දේශනා කරන්න ගියේ මුහුදු පත්ල පාරක් කරගෙනයි
ජර්මනියේ ෂ්ලෙස්වික්-හොල්ස්ටයින් පළාතේ බටහිරට වෙන්න පුංචි දූපත් රාශියක් තියෙනවා. 300දෙනෙක් විතර ජීවත් වෙන මේ දූපත් හඳුන්වන්නේ හාලිගන් කියලයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මේ අයට ශුභාරංචිය දේශනා කරන්නේ කොහොමද?—මතෙව් 24:14.
සාක්ෂිකරුවන් සමහර දූපත්වලට යන්නේ බෝට්ටුවෙන්. අනෙක් දූපත්වලට යන්න මේ අය පාවිච්චි කරන්නේ වෙනස් ක්‍රමයක්. ඔවුන් කිලෝමීටර් 5ක් විතර මුහුද මැදින් ඇවිදගෙන යනවා. ඒත් එහෙම කරන්නේ කොහොමද?
වඩදිය බාදිය තත්වය ප්‍රයෝජනයට ගනිමින්
උතුරු මුහුදේ හාලිගන් දූපත් අවට වඩදිය බාදිය තත්වයක් ඇති වෙද්දී වතුර මට්ටම පැය 6කට වරක් මීටර් 3ක් ඉහළට හෝ පහළට යනවා. මුහුදු පතුල පේන තරමට වතුර මට්ටම පහළට යද්දී ඒ අවට තියෙන දූපත් 3කට විතර පයින් යන්න සාක්ෂිකරුවන්ට පුළුවන්.
මේ ගමන යන්න හොඳ මඟ පෙන්වන්නෙක්ගේ උදව් ඕනේ. උල්රික් අද්දැකීම් තියෙන මඟ පෙන්වන්නෙක්. ඒ ගමන ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “එක දූපතකට යන්න පැය 2ක් විතර යනවා. ගොඩක් වෙලාවට අපි යන්නේ සපත්තු සෙරෙප්පු නැතුව. ඒ විදිහට යන්න ලේසියි. ඒත් සීත කාලෙට නං බූට්ස් දාගෙන තමයි යන්න වෙන්නේ.”
ඒක අමුතුම අද්දැකීමක්! ඒ ගැන උල්රික් මෙහෙම කියනවා. “වෙනම ලෝකෙකට ගියා වගෙයි දැනෙන්නේ. ඇවිදගෙන යද්දී සමහරක් තැන්වල මඩ, ගල්, මුහුදු පැළෑටිත් තියෙනවා. කුරුල්ලෝ, කකුළුවෝ විතරක් නෙමෙයි පුංචි පුංචි වෙනත් සත්තු ගොඩක් දකින්නත් පුළුවන්.” දේශනා කරන්න යන අයට සමහරක් වෙලාවට මඩ වගුරුවල තියෙන පොඩි වතුර පාරවල්වලිනුත් පැනලා යන්න වෙනවා.
මේ ගමනේ අභියෝග නැතුවම නෙමෙයි. “සමහර වෙලාවට මුළු පළාතම මීදුමෙන් වැහෙන නිසා පාර හොයාගන්න එක ලේසි නෑ. අතරමං වෙන්න වුණත් පුළුවන්. ඒ වගේ වෙලාවට මාලිමා යන්ත්‍රය, GPS එක ලොකු උදව්වක්. වතුර මට්ටම ආයෙත් නඟින්න කලින් හැම දේම කරගන්න ඕන නිසා වේලාවට දේවල් සැලසුම් කරන එක වැදගත්” කියලා උල්රික් කිව්වා.
සේවයෙන් ලද අද්දැකීමක් ගැන උල්රික් මෙහෙම කියනවා. “එක දවසක් අපිට වෙලාව තිබුණේ නැති නිසා එක ගෙදරකට යන්නේ නැතුව අපි ඒ දූපතෙන් පිටත් වෙන්න ලෑස්ති වුණා. ඒ ගෙදර කෙනා අපේ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා කියවනවා. එයාට අවුරුදු 90ක් විතර ඇති. එයා බයිසිකලේ පැදගෙන අපි ළඟට ඇවිත් මෙහෙම කිව්වා. ‘අද මට සඟරා දෙන්නේ නැද්ද’ කියලා. ඒක ඇහුවම අපිට දැනුණේ ලොකු සතුටක්.” අපේ මහන්සියට ප්‍රතිඵල තියෙනවා.