Skip to content

පටුනට යන්න

කොලොම්බියාව

පසුගිය වසරෙන්

ලොව පුරා සිද්ධ වෙන දේශනා සේවයට ඔවුන් මුල් තැන දුන්නා

ලොව පුරා සිද්ධ වෙන දේශනා සේවයට ඔවුන් මුල් තැන දුන්නා

2015 සැප්තැම්බර් 23වෙනිදා පාලක මණ්ඩලයේ සහෝදරයන් සංවිධානය තුළ කරන්න යන වෙනස්කම් ගැන ලෝකේ පුරාම ඉන්න බෙතෙල් සාමාජිකයන්ව දැනුවත් කළා. එයාලා මේ වෙනස්කම් කරන්න සැලසුම් කළේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා ලැබෙන පරිත්‍යාග වඩා ඥානවන්තව පාවිච්චි කිරීමේ අරමුණින්. 2015 ඔක්තෝබර් 3වෙනිදා පාලක මණ්ඩලය නිකුත් කරපු නිවේදනයක මෙහෙම සඳහන් වුණා. “ෆිලිප්පි 1:10 අපිව උනන්දු කරන්නේ ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න’ කියලයි. ඒ නිසා සහෝදරයන්ට දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරන්න උදව් වෙන දේවල්වලටත් දේශනා සේවය තවත් පුළුල් කරන්න උදව් වෙන දේවල්වලටත් වැඩි අවධානයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.”

පාලක මණ්ඩලයේ සහෝදර ස්ටීවන් ලෙට් JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහනක ඒ ගැන කිව්වේ මෙහෙමයි. “පාලක මණ්ඩලයේ සහෝදරයන් දේශනා සේවයට මුල් තැන දීලා වැඩ කරන එක ගැන ගොඩක් හිතනවා. ඒ නිසා අපි තීරණය කළා ලෝකේ පුරා ශාඛා කාර්යාලවල වියදම් අඩු කරලා ඒ මුදල් සේවය වෙනුවෙන් පාවිච්චි කරන්න. උදාහරණයකට බෙතෙල්වල සමහරක් සේවාවන් අඩු කරන්න නැත්නම් ඒවා අත්හිටුවන්න සැලසුම් යොදලා තියෙනවා. මේ නිසා බෙතෙල් සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කරන්න පුළුවන්.”

2015 සැප්තැම්බර් මාසයේ ඉඳන් ලෝකේ පුරා ඉන්න බෙතෙල් සාමාජිකයන් 5,500දෙනෙකුට විතර පුරෝගාමීන් විදිහට අලුත් පැවරුම් ලැබුණා. මේ වෙනස්කම්වලට අනුව හැඩගැහෙන එක ලේසි දෙයක් නෙමෙයි. ඒත් දෙවිගේ ආශීර්වාද ඒ හැම කෙනෙක්ටම නොඅඩුව ලැබුණා. සේවයෙත් ලොකු වර්ධනයක් සිදු වෙලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ බෙතෙල් එකේ සේවය කරපු විවාහක යුවළකට ස්ථාවර පුරෝගාමීන් විදිහට අලුත් පැවරුමක් ලැබුණා. එයාලා ඒක සැලකුවේ දෙවි ගැනත් දෙවිගේ සංවිධානය ගැනත් තියෙන විශ්වාසය පෙන්නන්න පුළුවන් අවස්ථාවක් හැටියටයි. එයාලා මෙහෙම ලිව්වා. “ඉස්සරහාට මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද කියලා අපි දැනන් හිටියේ නැහැ. ඒත් දෙවි අපිව කවදාවත් අත්හරින්නේ නැහැ කියලා නම් අපිට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා අවශ්‍ය වෙනස්කම් කරලා දිගටම ස්ථාවර පුරෝගාමීන් විදිහට සේවය කරන්න අපි දෙන්නාටම උදව් කරන්න කියලා අපි දෙවිගෙන් ඉල්ලුවා. අපේ අතේ ලොකු මුදලක් තිබුණේ නැති නිසා මුලදී ටිකක් අමාරු වුණා. රස්සාවට, ගෙදර වැඩවලට, පුරෝගාමි සේවයට කාලය වෙන් කරන එකත් ලේසි නැහැ. ඒත් බෙතෙල් එකෙන් ලැබුණු පුහුණුව ඒකට අපිට ගොඩක් උදව් වුණා. වියදම් පියවගන්න පොඩි රස්සාවකුත් අපි හොයාගත්තා. කෙනෙක්ට දෙවි ගැන කියලා දෙනකොට ලැබෙන සතුට වෙන කිසිම දේකින් ලැබෙන්නේ නැහැ. පුරෝගාමීන් හැටියට මේ දේ කරන්න ලැබෙන එක අපි සලකන්නේ වටිනා වරප්‍රසාදයක් හැටියටයි.”

කොලොම්බියාවේ පුරෝගාමීන් හැටියට පැවරුම් ලබපු සමහර බෙතෙල් සේවකයන් අලුත් භාෂාවක් ඉගෙනගෙන දුෂ්කර පළාත්වලට ගිහින් සේවය කරන්න පියවර අරන් තියෙනවා. එයාලා අලුතෙන් ගිය සභාවල අය එයාලා ආපු එක සැලකුවේ ලොකු ආශීර්වාදයක් හැටියටයි. චාරිකා සේවක බෙතෙල් එකෙන් ආපු ඒ වගේ යුවළක් ගැන මෙහෙම කිව්වා. “සභාවේ සහෝදරයන් මේ දෙන්නාට හරිම ආදරෙයි. මේ අය ආවාට පස්සේ සේවයේ එන ගාණත් වැඩි වෙලා. සභාවේ ඉන්න සහෝදරයන්ව විවිධ වගකීම්වලට පුහුණු කරන්නත් පටන් අරන්.” බෙතෙල් පැවරුම නැති වුණු තවත් හුඟදෙනෙක් දවසක් නැත්නම් දවස් කිහිපයක් බෙතෙල් එකේ සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා.

ජපානයේ බෙතෙල් එකේ අවුරුදු 31ක් පුරා සේවය කරපු සහෝදරයෙක්ට අලුත් සභාවක සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඒ සභාවේ හිටියේ වැඩිමහල්ලන් දෙන්නෙක් විතරයි. එයා එහෙට යද්දී නමස්කාර මධ්‍යස්ථානය අලුත්වැඩියා කරන්න සැලසුම් කරලයි තිබුණේ. ඒ නිසා මේ සහෝදරයා සති දෙකක් යන කල් රස්සාවකට යන්නේ නැතුව ඒ වැඩවලට හවුල් වෙන්න තීරණය කළා. ඒත් අලුත්වැඩියා කටයුතු පටන්ගන්න ටික දවසකට කලින් රික්ටර් මාපාංක 7.0ක භූමිකම්පාවක් නමස්කාර මධ්‍යස්ථානය තිබුණු ප්‍රදේශයේ ඇති වුණා. රස්සාවකට යන්නේ නැතුව ඉන්න තීරණය කරලා තිබුණු නිසා මේ සහෝදරයාට සහන සේවා කටයුතුවලත් සහෝදරයන්ව බලන්න යන්නත් මූලිකත්වය අරන් වැඩ කරන්න පුළුවන් වුණා. සහෝදරයා මෙහෙම කියනවා. “අවශ්‍යතාවය වැඩියෙන්ම තියෙන තැන යෙහෝවා දෙවි දන්නවා. ඒ අනුව දෙවි අපිව පාවිච්චි කරනවා.”

ෆිල් සහ ෂුගර් ඔස්ට්‍රලේසියා ශාඛා කාර්යාලයේ සේවය කරපු දෙන්නෙක්. එයාලා මෙහෙම කිව්වා. “අපේ පැවරුම වෙනස් වුණාම අපි හිතාගත්තා දිගටම සරල ජීවිතයක් ගත කරනවා කියලා. අපිට ඕන වුණේ වෙන රටකට ගිහින් සේවය කරන්නයි. ඒ වෙනුවෙන් අපි ගත්ත තීරණවලට ආශීර්වාද කරන්න කියලා අපි දෙවිගෙන් ඉල්ලුවා. ඇත්තටම දෙවිගේ ආශීර්වාද අපිට නොඅඩුව ලැබුණා.” මේ දෙන්නා පිලිපීනයේ සමාල් දූපත්වල ඉංග්‍රීසි භාෂාව කතා කරන කණ්ඩායමක සේවය කරනවා. ඒ කණ්ඩායමේ ප්‍රචාරකයන් 34දෙනෙක් සහ ස්ථාවර පුරෝගාමීන් 9දෙනෙක් ඉන්නවා. 120දෙනෙක් විතර අපේ පණිවිඩය ගැන දැනගන්න කැමතියි කියලා දැනටමත් එයාලාට කියලා තියෙනවා. “මෙහේ සේවය කරලා අපි ලබපු සතුට වෙන කිසිම දේකට සමාන කරන්න බැහැ. යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තියලා වැඩ කරපු එක ගැන අපි සතුටු වෙනවා.”

විශේෂ පුරෝගාමියෙක් හැටියට පැවරුම ලැබුණු රුසියාවේ අවිවාහක සහෝදරියක් මෙහෙම කියනවා. “දෙවිගේ රාජ්‍යය ගැන අනිත් අයට කියන එක තමයි මේ කාලේ කරන්න පුළුවන් වැදගත්ම දේ. දෙවි කැමති විදිහට මාව හසුරුවන්න ඉඩ දීලා පුරෝගාමියෙක් විදිහට මං අද ලොකු සතුටක් අද්දකිනවා.” මේ වෙද්දී ඒ සහෝදරිය ඉරාකයෙන්, නයිජීරියාවෙන්, ශ්‍රී ලංකාවෙන්, සිරියාවෙන් සහ සැම්බියාවෙන් ආපු කිහිපදෙනෙක් එක්ක බයිබල් පාඩම් 6ක් කරනවා.

සැම්බියාව: අලුත් පැවරුම් ලැබුණු බෙතෙල් පවුලේ සාමාජිකයන්ව සභාවේ අය ආදරයෙන් පිළිගත්තා

සැම්බියාවේ බෙතෙල් පවුලේ හුඟදෙනෙක්ට ස්ථාවර පුරෝගාමීන් විදිහට අලුත් පැවරුම් ලැබුණා. ඒ විදිහට සේවයට වැඩි කාලයක් දෙන්න පුළුවන් වුණු එක ගැන එයාලා හුඟක් සතුටු වෙනවා. ඇන්ඩෘ සහ එයාගේ බිරිඳ පුරෝගාමීන් විදිහට සේවය කරන දෙන්නෙක්. ඇන්ඩෘ මෙහෙම කියනවා. “බෙතෙල් එකෙන් ආපු ගමන්ම වගේ අපි අකුරු දන්නේ නැති දෙන්නෙක් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. වැඩි කාලයක් යන්න කලින් දෙන්නාටම අකුරු කියවන්න, ලියන්න උදව් කරන්න අපිට පුළුවන් වුණා. එක් කෙනෙක්ට අවුරුදු 10යි. එයාට සති මැද රැස්වීමේ බයිබල් කියවීමේ පැවරුමත් ලැබුණා. අපි දේශනා කරපු තවත් යුවළක් සිහි කිරීමට ආවා. එදා ඉඳන් එයාලා එක රැස්වීමක්වත් අතපසු කළේ නැහැ. බයිබල් පාඩමත් දිගටම කරනවා. මේ හැම ආශීර්වාදයක්ම අපිට ලැබුණේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වුණු නිසයි.”

සැම්බියාවේ බෙතෙල් පවුලේ එඩිසන් සහ ආට්නස් අලුත විවාහ වුණු යුවළක්. එයාලා දෙන්නාට පුරෝගාමීන් විදිහට අලුත් පැවරුමක් ලැබුණා. ආට්නස් මෙහෙම කියනවා. “මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න බෙතෙල් එකෙන් අපිට හොඳ පුහුණුවක් ලැබුණා. බෙතෙල් සේවය තෝරගත්ත එක ගැන අපි කවදාවත් දුක් වෙන්නේ නැහැ. දෙවිට සේවය කරන්න හිතාගෙන අපි තියන ඉලක්ක සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. ඒත් මොන වෙනස්කමක් කරන්න වුණත් දෙවි වෙනුවෙන් අපි ඒවා කරන්නේ හරිම සතුටින්. ඒ වෙනස්කම්වලට අනුව හැඩගැහෙන්න දෙවිගේ උදව් අපිට කිසිම අඩුවක් නැතුව ලැබිලා තියෙනවා.”