පෙන්නනවද?—රෝම 1:14-16 කියවන්න.

5 පාපය උරුම වෙලා තියෙන අපිට යෙහෝවා දෙවිගේ මහත් කරුණාව නිසා මොන තරම් ආශීර්වාද ලැබිලා තියෙනවද කියලා අපි කලින් ලිපියෙන් දැනගත්තා. දෙවි ආදරේ පෙන්නලා තියෙන විදි ගැනත් ඔහුගේ මහත් කරුණාව නිසා ලැබෙන ආශීර්වාද අද්දකින්නේ කොහොමද කියලත් අනිත් අයට උගන්වන එක දැන් අපේ වගකීමයි.

යේසුස්ගේ ජීවිත පූජාව ගැන ශුභාරංචිය හැමෝටම කියන්න

6, 7. ජීවිත පූජාව ගැන මිනිසුන්ට පැහැදිලි කරලා දෙන එකෙන් දෙවිගේ මහත් කරුණාව ගැන ශුභාරංචිය දැනුම් දෙන්න පුළුවන් කොහොමද?

6 තමන් කරන වැරදි ගැන හුඟක් අයට කිසිම හැඟීමක් නැති නිසා ඒවාට සමාව ලබාගන්න ඕනෙ කියලා එයාලට හිතෙන්නේ නැහැ. ඒ නිසා එයාලට තේරුම්ගන්න බැහැ ඇයි ජීවිත පූජාවක් ඕනෙ කියලා. ඔය අතරේ තමන් ගත කරන්නේ කිසි අරමුණක් නැති ජීවිතයක් කියලා තේරුම්ගන්න පිරිසකුත් ඉන්නවා. ඒ අය සාක්ෂිකරුවන් එක්ක කතා කරද්දී තමයි දැනගන්නේ පාපය කියන්නේ මොකක්ද, ඒක අපිට බලපාන්නේ කොහොමද, පාපයෙන් නිදහස් වෙන්න කරන්න ඕනෙ මොනවද කියලා. මිනිසුන්ව ගලවගන්න යෙහෝවා දෙවි ඔහුගේ පුතාව එව්වා කියලා දැනගත්තම අවංක අයගේ හිත්වල ඇති වෙන්නේ ලොකු අගයක්. යෙහෝවා දෙවි ඒ දේ කළේ අපිට තියෙන ආදරේ නිසයි. මහත් කරුණාව නිසයි.—1 යොහ. 4:9, 10.

7 ඒ ගැන පාවුල් මෙහෙම කිව්වා. “ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන් අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට අපට හැකි වේ.” (එෆී. 1:7) දෙවිගේ ආදරේට ප්‍රබලම සාක්ෂිය යේසුස්ගේ ජීවිත පූජාවයි. දෙවිගේ කරුණාව කොයි තරම්ද කියලත් ඒකෙන් ඔප්පු වෙනවා. යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියලා වැඩ කරද්දී වැරදිවලට සමාව ලැබෙනවා කියලත් දෙවි ඉදිරියේ අපිට නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්න පුළුවන් කියලත් දැනගන්න ලැබෙන එක මොන තරම් සහනයක්ද! (හෙබ්‍රෙ. 9:14) ඒක අනිත් අයත් දැනගන්නම ඕන ශුභාරංචියක් නෙමෙයිද?

දෙවිගේ මිතුරන් වෙන්න උදව් කරන්න

8. මිනිසුන් දෙවි එක්ක සමාදාන වෙන්න ඕනෙ ඇයි?

8 යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියන්නේ නැති අයව දෙවි සලකන්නේ සතුරන් විදිහටයි. ඒ නිසා දෙවිගේ මිතුරන් වෙන්න පුළුවන් විදිහ ගැන අනිත් අයට කියලා දෙන එක අපේ වගකීමක්. යොහන් මෙහෙම කිව්වා. “පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙයි. නමුත් පුත්‍රයාට අකීකරු වන තැනැත්තා සමඟ දෙවි උදහස් වන අතර ඔහුට ජීවනයද අහිමි වෙයි.” (යොහ. 3:36) “ඔබේ මනස් දුෂ්ට ක්‍රියාවලට යොමු වී තිබූ නිසා ඔබ කලක් දෙවිගෙන් ඈත් වී ඔහුගේ සතුරන්ව සිටි බව සැබෑය. නමුත් තම මිනිස් ජීවිතය මරණය උදෙසා පරිත්‍යාග කළ තැනැත්තා මාර්ගයෙන් තමන් සමඟ සමාදාන වීමට දෙවි දැන් අවස්ථාව උදා කර තිබේ” කියලා පාවුල් කිව්වා. (කොලො. 1:21, 22) යේසුස්ගේ ජීවිත පූජාව නිසා දෙවිගේ මිතුරන් වෙන්න ලැබීම ලොකු සතුටක්.

9, 10. (අ) අභිෂේක ලත් අයට යේසුස් දුන්න පැවරුම මොකක්ද? (ආ) අභිෂේක ලත් අයට “වෙනත් බැටළුවන්” සහය දෙන්නේ කොහොමද?

9 යේසුස් අභිෂේක ලත් අයට විශේෂ සේවයක් භාර දුන්නා. ඒ ගැන පාවුල් කිව්වේ මෙහෙමයි. “මේ සෑම දෙයක්ම සිදු වන්නේ දෙවි නිසාය. මන්ද ක්‍රිස්තුස් මාර්ගයෙන් තමන් සමඟ සමාදාන වීමට මිනිසුන්ට මඟ සැලසුවේ ඔහුය. එමෙන්ම දෙවි මිනිසුන්ට තමන් සමඟ සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවයක්ද අපට භාර දුන්නේය. ඒ සේවය මගින් ප්‍රකාශ කරන්නේ මිනිස් වර්ගයා කළ වැරදිවලට දඬුවම් නොදී තමන් සමඟ සමාදාන වීමට දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් මඟ උදා කර දී ඇති බවය. එම සමාදාන වීමේ පණිවිඩය දෙවි භාර දුන්නේ අපටය. එහෙයින් අපි ක්‍රිස්තුස් වෙනුවෙන් තානාපතීන් ලෙස ක්‍රියා කරමින් සිටින්නෙමු. ක්‍රිස්තුස් වෙනුවෙන් එසේ පෙනී සිටින අය ලෙස අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ, ‘දෙවි සමඟ සමාදාන වන්න’ කියාය. දෙවි එම ඉල්ලීම අප මාර්ගයෙන් කරන බව සැලකිල්ලට ගන්න.”—2 කොරි. 5:18-20.

10 අභිෂේක ලත් අය කරන ඒ සේවයට සහය දෙන්න ‘වෙනත් බැටළුවන්ටත්’ අවස්ථාව ලැබිලා තියෙනවා. (යොහ. 10:16) එයාලා ඒක හුඟක් අගය කරනවා. එයාලත් යේසුස්ගේ පණිවිඩකරුවන් වගේ. ඇත්තටම දේශනා සේවයෙන් වැඩි කොටසක් කරන්නේ වෙනත් බැටළුවන්. බයිබලේ සත්‍යයන් උගන්වලා දෙවි එක්ක සමාදාන වෙන්න එයාලා මිනිසුන්ට උදව් කරනවා. දෙවිගේ මහත් කරුණාව ගැන ශුභාරංචිය අනිත් අයට කියලා දෙන්න නම් ඒක කරන එක අත්‍යවශ්‍යයි.

දෙවි යාච්ඤාවලට සවන් දෙනවා කියලා මිනිසුන්ට කියන්න

11, 12. දෙවිත් එක්ක කතා කරන්න පුළුවන් කියන එක ශුභාරංචියක් වෙන්නේ කොහොමද?

11 හුඟක් අය යාච්ඤා කරන්නේ හිත සැහැල්ලු කරගන්න. ඒත් දෙවි එයාලගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියලා එයාලට විශ්වාස නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි “යාච්ඤා අසන තැනැත්තා” කියලා එයාලට උගන්වන එක අත්‍යවශ්‍යයි. දාවිත් කිව්වේ “යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත. මා කළ වැරදි මට දරාගත නොහැකි තරම්ය. නමුත් ඔබ අපේ වැරදිවලට සමාව දෙන්නෙහිය” කියලයි.—ගීතා. 65:2, 3.

12 “ඔබ ඕනෑම දෙයක් මගේ නාමයෙන් ඉල්ලුවොත් මම එය ඉටු කර දෙනවා” කියලා යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වා. (යොහ. 14:14) “ඕනෑම දෙයක්” කියන්නේ දෙවිගේ කැමැත්තට එකඟ ඕන දෙයක්. “දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බව” අපිට ස්ථිරයි. (1 යොහ. 5:14) “මහත් කරුණාව පෙන්වන තැනැත්තාණන්ගේ සිංහාසනය වෙතට ළඟා” වෙන්න පුළුවන් විදිහ යාච්ඤාවයි කියලා මිනිසුන්ට කියලා දෙන එක හරිම වැදගත්. (හෙබ්‍රෙ. 4:16) යාච්ඤා කරන්නේ කොහොමද, කාටද, මොන දේවල් ගැනද කියලා අනිත් අයට කියලා දෙද්දී අපි කරන්නේ යෙහෝවා දෙවිගේ යාළුවන් වෙන්න එයාලට උදව් කරන එකයි. එතකොට දුෂ්කරතා එද්දී දෙවි දෙන සැනසීම අද්දකින්න එයාලටත් පුළුවන්.—ගීතා. 4:1; 145:18.

දෙවි මහත් කරුණාව අනාගතයේදීත් පෙන්නනවා

13, 14. (අ) අනාගතයේදී අභිෂේක ලත් අය අද්දකින ආශීර්වාද මොනවද? (ආ) එයාලා අපි වෙනුවෙන් මොන වගේ දේවල් කරයිද?

13 අනාගතයේදී යෙහෝවා දෙවි තව වැඩියෙන් මහත් කරුණාව පෙන්නනවා. ඒ කොහොමද? අභිෂේක ලත් අය අද්දකින දේ ගැන පාවුල් මෙහෙම කිව්වා. “දයාවෙන් පිරී දෙවි අපට ඉමහත් ප්‍රේමයක් පෙන්වූ නිසා, අප කළ වැරදි හේතුවෙන් අප මැරී සිටියත් ඔහු අපව ජීවත් කර ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින අය බවට පත් කළේය. ඇත්තෙන්ම ඔබත් ගැලවී ඇත්තේ දෙවිගේ මහත් කරුණාව නිසාය. එහෙයින් ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස අප සියලුදෙනාවම ඉහළට ඔසවා ස්වර්ගීය ස්ථානවල ක්‍රිස්තුස් සමඟ එකට සිටීමට දෙවි අපට අවස්ථාව ලබා දුන්නේය. ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අපට එලෙස දයාව පෙන්වීමෙන් තම මහත් කරුණාව ඕනෑම ධන සම්භාරයකටත් වඩා කොතරම් ශ්‍රේෂ්ඨද කියා දෙවි පෙන්නුම් කළේය. ඒ බව පැහැදිලි වන්නේ මතු කාලයේදීය.” (එෆී. 2:4-7) යේසුස් එක්ක දේවරාජ්‍යයේ පාලනයට හවුල් වෙන 1,44,000දෙනා අද්දකින්නේ මොන තරම් පුදුමාකාර ආශීර්වාදයක්ද!

14 අපිට හිතාගන්නවත් බැරි තරම් ආශීර්වාද දෙවි අභිෂේක ලත් අයට ඉදිරියේදී ලබා දෙනවා. (ලූක් 22:28-30; ෆිලි. 3:20, 21; 1 යොහ. 3:2) දෙවිගේ “මහත් කරුණාව ඕනෑම ධන සම්භාරයකටත් වඩා කොතරම් ශ්‍රේෂ්ඨද” කියලා විශේෂ විදිවලින් එදාට එයාලා අද්දකියි. “නව යෙරුසලම,” ක්‍රිස්තුස්ගේ මනාලිය එයාලයි. (එළි. 3:12; 17:14; 21:2, 9, 10) “ජාතීන්ට සුවයක් ගෙන” දෙන කාර්යයටත් එයාලා යේසුස් එක්ක හවුල් වෙනවා. ඒ කියන්නේ පාපයෙන් සහ මරණයෙන් නිදහස් වෙලා පරිපූර්ණ අය වෙන්න මිනිසුන්ට උදව් කරනවා කියන එකයි.—එළිදරව් 22:1, 2, 17 කියවන්න.

15, 16. අනාගතයේදී දෙවි ‘වෙනත් බැටළුවන්ට’ මහත් කරුණාව පෙන්නන්නේ කොහොමද?

15 “මතු කාලයේදී” දෙවිගේ මහත් කරුණාව අද්දකින්න ලැබෙනවා කියලා එෆීස 2:7 කියනවා. එදාට පොළොවේ ජීවත් වෙන හැමෝම දෙවිගේ “මහත් කරුණාව ඕනෑම ධන සම්භාරයකටත් වඩා කොතරම් ශ්‍රේෂ්ඨද” කියලා අනිවාර්යයෙන්ම අද්දකියි. (ලූක් 18:29, 30) යෙහෝවා දෙවිගේ මහත් කරුණාව අනාගතයේදී අද්දකින්න පුළුවන් ශ්‍රේෂ්ඨ විදිහක් තමයි මිය ගිහින් ඉන්න අයට ආයෙත් ජීවිතේ දෙන එක. (යෝබ් 14:13-15; යොහ. 5:28, 29) දෙවි නැවත නැඟිටුවන්නේ කාවද? යේසුස්ගේ මරණයට කලින් මිය ගිය දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්වත් අවසාන කාලයේදී මිය යන ‘වෙනත් බැටළුවන්ට’ අයිති අයවත් දෙවි නැවත නැඟිටුවනවා. ඒ අයට නැවත ජීවිතේ ලැබෙන්නේ යෙහෝවා දෙවිට කරපු සේවය දිගටම කරගෙන යන්නයි.

16 යෙහෝවා දෙවි ගැන දැනගන්න අවස්ථාවක් නොලැබුණ මිලියන ගාණක් දෙනාවත් දෙවි නැවත නැඟිටුවනවා. යොහන් මෙහෙම කිව්වා. “මිය ගිය සියලු තරාතිරම්වල අය සිංහාසනය ඉදිරියෙහි සිටගෙන සිටින ආකාරය දැකගැනීමට මට හැකි විය. ඒ අවස්ථාවේදී අකුළා තිබුණු ලියවිලි දිගහරින ලදි. දිගහරිනු ලැබූ තවත් ලියවිල්ලක් වූයේ ජීවන ලියවිල්ලය. මිය ගොස් සිටි අයව ඒ ලියවිලිවල සටහන් කර තිබූ දේවලට අනුවද ඔවුන්ගේ ක්‍රියාවලට අනුවද විනිශ්චය කරනු ලැබීය. මුහුද එහි මිය ගොස් සිටි අයව භාර දුන්නේය. මරණය සහ මිනී වළද එහි මිය ගොස් සිටි අයව භාර දුන්නේය. සියලුදෙනාව විනිශ්චය කරනු ලැබුවේ තමන් කළ ක්‍රියාවලට අනුවය.” (එළි. 20:12, 13) නැවත නැඟිටුවන ඒ අයට දෙවි ගැන ඉගෙනගන්නත් ඔහුගේ පාලනය පිළිගන්නත් අවස්ථාව ලැබෙනවා. එයාලා බයිබලේ තියෙන ප්‍රතිපත්ති සහ එදාට ‘දිගහරින ලියවිලිවල’ තියෙන දේවල් ඉගෙනගෙන ඒවා ජීවිතේට අදාළ කරගන්න ඕනේ. එදාට ලැබෙන ඒ අලුත් මඟ පෙන්වීම් දෙවිගේ මහත් කරුණාවට තවත් සාක්ෂියක්.

අත් නෑර ශුභාරංචිය දේශනා කරන්න

17. දේශනා කරද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

17 විනාශය අත ළඟටම ඇවිත් තියෙන නිසා වෙන කවරදාකටත් වඩා මේ කාලේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන එක හරිම වැදගත්. (මාක් 13:10) දේශනා කරන්නේ යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්නයි කියන දේ අපේ මතකයේ තියෙනවා නම් අනාගතයේදී අද්දකින හැම ආශීර්වාදයක්ම අපිට ලැබෙන්නේ දෙවිගේ මහත් කරුණාව නිසයි කියලා අනිත් අයට අපි කියලා දෙනවා.

“දෙවිගේ මහත් කරුණාව ලබා ඇති යහපත් භාරකරුවන්” විදිහට උද්‍යෝගයෙන් සේවය කරමු.—1 පේතෘ. 4:10 (17-19 ඡේද බලන්න)

18, 19. මහත් කරුණාවක් පෙන්නන යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න අපිට පුළුවන් කොහොමද?

18 යේසුස්ගේ ජීවිත පූජාව නිසා ලැබෙන ආශීර්වාද ඔහු පොළොව පාලනය කරද්දී සම්පූර්ණයෙන්ම අද්දකින්න පුළුවන් කියලත් මිනිසුන් ක්‍රමානුකූලව පරිපූර්ණ අය වෙනවා කියලත් අනිත් අයට කියන්න සේවයේදී අපිට අවස්ථාව ලැබෙනවා. එදාට ‘පාපය හා මරණය නිසා දිරාපත් වී යන මිනිස් වර්ගයාට එම ග්‍රහණයෙන් නිදහස් වී, දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව උදා වෙනවා.’ (රෝම 8:21) දෙවි මහත් කරුණාව පෙන්නුවේ නැත්නම් ඒ දේ අද්දකින්න ලැබෙන්නේ නැහැ.

19 එළිදරව් 21:4, 5 තියෙන ප්‍රීතිමත් පණිවිඩය දැනුම් දෙන්න ලැබුණ එක ගැන අපි කොයි තරම් සතුටු වෙන්න ඕනෙද! එතන මෙහෙම කියනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත. සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා මෙසේ පැවසුවේය. ‘බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි.’ තවදුරටත් ඔහු, ‘ඒ දේවල් ලියාගන්න. මන්ද එම වදන් විශ්වාසවන්තය, සැබෑය’ කියාද පැවසුවේය.” උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරලා මහත් කරුණාවක් පෙන්නන යෙහෝවා දෙවිව අපි ගෞරවයට පත් කරමු.