Skip to content

පටුනට යන්න

දීමෙන් ලැබෙන සතුට අද්දකින්න

දීමෙන් ලැබෙන සතුට අද්දකින්න

“චීන කොල්ලා එන කල් බලන් ඉන්න එපා. බස් එක ගන්න.” එහෙම කිව්වේ දකුණු ඇමරිකාවේ දේශ සීමා මුරපොළේ බස් එක නවත්තපු නිලධාරියෙක්. බස් එකේ හිටිය ඇලෙක්සැන්ඩ්‍රාට ඒක ඇහුණා. බස් එකෙන් බැහැලා බලද්දී එයා දැක්කා චීන තරුණයෙක් අමාරුවෙන් ස්පාඤ්ඤ භාෂාවෙන් නිලධාරියාට මොනවාද කියන්න හදනවා. ඇලෙක්සැන්ඩ්‍රා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ චීන භාෂාවෙන් පවත්වන රැස්වීම්වලට යන කෙනෙක් නිසා චීන භාෂාව දැනන් හිටියා. එයා තරුණයා කියන දේ නිලධාරියාට පැහැදිලි කරන්න ඉදිරිපත් වුණා.

තරුණයාට ඒ රටේ ඉන්න වීසා තිබුණත් එයාගේ සල්ලියි, පාස්පෝට් එකයි කවුරු හරි හොරකම් කරලා තිබුණා. ඒ ගැන නිලධාරියාට කිව්වත් මුලදී එයා ඒක පිළිගත්තේ නැහැ. ඇලෙක්සැන්ඩ්‍රා තරුණයාව හොරෙන් වෙන රටකට ගෙනියන්න හදනවා කියලත් සැක කළා. අන්තිමේදී නිලධාරියා තරුණයා කියපු දේ පිළිගත්තත් ලියකියවිලි නැතුව ගමන් කරපු නිසා ඩොලර් 20ක දඩයක් ගැහුවා. තරුණයා ළඟ සල්ලි තිබුණේ නැති නිසා ඇලෙක්සැන්ඩ්‍රා ඒ මුදල ගෙව්වා. තරුණයා ඇලෙක්සැන්ඩ්‍රාට ස්තුති කරලා ඒ මුදල ආයෙත් දෙන්න පොරොන්දු වුණා. අමාරුවේ වැටිලා ඉන්න කෙනෙක්ට උදව් කරන එක යුතුකමක් කියලා ඇලෙක්සැන්ඩ්‍රා එයාට කිව්වා. ඇලෙක්සැන්ඩ්‍රා බයිබලයේ තොරතුරු තියෙන පොත් පත් තරුණයාට දීලා බයිබල් පාඩමක් කරන්නත් උනන්දු කළා.

ආගම දහමට ළැදි වුණත් නැතත් ඕනෙ කෙනෙක් අනිත් අයට උදව් කරන්න, අනිත් අය වෙනුවෙන් යමක් දෙන්න ඉදිරිපත් වෙනවා. ඇත්තටම දීමෙන් අපිට ලොකු සතුටක් ලැබෙනවා. යේසුත් ඒ ගැන මෙහෙම කියලා තියෙනවා. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.” (ක්‍රියා 20:35) දීම කෙනෙක්ගේ සෞඛ්‍යයටත් හොඳයි කියලා විද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙනවා. දීමෙන් ලැබෙන සතුට ගැන තවත් තොරතුරු බලමු.

“සතුටු සිතින්” දෙන්න

“දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාට” කියලා යේසුස්ගේ නියෝජිතයෙක් වුණු පාවුල් කිව්වා. (2 කොරින්ති 8:4; 9:7) පාවුල් එතැනදි කතා කළේ අගහිඟකම්වලින් පෙළුණු සහෝදරයන්ට උදව් කරපු ක්‍රිස්තියානීන් ගැනයි. එයාලා සතුටින් හිටපු වෙලාවක ඒ සතුට නිසා අනිත් අයට උදව් කෙරුවා කියලා නෙමෙයි එතැන කියන්නේ. ඒ වෙනුවට එයාලා සතුට අද්දැක්කේ අනිත් අයට උදව් කරපු නිසා කියන එකයි පාවුල් අදහස් කළේ. ඇත්තටම දීමෙන් සතුටක් ලැබෙන්නේ කොහොමද?

දීමෙන් “අපේ මොළේ සතුට, තෘප්තිය ඇති කරන කොටස ක්‍රියාකාරී වෙනවා” කියලා එක අධ්‍යයනයකින් හොයාගෙන තියෙනවා. ඒ වගේම “තමන් වෙනුවෙන් මුදල් වියදම් කරලා ලබන සතුටට වඩා ඒ මුදල තව කෙනෙක්ට දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා” කියලා සමීක්ෂණයකිනුත් හොයාගෙන තියෙනවා.

‘මං ඉන්න තත්වේ හැටියට කොහොමද අනිත් අයට උදව් කරන්නේ’ කියලා ඔයාට හිතිලා ඇති. ඒත් ඔයා දෙන පුංචි දෙයක් වුණත් මුළු හදවතින්ම දෙනවා නම් ඒක ගොඩක් වටිනවා. එක සාක්ෂිකරුවෙක් අපිට එවපු ලියුමක මෙහෙම සඳහන් වුණා. “පහුගිය අවුරුදු තුන පුරාම මට සභාවේ සම්මාදම්වලට වැඩි ගාණක් දාන්න බැරි වුණා. ඒත් මම පුළුවන් විදිහට දිගටම සම්මාදම් කළා.” එයා මෙහෙමත් ලියලා තිබුණා. “යෙහෝවා දෙවියන් මං වෙනුවෙන් දීලා තියෙන දේවල් නම් ගණන් කරන්න බැරි තරම්! ඒ දේවල් අගය කරලා පොඩි මුදලකින් හරි සම්මාදම් කරන්න ලැබුණ එක ගැන මම හුඟක් සතුටු වෙනවා.”

සල්ලිවලින් විතරක් නෙමෙයි අනිත් අයට උදව් කරන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවා.

දීම සෞඛ්‍යයටත් හොඳයි

දීමෙන් ඔයාටත් අනිත් අයටත් වෙන්නේ යහපතක්

“ප්‍රේමණීයව කටයුතු කරන තැනැත්තා බොහෝ ආශීර්වාද ලබයි. එහෙත් කෲර තැනැත්තා තමා පිටට බොහෝ දුක් කරදර ගෙනෙයි.” (හිතෝපදේශ 11:17) ප්‍රේමණීය කෙනෙක් තමන්ගේ කාලය, ශ්‍රමය අනිත් අය වෙනුවෙන් දෙන්න අදිමදි කරන්නේ නැහැ. ඒ විදිහට අනිත් අය ගැන හිතලා වැඩ කරන එක නිරෝගිකමටත් හොඳයි කියලා ඔයා දැනගෙන හිටියාද?

අධ්‍යයනවලින් හොයාගෙන තියෙනවා කැමැත්තෙන්ම අනිත් අයට උදව් කරන කෙනෙක්ට මානසික අවපීඩනය, හිසරදය සහ ඇඟේ පතේ වේදනාව වගේ ලෙඩ අඩුයි කියලා. ඒඩ්ස් වගේ දරුණු රෝගවලින් දුක් විඳින සමහර අයට පවා දීමෙන් යම් සහනයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. අනිත් අයට උදව් කරන එක මත්පැන්වලින් මිදෙන්න උත්සාහ කරන අයටත් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. මොකද හොඳ දේවල් කරද්දී, එයාලාට දැනෙන මානසික අවපීඩනය අඩු වෙනවා. එතකොට ආයෙත් බොන්න එන පෙලඹීමත් අඩුයි.

දීමෙන් මෙච්චර හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ කොහොමද? හුඟක් අය කියනවා “කෙනෙක් තව කෙනෙක්ට කාරුණිකව සලකද්දී එයා තමන්ගේ ප්‍රශ්න ගැන අනවශ්‍ය විදිහට හිතලා කලකිරෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා” කියලා. ඒකෙන් මානසික පීඩනය සහ රුධිර පීඩනයත් අඩු වෙනවා. පවුලේ කෙනෙක් මැරුණාම ඇති වෙන මානසික අවපීඩනයෙන් මිදෙන්නත් ඒක උදව් වෙනවා.

දීමෙන් ඔයාගේ ජීවිතයට වෙන්නේ යහපතක් කියන එක ගැන නම් කිසිම සැකයක් නැහැ.

අනිත් අයත් දෙන්න පෙලඹෙනවා

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. “දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි. ඔවුන් ඔබට දෙන විට දෙන දේ සොලවා, තද කර, පිරී ඉතිරී යන විදිහට විශාල ප්‍රමාණයක් ඔබේ ඔඩොක්කුවලට මැන දෙයි. ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබෙයි.” (ලූක් 6:38) ඔයා අනිත් අයට දෙද්දී ඒ අය ඔයාට දෙන්න පෙලඹෙනවා. ඒ වගේම එයාලාත් අනිත් අයටත් දෙන්න පුරුදු වෙනවා. එහෙම කරන එක යාළුවන් අතර තියෙන බැඳීමත් වැඩි කරන්න උදව් වෙනවා.

දීමෙන් යාළුවන් අතර තියෙන බැඳීමත් එකමුතුකමත් වැඩි වෙනවා

මිනිස් සබඳතා ගැන කරපු අධ්‍යයනයක මෙහෙම සඳහන් වුණා. “සාමාන්‍යයෙන් කෙනෙක් තව කෙනෙක්ට උදව් කරද්දී ඒ කෙනාත් ඒ දේම කරන්න පෙලඹෙනවා. කරපු කාරුණික ක්‍රියාවක් ගැන වාර්තාවක් කියවද්දීත් ඒ කියවන කෙනා තුළ ඒ වගේ දෙයක් කරන්න ආසාවක් ඇති වෙනවා.” තවත් අධ්‍යයනයකින් මේ වගේ දෙයක් හොයාගෙන තියෙනවා. “එක් කෙනෙක් හොඳ දෙයක් කරද්දී ඒක වසංගතයක් වගේ පැතිරෙනවා. ඒකෙන් අනිත් අයත් හොඳ දේවල් කරන්න පෙලඹෙනවා.” හැමෝම අනිත් අයට උදව් කරගෙන හොඳින් ඉන්නවා නම් මේ සමාජය මොන තරම් ලස්සන තැනක් වෙයිද!

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තා වුණු මේ සිද්ධියෙනුත් තේරෙනවා දීමෙන් කොච්චර හොඳ ප්‍රතිඵල ලැබෙනවාද කියලා. එහේ සාක්ෂිකරුවන් කණ්ඩායමක් සුළිසුළඟකින් හානි වුණු සාක්ෂිකාරයෙක්ගේ නිවසක් හදලා දෙන්න ගියා. එතකොට ඒ ළඟ ගෙදරක වැට කැඩිලා තියෙනවා දැකලා, එයාලා ඒක හදලා දෙන්න ඉදිරිපත් වුණා. ඒ ගේ අයිති කෙනා උදව්ව අගය කරලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට එවපු ලියුමක මෙහෙම ලියලා තිබුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් අයට උදව් කරන්න කැමති කට්ටියක්. එයාලා මට කරපු උදව්ව කවදාවත් අමතක වෙන්නේ නැහැ.” ලියුමත් එක්ක සාක්ෂිකරුවන් කරන වැඩවලට සම්මාදමකුත් එයා එවලා තිබුණා.

දීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය

“මිනිසුන්ට අනිත් අයට උදව් කරන්න උපතින්ම ආසාවක් තියෙනවා” කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. එයාලා කියන්නේ “දරුවෙක් කතා කරන්න ඉගෙනගන්නත් කලින් අනිත් අය එක්ක දේවල් බෙදාගන්න කැමැත්තක් පෙන්නනවා” කියලයි. මිනිසුන්ට උපතින්ම ඒ වගේ පෙලඹීමක් තියෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මොකද ‘දෙවි මිනිසුන්ව හැදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි’ කියලා බයිබලයේ සඳහන් වෙනවා.—උත්පත්ති 1:27

අපිව නිර්මාණය කරපු යෙහෝවා දෙවියන්ගේ අපූරු ගතිගුණවලින් එකක් තමයි ත්‍යාගශීලීකම. දෙවියන් අපිට ජීවිතය දීලා ඒ ජීවිතය සතුටින් ගත කරන්න ඕන හැම දෙයක්මත් දීලා තියෙනවා. (ක්‍රියා 14:17; 17:26-28) ඔහුගේ වචනය වන බයිබලය අධ්‍යයනය කළොත් දෙවියන්ගේ තවත් ලස්සන ගතිගුණ ගැනත් දෙවියන් ඉදිරියේදී මිනිසුන් වෙනුවෙන් කරන්න යන දේවල් ගැනත් දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දෙවියන් මිනිසුන්ගේ යහපත වෙනුවෙන් දැනටමත් කොයි තරම් ලොකු පරිත්‍යාගයක් කරලා තියෙනවාද කියලත් දැනගන්න පුළුවන්. * (1 යොහන් 4:9, 10) දීමෙන් අපිට සතුටක් ලැබෙනවා. ඒක අපේ සෞඛ්‍යයටත් හොඳයි. ඒත් ඒ හැම දේටම වඩා ඒකෙන් ත්‍යාගශීලීකමේ හොඳම ආදර්ශය වන යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්න අපිට පුළුවන්.—හෙබ්‍රෙව් 13:16.

ලිපියේ මුල සඳහන් කළ ඇලෙක්සැන්ඩ්‍රාව ඔයාට මතකද? චීන තරුණයාට සල්ලි දුන්නාම බස් එකේ හිටපු අය කිව්වේ එයා කළේ මෝඩ වැඩක් කියලායි. ඒත් බස් නැවතුම්පොළට ආවාම තරුණයා එහේ හිටපු යාළුවෙක්ගෙන් සල්ලි ටික ඉල්ලලා ඇලෙක්සැන්ඩ්‍රාට දුන්නා. ටික දවසකින් එයා බයිබලය පාඩම් කරන්නත් පියවර ගත්තා. මාස තුනකට පස්සේ ඇලෙක්සැන්ඩ්‍රාට සමුළුවකදී ඒ තරුණයාව මුණගැහුණාම එයාට දැනුණේ පුදුම සතුටක්. තරුණයා ඇලෙක්සැන්ඩ්‍රාට ස්තුති කරලා එයාටත් එයාගේ යාළුවන්ටත් කෑමකට ආරාධනා කළා.

දීමෙන් සහ අනිත් අයට උදව් කිරීමෙන් ලැබෙන්නේ ලොකු සතුටක්. ඒත් අපිට අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි සෑම යහපත් දීමනාවක්ම ලබා දෙන යෙහෝවා දෙවියන් ගැන එයාලාට කියලා දෙන එක. (යාකොබ් 1:17) ඒ දේ කරලා ලැබෙන සතුට වෙන කිසිම දේකට සමාන කරන්න බැහැ.

^ 21 ඡේ. ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතෙන් මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. www.isa4310.com/si වෙබ් අඩවියේ ප්‍රකාශන > පොත් සහ සඟරා යටතේ බලන්න.