යේසුස්ගේ ජීවිත පූජාව දෙවිගෙන් ලැබුණ වටිනා තෑග්ගක්
‘සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ දෙවිගෙන්ය.’—යාකො. 1:17.
ගීතිකා: 148, 109
1. යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට ලැබෙන යහපත් දේවල් මොනවද?
යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට අද්දකින්න ලැබෙන ආශීර්වාද මොන තරම්ද! වෙනත් බැටළුවන්ට අයත් අයට අනාගතයේදී යෙහෝවා දෙවිගේ පවුලේ සාමාජිකයන් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. දෙවිට කීකරු වෙන හැමෝටම සතුටින් සදහටම ජීවත් වෙන බලාපොරොත්තුවත් තියෙනවා. ඒත් මිනිසුන්ට අද්දකින්න ලැබෙන ආශීර්වාදවලට වඩා වැදගත් දෙයක් යේසුස්ගේ ජීවිත පූජාව නිසා ඉටු වෙනවා. ඒ දේ පොළොවේ ඉන්න අයට විතරක් නෙමෙයි ස්වර්ගයේ ඉන්න අයටත් හුඟක් වැදගත්.—හෙබ්‍රෙ. 1:8, 9.
2. (අ) යේසුස් යාච්ඤාවට ඇතුළත් කළේ ස්වර්ගයෙත් පොළොවෙත් ඉන්න දෙගොල්ලන්ටම වැදගත් වෙන මොන කාරණාද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවද?
2 මිය යන්න අවුරුදු 2කට විතර කලින් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට යාච්ඤා කරන විදිහ කියලා දුන්නා. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!” (මතෙ. 6:9, 10) යේසුස්ගේ ජීවිත පූජාව නිසා දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල අයින් වෙන්නේ කොහොමද? ජීවිත පූජාව සහ දේවරාජ්‍යය අතර තියෙන සම්බන්ධය මොකක්ද? ජීවිත පූජාව නිසා දෙවිගේ කැමැත්ත ඉටු වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්න ගැන සාකච්ඡා කරද්දී යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපිට තියෙන අගය තවත් වැඩි වෙයි.
“ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!”
3. දෙවිගේ නමෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? සාතන් දෙවිගේ නමට කැළැලක් ඇති කළේ කොහොමද?
3 ආදර්ශ යාච්ඤාවේදී යේසුස් මුලින්ම කිව්වේ දෙවිගේ නම ශුද්ධව පවතීවා කියලා. ඒ කියන්නේ දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්න කියලයි. යෙහෝවා කියන දෙවිගේ නමෙන්ම ඔහු මොන වගේ කෙනෙක්ද කියලා පැහැදිලි වෙනවා. විශ්වයේ ඉන්න බලවත්ම, ධර්මිෂ්ඨම තැනැත්තා ඔහුයි. තවත් යාච්ඤාවකදී යේසුස් “ශුද්ධ වූ පියාණෙනි” කියලා දෙවිව ඇමතුවා. (යොහ. 17:11) යෙහෝවා දෙවි ශුද්ධ කෙනෙක් නිසා ඔහු කරන කිසිම දේක දෝෂයක් නැහැ. ඔහුගේ නීතිවල කිසිම වරදක් නැහැ. ඒත් මිනිසුන්ට යම් නීති දාන්න, හරි වැරැද්ද මොකක්ද කියලා තීරණය කරන්න දෙවිට තියෙන අයිතිය ගැන සාතන් කපටි විදිහට ඒදන් උයනේදී ප්‍රශ්න කළා. එයා දෙවි ගැන අමූලික බොරු කියලා දෙවිගේ නමට මඩ ගැහුවා.—උත්. 3:1-5.
4. දෙවිගේ නම තමන්ට හුඟක් වටිනවා කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?
4 යේසුස් දෙවිගේ නම සැලකුවේ හුඟක් වටින දෙයක් විදිහට. ඒ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්න තමන්ට පුළුවන් හැම දේම ඔහු කළා. (යොහ. 17:25, 26) ඔහු ජීවත් වුණ විදිහෙන්, උගන්වපු දේවලින් දෙවිගේ නීති සාධාරණයි කියලත් ඒවා දීලා තියෙන්නේ අපේම යහපතටයි කියලත් තේරුම්ගන්න මිනිසුන්ට උදව් කළා. (ගීතාවලිය 40:8-10 කියවන්න.) දුක් විඳලා, වේදනාකාරී මරණයක් අද්දකින්න සාතන් සැලැස්සුවත් යේසුස් දිගටම දෙවිට ළැදිව හිටියා. පරිපූර්ණ කෙනෙක්ට 100% දෙවිට කීකරුව ඉන්න පුළුවන් කියලා ඔහු ඔප්පු කළා.
5. දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්න අපිට සහය දෙන්න පුළුවන් කොහොමද?
5 දෙවිගේ නම අපිට හුඟක් වටිනවා කියලා ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න අපිට පුළුවන්. අපි ශුද්ධව ඉඳියි කියලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒකට අපේ ජීවිතේ හැම කාරණයක්ම ඇතුළත්. (1 පේතෘස් 1:15, 16 කියවන්න.) ඒ කියන්නේ අපි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිට විතරයි. ඒ වගේම අපි ඔහුට මුළු හදවතින්ම කීකරු වෙනවා. විරුද්ධවාදිකම් ආවත් අපි දෙවිගේ ප්‍රමිතිවලින් පිට පනින්නෙත් නැහැ. අපි දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රකිද්දී ඔහුගේ නම ගෞරවයට පත් වෙනවා. (මතෙ. 5:14-16) මොකද දෙවිගේ නීතිවල කිසිම වරදක් නැහැ කියලත් ඒවා තියෙන්නේ අපේම යහපතටයි කියලත් ඔප්පු කරන්න ඒකෙන් අපිට පුළුවන්. සාතන් බොරුකාරයෙක් කියලත් ඒකෙන් ඔප්පු වෙනවා. අපි අතින් වැරදි වෙයි. ඒත් ඒවා ගැන අවංකවම පසුතැවිලා දෙවිගේ නමට අගෞරවයක් වෙන කිසිම දෙයක් නොකර ඉන්න අපි වෑයම් කරන්න ඕනේ.—ගීතා. 79:9.
6. අපි පව්කාරයන් වුණත් දෙවි අපිව ධර්මිෂ්ඨ අය විදිහට සලකන්නේ ඇයි?
6 අභිෂේක ලත් කෙනෙක් වුණත් වෙනත් බැටළුවන්ට අයිති කෙනෙක් වුණත් යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියලා වැඩ කරනවා නම් යෙහෝවා දෙවි එයාගේ පව්වලට සමාව දෙනවා. දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන අයව තමන්ගේ සේවකයන් හැටියට දෙවි පිළිගන්නවා. අභිෂේක ලත් අයව ධර්මිෂ්ඨ අය විදිහට සලකලා තමන්ගේ දරුවන් විදිහටත් වෙනත් බැටළුවන්ව ධර්මිෂ්ඨ අය විදිහට සලකලා තමන්ගේ මිතුරන් විදිහටත් දෙවි පිළිගන්නවා. (යොහ. 10:16; රෝම 5:1, 2; යාකො. 2:21-25) දැනුත් අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්නත් ඔහුගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්න සහය දෙන්නත් යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට පුළුවන්.
“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”
7. යේසුස්ගේ ජීවිත පූජාව නිසා දේවරාජ්‍යය මාර්ගයෙන් ලැබෙන ආශීර්වාද මොනවද?
7 ආදර්ශ යාච්ඤාවේදී ඊළඟට යේසුස් කිව්වේ “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියලා. ඒ රාජ්‍යයයි ජීවිත පූජාවයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ රාජ්‍යය නැත්නම් ආණ්ඩුව හැදිලා තියෙන්නේ යේසුස් සහ මිනිසුන් අතරින් තෝරගත්ත 1,44,000දෙනෙක්ගෙන්. ඒ තෝරගත්ත අයව ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවන්න දෙවිට පුළුවන් වෙලා තියෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. (එළි. 5:9, 10; 14:1) එයාලා රජවරුන් සහ පූජකයන් විදිහට යේසුස් එක්ක අවුරුදු 1,000ක් පොළොව පාලනය කරනවා. ඒ කාලේ ඇතුළත යෙහෝවා දෙවි දේවරාජ්‍යය මාර්ගයෙන් පොළොව පාරාදීසයක් කරනවා. මිනිසුන්ට උරුම වෙලා තියෙන පාපය අයින් කරලා පරිපූර්ණ අය වෙන්න උදව් කරනවා. අන්තිමේදී ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න දෙවිගේ සේවකයන් එක පවුලක් වෙනවා. (එළි. 5:13; 20:6) යේසුස් සාතන්ව විනාශ කරලා ඔහුගේ කැරැල්ල නිසා ඇති වුණ හැම අමිහිරි දෙයක්ම අයින් කරලා දානවා.—උත්. 3:15.
8. (අ) දේවරාජ්‍යය කොච්චර වැදගත්ද කියන දේ තේරුම්ගන්න යේසුස් අනුගාමිකයන්ට උදව් කළේ කොහොමද? (ආ) දේවරාජ්‍යයට සහය දෙන්න අපිට පුළුවන් කොහොමද?
8 දේවරාජ්‍යය කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට උදව් කළා. ඒ කොහොමද? යේසුස් බව්තීස්ම වුණ දවසේ ඉඳන් ගිය හැම තැනකම “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” දේශනා කළා. (ලූක් 4:43) ඔහු ගැන “පොළොවේ දුර ඈත කෙළවරවලද” සාක්ෂි දරන්න කියලා අනුගාමිකයන්ටත් උනන්දු කළා. (ක්‍රියා 1:6-8) ලොව පුරා සිද්ධ වෙන දේශනා කිරීමේ කාර්යය නිසා යේසුස්ගේ ජීවිත පූජාව ගැන ඉගෙනගන්නත් දේවරාජ්‍යයේ යටත්වැසියන් වෙන්නත් මිනිසුන්ට අවස්ථාව ලැබෙනවා. දේවරාජ්‍යය ගැන දේශනා කරන්න අභිෂේක ලත් අයට සහය දීලා අපිත් ඒ රාජ්‍යයට ළැදියි කියලා පෙන්නමු.—මතෙ. 24:14; 25:40.
“ඔබගේ කැමැත්ත වේවා!”
9. මිනිසුන් සඳහා දෙවිගේ අරමුණ ඉටු වෙනවා කියලා අපිට ස්ථිර ඇයි?
9 යේසුස් ඊළඟට කිව්වා “ඔබගේ කැමැත්ත වේවා” කියලා. ඒකෙන් අදහස් වුණේ මොකක්ද? යෙහෝවා දෙවි යම් දෙයක් කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. (යෙසා. 55:11) මිනිසුන් සඳහා දෙවිට තියෙන අරමුණ ඉටු වෙන එක නවත්තන්න සාතන්ට බැහැ. දෙවිගේ අරමුණ වුණේ ආදම් සහ ඒවගෙන් පැවතෙන පරිපූර්ණ අයගෙන් මුළු පොළොවම පුරවන එක. (උත්. 1:28) මුල් යුවළට දරුවන් ලැබෙන්න කලින් එයාලා මිය ගියා නම් ඒ අරමුණ ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා අකීකරු වුණාට පස්සෙත් තව කාලයක් ජීවත් වෙන්න, දරුවන් බිහි කරන්න දෙවි එයාලට ඉඩ දුන්නා. ආදම්ගෙන් පැවත ආවත් දෙවිට විශ්වාසවන්තව ඉන්න අයට යේසුස්ගේ ජීවිත පූජාව නිසා පාපයෙන් නිදහස් වෙලා පරිපූර්ණ අය වෙන්න අවස්ථාව දෙන්න දෙවිට පුළුවන්. ඒ අයට සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. යෙහෝවා දෙවි මිනිසුන්ට ආදරෙයි. ඔහුගේ කැමැත්ත තමන් අරමුණු කරපු ජීවිතය එයාලට දෙන්නයි.
10. මිය ගිහින් ඉන්න අයටත් ජීවිත පූජාව නිසා ප්‍රයෝජන ලැබෙනවද? පැහැදිලි කරන්න.
10 යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණේ නැති, මිය ගිහින් ඉන්න බිලියන ගාණක් දෙනාව දෙවිට අමතක වෙයිද? නැහැ. මිය ගිහින් ඉන්න ඒ අයට ආපහු ජීවිතය දෙන්න යේසුස්ගේ ජීවිත පූජාව නිසා දෙවිට පුළුවන්. එයාලා ජීවත් වෙනවා දකින්නයි දෙවි කැමති. ඒ නිසා එයාලට ආපහු ජීවිතය දීලා දෙවි ගැන ඉගෙනගන්න අවස්ථාව දෙනවා. සදහටම ජීවත් වෙන්නත් අවස්ථාව දෙනවා. (ක්‍රියා 24:15) ජීවිතේ උල්පත යෙහෝවා දෙවි නිසා නැවත නැඟිටුවන හැමෝගෙම පියා වෙන්නේ යෙහෝවා දෙවියි. (ගීතා. 36:9) ආදර්ශ යාච්ඤාවේදී “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි” කියලා යේසුස් දෙවිව ඇමතුවේ හොඳ හේතු ඇතුවයි. (මතෙ. 6:9) මිය ගිහින් ඉන්න අයව නැවත නැඟිටුවද්දී දෙවි යේසුස්ට වැදගත් වැඩ කොටසක් භාර දීලා තියෙනවා. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි.—යොහ. 6:40, 44; 11:25.
11. “මහත් සමූහය” සඳහා දෙවිගේ කැමැත්ත මොකක්ද?
11 දෙවිගේ සේවකයෙක් වෙන්න ඕනම කෙනෙක්ට අවස්ථාව තියෙනවා. “මගේ සහෝදරයා හෝ සහෝදරිය හෝ මව හෝ වන්නේ දෙවිගේ කැමැත්ත කරන තැනැත්තායි” කියලා යේසුස් කිව්වා. (මාක් 3:35) ඒ කියන්නේ දෙවිගේ කැමැත්ත කරන ඕනම කෙනෙක්ට ඒ අවස්ථාව තියෙනවා කියන එකයි. සියලු ජාතීන්ට, ගෝත්‍රවලට අයිති, සියලු භාෂා කතා කරන විශාල පිරිසක් දෙවිගේ සේවකයන් වෙනවා කියලා දෙවි කිව්වා. ඒ අයව හඳුන්වන්නේ “මහත් සමූහය” කියලයි. එයාලට යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසයි. එයාලට ඕනෙ දෙවිට කීකරුව ඉන්නයි. ඒ නිසා “ගැලවීම ලැබෙන්නේ සිංහාසනය මත ඉඳගෙන සිටින අපගේ දෙවිගෙන් හා බැටළු පැටවාගෙන්ය” කියලා කියන්න එයාලට පුළුවන් වෙයි.—එළි. 7:9, 10.
12. මිනිසුන් සඳහා දෙවිගේ අරමුණ ගැන යේසුස් යාච්ඤාවේදී කිව්වේ මොනවද?
12 දෙවිට කීකරු වෙන මිනිසුන් සඳහා දෙවිගේ අරමුණු ගැන ආදර්ශ යාච්ඤාවෙන් අපි මේ දේවල් ඉගෙනගත්තා. (1) දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල අයින් කරන්න සහය දෙන්නත් දෙවිගේ නම ගෞරවයට පත් කරන්නත් අපිට පුළුවන් හැම දේම කරන්න ඕනේ. (යෙසා. 8:13) යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් අපිට පාපයෙන් සහ මරණයෙන් ගැලවීම ලැබෙනවා. අපිට ලැබෙන ගැලවීම නිසා දෙවිගේ නාමය ගෞරවයට පත් වෙනවා. යේසුස් කියන නමේ තේරුමත් “යෙහෝවා දෙවි දෙන ගැලවීම” කියන එකයි. (2) ජීවිත පූජාව නිසා ලැබෙන හැම ආශීර්වාදයක්ම දෙවි මිනිසුන්ට ලබා දෙන්නේ දේවරාජ්‍යය මාර්ගයෙන්. (3) දෙවිගේ කැමැත්ත අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. ඒක නවත්තන්න කාටවත් බැහැ.—ගීතා. 135:6; යෙසා. 46:9, 10.
ජීවිත පූජාව ගැන තියෙන අගය පෙන්නමු
13. අපි බව්තීස්ම වෙන්නේ ඇයි?
13 යේසුස්ගේ ජීවිත පූජාව අපි හුඟක් අගය කරනවා නම් අපි අපේ ජීවිත දෙවිට කැප කරලා බව්තීස්ම වෙනවා. “අපි අයිති වන්නේ යෙහෝවා දෙවිටයි” කියන දේට බව්තීස්මය සාක්ෂියක්. (රෝම 14:8) ඒ වගේම දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්න අපිට උදව් කරන්න කියලා අපි දෙවිගෙන් ඉල්ලලා තියෙනවා කියලත් ඒකෙන් පැහැදිලි වෙනවා. (1 පේතෘ. 3:21) එදා ඉඳන් දෙවි අපිව ඔහුගේ මිතුරන් හැටියට පිළිගන්නවා. දෙවි පොරොන්දු වෙලා තියෙන හැම දේම ඔහු ලබා දෙනවා කියලා අපිට නිසැකයි.—රෝම 8:32.
14. අනිත් අයට ආදරේ කරන්න කියලා ආඥාවක් දෙවි අපිට දීලා තියෙන්නේ ඇයි?
14 යෙහෝවා දෙවි මොන දේ කළත් ඒක කරන්න ඔහුව පොලඹවන්නේ ආදරයයි. ඒ නිසා දෙවි බලාපොරොත්තු වෙනවා ඔහුගේ හැම සේවකයෙක්ම ඔහුව ආදර්ශයට අරන් අනිත් අයට ආදරෙන් සලකයි කියලා. (1 යොහ. 4:8-11) අපි එහෙම කරද්දී යේසුස්ගේ ජීවිත පූජාව අගය කරනවා කියලත් දෙවිගේ පවුලේ සාමාජිකයන් වෙන්න අපි කැමතියි කියලත් පෙන්නනවා. (මතෙ. 5:43-48) අනිත් අයට ආදරේ කරන්න කියන ආඥාව කොච්චර වැදගත්ද කියනවා නම් ඒක දෙවෙනි වෙන්නේ යෙහෝවා දෙවිට ආදරේ කරන්න කියන ආඥාවට විතරයි. (මතෙ. 22:37-40) මිනිසුන් ගැන අපේ හිතේ ඇත්තටම ආදරයක් තියෙනවා නම් අපි දේවරාජ්‍යය ගැන දේශනා කරනවා. අනිත් අයට, විශේෂයෙන්ම අපේ සහෝදරයන්ට ආදරේ කරන්න කියලා දෙවි දුන්න ආඥාවට අපි කීකරු වෙද්දී “දෙවි පෙන්වන ප්‍රේමය පූර්ණ ලෙස පෙන්වන්න” අපිට පුළුවන් වෙනවා.—1 යොහ. 4:12, 20.
ජීවිත පූජාව නිසා දෙවිගෙන් ලැබෙන ආශීර්වාද
15. (අ) දැන් අපි අද්දකින ආශීර්වාද මොනවද? (ආ) අනාගතයේදී අපිට ලැබෙන ආශීර්වාද මොනවද?
15 යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාස කරනවා නම් අපේ “පව්වලට සමාව ලබාගන්න” පුළුවන් කියලා යෙහෝවා දෙවි සහතික වෙනවා. (ක්‍රියා 3:19-21 කියවන්න.) අභිෂේක ලත් අයව දැනටමත් තමන්ගේ දරුවන් විදිහට පිළි අරන් ඒ අයට ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙන්න යෙහෝවා දෙවිට පුළුවන් වුණේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. (රෝම 8:15-17) වෙනත් බැටළුවන්ට අයිති අයටත් දෙවි තමන්ගේ පවුලේ සාමාජිකයන් වෙන්න කියලා ආරාධනා කරලා තියෙනවා. පාපයෙන් නිදහස් වෙලා ඒ අය පරිපූර්ණ වුණාට පස්සේ අවසන් පරීක්ෂණය තියෙනවා. දෙවිට ළැදිව ඉන්න අයව එදාට දෙවි තමන්ගේ දරුවන් විදිහට පිළිගන්නවා. (රෝම 8:20, 21; එළි. 20:7-9) දෙවි තමන්ගේ දරුවන්ට හැමදාටම ආදරෙයි. යේසුස්ගේ ජීවිත පූජාව නිසා ලැබෙන ආශීර්වාද සදහටම අද්දකින්න එයාලට පුළුවන්. (හෙබ්‍රෙ. 9:12) යෙහෝවා දෙවි අපි වෙනුවෙන් දුන්න ඒ තෑග්ගේ වටිනාකම කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඒ තෑග්ග අපෙන් උදුරගන්න කාටවත් බැහැ.
16. ජීවිත පූජාව නිසා සැබෑ නිදහස ලැබෙන්නේ කොහොමද?
16 තමන්ගේ පව් ගැන අවංකව පසුතැවෙන කෙනෙක්ව දෙවිගේ පවුලේ සාමාජිකයෙක් වෙන එකෙන් වළක්වන්න සාතන්ට බැහැ. මොකද යේසුස් ජීවිතේ පූජා කරලා ඉවරයි. නැති වුණ ජීවිතයට සරිලන වන්දිය ඔහු ගෙව්වා. “නැවත වරක්” පූජාවක් අවශ්‍ය නැහැ. (හෙබ්‍රෙ. 9:24-26) ආදම්ගෙන් උරුම වුණ පාපය සහ මරණය යේසුස්ගේ ජීවිත පූජාවෙන් අහෝසි වෙනවා. ජීවිත පූජාව නිසා මේ ලෝකයේ දුෂ්ට බලපෑම්වලිනුත් මරණයට තිබුණ බයෙනුත් නිදහස් වෙන්න අපිට පුළුවන්.—හෙබ්‍රෙ. 2:14, 15.
17. දෙවි පෙන්නලා තියෙන ආදරේ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?
17 දෙවිගේ පොරොන්දු සැක කරන්න අපිට කිසිම හේතුවක් නැහැ. විශ්වයේ පැවැත්ම සඳහා දෙවි පිහිටුවලා තියෙන නීති කවදාවත් වෙනස් වෙන්නේ නැහැ වගේ ඒවා පිහිටවපු දෙවිත් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔහු අපේ බලාපොරොත්තු කඩ කරන්නේ නැහැ. (මලා. 3:6) ජීවිතය දෙන්න ඕනෙ නිසා දෙවි නිකම්ම අපිට ඒක දෙන්නේ නැහැ. දෙවි ඒක කරන්නේ ආදරේ නිසයි. ඒ ආදරේ අපිට දැනෙනවා. “දෙවි අපට පෙන්වන ප්‍රේමය ගැන අපට අවබෝධයක් ලැබී තිබෙනවා පමණක් නොව අපි ඒ ප්‍රේමය ගැන විශ්වාසයෙන්ද සිටිමු. දෙවි ප්‍රේමයයි” කියලා අපිට කියන්න පුළුවන් ඒ නිසයි. (1 යොහ. 4:16) ළඟදීම පොළොව පාරාදීසයක් වෙනවා. එදාට ජීවත් වෙන හැමෝම යෙහෝවා දෙවි වගේ අනිත් අයට ආදරේ කරනවා. ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න දෙවිගේ සේවකයන් හැමෝම එදාට මෙහෙම කියයි. “ස්තුතිය ලැබීමට සුදුසු අපගේ බලසම්පන්න දෙවිට සදහටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ප්‍රඥාවත් තේජසත් හිමි වේවා! ආමෙන්.”—එළි. 7:12.