Skip to content

පටුනට යන්න

මුල් නිර්මාණය කාගෙද?

මුල් නිර්මාණය කාගෙද?

මෑත ඉතිහාසයේදී විද්‍යාඥයන් හා ඉන්ජිනේරුවන් ගස් කොළන්වලින් හා සතුන්ගෙන් බොහෝ දේ ඉගෙනගෙන තිබෙනවා. (යෝබ් 12:7, 8) අලුත් දේවල් නිපදවීමටත්, තිබෙන යන්ත්‍රසූත්‍ර තව දියුණු කිරීමටත් ජීව අනුකාරී විද්‍යා ක්ෂේත්‍රයේ සිටින අය නොයෙක් ජීවීන් ගැන අධ්‍යයනයක යෙදෙමින්ද උන්ව අනුකරණය කරමින්ද සිටිනවා. ඊළඟට දැක්වෙන උදාහරණ සලකා බලද්දී මේ ප්‍රශ්නය ගැන මදක් කල්පනා කර බලන්න. ‘මේ නිර්මාණ සඳහා ගෞරවය හිමි විය යුත්තේ කාටද?’

තල්මසාගේ වරල්වලින් පාඩමක්

ගුවන් යානා නිෂ්පාදකයන්ට මොල්ලි තල්මසාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? බොහෝ දේ ඉගෙනගත හැකියි. දිගු කලක් ජීවත් වූ මොල්ලි තල්මසෙකුගේ බර ටොන් 30ක් පමණ වෙනවා. එය බඩු පිරෙවූ ට්‍රක් රථයක බරට සමානයි. පහසුවෙන් නොනැමෙන ශරීරයක් ඇති උගේ වරල් විශාල තටු දෙකක් වගෙයි. අඩි 40ක් දිග ඌ දක්ෂ පිහිනුම්කරුවෙක්.

නොනැමෙනසුලු මේ තල්මසාට හැරෙන්න විශාල ප්‍රදේශයක් අවශ්‍ය නැති වීම ගැන පර්යේෂකයන් විශේෂයෙන්ම පුදුම වුණා. කුඩා ප්‍රදේශයක් තුළ පවා ආපසු හැරී පිහිනන්න ඌට හැකියි. ඒකට රහස උගේ වරල්වල හැඩය බව ඔවුන් සොයාගත්තා. උගේ වරල්වල ඉදිරි දාරය ගුවන් යානයක තටු වගේ සුමට නැහැ. එහි එක පේළියට තැනින් තැන ගැටිති තිබෙනවා.

තල්මසා වේගයෙන් යද්දී මේ ගැටිති නිසා ඉහළට ඇදීමේ බලය වැඩි වී පස්සට තල්ලු වීම අඩු වෙනවා. ඒ කොහොමද? ගැටිති නිසා ජලය කපාගෙන යෑමේ හැකියාව වරල්වලට ලැබෙන අතර වරල්වලට උඩින් පහසුවෙන් ජලය ගලා යන නිසා එක තැන ජලය කැලතෙන්නේ නැහැ. ඒ නිසා බාධාවක් නැතුව වැඩි වේගයකින් ඉහළට වුණත් පිහිනා යා හැකියි කියා එක් සඟරාවක පැහැදිලි කරනවා.—Natural History.10

පරිසරයේ හිමිකරු කවුද?

මේ සොයාගැනීමේ ඇති ප්‍රයෝජනය මොකක්ද? මෙය අනුකරණය කරමින් ගුවන් යානා තටු නිර්මාණය කළොත් ආයාසයකින් තොරව ඉහළ නැඟීමටත් පියාසර කිරීමටත් හැකි වන අතර ඒවා නඩත්තු කිරීමටද පහසු වෙයි. ළඟදිම “සෑම ගුවන් යානා තටුවකම මොල්ලි තල්මසාගේ වරල්වල වගේ ගැටිති දැකගන්න පුළුවන් වෙයි” කියා ජෛව යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක් වන ජෝන් ලෝං පවසනවා.11

මුහුදුළිහිණියාගේ අත්තටුවල අනුකරණයක්

ගුවන් යානාවල තටු සාදා තිබෙන්නේ කුරුල්ලන්ගේ අත්තටුවල හැඩයෙන්. නමුත් මෑතකදී ඉන්ජිනේරුවන් තවත් පියවරක් ඉදිරියට තැබුවා. “ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන අඩි දෙකක ගුවන් යානයක් නිර්මාණය කළා. එයට මුහුදුළිහිණියෙකු මෙන් ගුවනේ පාවීමටත්, වේගයෙන් ඉහළ පහළ යෑමටත් හැකි” බව එක් සඟරාවක වාර්තා කළා.—New Scientist.12

මුහුදුළිහිණීන් තටු අකුළමින් හා විහිදමින් විශිෂ්ට ලෙස පියාසර කරනවා. ඒවා අනුකරණය කරමින් සෑදූ “ගුවන් යානයේ තටුවල ඇති යකඩ පටි ක්‍රියා කරවීම සඳහා කුඩා මෝටරයක් සවි කර තිබෙනවා. එමනිසා පහසුවෙන් තටු ඇකිළීමට හා දිගහැරීමට හැකි” බව එම සඟරාවේ පවසනවා. දක්ෂ ලෙස නිර්මාණය කළ තටු නිසා මේ කුඩා අහස් යානාවට උස් ගොඩනැඟිලි අතරින් පාවී යෑමට හා කරණම් ගැසීමට හැකියි. සමහර හමුදා නිලධාරීන් උනන්දුවෙන් සිටින්නේ විශාල නගර තුළ තිබෙන ජීව හෝ රසායනික අවි සොයාගැනීම සඳහා එවැනි ගුවන් යානයක් සෑදීමටයි.

මුහුදුළිහිණියාගේ පාදයේ අනුකරණයක්

මුහුදුළිහිණියෙක් හිම මත සිටගෙන සිටියත් සීතලෙන් ගල් ගැහෙන්නේ නැහැ. ඌ තම සිරුර උණුසුම්ව තබාගන්නේ කොහොමද? ඊට එක් හේතුවක් වන්නේ ශීත ප්‍රදේශවල වෙසෙන සමහර සතුන්ට ආවේණික ලක්ෂණයක් ඌටත් තිබීමයි. එය නම් උණුසුම හුවමාරු වීමේ ක්‍රියාවලියයි.

උණුසුම හුවමාරුව නිසා සිරුරේ උණුසුම රැඳෙයි. පාදවල සීත රැඳෙයි

එය තේරුම්ගැනීමට නිදසුනක් බලමු. එකට බැඳ තිබෙන වතුර බට දෙකකින් එකක උණු වතුරත් අනිකේ සීතල වතුරත් ගමන් කරනවා කියා සිතන්න. උණු වතුරත් සීතල වතුරත් ගමන් කරන්නේ එකම දිශාවට නම් සීතල වතුරට උණු වතුරේ උණුසුමෙන් අඩක් පමණ මාරු වෙනවා. නමුත් ඒවා ගමන් කරන්නේ විරුද්ධ දිශාවන්ට නම් උණු වතුරේ උණුසුම සම්පූර්ණෙන්ම පාහේ සීතල වතුරට මාරු වෙනවා.

මුහුදුළිහිණියාගේ සිදු වන්නෙත් එවැනි දෙයක්. ඌ හිමේ සිටගෙන ඉද්දී පාදයේ පහළ කොටසේ රුධිරය අධික ලෙස සීතල වන අතර ඒ සීතල වූ රුධිරය යළි ඉහළට ගමන් කරනවා. නමුත් සිරුරේ සිට පහළට එන උණුසුම් රුධිරය නිසා ඉහළට යන සීතල රුධිරය නැවතත් උණුසුම් වෙනවා. ඒ නිසා උගේ සිරුරේ උණුසුම රැඳෙනවා. යාන්ත්‍රික හා ගුවන් ගමන් පිළිබඳ ඉන්ජිනේරුවෙක් වන ආතර් පී. ෆ්‍රාස් එම ක්‍රියාවලිය ගැන මෙසේ පැවසුවා. “එය ලෝකයේ තිබෙන හොඳම උණුසුම හුවමාරු වීමේ ක්‍රියාවලීන්ගෙන් එකක්.”13 මේ ක්‍රියාවලිය එතරම්ම සාර්ථකව සිදු වෙන නිසා ඉන්ජිනේරුවන් එය අනුකරණය කර තිබෙනවා.

ගෞරවය හිමි විය යුත්තේ කාටද?

වේගවත් හා ඉන්ධන පිරිමසන වාහනය දාර පේත්තයාගේ අනුකරණයක්

ෆින්ලන්තයේ ඉන්ජිනේරුවන් යෝධ කෘමියෙකු මෙන් නැඟිය හැකි පාද හයකින් යුත් ට්‍රැක්ටරයක් නිපදවා තිබෙනවා. එමෙන්ම NASA ආයතනය ගෝනුස්සෙක් මෙන් ඇවිදින පාද කීපයක් ඇති රොබෝ යන්ත්‍රයක් සාදමින් සිටිනවා. පර්යේෂක කණ්ඩායමක් දිගහැරෙන හා ඇකිළෙන පයින් ගෙඩිය අනුකරණය කර, අඳින පුද්ගලයාගේ ඇඟේ උෂ්ණත්වයට අනුව සකස් වෙන විශේෂ රෙදි වර්ගයක් නිර්මාණය කළා. වාහන නිෂ්පාදන සමාගමක්ද දාර පේත්තයා නම් මාළුවාව අනුකරණය කරමින් පහසුවෙන් හැසිරවිය හැකි වාහනයක් නිපදවමින් සිටිනවා. විද්‍යාඥයන් කණ්ඩායමක් ඇබලෝනි බෙල්ලාගේ කට්ටේ ඇති කම්පනයට ඔරොත්තු දීමේ හැකියාව ගැන ගවේෂණය කරමින් සිටින්නේ වඩාත් සැහැල්ලු මෙන්ම ශක්තිමත් උඩු කය ආරක්ෂක ඇඳුමක් සෑදීමේ අදහසින්.

ශබ්ද තරංග මගින් දිය යට ඇති දේවල් සෙවීමේ ඩොල්ෆිනයන්ගේ හැකියාවට ළං වන්නවත් මිනිසාට බැහැ

අප අවට ලෝකයේ විවිධ මෙන්ම විස්මිත නිර්මාණ රැසක් තිබෙනවා. පර්යේෂකයන් අලුත් යමක් නිපදවද්දී “යම් ප්‍රශ්නයක් ඇති වුණොත් ඊට විසඳුමක් සොයාගැනීමට ඒ දේවල්” ඔවුන්ට උදව් වෙනවා. ඒ සඳහා විවිධ නිර්මාණ ගැන විස්තර එකතු කර, දත්ත ගබඩාවක් ඔවුන් සකස් කර තිබෙනවා. එහි තිබෙන නිර්මාණ ඔවුන් හඳුන්වන්නේ ජෛව පේටන්ට් බලපත්‍ර ලෙසයි. සාමාන්‍යයෙන් පේටන්ට් බලපත්‍රයක් ලැබෙන්නේ යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් අලුත්ම යමක් නිපදවා එහි තනි අයිතිකරුවා ලෙස ලියාපදිංචි කළ විටයි. ජෛව පේටන්ට් බලපත්‍රය ගැන එක් සඟරාවක පැවසුවේ “අවට පරිසරයේ තිබෙන පුදුමාකාර නිර්මාණවලට පේටන්ට් බලපත්‍ර ලබා දීමෙන් පර්යේෂකයන් නොකියා කියන්නේ එම නිර්මාණවල හිමිකරු පරිසරය බවයි.”—The Economist.14

ඇබලෝනි බෙල්ලාගේ කට්ටේ ඇති කම්පනයට ඔරොත්තු දීමේ හැකියාව ගැන ගවේෂණය කරමින් සිටිනවා

මෙතරම් බුද්ධිමත් අදහස් පරිසරයට ලැබුණේ කොහෙන්ද? බොහෝ පර්යේෂකයන් සිතන්නේ, බුද්ධිමත් නිර්මාණ ලෙස පෙනෙන මේ සියල්ල වසර මිලියන ගණනක් පුරා කොහොමහරි පරිණාමය වුණා කියායි. එහෙම නොසිතන පර්යේෂකයන්ද සිටිනවා. ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ මයිකල් ජේ. බීහී 2005 පෙබරවාරි 7වනදා ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට මෙසේ ලිව්වා. “[අප අවට ලෝකයේ ඇති] නිර්මාණවලට හේතුව තේරුම්ගන්න පුංචි තර්කයක් විතරයි ඕනේ. පෙනුමත් තාරාවෙක් වගේ නම් ඇවිදින්නෙත් තාරාවෙක් වගේ නම් කෑගහන්නෙත් තාරාවෙක් වගේ නම් ඌ තාරාවෙක් බවට තවත් සාක්ෂි මොකටද?” ඒ අනුව ඔහුගේ නිගමනය මෙයයි. “ඇස් දෙකට පේන්න ඇති තරම් සාක්ෂි තියෙද්දිත් නිර්මාතෘවරයෙක් සිටින බව පිළිගන්න තවත් සාක්ෂි අවශ්‍ය නැහැ.”15

අණුක ආකර්ෂණය නිසා ඉතා සුමට මතුපිටක පවා එල්ලී සිටීමට හූනාට හැකියි

ගුවන් යානයක තටුවක් ආරක්ෂිතවත් දක්ෂ ලෙසත් නිමවා තිබෙනවා නම් එහි ගෞරවය හිමි විය යුත්තේ එය නිර්මාණය කළ ඉන්ජිනේරුවාටයි. එලෙසම ඇඟට පහසු රෙදි වර්ගයක් හෝ හොඳ තත්වයේ වාහනයක් නිපදවන තැනැත්තා ඔහුගේ දක්ෂතාව වෙනුවෙන් ගෞරවය ලැබිය යුතුයි. නමුත් මුල් නිර්මාණකරුට ගෞරවය නොදෙන අනුකරණ නිපදවන්නෙකුව අපරාධකාරයෙක් ලෙස සැලකිය හැකියි.

දැන් මේ ගැන සිතන්න. පළපුරුදු පර්යේෂකයන් අප අවට ලෝකයේ නිර්මාණ දෙස බලා තම නිර්මාණ දියුණු කරගැනීමට ලොකු වෙහෙසක් දරනවා. එසේ කරකර සමහරුන් සිතන්නේ එහි ඇති පුදුමාකාර නිර්මාණ ඉබේ ආවා කියායි. ඒ නිගමනය තර්කානුකූලද? අනුකරණයකට බුද්ධිමත් නිර්මාණකරුවෙක් අවශ්‍ය නම් මුල් නිර්මාණයට නිර්මාතෘවරයෙක් අවශ්‍ය නැද්ද? වැඩි ගෞරවයක් හිමි විය යුත්තේ ඉන්ජිනේරුවාටද නැත්නම් ඔහුගේ නිර්මාණ අනුකරණය කරන්නාටද?

තර්කානුකූල නිගමනයක්

සියලු සාක්ෂි සලකා බැලීමෙන් පසු බොහෝදෙනා බයිබල් ලේඛක පාවුල් පවසන මේ දේට එකඟ වෙනවා. “ලෝකය සෑදූ දා පටන් [දෙවිගේ] බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි. එමගින් ඔහුගේ සදාතනික බලය හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය සියල්ලන්ටම පැහැදිලි වේ.”—රෝම 1:19, 20.